Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වියරු ගිනි නිවා දමන්නට හැමූ
සංහිඳියාවේ සුළං රැලි

ජාතික හා ආගමික සංහිඳියාව වචනවලින් ඔබ්බට ගිය ක්‍රියාවක් වන්නේ ඒ සඳහා වන සියලු ජන කණ්ඩායම්වල කැපවීම හමුවේ ය. ජාතික හා ආගමික සංහිඳියාව ඔප් නැංවුණු එවන් අපූරු සිදුවීම් දෙකක් මහනුවරදී අප නෙත් ගැටුණේ මෙවැනි පසුබිමක් හමුවේ ය. ඊට මූලිකත්වය ගත්තේ ෆස්රූල් රහුමාන් මහනුවර ප්‍රධාන මවුලවී තුමන් ඇතුළු මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව හා සමිති සමාගම්වල සාමාජිකයන් ය.

16.10.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය

සමුගැනීමේ සිදුවීම් දෙකක් පදනම් කර ගනිමින් මතු වූ සංහිඳියාවේ සුළං රැලි මහනුවරින් පණ ලැබ යළිත් හමා ගියේ මහනුවරින් ඔබ්බට ද පැතිර ගොස් තිබූ ජාතිවාදී වියරු ගිනි නිවා දමමිනි. බෞද්ධ,ක්‍රිස්තියානි හා ඉස්ලාම් බැතිමතුන් එකට එක් කළ මෙම සිදුවීම් දාමයට මල්වතු මහ විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ නමකගේ අපවත් වීමත් මහනුවර ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වසර 08 ක් සේවය කළ පූජක තුමකු වෙනත් මීසකමකට මාරුවී යාමත් හේතු පාදක විය. දුක උපදවනසුලු වුව ද එම සිදූවීම් දෙක හරහා මහනුවරට යළිත් ජාතික හා ආගමික සහජීවනය කැන්දා ගෙන ඒමට මුස්ලිම් ප්‍රජාව සමත් විය.

මහනුවර මල්වතු මහ විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික,අග්ගමහ පණ්ඩිත,අලුත්ගම ධම්මානන්ද නා හිමියන් අපවත් වූයේ අවුරුදු 104 ක් ආයු වළඳාය. මරණීය දණ්ඩනය නියමව බෝගම්බර බන්ධනාගාරයේ සිටි සිරිපාල නොහොත් මරුසිරා ඇතුළු බොහෝ දෙනෙකු එල්ලා මැරීමට ප්‍රථම උන්වහන්සේ ගෙන් බණ ඇසූහ.ධම්මානන්ද නා හිමියන් ජාතික හා ආගමික වශයෙන් සුවිශාල සේවාවක් කළ සෙසු ජාතීන්ගේ ආදරයට පාත්‍රවූ කීර්තිමත් හිමිනමකි. උන්වහන්සේගේ අපවත් වීමෙන් ශෝකයට පත් මහනුවර මුස්ලිම් ප්‍රජාව දේහයට ගෞරව දැක්වීමට පැමිණියේ දේහයට ගෞරව දැක්වීම සඳහා පැමිණෙන සෙසු ජනතාවට පිරිනැමීම පිණිස පානීය ජල බෝතල් 2000 ක්ද රැගෙන ය.

ධම්මානන්ද නාහිමියන් වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාවේ ශෝකය

මහනුවර ප්‍රධාන මවුලවී ෆස්රුල් රහුමාන් තුමන් සමඟ මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩල නියෝජිතයන්, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන නියෝජිතයන්, ආරාබි භාෂා පාසලේ සිසු දරුවන් ඇතුළු පිරිසක් නාහිමි දේහයට අවසන් ගෞරව දැක් වීමට පැමිණියහ. ඉන් නොනැවතුණු මුස්ලිම් ප්‍රජාව මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පවතින මීරාමක්කම් පල්ලිය, මහයියාව කාට්ටු පල්ලිය, රජ වීදිය මුස්ලිම් පල්ලිය, හනිසි ජුම්මා පල්ලිය, ලයින් පල්ලිය යන පූජනීය ස්ථානවල අලුත්ගම ධම්මානන්ද නාහිමියන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර බැනර් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණි.

ශෝකයට පත් මහනුවර මුස්ලිම් ප්‍රජාව දේහයට ගෞරව දැක්වීම

මෙම සිදුවීම් දාමයට සමගාමීව මහනුවර කොටුගොඩැල්ල වීදියේ පිහිටි ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ ප්‍රධාන පූජක අයිවන් ජයසුන්දර පියතුමන් වෙනත් මීසමකට මාරුවී යාම ද යෙදී තිබිණි. වසර 08 ක කාලයක් මහනුවර සියලු ජාතීන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කළ පියතුමන්ගේ වෙන්ව යාම පිළිබඳ ශෝක වූ මුස්ලිම් ප්‍රජාව දේවස්ථානයට ගොස් උන්වහන්සේගේ සේවාව අගය කළහ. ජාතීන් හා ආගමික වශයෙන් වෙන්ව සිටින ජනතාව එක පොකුරකට ගෙන යහපත්වූ පොදු දිශාවක් වෙත ඔවුන් යොමු කිරීමට අයිවන් ජයසුන්දර පියතුමන් කළ සේවාව මෙහිදී මවුලවී තුමන් අගය කළේය.

‘ජනතාවට සාමයෙන් සමඟියෙන් ඉන්න කියලා දේශපාලනඥයන් හා ආගමික නායකයන් නිතර ප්‍රකාශ කරනවා. මේවා වචනවලට පමණක් සීමාවී තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්ට තිබෙනවා. එක් පැත්තකින් දේශපාලනඥයන් හා ආගමික නායකයන් සාමය, සමඟිය හා සංහිඳියාව ගැන කතා කළාට ප්‍රායෝගිකව ඔවුන් ඒ සඳහා ක්‍රියාකාරී වන අවස්ථා අඩුයි. අපි ජනතාවට සාමයෙන් සමඟියෙන් ඉන්න කියනවා නම් අපි මුලින් අනෙක් ජාතීන්ට සාමය සඳහා අපේ දෑත් දිගු කරන්න ඕනෑ‘යි ෆස්රූල් රහුමාන් මවුලවී තුමන් පවසයි.

පියතුමන් කළ සේවාව මුස්ලිම් ප්‍රජාවේ ඇගැයුමට

‘මේ රටේ සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් හා මැලේ ජාතීන් ජීවත් වෙනවා. මේ ජනතාව බෞද්ධ,කතෝලික,ඉස්ලාම් හා හින්දු ආගම් අදහනවා. බහු සංස්කෘතිය අපේ රටට ලැබුණු දායාදායක්.ඒ දායාදයයෙන් නියම ප්‍රයෝජන ගන්න පුළුවන් සියලු ජාතීන්,සියලු ආගමිකයන් එකට හිටියොත් විතරයි.මහනුවර කියන්නේ ඒ තත්ත්වය ඉතා හොඳන් තිබූ නගරයක්. ඒත් පසුගිය මාර්තු මාසයේ ඇතිවූ අවාසනාවන්ත සිදුවීම නිසා ඒ සමඟිය බිඳී ගොස් ජාතීන් අතර අවිශ්වාසයක් ගොඩ නැඟුණා.‘යි ෆස්රූල් රහුමාන් මවුලවීතුමන් සිහිපත් කර දෙයි.

මුස්ලිම් ප්‍රජාව දේවස්ථානයට ගොස් උන්වහන්සේගේ සේවාව අගය කළහ

රටක් ලෙස අපේ ඉදිරි ගමනට මේක බාධාවක්. අපි හැමෝම මව්පියන්ගේ උරුමයෙන් කුඩා කාලයේම කිසියම් ආගමකට අයත් වෙනවා. ජාතියත් තීරණය වෙන්නේ එහෙමයි.අපි හැමෝගෙම ලේ එක පාටයි. සිංහල,දෙමළ,මුස්ලිම් කාගෙත් ඇඟේ දුවන්නේ ලේ වර්ග හතරක්.ඕ පොසිටිව් ලේ තියෙන සිංහල අය වගේම මුස්ලිම් අයත් ඉන්නවා.සාමය,සමඟිය සඳහා එක් ජාතිකයක් දෑත් දිගු කරනකල් අනෙක් ජාතිය සිටිය යුතුයි කියලා මා පිළිගන්නේ නැහැ.ඒ සඳහා කවුරුන් හෝ ඉදිරි පියවරක් තැබිය යුතුයි.පූජක පක්ෂය ඒ සඳහා කැපවීමක් අවංකව කරන විට ඒක සමාජයේ පහළ ස්ථර වලට කාන්දු වෙනවා.අපවත්වී වදාළ ධම්මානන්ද නාහිමියන් වගේම අයිවන් ජයසුන්දර පියතුමන්ද මේ කාර්යභාරය ඉතා හොඳන් අවබෝධ කරගෙන කටයුතු කළ දෙදෙනෙක් බව මේ මොහොතේ ප්‍රකාශ කළ යුතුයි“ෆස්රූල් රහුමාන් මවුලවීතුමන් පවසයි.


අලුත්ගම ධම්මානන්ද නා හිමියන්ගේ අපවත් වීමෙන් ශෝකයට පත් මහනුවර මුස්ලිම් ප්‍රජාව දේහයට ගෞරව දැක්වීමට පැමිණියේ දේහයට ගෞරව දැක්වීම සඳහා පැමිණෙන සෙසු ජනතාවට පිරිනැමීම පිණිස පානීය ජල බෝතල් 2000 ක්ද රැගෙන ය.

අපවත්වී වදාළ මගේ ගුරු දේවයාණන් වන ධම්මානන්ද නාහිමියන් සෑම විටම සෙසු ජාතීන්ගේ අන්‍යන්‍යතාවලට ගරුකළා. උන්වහන්සේ සෑම විටම ජාතික හා ආගමික සමඟිය වෙනුවෙන් පෙනී සිටියා. මහනුවර මුස්ලිම් දේවස්ථාන වල භාරකාර මණ්ඩල වල සාමාජිකයින් මවුලවීතුමන් සමඟ පැමිණ උන්වහන්සේට ගෞරව දැක්වූයේ ඒ නිසයි. මේ සමඟිය අපි මතුවටත් ආරක්ෂා කර ගන්න ඕන‘ යි මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික කැටයාපතනේ පියදස්සී හිමියෝ පවසති.

සෑම ආගමික නායකයකුම ප්‍රකාශ කර තිබෙන්නේ සාමය හා සමඟිය පිළිබඳවයි. අවාසනාවකට අද ජාතිවාදී හා ආගම්වාදී ලෙස කටයුතු කරන සුළු පිරිසක් දෙනා මේ ආගමික නායකයන්ගේ දේශනවල හරය අමතක කර වෛරයෙන් හා ක්‍රෝධයෙන් කටයුතු කරනවා. තවත් ජාතියකට හෝ ආගමිකයකුට හිංසා කරන්න කියලා කිසිම ආගමික ශාස්තෘන්වහන්සේ නමක් දේශනා කරලා නැහැ. අපි හැම වෙලාවෙම උත්සාහ කළ යුත්තේ මේ සත්‍ය ධර්ම කරුණු ජනතාව අතරට ගෙන යන්නයි. සුළු පිරිසක් තමන්ගේ අවශ්‍යතාවට ධර්ම කරුණු පවා විකෘති කරන අවස්ථා තිබෙනවා. අපේ ජීවිතය තරම්ම අනෙකාගේ ජීවිතයද වටිනා බව, අප මෙන්ම අනෙකාද තමන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීමට කැමැති බව අවබෝධ කරගෙන අපි හැමෝම ක්‍රියා කරනවා නම් ගැටුම් අවම කරගත හැකියි‘ යැයි අයිවන් ජයසුන්දර පියතුමන් ප්‍රකාශ කරයි.

මුස්ලිම් පූජනීය ස්ථානවල අලුත්ගම ධම්මානන්ද නාහිමියන් වෙනුවෙන් ශෝකය