Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වරාය නගරයට
බිලි වන මිනිස්සු

කොළඹ වරාය නගරය ඉදි කිරීම සදහා මීගමුව ආශ්‍රිත මුහුදෙන් මහා පරිමාණයෙන් වැලි ලබාගැනීම නිසා, ඒ අවට ගොඩබිම මුහුදු කෑමට ලක් වෙමින් තිබේ. පසුගිය රජය සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ රාජ්‍ය බලහත්කාරය මත, නිසි පාරිසරික ඇගැයීමකින් තොරවය.

01.09.2017  |  
ගම්පහ දිස්ත්‍රික්කය

‘’අපේ සේසතම මුහුදට ගිහින්. අපි මහා පාරට වැටිලා. අපිට, දරුවනට, දරු මුණුපුරන්ට මේ ඔක්කොටම අන්තිමට උරුම වුණේ මහපාර. රජය කරන්නේ මහා අපරාධයක්, මේක නවත්වලා දුප්පත් අපිට සහනයක් දෙන්න කියල ඉල්ලනවා.’’

මීගමුව බසියාවත්ත ප්‍රදේශයේ පදිංචි මේරි ජෝහානා, තම උන් හිටි තැන් අහිමිව යෑමේ දුක, වේදනාව සහ කේන්තිය වචනවලට පෙරළුවාය.

”අපිව වනසලා කරන සංවර්ධනෙන් ඇති පලේ මොකද්ද? ගිය ආණ්ඩුව තමයි මේක පටන් ගත්තේ. මේ යහපාලනේ බලයට ආවේ මේක නවත්වනවා කියල. එදා අගමැති පොරොන්දු වුණා මේක නතර කරනවා කියල. අපි මේ රජය බලයට පත් කළේ ඒ නිසයි. දැන් මුනුත් ඒකම කරගෙන යනවා. චීන්නුන්ට වරාය නගර හදන්න මේ රටේ මිනිස්සු මූදුබත් කරනවා. අපි කාටද මේව කියන්නෙ?”


මේ දිනවල උග්‍ර ලෙස සිදුවන මුහුදු කෑම නිසා උන් හිටි තැන් අහිමි වූවන් බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ ඒ විනාශයට හේතුව කොළඹ නගරයට ආසන්නව අලුතෙන් ඉදි වෙමින් තිබෙන වරාය නගර ව්‍යාපෘතිය බවයි.

‘මුහුදු නගරය’

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු (පැරණි නාමය කොළඹ වරාය නගරය) ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ අක්කර 670ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කිරීමට අපේක්ෂිත නව නගරයකි. මුහුද ගොඩ කරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව මෙය යි. 2014 සැප්තැම්බර් 14 දින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින් ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙහි ඉදිකිරීම් කටයුතු, 2015 ජනවාරියේ සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග තාවකාලිකව නතර වූ නමුත් මාස කිහිපයකට පසුව නැවත ආරම්භ විය.

වරාය නගරයේ ව්‍යාපෘති සැලසුම චීන මහජන සමූහාණ්ඩුවේ සීමාසහිත චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඉදිරිපත් කොට තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් සිදු කරයි. ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජනය වෙනුවෙන් වූ බදු සහන ලබාදීම සිදු කෙරේ. අදියර දෙකක් යටතේ කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් කටයුතු සිදු වෙයි.

කොළඹ වරාය නගරය, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පත්වීමට පෙරාතුව අලුතින් ගොඩ කරනු ලබන භූමියෙන් හෙක්ටයාර් 125ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයටද, ඉතිරි හෙක්ටයාර් 108ක ප්‍රමාණය චීන ආයෝජකයාටද හිමි වීමට නියමිතව තිබිණි. ඉන් හෙක්ටයාර් 88ක් වසර 99ක බදු පදනම මතද, ඉතිරි හෙක්ටයාර් 20 ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීම සඳහා ලබා දීමටද නියමිත විණි. මේ වන විට එම තත්වය වෙනස්ව ඇති අතර හෙක්ටයාර් 33 ක භූමියක් චීන ආයෝජකයන්ට ලබාදීමට නියමිත බව පැවසේ.

වැලි අදින නැව්

අලුතින් ඉදි වන භූමිය කෙලෙස බෙදාගත්තත්, ඒ ක්‍රියාවලිය නිසා හානියට ලක් වන්නන් පිළිබදව ඒ කිසිවෙක් වගකියන්නේ නැත. හැම තැනින්ම අසන්ට ලැබුණේ ඒ අසාධාරණයට එරෙහිව නැගෙන හඩය.

”අපේ බිම මුහුදට ඇදලා අරගෙන අලුත් බිමක් හදන එක සංවර්ධනයද?” මීගමුව බසියාවත්තේ පදිංචිකරුවෙකු වූ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු එසේ ප්‍රශ්න කරයි.

/”බලන්න අර නැව දිහා. ඔය නැවත් එක්ක නැවි තුන හතරක් තමයි අපිට මේ වින්නැහිය කරන්නේ. මුලින් කිව්වේ මුහුදු සැතපුම් දහයකට එහායින් වැලි ගන්නවා කියල. දැන් වැලි ගන්නේ මුහුදු සැතපුම් හතරකට වගේ මෙගොඩින්. සමහර වේලාවට මේ නැව් වෙරළ ආසන්නයටම එනවා. ඒ ඇවිත් අපේ වැලි ටික උරාගෙන බොනවා. ඒ බීපු වැලි අරගෙන ගිහින් උන් අලුත් කොලනියක් හදනවා. අපේ වැලි උන් කෑවම අපිට වෙන්නේ ඉක්මනටම මහපොළොවේ වැලි කන්න තමයි.”

මිගමුව කළපු ධීවර සංවිධානයේ සභාපති මාක්ස් ඇන්ටනිට රජය ගැන මෙන්ම ජනමාධ්‍ය කෙරෙහිද විවේචනයක් තිබිණි.

“ගිය ආණ්ඩුව තියෙද්දී වැඩිහරියක් මාධ්‍ය ඒ ආණ්ඩුවට කඩේ ගියා. අපි හිතුව මේ ආණ්ඩුව ආවම මාධ්‍යයෙන් අපිට ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පුළුවන් වෙයි කියල. නමුත් අද මාධ්‍ය එදාටත් වඩා අන්තයි. ඇයි මෙහෙම වුණේ? ”

”වර්තමාන අගමැතිවරයා මහ ජන්දෙට කලින් මීගමුවට ඇවිල්ල පොරොන්දු වුණා, මේ විනාසෙ තමන් බලයට පැමිණි වහාම නතර කරනවා කියලා. නමුත් දැන් ඔහුම කියනවා මේ ව්‍යපෘතිය මගින් ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය කරනවා කියල. මේ වචන පිටවෙන්නේ ඒ අයගේ මුඛයෙන්ද කියන එක තමයි අපිට තියන ගැටලුව”

ධීවර විරෝධතා

ජාතික තලයේ ධීවර සංවිධාන මෙන්ම ලෝක මට්ටමේ ධීවර සංවිධානද, වරාය නගරය හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන බලපෑම ගැන කල් තියා අනතුරු හගවා තිබිණි. වරින් වර විවිධ උද්ඝෝෂණ පැවැති අතර, ආසන්නතම විරෝධතාවය පසුගිය විසිදෙවෙනි දින පැවැත්විණි. ඒ සදහා ආගමික නායකයන්, විද්වතුන්, පරිසරවේදීන්, විපතට පත්ව ඇති ජනතාව හා ධීවරයින් ධීවර කාන්තාවන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් සහභාගී විය.

/මේ විරෝධතාවයට එක්ව සිටි ලෝක ධිවර සම්මේලනයේ මෙරට නියෝජිත හර්මන් කුමාර පෙන්වා දෙන පරිදි මේ සංවර්ධන ව්‍යාපෘතිය සදහා මුහුදු වැලි ඝන මීටර් මිලියන හැටේ සිට සියය දක්වා ගැනීමට නියමිතය. මේ තත්ත්වය තුළ මීගමුව වෙරළ තීරයේ ජීවත් වන ධීවරයන් තිස්දහසකට ආසන්න ප්‍රමාණයකගේ රැකියාවලට අනතුරක් පවතී.

“මේ වන විට ධීවර නිවාස කීපයක් මුහුදට ගිහින් තියනවා. ඒ වගේම ධීවර ආම්පන්න රැසක් විනාශ වෙලා තියනවා. මේ තත්වය තුළ ධීවරයා කර්මාන්තයෙන් ඈත් කිරීමක් සිදු වෙමින් තිබෙනවා. මේ රජය බලයට පත් වුණේ මේ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් නතර කරනවා කියල. වර්තමාන අගමැතිවරයා මැතිවරණයට පෙර ඒ පිළිබද පොරොන්දුවක් ජනතාවට ලබා දුන්නා. දැන් ඒ පොරොන්දුව කඩ කර තිබෙනවා.”

බරපතළ විනාශයක්

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ව්‍යාපෘතිය හේතුවෙන් පරිසරයට සිදු වන විනාශය පරිසරවේදීන් එදා පැවති රජයට මෙන්ම වත්මන් රජයටද පෙන්වා දෙමින් සිටී. එදා පාලකයන් මෙන්ම වත්මන් පාලකයන්ද ඒ පෙන්වා දීම් පිලිබදව අල්පමාත්‍රයක සැලකිල්ලක් නොදක්වන බව පරිසරවේදියෙකු වන සජීව චාමිකර පවසයි .

” ප්‍රධාන වශයෙන් වැලි ගැනීම සිදු කරන්නේ මීගමුව කලපුවට ඉදිරියෙන් පිහිටා තිබෙන සාගරික කලාපයේ කිලෝමීටර් හතරක ප්‍රදේශයකින්. මේ වැලි ලබා ගැනීමේ ක්‍රියාවලියත් සමග ඒ ප්‍රදේශයේ භුමිය අස්ථාවර වීම සිදු වෙනවා. එයට හේතුව මේ මුහුදු පතුලේ වැලි කදු ලෙස නිර්මාණය වී තිබූ වැලි නිධිය අඩු වීම. මෙය නැවත ස්ථාවර කිරීම සිදු වෙන්නේ ගොඩබිම් පරිසරයෙන්. මේ හේතුව නිසා තමයි මේ මුහුදු කෑම ආරම්භ වෙලා තියෙන්නේ.

/ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු වන ජිනදාස කටුපොත පෙන්වාදෙන්නේ මේ වැලි ගැනීම නිසා සිදු වන විනාශය වර්තමානයට මෙන්ම අනාගතයටද දැඩි බලපෑමක් ඇති කරන බවයි.

”මේ වැලි ගැනීම නිසා සිදු වන විනාශය මුදලින් තක්සේරු කරන්න බැහැ. මෙයින් සිදු වන්නේ සජීවී පරිසරයක් විනාශ කර, කෘත්‍රිම පරිසරයක් ගොඩනැගීම. මේ තත්වය මුහුදු ජීවීන්ට දැඩි බලපෑමක් සිදු කරනවා. මෙය ඉදිරි වසර සිය දහස් ගණනකට බලපානවා.”

‘පැමිණිලි ලැබී නෑ’

ජනතාව හා පරිසරවේදීන් හා විද්වතුන් පෙන්වා දෙන මේ විනාශය පිළිබදව ලසන්ත අලගියවන්න- මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවත් සමග ගිවිසුමකට එළැඹ ඇති බවයි. පසුගිය කාලය තුළ තමන් ජනතාව සමග මේ සම්බන්ධයෙන් නිරන්තර කතා බහක නිරතව සිටි බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමත්‍යවරයා මේ පිළිබදව ලැබෙන පැමිණිලි සොයා බලන බවත් මේ දක්වා තමනට කිසිදි පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

/