Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජාතීන් අතර ගැටුම් සමනයට
භාෂාව සතු බලය සුවිශාලයි

සියලු ජාතීන් එකතු කිරීමේ ප්‍රමුඛ යාන්ත්‍රණය වන්නේ භාෂාවය. අද අප ජීවත් වන යුගය භාෂාවේ බලය භාවිත කළ යුතු හොඳම යුගයයි. එයට හේතුව වන්නේ මෙම යුගය මිනිසුන් එකිනෙකා ‍වෙන් කිරීමට දැඩිසේ උත්සාහ දරන යුගයක් වීමය. මේ ඒ සම්බන්ධව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මිලින්ද මායාදුන්න දක්වන අදහස් ය.

18.08.2019  |  
මහනුවර දිස්ත්‍රික්කය

එකිනෙකා අතර අභිනයෙන් සන්නිවේදනය කටයුතු කළ මිනිසා පසුකාලීනව භාෂාව නිර්මාණය කර ගත්තා.ලෝකයේ ජීවත් වන විවිධ ජාතීන් තම තමන්ට අනන්‍යවූ භාෂා කතා කරනවා. අද වනවිට මේ භාෂාව ජාතීන් එක් කිරීමට වඩා බෙදා වෙන් කිරීමට ඇතැමුන් අවියක් ලෙස භාවිත කරන බවයි පෙනෙන්නෙ?

මිනිසා සහ ස්වභාවධර්මය අතර මෙන්ම මිනිසා සහ සංස්කෘතිය අතර ද පවතින්නේ අවියෝජනීය බැඳීමක්. භූගෝලීය වෙනස්කම්, දේශපාලනික විපර්යාස, භූ දේශපාලනික පරිසරය සහ ස්වභාවික හා ගෝලීය ආර්ථික තත්ත්වයේ බලපෑම මානව චර්යාව හැඩ ගැස්සවීමේ ක්‍රියාවලියේදී ප්‍රබලව බලපා තිබෙනවා. සංස්කෘතියේ බලපෑම ද ඉතිහාසයේ පටන්ම මේ කෙරෙහි තීරණාත්මක අයුරින් බලපෑම් කර තිබෙන බව කවුරුත් එකඟ වන කාරණයක්. බුද්ධිය, සන්නිවේදනය, සහයෝගය, බෙදා ගැනීම, එක්සත්කම, ඒකීයත්වය මෙන්ම මිනිසුන් අතර පවතින සාමය ඕනෑම රටක් සංවර්ධනය කරා ගෙනයන කාරණායි. සංස්කෘතිය මානව සමාජයේ උන්නතිය උදෙසා තීරණාත්මක අයුරින් බලපෑම් කරනවා. එහිදී වඩාත් වැදගත් වන්නේ සංස්කෘතියේ ප්‍රවාහකයා වශයෙන් හදුනාගත හැකි භාෂාවයි. ඕනෑම රටක් ළඟා කර ගත යුතු අත්‍යවශ්‍ය අවසානයක් වශයෙන් හදුනාගත හැකි සංවර්ධනයේ පදනම් සාධකය වන්නේ භාෂාවයි. මෙය තවත් සුවිශේෂී වන්නේ අප වැනි විවිධ ජාතීන් එක්ව ජීවත් වන රටකටයි. සහෝදරත්වයේ අවබෝධය ගොඩ නඟා ගැනීමට ගමන් කළ හැකි කෙටිම මඟ පවතින්නේ භාෂාව තුළයි. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් එකිනෙකා සිදු කරන ක්‍රියාකාරකම් අවබෝධ කර ගැනීමටත් සහෝදරත්වයේ අවබෝධය වඩාත් පුළුල් කර ගැනීමටත් උසස් මට්ටමේ දැනුම් සම්භාරයක් අත්‍යවශ්‍යයි. එකිනෙකා අවබෝධකර ගැනීමේ විධිමත් ක්‍රියාවලියේ දී භාෂාව තීරණාත්මක අයුරින් ඉස්මතු වීම වැලක්විය නොහැකි දෙයක්.

ශ්‍රීලංකාව බහු වාර්ගික මෙන්ම බහු ආගමික රටක්. මෙවැනි රටක ජාතීන් අතර බැඳීම් මෙන්ම විරසක ගොඩ නැඟීමටත් භාෂාව ප්‍රබල බලපෑමක් එල්ල කරන අකාරය ගැන ඔබ දකින්නේ කෙලෙසින් ද?

පාස්කු ඉරුදින අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඇවිලී ගිය ගින්න නිවා දැමීමත් තව දුරටත් එය දල්වා පතුරාවා ලීමේ බලයත් රඳා පැවතුණේ භාෂාව මතයි. කෙනෙකු ඇවිලෙන ගින්නට අවෛරී ප්‍රකාශ නැමැති සිසිල් දිය පොදක් එක්කර එය නිවා දැමීමට උත්සහ කරද්දී තවත් අය කළේ වෛරී ප්‍රකාශ කරමින් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමයි. මෙම පසුබිම තුළින් අවබෝධ වන එක් ප්‍රධාන කරුණක් වන්නේ ජාතීන් එක් කිරීම හෝ බෙදා වෙන් කිරීමේ මහා බලයක් භාෂාව සතු බවයි. කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කිතුණු ජනතාව සිය ගණනක් මිය ගොස් සිටියදී ඔවුන්ගේ ඥාතින් ඇතුළු ප්‍රජාව කුපිත වී මුස්ලිම් ජනතාවට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි යන බිය බොහෝ දෙනෙකු තුළ ඇතිව තිබුණා. එසේ වුවත් කාදිනල් තුමන් එවැන්නක් සඳහා කිසිදු ඉඩක් නොතබමින් ජාතිය අමතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ නිකුත් කළා. එතුමන් මේ සඳහා උපයෝගි කරගත්තේත් භාෂාව හා ආගමික ඉගැන්වීම් පමණයි. මේ ආකාරයෙන් අප නොසිතන ආකාරයේ බලයක් හා ශක්තියක් භාෂාව සතුව තිබෙනවා. ජාතීන් අතර ගැටුම් ඇතිකර ගැනීමට මෙන්ම ගැටුම් සමනයට ද භාෂාව සතු බලය පසුගිය කාලයේ දී අපි හොඳින් අත් දැක්කා.

භාෂාවක වාච්‍යාර්ථය එය භාවිත කරන අවස්ථාව නොඑසේ නම් සන්දර්භය මත වෙනස් බවයි පෙනෙන්නේ?

භාෂාව භාවිත කිරීමේ දෘෂ්ටිය අනුව බලන විට මෙරට ඉතිහාසයේ බොහෝ දුරට එය භාවිත වී තිබෙන්නේ ජන වර්ග අතර සහයෝගය ගොඩ නැඟීමටත් වඩා ඔවුන් අතර විරසක භාවය වඩාත් පුළුල් කිරීමේ යාන්ත්‍රණයක් හා ක්‍රමෝපායයක් ලෙසින් බව දකින්නට පුළුවන්. මෙය වඩාත් නිරවුල්ව පැහැදිලිකර ගැනීම උදෙසා Ludwig Wittgenstein ගේ Philosophical Investigations කෘතියේ එන” භාෂාව ක්‍රීඩාවක් ලෙස යොදා ගැනීම” නම් සංකල්පය තේරුම් ගැනීම ඉතා වැදගත්. භාෂාවක වචනවල තිබෙන අර්ථය ඒ ඒ සන්දර්භය අනුව වෙනස් වෙනවා. සන්දර්භය අනුව භාෂාවේ අර්ථය වෙනස් කරමින් භාවිත කිරීමේ හැකියාව පවතින නිසා එය ක්‍රීඩාවක් වශයෙන් හඳුනා ගත හැකි බව විට්ගන්ස්ටයින් සිය කෘතිය තුළ පැහැදිලි කරනවා. උදාහරණයක් වශයෙන් “මේ පිහිය හොඳයි” යනුවෙන් ප්‍රකාශ කළ විට එහි අර්ථය අපට වටහා ගැනීමට සිදුවන්නේ සන්දර්භයට අනුව ය. මෙම ප්‍රකාශය සිදු කරන්නේ ගෘහිණියක් නම් පිහිය හොඳ වන්නේ එළවළු කැපීමට හෝ මුලුතැන් ගෙයි වෙනත් කටයුත්තකටයි. එනමුත් “මේ පිහිය හොඳ යැයි ඝාතකයකු පැවසූ විට මතු වන්නේ වෙනත් අර්ථයක්. ඒ අනුව මෙහි අර්ථය අප වටහා ගත යුත්තේ සන්දර්භය අනුව බව පැහැදිලියි.

ඔබ පවසන ආකාරයට භාෂාව දෙපැත්ත කැපෙන පිහියක් වගේ. භාෂාවට වචන එකතු කිරීමේදී ඇති වන සුළු අතපසු වීමකින් තවත් ජාතියකට අගෞරවයක් හානියක් සිදු විමේ හැකියාවක් තිබෙන බවයි ඉන් හැඟෙන්නේ?

එක් ජාතියක් තවත් ජාතියක් පාගා නැගී සිටීමට වගේම තමන්ගේ ජාතියටම අයත් පිරිසක් මත සිය අධිපතිවාදී අදහස් පතුරුවා ලීමට භාෂාව භාවිත කර ඇති අවස්ථා ඕනෑ තරම් මෙරට ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා. හම්බයා,පර දෙමළා, දෙමළු පඩි ගත්තා වගේ, තම්බියා වගේ වචන මීට උදාහරණ කිහිපයක්.ඉංග්‍රීසියෙන් බැබ්ලර් (Babbler)ලෙස හඳුන් වනු ලබන පක්ෂි විශේෂයට ඒ නම ලැබිලා තිබෙන්නේ රංචු ලෙස එක්ව නිතර හඬ නගන නිසයි. මේ කුරුල්ලන්ට සිංහලෙන් කියන්නේ දෙමළිච්චා කියලා. මේ ආකාරයට තවත් ජන කොටසකට අවමානයක් වන ආකාරයේ වචන භාෂාවට එකතු වුණේ කොහොමද? මේ වගේම බෙරවායා, රොඩියා වගේ වචන මිනිසුන්ගේ කුලය ඉලක්ක කරමින් පහර ගැසීමට යොදා ගන්නවා. වචනවලට මිනුෂ්‍යයෙක් අස්වැසීමට වගේම කුපිත කරන්නත් පුළුවන්. ජනවාර්ගික අර්බුදයේ වැඩෙන ශෛලවලට ප්‍රාණය සපයන මෙවැනි වචනවලට ඉතා පුළුල් ප්‍රචාරණයක් හිමි වන ස්වභාවයක් දක්නට ලැබීම කනගාටුදායක තත්ත්වයක්.

මහ ජාතිය පමණක් නොව අනිකුත් ජාතීනුත් මේ අවර ගණයේ භාෂා භාවිතය සිදු කරන බව පෙනෙන්නේ නැද්ද?

1977 සිට 1983 තෙක් මෙරට විපක්ෂ නායක ලෙස කටයුතු කළ අමිර්තලිංගම් මහතා සහ ඔහුගේ බිරියගේ භාෂා භාවිතය සිදු වුණේ තම සහෝදර ජාතියට විරුද්ධවයි. ඒ හා සමානවම ජාතික විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වරයා වූ කේ.එම්.පී. රාජරත්න මහතා
(ප්‍රවෘත්ති හා ගුවන් විදුලි නියෝජ්‍ය අමාත්‍යවරයා 1956 -1959) දෙමළ ජනතා විරෝධී අදහස් දැරුවෙක්. විශේෂයෙන් එක් ජාතියක් තුළ පමණක් නොව සියලු ජාතීන් අතර මෙවැනි අදහස් දරන්නන් හිටියා. මෙම තත්ත්වය විසි වන ශත වර්ෂයේ මුල් භාගයේ සිටම දකින්න ලැබුණා. මෙම අවධියේදී භාෂා භාවිතය බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව ජනතාව පෙළ ගැස්වීමට වඩා මෙරට තුළම ජීවත් වූ සහෝදර ජාතියකට විරුද්ධව සිදුවූ බවක් දකින්න ලැබෙනවා. අප වඩාත් කම්පනයට පත්විය යුත්තේ එම කාරණය සම්බන්ධවයි. ආක්‍රමණික කණ්ඩායමක් එළවා දැමීමට නොව එම ආක්‍රමණික කණ්ඩායම වටා එක්ව තම රාජ්‍ය තුළ එකට ජීවත් වන සහෝදර ජාතීන් දුරස් කිරීමට භාෂාව යොදා ගැනීම පහසුවෙන් බැහැර කළ හැකි කාරනයක් නොවෙයි. මෙම තත්ත්වය 1950 දශකයේ සිට ක්‍රමයෙන් පැමිණ දරුණු යුද්ධයක් දක්වා වර්ධනය වුණා.

මෙය ශ්‍රීලංකාවට පමණක් ආවේණික කාරණයක්ද? නැත්නම් ලොව වෙනත් රටවලින් මෙවන් ත්ත්වයන් සඳහා උදාහරණ සපයා ගත හැකි ද?

ලොව විවිධ රටවල භාෂා භාවිතයේ ස්වරූපය අනුව මහා පරිමාණයේ ගැටුම් ඇති වුණා. ඒ සඳහා දිය හැකි හොදම නිදර්ශනය වන්නේ ජර්මනියයි. හිට්ලර් ජර්මන් “ලේ “පමණක් ලොව ස්ථාවර කිරීම සඳහා භාෂාව යොදා ගනිමින් ප්‍රබල විපර්යාසයක් කිරීමට උත්සාහ කළා. එයින් සිදුවූ විනාශය දෙවන ලෝක යුද්ධය හරහා අපි දැක්කා. භාෂා ප්‍රචණ්ඩත්වය වෙනත් කිසිදු ප්‍රචණ්ඩත්වයකට දෙවනි නොවන්නක්. මිනිසුන් වේගවත්ව ප්‍රකෝප කළ හැකි බිහිසුණුම අවිය වන්නේ භාෂාව හා ආගමයි.

මිනිසා සහ සත්ත්වයා අතර පවතින ප්‍රධාන වෙනස් කම්වලින් එකක් වන්නේ මිනිසා භාෂාවක් භාවිත කිරීමයි. එත් ඇතැම් අවස්ථාවල අවර ගණයේ කාර්යයන් සඳහා භාෂාව භාවිත කිරීම සුලබ කරුණක් නේද?

අප භාෂාව භාවිත කළ යුත්තේ මානවවාදී උසස් ගුණ මතු කර දැක්වීමටයි. වෙනත් ආකාරයකින් කියනවා නම් භාෂාව උපයෝගි කර ගත යුත්තේ මිනිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙකිය යන කාරණය පසක් කිරීමටයි. සාධාරණය, යුක්තිය, සමානාත්මතාව වැනි උසස් භාෂා ව්‍යවහාරයන් එහි සැබෑ අර්ථයෙන්ම වටහා ගැනීමෙන් මිනිසා තිරිසන් භාවයෙන් මිදෙනු ඇති බවයි පිළිගත් මතය .කාශ්මීරය, මියන්මාරය, ඊශ්‍රායලය, පලස්තීනය යන මේ සෑම රටකම භාෂාවේ අර්බුද මතුකර පෙන්වන උදාහරණ තිබෙනවා.භාෂාව වාර්ගික විය යුතුවා මිස ජනවාර්ගික නොවිය යුතුයි. භාෂාව වාර්ගික නොවී ජනවාර්ගික වීමෙන් අත්වෙන ඉරණම බොහෝ සෙයින්ම ඛේදජනකයි. හෝමෝසේපියන් මානවයා වශයෙන් අප කල්පනා කළ යුත්තේ හෝමෝසේපියන්ගේ පැවැත්ම පිළිබඳවයි. එසේ නොවී එක් ජාතියක් සමස්තයට, සමස්ත ලෝකයටම හිමිකම් කීමට යාම ජනිත කරන්නේ මහත් විනාශයක්. එය අද අපි අත් දකිමින් සිටිනවා. අපි ඉතා ගැඹුරින් සිතා බැලිය යුත්තේ හොමෝසේපියන් නම් මානවයාගේ චරියාත්මක ගුණාංග පිළිබඳවයි. භාෂාව යොදාගත යුත්තේ ඔහුගේ ප්‍රවර්ධන උදෙසා මිස සිංහල, මුස්ලිම් හෝ දෙමළ ආදි එක් ජනවර්ගයක උන්නතිය උදෙසා නොවෙයි.