Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

‘ජීවත්වීමේ අයිතිය’ වෙනුවෙන්
අවතැන්වූවන්ගේ අරගලය

‘ජීවත්වීමේ අයිතිය’ තවමත් ශ‍්‍රී ලංකාව තුළ මූලික අයිතියක් ලෙස පිළිගෙන නැත. එම අයිතිය දිනාගැනීම සඳහා වූ ප‍්‍රබල ඉල්ලීමක් රට පුරා විවිධ හේතු නිසා අවතැන්වීමට ලක් වූ ජනතාව කෙරෙන් ඉදිරිපත් වී තිබේ.

04.07.2017  |  
යාපනය දිස්ත්‍රික්කය
The military headquarters at Kepapilau village in Mulaitivu.

”අපේ දේපොළ උදුරගෙන අපිව මේ විදියට මහපාරට ඇදල දාල තියෙන්නෙ ඇයි? එදා නිදහසේ ජීවත් වෙච්ච අපි, අද අපේ ගමට ඇතුළු වෙන මහ පාර අයිනේ ඉඳගෙන අව්ව වැස්ස පින්න දුවිල්ල තමයි කන්නේ බොන්නේ.’’

‘‘යුද්දෙ නිසා ජීවිතයෙන් භාගයක් දුක් වින්දා. දැන් යුද්දෙ ඉවර වෙලත් අපිට සැනසීමෙන් ජීවත් වෙන්න විධියක් නැහැ, හමුදාවෙන් බලෙන් අල්ලගෙන ඉන්න අපේ ගම, ඉඩම්, ගෙවල් දොරවල් බේරගන්න දැන් සටන් කරන්න සිද්ධවෙලා!’’

‘‘අපි ආණ්ඩුවෙන් අහන්නේ ඇයි අපිට මෙහෙම විනාශයක් කරන්නේ? මේ විධියට ගියොත් අපේ දරුවන්ටත් අනාගතයක් නැති වෙනවා. අපේ ගෙවල්, අපේ රස්සාව වගේම අපේ හුස්ම තියෙන්නෙත් මේ ගම ඇතුළේ”

ඒ. සරසාදේවි, එස් අධියකලා සහ මහේෂ්වරන් ජයශීලි මඳ විරාමයකට පවා ඉඩක් නොතබමින් එසේ පැවසුවේ දෙනෙතින් ගලා ගිය කඳුළු, පිටි අත්ලෙන් පිස දමමිනි. මහේෂ්වරන් ජයශීලි ඇය මෙන්ම අවතැන් වූ දහස් ගණනක් උතුරේ පවුල්වල වේදනාව පසුගිය දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේද ප්‍රකාශ කළාය.

කේපාපිලවූ අහිමි වූ නිධානය
කේ.පී සෝමලතා | අධිනිතිඥ ලාල් විජේනායක

මුලතිව් දිස්ත‍්‍රික්කයේ කේපාපිලව් ගමෙහි පවුල් 138ක් මුල් පදිංචිකරුවන් වූ අතර වර්තමානය වන විට එය 182ක් දක්වා අනුපවුල්ද සහිතව වර්ධනය වී ඇත. මෙම පවුල් 182ම අද අවතැන් වී සිටියි. පරම්පරා ගණනාවක් තිස්සේ, සිය මුතුන් මිත්තන්ගේ සිට, ජීවිත ජීවත් කළ සිය ගම තුළ ඇති දේ අහිමි වූ නිධානයන් ලෙස තවදුරටත් ඔව්හු ස්මරණය කරති.
”අපේ ගෙවල් දොරවල්වලට අමතරව මේ ගම ඇතුළේ අපි උදේ හවා වැඳපු, යාච්ඤා කරපු පල්ලි 2කුක් කෝවිල් 03කුත් තියෙනවා, මේ දරුවෝ අකුරු කරපු ස්කෝලේ, අපි සාකච්ඡා පවත්වපු ප්‍රජා ශාලාව, පුස්තකාලේ, කෝපරේටිව් එක, අපි වගා කරගෙන ජීවත්වෙච්ච මහ පොළොව තියෙනවා. මේ ඔක්කොම උදුරාගෙන මොන හය්යකින් ද අපේ ගම ඇතුළේ හමුදා මුලස්ථානයක් අලූතෙන් හැදුවේ? අපේ ජීවිත එහෙමපිටින්ම විනාශ කරදාලා නැද්ද?’’

‘‘කෝ අපේ පුරවැසිබවට ලබාදෙන්න ඕනේ ආරක්‍ෂාව? අපි පත්කරගත්ත මේ ආණ්ඩුව දැන්වත් මේ අවතැන්වීමේ ශාපය නවත්වන්න නිත්‍යානුකුල ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අලූතින් හදන ව්‍යවස්ථාවට අවතැන්වෙච්ච මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන්න කියන වගන්තියක් ඇතුළු කරන්න ඕනෙ.” ගමේ කෝවිලේ පුජකතුමා වූ ආරුමුගම් වේලායුධපිල්ෙලෙයි අවධාරණය කළේය.

ජීවත්වීමේ අයිතිය අහිමි වූවෝ

යුද්ධය පැවති දශක තුනක වකවානුව තුළ උතුරු නැගෙනහිර පළාත්වල හමුදාවන් විසින් අත්පත්කරගනු ලැබූ ඉඩම් අක්කර 6800න් නිසි ආකාරයෙන් මුදාහැර තිබෙන්නේ අක්කර 2000ක් පමණක් බවත් යාපනයේ පමණක් අවතැන් පවුල් 8000ක් සිටින බවත් තවත් 100,000කට ආසන්න අවතැන් ජනගහනයක් ඉන්දියාවේ ජීවත් වන බවත් මේ හැම දෙනාගේම ජීවත් වීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව තහවුරු විය යුතු බවත් ප්‍රකාශ කළේ සමාජ ක්‍රියාධර, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු දකුණු සාමය සඳහා වන සංවාදයේ සම්බන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් ය.
අවතැන්වුවන් කෙරෙහි නිසි යුක්තිය ඉටු විය යුතුයැයි ජාත්‍යන්තර සම්මුතිවල මෙන්ම සංක්‍රාන්්ති යුක්තිය පිළිබඳ වාර්තාවලත් අවධාරණය කෙරෙන නමුත් එය ඉටු වී නැති බවද ජේසුදාසන් පෙන්වා දෙයි. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවතැන්වුන්ගේ ප්‍රශ්නයට නිසි පිළිතුරු ලැබෙන ලෙසට සියලූ අවතැන්වුවන්ගේ ‘ජීවත්වීමේ අයිතිය’ තහවුරු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

එස්. අධියකලා | ආරුමුගම් වේලායුධපිල්ෙලෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ නව ආරක්‍ෂක හමුදා මුලස්ථානය හේතුවෙන් කේපාපිලව් ගමේ ජනතාවද නාවික හමුදාව අල්ලාගත් මන්නාරම පල්ලිමුනෛයිහි ජනතාවද, අලූතින් සෑදු නාවික හමුදා කඳවුර හේතුවෙන් මන්නාරම මුල්ලිකුලම් ගමේ වැසියන්ද, යුධහමුදාව සහ නාවික හමුදාව අල්ලාගත් යාපනය වලිකාමම් උතුරේ ජනතාවද, නාවික හමුදාව අල්ලාගත් කිළිනොච්චි ඉරණතිව් දූපතේ පදිංචිකරුවන්ද යුධහමුදාව අල්ලාගත් අම්පාර අෂ්රොෆ් නගර් හා පොන්නම්වෙලිහි පදිංචිකරුවන්ද පහුගිය ආණ්ඩුවේ බලහත්කාරය විසින් අත්පත් කර ගත් පානම ගම් 4ක ජනතාවද අද අවතැන් වී සිය ජීවත්වීමේ අයිතිය ඉල්ලා සටන් කරති.

සංවර්ධනයේ ගොදුරු
ඒ. සරසාදේවි | ඇන්තනී ජේසුදාසන්

අවතැන් වීම් යුද්ධයට පමණක් සීමා වන්නේ නැත. ස්වභාවික විපත් මෙන්ම ස්වභාවික නොවන විපත් හේතුවෙන්ද රජයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන්ද නිරන්තරයෙන් අවතැන් වීම් සිදු වෙයි. පරිසරවේදි ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් එම ගැටලූව පිළිබඳ මෙසේ අදහස් පළ කරයි.
”අපේ රටට අවශ්‍ය කරන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා මූලික කරගන්නාවූ සංවර්ධනයක්. එහිදී පරිසර සම්පත් සංරක්‍ෂණය කිරීම මුලිකවම පිළිගත යුතුයි. අපේ රටේ මෙතෙක් සිදු වී තිබෙන අවතැන්වීමේ හේතු දිහා බලන කොට, ස්වභාවික විපත් නිසා සිදුව ඇති අවතැන්වීම් සියයට 35ක් වැනි සුළු ප‍්‍රමාණයක් තමයි අපි දකින්නේ. අනෙක් ප්‍රතිතය යුද්ධය නිසා , කුණු කඳු ගොඩගැසීම නිසා, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසා සිදු වුණු අවතැන්වීම්.”
ආචාර්ය කාරියවසම්ද පෙන්වා දෙන්නේ ‘ජීවත්වීමේ අයිතිය’ නොමැති වීමේ ගැටලූව මේ කාරණය සම්බන්ධයෙන්ද අදාළ වන බවයි.
”මේ රටේ නීතියෙන් මුලික අයිතිවාසියක් පිළිඅරගෙන තිබුණත් ජීවත්වීමේ අයිතිය කිසිම නීතියකින් පිළිඅරගෙන නැහැ. වසර ගණනාවක් තිස්සේ මේ රටේ පුරවැසියෝ තමන්ගේ ඡන්දය භාවිත කරන්නේ පාලකයින් ජීවත් කරවීමට මිසක් තමන්ගේ ජීවත්වීමේ අයිතිය දිනාගැනීමට නොවෙයි. ඒ නිසා තමන්ගේ මූලික අවශ්‍යතාවන් දිනා ගැනීමට නම්, පළමුවෙන් ජනතාව සිය ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙසට රජයට බලකර සිටිය යුතුයි. ඒ සඳහා හොඳම අවස්ථාව, මේ අලූතින් සම්පාදනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.”

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා හඳපානාගල ජලාශය නවීකරණය කිරීම හේතුවෙන් පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ සිට හඳපානාගල ධීවර පවුල් 120කට ජීවන වෘත්තියද ගොවි පවුල් 57කට රැුකියා මෙන්ම උන්හිටි තැන්ද අහිමි වී ඇත. එම අවතැන්වීමේදී එකී සියලූ පවුල් ඉතාම දුක්ඛිත තත්ත්වයකට මුහුණදී සිටින බවත්, අහිමි වුණු ධීවර රැකියා වෙනුවෙන් මාසයක් ඇතුළත වන්දි මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබුණද මේ වන විට වසරකුත් මාස දෙකක් ගෙවී ඇති මුත් කිසිදු වන්දියක් ලැබී නැති බවත්, එම ජනතාව ප්‍රකාශ කරයි.

ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න

”ව්‍යවස්ථා සංශෝධන කොමිසම ඉදිරියෙත් අපි යෝජනා ඉදිරිපත් කෙරුවා අවතැන්වෙන අයට සාධාරණය ඉටුකරන්න කියලා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් තමයි අවතැන්වුවන්ගේ ජීවත්වීමේ අයිතියත් පරිසරය ආරක්‍ෂා කර ගැනීමේ අයිතියත් තහවුරු කරන්නට පුළුවන් වෙන්නේ.” සමාජ ක්‍රියාකාරිණී, හඳපානාගල කේ.පී සෝමලතා පවසයි.
‘ජීවත්වීමේ අයිතිය’ ඇතුළුව පොදු ජනතාව විසින් ඉල්ලා සිටින අයිතිවාසිකම් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදකයින්ගේ ප්‍රතිචාරය කෙබඳුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා මහජන අදහස් විමසීම සඳහා වූ කමිටුවේ සභාපති අධිනිතිඥ ලාල් විජේනායක සඳහන් කරන්නේ ඒ පිළිබඳ සුබදායී බලාපොරොත්තු ඇති කර ගත හැකි බවයි.
”මහජන අදහස් විමසීමේ කමිටුව විධියට අපි, මහජනතාව ඉල්ලා සිටින අයීතින් පිළිබඳව ඉතාම පැහැදිළිව දිර්ඝ වශයෙන් නිර්දේශ ඉදිරපත් කර තිබෙනවා. අප ලබාදුන් නිර්දේශ වාර්තාවත්, තවත් විශේෂඥ වාර්තාත් ව්‍යවස්ථා සභාවෙන් පත් කරපු මෙහෙයුම් කාරක සභාව විසින් කළ වාර්තාවත් සියල්ල එකතු කර හදන අවසාන වාර්තාව මේ මාසේ ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනවා. එහිදීත් ඔවුන් අපව කැඳවා විමසා සිටියා අපේ නිර්දේශවලට හේතු. ඒවාත් අපි ඉතාම පැහැදිළිව පෙන්වා දුන්නා, ඇයි මිනිස්සු ඒ විධියේ යෝජනා ගෙනාවේ කියලා. මහින්ද සමරසිංහ මැතිිතුමාගේ කමිටු වාර්තාවත් ඉතා හොඳ වාර්තාවක්. 90%ක් වගේ අපේ කමිටු වාර්තාවෙ නිර්දේශ ඒ කමිටු වාර්තාවට අරගෙන තිබුණා. මේ වාර්තාව සම්මත වුණොත් ලංකාවේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දය ආසියාවේ තියෙන හොඳම මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දය වෙයි.”

මහේෂ්වරන් ජයශීලි | පරිසරවේදි ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්
දේපළ අයිතිය

අවතැන්වීම් දේපළ අයිතිය සමග බැඳී පවතින්නකි. ඒ සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් වී ඇති නිර්දේශ කෙබඳු දැයි නීතිඥ විජේනායක මෙසේ පැහැදිලි කරයි.
”දේපළ අයිතිය මුලික අයිතියක් ලෙසට අලූත් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා අපි නිර්දේශ කළා. උතුරු- නැගෙනහිර දිස්ත‍්‍රික්කවල යුද්දෙන් අවතැන් වුණු ජනතාව කණ්ඩායම් වශයෙන් කමිටුව ඉදිරියට ඇවිත් ඔවුන්ගේ ගෙවල් දොරවල් රැුකියාවන් අහිමි වී තිබීම ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම දකුණේ සංවර්ධන ව්‍යාපෘති නිසාත් ස්වභාවික ආපදා නිසාත් අවතැන්වෙලා ඉන්න ජනතාව ඇවිත් යෝජනා ඉදිරිපත් කළා. ඒවා හරිම මානුෂිකයි. සාධාරණයි. ඔවුන් ඉල්ලා සිටියේ සාධාරණ තින්දු තීරණ අරගෙන ඔවුන්ව නැවත ඔවුන්ගේ ගම්බිම් වලම පදිංචිකරවන්න කියන ඉල්ලීම. ඔවුන් කීවා ඒ සඳහා ඔවුන්ට අයිතියක් තියෙනවා කියලා. නමුත් පවතින ව්‍යවස්ථාව තුළ එහෙම ඉඩක් නැහැ.”
”පහුගිය ආණ්ඩුව විසින්් ගැසට් කිරීමකින්වත් තොරව බලහත්කාරය යොදාගෙන, හමුදාවන් යොදාගෙන තර්ජනය කිරීම් තුළින් පලවා හැරලා අද අවතැන්වෙලා ඉන්න ජනතාව, එනම් මහකැලේ සම්මන්ත‍්‍රණ ශාලාව නිසා, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොල, පාරවල් පළල් කිරීම ඒවගේ්ම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය වැනි දේ නිසා අවතැන් වෙච්ච මිනිස්සු ඉල්ලා සිටියා දේපළ අයිතිය වගේම පරිසරය ආරක්‍ෂා කිරීමත් මූලික අයිතියක් ලෙසට ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා. පරිසරය ආරක්‍ෂා කිරීම ලෝකයේ බොහෝ රටවල අද මූලික අයිතියක් විධියට පිළිඅරගෙන තියෙනවා. ජාත්‍යන්තර සම්මුතිවලත් පැහැදිලිව අඩංගු වෙලා තිබෙනවා අවතැන්වූවන්ගේ නැවත පදිංචිය, දේපළ අයිතිය ලබාදීම පිළිබඳව. ඉතිං මහජනතාවට අවශ්‍ය ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් විය යුතුයි කියලා අපිත් නැවත නැවත් ප‍්‍රකාශ කරනවා.”