Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සංහිඳියාව ජයගත්
අශෝකපුර වැසියෝ

වාර්ගිකත්වය යනු එකිනෙකා පරයා ඉස්මතු වන්නට උපකාරී කර ගත හැක්කක් නොව සංහිඳියාව පතුරුවා ලීමට සුදුසු හොඳම අවියයි. අශෝකපුර වෙසෙන සිංහළ, දෙමළ ජනයා එයට හොඳම උදාහරණ සපයන්නෝ වෙති.

26.08.2019  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
අශෝකපුර වැසියෝ

ජාතික සමගිය ඇතිවෙන්නනම් මිනිස්සු මිශ්‍ර සමාජයක ජීවත්වෙන්න ඕන.අපි අවුරුදු හතළිහක් විතර අ‍ශෝකපුර ජීවත්වෙනවා කිසිම ගැටුමක් නැතිව. ඒ අපි මිශ්‍රවෙලා ඉන්න නිසා .යි තවමත් මැදිවියේ පසුවන අයි.ඒ.අජිත් නිශාන්ත කියයි. මිහින්තලය අශෝකපුර ගම්මානයේ ජීවත්වන ඔහු සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. අසූව දශකයේ ත්‍රිකුණාමලයේ ජීවත්වූ ඔහු ඇතුළු පවුලේ සියලු දෙනාට ත්‍රිකුණාමලයෙන් පිටමංවීමට සිදුවූයේ වර්ගවාදී කලබල හේතුවෙනි. එතැන් පටන් මිහින්තලය, අශෝකපුර රජයේ තේක්ක රක්ෂිතයේ තාවකාලිකව ලැගුම් ගැනීමට සිදු වූ ඔවුන්ට ගම්උදා වැඩසටහන යටතේ නිවාස හිමිකම් ලැබීමෙන් සිය ජීවිතයට සාර්ථක අඩිතාලමක් දමා ගන්නට හැකියාව ලැබිණි.

අශෝකාරාම විහාරාධිපති කන්තලේ ආනන්ද හිමි

මගේ තරුණ කාලෙ මෙහාට ආ‍වෙ. අපි වගේම තවත් පවුල් උතුරු නැගෙනහිර ඉඳලා මෙහෙට ආවා.වැඩිපුර හිටියේ සිංහල බෞද්ධ අය. ඒ වගේම ද්‍රවිඩ, සිංහලකතා කරන කතෝලික අයත් මේ ගමේ පදිංචි වුණා. අද වෙනකොට මේ ගමේ වැඩි දෙනෙකුට දෙමළ – සිංහල භාෂා දෙකම කතාකරන්න ඒ නිසා පුළුවන්. මේ වෙනකොට පවුල් හාරසීයකට කිට්ටුවෙන්න පිරිසක් මේ ගමේ ජීවත්වෙනවා. කතෝලික අයත් පවුල් සීයකට ආසන්න පිරිසක් ඉන්නවා. අපි හැමෝම සාමයෙන් සතුටින් ජීවත්වෙනවා‘ යි අජිත් නිශාන්ත කියයි.

‘අපිට ජාති ආගම් භේද නැහැ. අපි එන කාලේ ගම පටන් ගකන්න තැන බෝපැලයක් තිබුණා. එතැන තහඩු ගහල පන්සලක් හදල බෞද්ධ අපි වැඳුම් පිදුම් කළා. කතෝලික අයටත් ඒ අයගේ ආගම අදහන්න තැනක් තිබුණෙ නැහැ. ඒ නිසා අපි එකතුවෙලා පන්සල් වත්තෙම මීටර් පනහක විතර දුරින් සුරුවමක් තියල පොඩ් මඩුවක් ගහල පොඩියට පල්ලියක් පටන් ගත්ත. අද වෙනකොට පල්ලිය වගේම පන්සලත් හොඳින් දියුණු වෙලා තියෙන්නේ.  පන්සලට දානේ ගේන්නේ අපි විතරක් නෙවෙයි කතෝලික අයත් දානේ ගේනවා .යි අජිත් තම ගමේ සැබෑ සංහිඳියාව පිළිබඳ උදාහරණ ගෙනහැර දක්වයි.

පල්ලියේ අවුරුද්දකට සැරයක් ලොකු පූජාවක් තියෙනවා. ඇත්තටම ඒක ලොකු උත්සවයක්. ඒ පූජාවට අවශ්‍ය සියලු කළමනා ඇතුළු සංවිධාන කටයුතු සිද්ධවෙන්නේ බෞද්ධයන් අතින්. උත්සවය දවස්වලට මුළු ගමම එකතුවෙනවා. සෑම කටයුත්තක්ම බෙදා හදා ගන්නවා. පහුගිය අප්‍රේල් විසි එක සිදුවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක මුළු අශෝකපුරයම අඬා වැලපුණා.මෙහේ ඉන්න කතෝලික අයගේ නැදෑයෝ ඉන්නවා මීගමුව පළාතේ. අපි මුලින්ම කළේ මුළු ගමම සුදුකොඩිවලින් සැරසීමයි. ගමේ පන්සලේ බෝධිපූජා පැවැත්වුවා, ඒ අයගේ හිත් නිවන්න. අපේ හාමුදුරුරුවෝ වගේම පල්ලියේ පියතුමා නිතරම එකට එකතුවෙලා අපිට අනුශාසනා කළා. ‘ යි මෑත කාලයේ රටේ සංහිඳියාවට එල්ල වූ ප්‍රහාර හමුවේ සිය ළෙන්ගතුකම් රැක ගත් අයුරු ද ඔහු පහදයි.

අජිත් නිශාන්ත සහ ඇලෙක්සැන්ඩර්

බී.ජී.ඇලෙක්සැන්ඩර් පෙරේරා එකදහස් නවසිය අසූතුනේදී යාපනයේ සිට අශෝකපුරට සංක්‍රමණය වූවෙකි. වර්ගවාදී කලබල ඔහුගේ ජීවිතයට ද බලපෑම හේතුවෙන් දිවි බේරාගැනීමේ සටනේ අවසන් ස්ථානය වූයේ අශෝකපුරයි.

“ මගේ මවගෙත්, පියාගෙත් ගම මීගමුවේ. තාත්තා රස්සාව කළේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ. අසූ තුනේ කලබලයේදී හමුදාව අපිව අනුරාධපුරයට එක්කගෙන ආවා. ඇවිත් රත්නමාලී විශ්‍රාම ශාලවේ මාස ගණනක් හිටිය. අපි යාපනයෙන් එනකොට එහේ දෙමළ අය අපිට යන්න එපා කීවා. අපිට හොඳට දෙමළ භාෂාව පුළුවන් නිසාකවුරුවත් හිතන්නනේ නැහැ අපි සිංහල කියල. මෙහෙම ඉන්නකොට අශෝකපුර තේක්ක කැලේ කපල ගෙවල් හදනව කියල ආරංචි වුණා. අපිට එතැනදි අපිට වැඩි ප්‍රමුඛත්වයක් දුන්න. නිවාස ආධාරත් ලැබිල අපි පොඩියට ගෙවල් හදාගත්ත.මේ පරිසරය අපිට නුහුරු වුණේ නැහැ. මෙහේ පදිංචිවෙලා ඉන්න ගොඩක් අයට දෙමළ අයත් එක්ක ඥාති සම්බන්ධකම් තියෙනවා.පවුලේ කවුරුහරි කෙනෙක් සිංහල හෝ දෙමළ පවුලක් එක්ක සම්බන්ධයි. අනෙක හැමෝටම භාෂා දෙකම පුළුවන් ”. ජාති භේදයකින් තොර ව අශෝකපුර යේ වෙසෙන අන් අය සමඟ සහසම්බන්ධතා ඇරඹු අයුරු ඇලෙක්සැන්ඩර් පහදයි.

‘අපි ආපු මුල්ම කාලෙම අපිට පූජා තියන්න කතෝලික පල්ලියක් තිබුණෙ නැහැ.මෙහෙ පදිංචිවෙලා ඉන්න බෞද්ධ අය පන්සල් වත්තෙම කොටසක පොඩියට පල්ලියක් හදල දුන්න. අපි සුරුවමක් තියල පූජා තියන්න පුරුදු වුණා. අදවෙනකොට පල්ලිය විශාලෙට හැදුණා. ඒ ගමේ අයගේ ශ්‍රමයෙන්. එතනදී සිංහලද, දෙමළද, බෞද්ධද, කතෝලිකද කියල බැලුවේ නැහැ. අදටත් පල්ලියේ උත්සවයක් නම් උදව්වට එන්නේ බෞද්ධ අය. ඒ වගේම පන්සලේ තියෙන ඕනම පිංකමකදී මුල්තැන ගන්නේ අපේ කතෝලික අය. මේවා කවුරුවත් කියල දිල කරවන ඒවා නෙවෙයි.අපේ කැමැත්තෙන්ම ඉෂ්ඨ කරන දේවල්‘ යි ඇලෙක්සැන්ඩර් කියයි.

කතෝලික පල්ලිය

මෑතකදී කතෝලික පල්ලිවලට එල්ලවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක අපේ ගෙවල්වල මිනිස්සු ගොඩක් අසරණ වුණා. දවස් ගාණක් අපේ දුක සැප හොයාබලමින් අපිට උපකාර කළේ ගමේ ඉන්න බෞද්ධ පවුල්. එතනදි ආනන්ද නායක හාමුදුරුවෝ මුල්වෙලා හැම කටයුත්තක්ම ඉටු කළා‘

පාස්කු ප්‍රහාරයේ යක්ෂයාට අශෝකපුර දොරගුලු වැසූ හැටි ඔහු කියයි.

සාමකාමීව දිවිගෙවන අශෝකපුර ජනයා ගැන අශෝකපුර අශෝකාරාම විහාරාධිපති කන්තලේ ආනන්ද හිමියන් දරන්නේ ද මනා සුබවාදී ආකල්පයකි. උන්වහන්සේ ප්‍රකාශ කළේ අශෝකපුර ගම්මානය සංහිදියාවේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක් බවයි.

අශෝකපුර අශෝකාරාමය

“ මේ ගමේ පදිංචිවෙලා ඉන්න සිංහල, දෙමළ ජාතිකයින් ආගමට දහමට ළැදි, එකිනෙකාට උපකාර කරමින් ජීවත් වෙන පිරිසක්. ඉරිද දහම් පාසලට කතෝලික ළමයිනුත් එනවා ඇවිත් පාඩම් අහගෙන ඉන්නවා. ඒ පාසැලේදී බෞද්ධාගම විෂයක් විදිහට හදාරන හින්දයි.මේ කටයුතු සිද්ධවෙන්නෙ බලෙන් නෙවෙයි. එයාලගේම කැමැත්තෙන්.මේ ගම නඟා සිටුවන්න පන්සලත් පල්ලියත් එකතුවෙලා ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය ක්‍රියාත්මක කළා. එක දවසකට අධ්‍යාපනික වැඩසටහන් තවත් දවසක ශ්‍රමදාන.මේ වගේ විවිධ වැඩසටහන් ආගම් ජාති භේදයෙන් තොරව අපි සිදු කළා. කතෝලික පල්ලියේ එරික් වගේම සරත් පියතුමන්ලා  ඉතාම උත්සාහයෙන් මේ ගමේ මිනිස්සු අතර සහජීවනය සංහිදියාව ඇති කරන්න විශාල මෙහෙවරක් සිදුකළා. එදා මේ හැම දෙනාම හොඳ පිරිසිදු බීජයක් අශෝකපුර ගම්මානයේ රෝපණය කළා. අද ඒකේ ප්‍රතිපලයක් විදිහට මේ පළාතෙම ඉන්න හොදම කාර්මිකයෝ පෙදරේරුවෝ ඉන්නෙ මේ ගමේ. අද ගම් දියුණුයි. මිනිස්සු ආර්ථික වශයෙන් යම් තරමකට ශක්තිමත්. ඊටත් වැඩිය වටින්නේ මේ මිනිස්සු ළඟ තියෙන මනුස්සකම ඉතා ඉහළයි. අප්‍රෙල් මාසයේ සිද්ධවුණු ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ගමේ ඉන්න හැම කතෝලිකයෙකුගේම සෑම අවශ්‍යතාවක්ම සොයාබලා පුදුම විදිහට උපකාර ක ගමේ ම අන්‍ය ජාතික, අන්‍ය ආගමික පිරිස්. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අයට සෙත්පතල බෝධි පූජා තිබ්බෙ ජාති ආගම් භේදයකින් තොරවයි. මං එදා තමයි දැක්කේ සංහිඳියාව, සහජීවනය කියන්නෙ සැබෑ මනුස්සකම කියල” යී උන්වහන්සේ පවසති.