Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජනපති දෙස බලා සිටින
මවුවරු දෙදෙනෙක්

මවකගේ වේදනාවට මෙන්ම යුක්තිය පිළිබඳ අපේක්ෂාවටද ජාති බේදයක් නැත. අවි බලයේ කුරිරුබවටද ජාති බේදයක් නැත. සිංහල හා දෙමළ ජාතික මව්වරුන් දෙදෙනකු ගැන මේ කතාව, එම සත්‍යයය මනාව පිළිබිඹු කරයි

28.02.2017  |  
අම්පාර දිස්ත්‍රික්කය

මේ අම්මාවරුන් දෙදෙනකු ගැන කතාවකි. එක් මවක්, යාපා පටුනේ මුලතිව්-පිලව්කුදිරිප්පු ග්‍රාමයේ ජීවත් වූ ජෙගන් රීටාය. ඇය දෙමළ-කිතුනුය. අනෙක් මව නැගෙනහිර පානම්පත්තුවේ රාස්සවෙල ජයවීර බදුගේ පත්මාවතීය. ඇය සිංහල-බොදුනුය. අතුරු තොරතුරු වෙනස් වුවද ඔවුන් දෙදෙනාටම පොදු කතාවක් තිබේ. පොදු දුග්ගැනවිල්ලක්ද පොදු අධිෂ්ඨානයක්ද තිබේ. ඔවුන් දෙදෙනාම එක හඬින් ඉල්ලා සිටින්නේ, රාජ්‍ය බලය විසින් බලහත්කාරයෙන් උදුරාගත් සිය භූමියේ අයිතියයි.

ඒ හැරුණු විට ඔවුන්ගේ කතාවල තවත් පොදු සාධක ඇත. ඔවුන් දෙදෙනාම යුද්ධය නිසා අනේක විධ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ පෑවෝය. කෙතරම් බිහිසුණුද යත් තමන් සතු අගනාම සම්පත වූ දරුවන් යුද්ධය විසින් බිලිගනු බලා සිටින්නටද ඔවුන්ට සිදු විය. ඔවුන්ට සිදු වූ හානි, කිසිදා ප‍්‍රතිපූරණය කළ නොහැකිය.

පානම, පත්මාවතී අම්මා

පානම් පත්තුවේ, රාගම්වෙල ජයවීරබදුගේ පත්මාවතී අම්මාගේ වසය අවුරුදු 56 කි.  ඕ පුතුන් සිව්දෙනෙකුම වැදුවාය. හැදුවාය. මව්පිය උරුමයෙන් ලද අක්කර ගණනක් අස්වැද්දුවේ සිය සෙනෙහෙබර සැමියා පී. සංකර්මූර්ති සමඟ උරෙන් උර ගැටී මහා පොළොව සමඟ ඔට්ටු වෙමිනි. විවිධ වයස් කාණ්ඩවල සිටි පුතුන්ද වරෙක සිය සැමියා සමගින් එක් වී බිම් අස්වද්දන්නට සහය වූහ. වැව් දියෙන් අහස් දියෙන් පොහොණි වුණු පොළොවෙන් සරු අස්වනු ලැබ යෙහෙන් ජීවත් වූහ.

එහෙත් ඒ- දේශපාලන බලහත්කාරය විසින් ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරුකරු කර දමන තුරු පමණකි. ඒ බිහිසුණු දවස ඇය මෙසේ සිහි කරයි.

”හරියටම 2010 ජූලි මාසේ 17 වෙනිදා ? මැදියමේ නාදුනන කණ්ඩායමක් පැනලා අපේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා. ඒ අස්සේ හමුදාවත් හිටියා. අපේ දැස් ඉදිරිපිටම ගහ කොළ, වගාවල් හැම දේම විනාස කළා. මිනිස්සුන්ට ගැහුවා, වෙඩි තිබ්බා.  අපි මර බයේ ජීවිත රැුකගන්න හිස් ලූ ලූ අත පැනල ගියා. එදා ඉඳලා තැනින් තැන, ඥාතින්ගේ ගෙවල්වල, කරපු ගාම්භිර ගොවිතැන් රැකියාව වෙනුවට කුලී වැඩ කරලා, ගල් කඩලා බඩගින්න නිවාගන්න සිද්ධ වුණා.” යැයි ඇය කීවාය.

රාජ්‍ය බලය විසින් මෙසේ ගිනිබත් කළේ පොදුවේ ‘පානම’ යැයි හැඳින්වෙන, රාගම්වෙල, ශාස්ත්‍රවෙල, හොරේකන්ද, උල්පස්ස සහ එගොඩයාය යන ජනපද කිහිපයමය.

Paanama---Pathmawathi-Ammaa--infront-of-her-current-cadjan-shellter-...
පත්මාවතී අම්මා ද තමන්ගේ පාරම්පරික ගම්පියසට ඇතුළු වී ගේ දොර තිබූ තැන්වල පොල්අතු සෙවිලි කළ පැලක් අටවා පදිංචි වූවාය

එසේ ගම්මුන්ගෙන් පැහැරගත් රාගම්වෙල ඉඩම් අක්කර 365ක් අදටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව බලහත්කාරයෙන් තබාගෙන සිටියි. වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ වහාම පානම ඉඩම් අයිතිකරුවන් වෙත නිදහස් කරන බව කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශ වූ නමුත් අද දක්වාම එය ක්‍රියාත්මක වූයේ නැත. පැහැරගත් ඉඩම් අයිතිකරුවන්ට නිදහස් කරන ලෙස නිකුත් වූ අධිකරණ නියෝගද ක්‍රියාත්මක වූයේ නැත.

පත්මාවතීද ඇතුළු ගම්වැසියන් 2016 මාර්තු 26 වෙනිදා බලහත්කාරයෙන් තමන්ගේ පාරම්පරික ගම්පියසට ඇතුළු වී වැලි පොළොව මත පොල්අතු සෙවිල්ලක් අටවා තමන්ගේ ගේ දොර තිබූ තැන්වල පදිංචි වූහ.

බිහිසුණු ඝාතනයක්

”දැන් නම් ඉතිං කවුරු කිව්වත් යන්නේ නැහැ. බලහත්කාරයෙන් පන්නන්න ආවොත් මරාගෙන මැරෙනවා” යැයි පත්මාවතී පැවසුවේ, තාවකාලික අතු පැලේ සෙවණ යටදීය. ඉන් පසුව ඇය අපට පෙන්වූ අත්තිවාරම් දෙකක නටබුන්, ඇගේ ආවේගය යුක්ති සහගත කළාය.
ඉන් එකක්, 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනය විසින් මුළුමනින්ම විනාශ කළ ඇගේ හොඳම නිවසේ අත්තිවාරමය. අනෙක, ඊට පසුව දුක් මහන්සියෙන් ඉදි කර ගත් නිවෙස රාජ්‍ය ත‍්‍රස්තවාදය විසින් ගිනිබත් කිරීමෙන් ඉතිරි වූ නටබුන්ය.

ඇය මුහුණ පෑ කුරිරු සාහසිකත්වය එතෙකින්ද නිම වූයේ නැත.

”මගේ එක පුතෙක් දැනගෙන හිටියා කවුද මේ ගම්වලට ගිනි තියලා අපිව පාරට බස්සවන්න වැඬේ කළේ කියලා. පසුකාලීනව නැවත අපි අපේ ගම්බිම් ආපහු අපට  ඕනේ කියලා වැඩකරන්න පටන් ගනිද්දි , අපි නඩු කියන්න පටන් ගනිද්දි උන් අපේ පුතාව මරලා දැම්මා, උන්ට විරුද්ධව සාක්‍ෂි දෙයි කියලා.”

2015 අගෝස්තු 26 රාත්‍රියේ නිවසේදී බත් කමින් සිටියදී දේශපාලකයකු විසින් එවන ලද පණිවුඩයක් මත පිට වී ගිය ඇගේ පුතුගේ දරුණු තුවාල සහිත මළ සිරුර මහ මග තිබියදී සොයාගැනිණ. මේ වන තුරුත් ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නැත.

ජෙගන් රීටා, තවමත් 35 හැවිරිදි තරුණ මවකි
ජෙගන් රීටා, තවමත් 35 හැවිරිදි තරුණ මවකි
මුලතිව්, රීටා අම්මා

යාපා පටුනේ මුලතිව්-පිලව්කුදිරිප්පු ග්‍රාමයේ ජීවත් වූ ජෙගන් රීටා, තවමත් 35 හැවිරිදි තරුණ මවකි. ඇයද පුතුන් දෙදෙනෙකු මෙලොවට තිළිණ කළාය. තවත් මිනිස් දුවක හෝ පුතෙකු මෙලොවට තිළිණ කරන්නට ඔන්න මෙන්න කියා සිටියදී ඔවුන් අවතැන් වෙමින්,  අවසානයේ ළඟා වී සිටි වට්ටුවාහල් අවතැන් කඳවුරේදී අවසන් සටනේ කුරිරු ප‍්‍රතිඵලවලට මුහුණ දෙන්නට ඇයට සිදු විය. බර අවි ප්‍රහාරවල ගොදුරු වී තුවාල ලැබූ ඇයට කුසෙහි සිටි දරුවා අහිමි විය.

”මට මතක ඒ ශබ්දයත් අපි ඔක්කොම කෑ ගසමින් බිමට වැටෙනවාත් විතරයි. මට සිහිය එනකොට තුවාල වෙච්ච, විලාප තියන මිනිස්සු ගොඩාක් මැද මාත් බිම වැතිරී සිටියා. මගේ ඇෙඟ් තැනින් තැන තුවාල සහ ලේ තිබුණා මතකයි. බඬේ හිටපු දරුවා හිටියෙ නැහැ.’’

ගැටුම්වලට මුහුණදී තුවාල ලත් පසුව ඔවුන්ට සිදුවුයේ කුමක් දැයි කිසිවෙකුටත් නිච්චියක් නැත. ඇය එක තැනකය. දරුවන් තවත් තැනකය. ස්වාමිපුරුෂයා තවත් ඉසව්වකය. ජෙගන් රීටාගේ පවුල පමණක් නොව මිය ගොස් නොසිටි සියලූම පුද්ගලයින් සී සී කඩය.

වෙඩි වරුසාවට ගොදුරු වී තුවාල ලත් ජෙගන් රීටා කුස හොත් දරුවා සමඟම මියගොස් ඇතැයි අනුමාන කළ ඇගේ සැමියා, අරියරාසා ජෙගන් පසුකාලීනව වෙනත් විවාහයක් කරගෙන ඇතැයි ඇයට දැනගන්නට ලැබුණේ බොහෝ කලකට පසුවය.

විසිරුණු කැදැල්ල

‘‘මෙහෙන් අපි ගියේ සුහන්ධිරන්පුරම්වලට. එතනින් ඉරණපාෙලෙයි, මාතලන්, පොක්කනෛයිවලට ගියා. ඊළඟට මුල්ලිවෛක්කාල් ගිහින් වට්ටුවාහල් ජීවත් වුණා. අවසානෙදි වට්ටුවාහල්  පාලමෙන් එගොඩ වෙලා රජයේ හමුදාවන්ට යටත් වුණා. මාස තුනක් විතර රෝහල් ප්‍රතිකාර ලබමින් හිටිය මාව ඉස්පිරිතාලෙන් රාමනාදන්පුර මැණික් ෆාම් අනාථ කඳවුරට ගෙනාවා.”

ඇගේ අම්මා අප්පාද සැමියාද දරුවන්ද සී සී කඩගොස් ඇය සමීපයේ කිසිම පවුලේ ඥාතියෙක් සිටිය නොමැති බැවින් යන්තම් නැගිටගන්නට පුළුවන් වූ පසුව ඇය තම කුටුම්භය සොයන්නට උත්සුක වී ඇත. පුවත්පතක පළ කර තිබු ආනාථ ආධාර ලබාදෙන වෙනත් කඳවුරක දරුවන්ගේ ඡායාරූපයක ඉව ඔස්සේ ගොස් ඇය ඉතිරි වූ පිරිමි දරු දෙදෙනා සොයාගෙන තිබුණි. කාලයාගේ ඇවෑමෙන් පසුව පවුලේ සෙසු ඥාතීන් සොයාගෙන ඇති මුත් සිය සැමියා, ඇය සටන්වලදි ලත් තුවාල සමගින් මළේ යැයි සිතා වෙනත් කාන්තාවක හා යළිත් වරක් දීග ගොස් ඇත. ජෙගන් රීටා දැන්, වයස 17ක් සහ 10ක් වූ පිරිමි දරු දෙදෙනා ලොකුමහත් කර ගැනීමට දිවි සැරිය තනියෙන් ආරම්භ කර ඇත.

ඇය සතු එකම දේපළ වූ සිය නිවස පිහිටි ඉඩම, තවමත් ඇත්තේ ආරක්ෂක හමුදා භාරයේය.
ඇය සතු එකම දේපළ වූ සිය නිවස පිහිටි ඉඩම, තවමත් ඇත්තේ ආරක්ෂක හමුදා භාරයේය.

ඇය සතු එකම දේපළ වූ සිය නිවස පිහිටි ඉඩම, තවමත් ඇත්තේ ආරක්ෂක හමුදා භාරයේය. යුද්ධය නිසා මේ අහිංසක ගැහැනියට සිදු වූ කිසිදු පීඩාවක් වෙනුවෙන් අංශු මාත්‍රයක හෝ සහනයක් ලබා නොදුන් රාජ්‍යය, ඇය සතු එකම දේපළ, කිසිදු වන්දිගෙවීමකින් තොරව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටී.

”මගේ ඉඩම අක්කර කාලක් තියෙනවා. අපි රට කජු, ලූනු වවලා තිබුණා. අපිට ටැක්ටරයක් තිබුණා.  සත්තුත් ඇති කළා. අපේ ගමේ සෑහෙන්න වගාකරපු ඉඩම් තිබුණා. පොල් ගස්, තැඹිලි ගස් ගොඩාක් තිබුණා. ගමේ පවුල් 84ක් ජීවත් වුණා. හොඳට හදපු ගෙවල් තිබුණා. මගේ ගේ හොඳට සිමෙන්ති අත්තිවාරම දාලා මැටි ගලෙන් බැඳලා තිබුණේ.. අපිට සත පහක්වත් රජයෙන් එපා. අපි ඉල්ලන්නේ අපේ ඉඩම අපිට දෙන්න’’ඇය පැවසුවේ වේදනාවෙනි.

දුක නිවන්නේ කවදාද?

පානම්පත්තුවේ පත්මාවතී අම්මා, 2015 පෙබරවාරි 11 වෙනිදා මෛත්‍රී ආණ්ඩුව විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් ලබා දුන් අනුමැතියට අනුව සිය භුමිය ලබාදෙන තෙක් අත් නොහළ බලාපොරොත්තුවෙන් තවමත් සිටින අතර, මුලතිව් පිලව්කුදිරිප්පු ග‍්‍රාමයේ ජෙගන් රීටාද මෛත‍්‍රී ජනාධිපතිතුමා විසින් කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කළ ”උතුරේ ජනතාවගේ ඉඩම් ඉතා ඉක්මනින් යළි ඔවුන්ටම ලබා දෙනවා” යන පොරොන්දුව ඉටු වන තුරු බලා සිටී.

මේ මව්වරුන් දෙදෙනා මෙන්ම, තවත් බොහෝ මව්වරු හා පියවරුද යුක්තිය ඉටුවන තුරු බලා සිටිති. ඒ ගැන අලූතින් තීන්දු ගැනීමට දෙයක් නැත. ගැටලූව වන්නේ, ගත් තීන්දු ක‍්‍රියාත්මක නොවීමයි. රටේ ඉහළම බළධාරියා වූ විධායක ජනාධිපතිවරයා විසින්ද අනුමත කළ තීරණයක් ක්‍රියාත්මක නොවීම අප තේරුම් ගත යුත්තේ කෙසේද?

ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා