Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වෙරළ, කළපුව හා මුහුදු සම්පත
අපේ ධීවරයාට අද අයිති නෑ

යුද්ධයෙන් පීඩාවට පත්වූවන් අතර උතුරේ මෙන්ම දකුණේ ධීවර ප්‍රජාව ද බහුතරයක් වෙයි. අනතුරුව සිදු කළ නැවත පදිංචි කිරිම තුළ ධීවරයාගේ පසුබිම කෙබඳුදැයි යන්න විමසා බැලෙන්නේ ලෝක ධිවර සම්මේලනයේ විශේෂ ආරාධිත නියෝජිත සහ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර සමඟ කෙරෙන කතාබහකිනි.

06.03.2017  |  
ගම්පහ දිස්ත්‍රික්කය

නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය උතුරු නැගෙනහිර ධීවරයන්ට යුක්තිය ඉටු කරන්නට දක්වා තිබෙන සමත්කම කවරාකාර ද?

ජනතාව අතර සංහිඳියාව ගොඩනැඟීමේ කටයුත්තේදී නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් හා තීරණාත්මක කාර්යයක් ඉටුකරන බව රහසක් නොවෙයි. යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී විසඳී නැත්තේ සමස්ත යුද්ධයෙන් පීඩාවට පත්වූ මේ ධීවරයන්ගේ ඉඩමි ප්‍රශ්නයයි. සින්නක්කර ඉඩම් හිමි අයට පමණක් නොවෙයි, ඉඩම් අහිමිව අවතැන් කඳවුරුවල ජීවත්වන අයටත් විශ්‍රිත පවුල්වල දරුවන්ට ඉඩම් ලබාදීමත් අත්‍යාවශ්‍ය කාරණයක්.

නව රජය බලයට පත්වෙලා මසක කාලයක දී කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව රජයේ විවිධ කටයුතු සදහා යොදාගනිමින් තිබූ යම් යම් ඉඩම් නිදහස් කිරීමට ගත් පියවර අතිශය වැදගත් වෙනවා. ඉන් ජනතාවගේ ඉඩම් යම් ප්‍රමාණයක් නිදහස් කිරීම සිදු වුණාසේම  ජනතාවට තමන්ගේම ඉඩම්වලට යාමට රජය අවසරත් ලබා දුන්නා. ප්‍රධාන ස්ථාන කීපයකම ඉඩම් ජනතාවට ලබාදීමට පියවර ගනිමින් රජයේ ස්ථාවරය ජනතාවාදී බව පෙන්නුම් කිරීමත් අතිශයින් වැදගත් කරුණක්. මේ නිසා අවතැන්ව සිටි ජනතාවට තමන්ගේ අනාගතය පිළිබඳව යම් තරමක බලාපොරොත්තුවක් දල්වා ගැනීමට හැකිවුණා.

නිදහස් කළ ඉඩම් ප්‍රමාණය පවා  ජනතාව අතට පත්කිරීමට රජයට හැකියාවක් හෝ විධිමත් වැඩ පිළිවෙළක් පවතීද යන්න පසුගිය සමයේ පානම මෙන් ම කෙප්පාපිලවු  ප්‍රදේශවලින් ඉස්මතුව තත්ත්වයන්ගෙන් ප්‍රශ්න කෙරෙනවා?

නිදහස් කළ ඉඩම් ජනතාව අතට යළි පත් කිරීමක් මෙතෙක් සිදුනොවූ හා යළි පදිංචියක් සිදුනොකළ භූමියකට ආසන්නම උදාහරණයක් ලෙසට පානම ධීවර ජනතාවගේ ඉඩම් පෙන්වාදිය හැකියි. ඔවුන්ට අදත් තමන්ගේම භූමියේ බලහත්කාරයෙන් පදිංචිවී සිටීමට සිදුව ඇති අතර ගුවන් හමුදාවේ පීඩාවන්ට යටත්වීමටත් සිදුවී තිඛෙනවා. දීර්ඝ අරගලයකින් පසුව පවා මෙම ඉඩම්වල අයිතිය දිනාගැනීමට නීතියේ පිළිසරණ පැතීමට පානම ජනතාවට සිදුවී තිඛෙනවා. උතුරේ මයිලෙඩ්ඩි ධීවර ගම්මානය හා ධීවර වරාය තවමත් නිදහස් කර නැහැ. එදා 1990 දී අවතැන්වූ එහි ධීවර ජනයා අදත් අවතැන් කඳවුරු 40 කට ආසන්න සංඛ්‍යාවක ජීවත්වෙනවා. පලාලි සිට මයිලෙඩ්ඩි දක්වා කිලෝ මීටර් 15 ක පමණ වෙරළ තීරය තවමත් හමුදාවගේ පාලනය යටතේ පවතිනවා. මේවා නිදහස් කරගෙන ධීවර ජනතාව අතට යළි පත්කිරීම පිළිබඳ රජයේ ස්ථාවරය තවම පැහැදිලි නැහැ.

කෙප්පාපිලවු, පිලව්කුඩිඉරිප්පු කාන්තාවන් කළ අඛණ්ඩ අරගලයකින් පසුව යම් ඉඩම් ප්‍රමාණයක් ගුවන් හමුදාවෙන් නිදහස් කරගැනීමට හැකිවුණත් මන්නාරම දිස්ත්‍රික්කයේ පල්ලිමුනේ, මුල්ලිකුලම් මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අශ්රොෆ් නගර් ප්‍රදේශවල ඉඩම් ද මෙතෙක් නිදහස් කිරීමක් සිදු කර නැහැ.

/Herman-Kumara-ii

යළි පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී ධීවර ජනතාවට ලැබෙන ප්‍රම්‍රඛතාව ඉතාමත් දුර්වල බව නොකියාම බැහැ. ධීවර බිම් නිදහස් නොකර හමුදා භාරයේ තබාගැනීමේ සිට ධීවරයන්ට අවශ්‍ය නිවාස, ධීවර ආම්පන්න ලබාදීම ධීවර තොටුපොළ යළි ගොඩනැගීම, මත්ස්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළඳපොළ පහසුකම් සකසා දීම, ඇතුළුව අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුව තිඛෙනවා.


ධිවර ගම්මානවලට අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැපයීම, සෞඛ්‍යය හා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පහසුකම් සැපයීම තවත් සැපිරිය යුතු වුවමනායි. ධීවර කාන්තාවන්ට තම ස්වාමි පුරුෂයන් අහිමිවීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ගෙවීමට කිසිඳු පියවරක් ගෙන නැහැ.

මේ ප්‍රශ්න තවමත් විසඳී නැත්තේ කුමන හේතු මත ද ? ආණ්ඩුව ඊට දක්වන ප්‍රතිචාරය කුමක් ද?

මේ ප්‍රශ්න විසඳීමට රජයට නිසි ස්ථාවරයක් හෝ දැක්මක් නොමැතිකම තමයි ප්‍රධාන වෙන්නේ. සංහිදියාව පිළිබඳ යාන්ත්‍රණයේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට රජය දක්වන මන්දෝත්සාහීභාවය මෙයට ඇති ආසන්නම උදාහරණයයි. ඒ සඳහා රජයේ ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකට පත්වීමට අපිට කිසිසේත්ම නොහැකියි. මේ ප්‍රශ්න විසදීම රජයට තනිව කළ හැකි කාර්යයක් ලෙසට අපි දකින්නේත් නැහැ. මේ සඳහා සමස්ත සමාජ සංස්ථාවන්හි ම දායකත්වය වුවමනායි.

බලයම අරමුණ කරගනිමින් රටේ බහුතර ජනතාව අතර බේද වපුරන ඇතැම් දේශපාලකයන්ගේ අති දුෂ්ඨ දේශපාලන අරමුණුවලට රටේ ජනතාව පහසුවෙන් මෙහෙයවීමට ඇති හැකියාව හමුවේ පීඩාවට පත් අසාධාරණයන්ට ලක්වූ ජනයාගේ සාධාරණ ඉල්ලීම්වලට කන්දී මට රජය මැලි වෙලා. ඇතැම් විට ඒවා නෑසූ කන්ව නිහඬව සිටීම හෝ කල්මැරීම රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය බව පෙනෙනවා. සිවිල් සමාජයත් මෙම ප්‍රශ්ණ පිළිිබඳව අවධානය යොමු කිරීම අතහරිමින් සිටිනවා. ජනතාව අතර ඇති ඛෙදීම් නිසා එක්ව අරගලකර දිනා ගත හැකි අයිතීන් දිනා ගැනීමට පියවර නොගැනීම මෙයට බලපාන තවත් කරුණක්.

උතුරේ මෙන්ම දකුණේ ධීවර ප්‍රජාව ද මුහුණ දෙන පොදු ගැටලු මොනවාද? මේ දෙපිරිසට සුවිශේෂ වූ යම් ගැටලු ඔබ හඳුනා ගෙන තිබෙනවා ද?

දකුණේ ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි ධීවරයාගේ සම්පත වන වෙරළ සහ කළපුව ධීවරයාගෙන් ගිලිහී යමින් ධීවර හෝ ධීවර නොවන ව්‍යාපාරිකයන්ගේ අතට පත්වීමේ ක්‍රියාවලියක් ඇරඹි තිබීම. වෙරළ හා ආශ්‍රිත සම්පත් ධීවර ව්‍යාපාරිකයන් සතුකෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් ධීවරයා වෙරළෙන් හා තමන් ජීවත්වූ ධීවර බිම්වලින් එළවා දැමීමේ ක්‍රියාවලිය, ජාතික ධීවර ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ගෙන යන්නට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවයි අප දකින්නේ. ධීවර සම්පත් විනාශ කරමින් සිදුකරන ධීවර කර්මාන්තයක් සඳහා අවසර ලබාදෙමින් ධීවර ජනයා අතර ගැටුම්කාරිත්වය වර්ධනය කිරීම ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු ධීවර බළධාරීන්ගේ වෑයම වී තිඛෙනවා. සම්පත්වල තිරසර භාවිතය සඳහා නීතිය බලාත්මක නොකර, විනාශයට ඉඩදීමෙන් දිගුකාලීන සම්පත් හීනවීමකට එයින් දිරිදී තිඛෙනවා.

ධීවර කර්මාන්තය නොසලකා හරිමින් ධීවර බිම් හා තරග කරන කර්මාන්තවලට දිරිදීම විශාල වශයෙන් අද සිදුවෙනවා. සංචාරක කර්මාන්තය ධීවර කර්මාන්තය සමඟ එකම බිමට තරගකරන තත්ත්වයකට ඇද දමා තිබෙනවා. බලධාරීන්ගේ අවධානය සංචාරක කර්මාන්තයෙන් විදේශීය විනිමය ඉපයීම බැවින් ධීවරයා හා ධීවර කර්මාන්තයට ලබාදිය යුතු අවධානය හා සහය නොලැබීමෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසකට ධීවර බිමි අහිමි වී යමින් පවතිනවා. බහුදින ධීවර කර්මාන්තයේ නියුතු ධීවර කාර්මිකයන්ගේ ආරක්ෂාව හා රැකියාවේ සුරක්ෂිතතාව සම්බන්ධව ද පවතින ගැටලු විශාලයි. ආදායම් දිනෙන් දින හීනවී යාමෙන් තවදුරටත් ලාබදායි රැකියාවක් ලෙසට ධීවර කර්මාන්තයේ නිරතවීමට නොහැකිවී තිඛෙනවා. ධීවර යාත්‍රා නීතිවිරෝධී ක්‍රියාවල යෙදවීම මෙම තත්ත්වය හමුවේ වර්ධනය වෙමින් පවතින බව පෙනෙනවා.

/Herman-Kumara-iii

උතුරේත් දකුණේත් ධීවරයා මුහුණ දෙන, තවමත් නොවිසඳුණු  ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය කවරාතාර වූවක් ද?

ධීවර කර්මාන්තයට බලපාන ගැටලු විසදාගැනීමට මුලින් ම රටේ ධීවර ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි රාජ්‍ය ප්‍රතිපත්තියක් සකසා ක්‍රියාත්මක කළ යුතුයි. මේ සඳහා ශ්‍රීලංකා රජයේ ධීවර බලධාරීන්ගේ මෙන්ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ද දායකත්වයෙන් ගොඩනැගුණු තිරසර සුළු පන්න ධීවර කර්මාන්තයේ සුරක්ෂිතතාවය සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සැකසූ මාර්ගෝපදේශනය, පදනම ලෙසට ගතහැකියි. මේ මාර්ගෝපදේශනයෙන් සම්පත් තිරසර භාවිතය, සුළු පන්න ධීවර කර්මාන්තයේ සුරක්ෂිතතාව, ධීවර කර්මාන්තයේ කාන්තා දායකත්වය, ධීවර සම්පත් පසු අස්වනු ක්‍රියාවලිය, ධීවර වෙළඳපොළ, දේශගුණික විපර්යාස හා කර්මාන්තයට ඇති අවදානම අවම කිරීම ආදී පුළුල් විෂය ක්ෂේත්‍රයක් ආවරණය කොට තිබෙනවා. විශේෂයෙන්ම ධීවර සමිපත් හි තිරසර භාවිතය සඳහා අවශ්‍ය මුලික පදනමක් සපයමින් කර්මාන්තය සුරක්ෂිත කරගනිමින් දිළිදුකම පිටු දැකීම සදහාත් ආහාර සුරක්ෂිතතාව සදහාත් අවශ්‍ය මඟපෙන්වීමක් ඉන් සිදුකර තිඛෙනවා.

ඡායා: මෙලනි මානෙල් පෙරේරා