Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

බලාගාරය විස බෙදයි:
කල්පිටියේ ජීවිත අනතුරේ

කල්පිටිය නොරොච්චෝල විදුලි බලාගාරයෙන් සිදු සෞඛ්‍යයට එල්ල වන තර්ජන හේතුවෙන්, ඒ අවට ජනතාවට ජීවත් වීමට නුසුදුසු තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ ලිපිය ඒ පිළිබද හෙළිදරව්වකි.

05.10.2017  |  
පුත්තලම දිස්ත්‍රික්කය
දරුවාගේ හිසේ මේ චර්ම රෝගය දක්නට ලැබේ.

කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු විදුලි බලාගාරය යනු, ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවෙන් සියයට 40ක් නිෂ්පාදනය කරන ප්‍රමුඛතම බලාගාරයයි. රටේ පැවැත්මට එය කෙතරම් අදාළ වුවද, බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ පරිසරය සම්බන්ධ බලධාරී ආයතනය වන වයඹ පළාත් පරිසර අධිකාරිය මේ වසරේදී ඒ සදහා අවශ්‍ය පරිසර බලපත්‍රය නිකුත් කළේ නැත. ඒ ඇයි?

වයඹ පළාත් පරිසර අධිකාරියේ සහකාර අධක්ෂ එස්.කේ.ඒ. වන්නිආරච්චි ගෙන් මේ පිළිබද කළ විමසීමේදී කියා සිටියේ අධිකරණයේ මේ පිළිබදව නඩුවක් විභාග වන බැවින් වැඩි දුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි .

වයඹ පළාත් පරිසර අධිකාරියේ තොරතුරු ලබා දීමේ නිලධාරියාද වන ඔහු, වැඩි දුරටත් පවසන්නේ තොරතුරු දැනගැනීමේ පනත අනුවද මේ පිළිබදව ඇති තොරතුරු ලබා දිය නොහැකි බවය.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරය නිසා සිදු වන අති විශාල පරිසර හානිය පිළිබ‍‍‍ද සැබෑ තොරතුරු ජනතාවගෙන් වසං කරගෙන සිටීම, එක් නිලධාරියකුගේ පෞද්ගලික තීරණයක් නොව, කලක පටන් රජයට සම්බන්ධ සියලු පාර්ශ්ව විසින් අනුගමනය කරන පොදු ප්‍රතිපත්තියකි. ඔවුන් සගවාගන්නට උත්සාහ දරන්නේ මොනවාද? සැබැවින්ම බොහෝ අය සිතනවාට වඩා ඒ තතු බිහිසුණු ය.

මේ ලිපිය, ඔවුන් සඟවන දේ ගැන දිගු කලක් තිස්සේ කළ ගවේෂණයක ප්‍රතිපලයකි.

බලාගාරය ආසන්නයේ පදිංචි දරුවන්ට වැළදී ඇති ‘හදුනා නොගත්’ චර්ම රෝගයක්
අනතුරු ඇඟවීම්

නොරොච්චෝල ගල්අගුරු බලාගාරය නිසා සිදුවන පරිසර විනාශය පිළිබදව ජනතාව කතා කළේ අද ඊයෙක නොවේ. බලාගාරය මේ ප්‍රදේශයේ ඉදි කිරීමට පෙර සිටම ප්‍රදේශයේ ජනතාවගෙන් මෙන්ම පරිසරවේදින්ගෙන්ද මේ බලාගාරයට දැඩි විරෝධයක් එල්ල විණි. එහිදී පරිසරවේදීන් මෙන්ම ජනතාවද පෙන්වා දුන් ප්‍රධාන කරුණක් වූයේ මේ බලාගාරයෙන් ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුවන ආකාරය ගැටලු සහගත විය හැකි බවයි.

අද වන විට අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව බලාගාරය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මුලික අමුද්‍රව්‍ය වන ගල් අගුරු ගබඩා කිරීම හා එහි තත්වය පිළිබදවද බරපතළ ගැටලු මතුව තිබේ. ගල් අගුරු දූවිල්ල සුළගත් සමග අවට ප්‍රදේශවල පැතිර යෑම හේතුවෙන් මතුව ඇති පාරිසරික හා සෞඛ්‍ය ගැටලු එයින් ප්‍රධානය. (මීට ඉහතදීද ඒ පිළිබදව ලිපියකින් හෙළි කළෙමු.) එයින් දැඩි ලෙස පීඩාවට ලක්ව ඇත්තේ, බලාගාරය අවට පිහිටි පනීඅඩිය, නාරක්කල්ලිය මාම්පුරිය, පුලච්චෙන, ඉලන්තඩිය යන ගම්මානයි. ඒවායේ පදිංචිකරුවන්ගෙන් විශාල පිරිසක් ස්වසන රොගවලින් පීඩා විදින බව අප කළ සොයාබැලීමේදී හෙළි විය.

නොරොච්චෝල පරිසර සුරැකීමේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්. කැනිෂියස් ඇතුළු ක්‍රියාකාරිකයන් සැපයූ තොරතුරු අනුව වැඩි දුරටත් කළ ගවේෂණයේදී, බලාගාරය ආසන්නයේ පදිංචි දරුවන්ට වැළදී ඇති ‘හදුනා නොගත්’ චර්ම රෝගයක් පිළිබදව හෙළි විය. සෞඛ්‍ය අංශ පවා මේ ගැටලුව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැත.

හඳුනා නොගත් රෝගයක්

නොරොච්චෝල බලාගාරය ආසන්නතවම උතුරු දෙසින් පිහිටි නිවසේ ජීවත් වන දැරියකටත්, බලාගාරයට දකුණු දෙසින් ආසන්නතම නිවසේ ජීවත් වන දැරියකටත්, බලාගාරයට නැගෙනහිරින් පිහිටි ආසන්නතම නිවාස දෙකක ජීවත් වන දරුවන් දෙදෙනෙකුටත් මෙම චර්ම රෝගය වැලදී ඇති බවත්, සමාන රෝග ලක්ෂණ ඔවුන්ගෙන් දක්නට ලැබෙන බවත් අප කළ සොයාබැලීමේදී හෙළි විය. මේ දරුවන්ගේ පාදවල, අත්වල හෝ හිසේ මෙම රෝගී තත්වය හටගෙන තිබේ.

මිට අමතරව බලාගාරය අවට ගම්මාන වල ජීවත් වන තවත් ළමුන් රැසකගේම සමේ නොයෙකුත් රෝග ලක්ෂණ මතු වී ඇත.

දරුවට වයස අවුරුද්දයි. උපන් දා සිට මේ සමේ රෝගේ තියනවා. මුළු ඇග පුරාම තියනවා.

”දොස්තරලා දන්නෙත් නැහැ ලෙඩේ මොකද්ද කියල. බලාගාරේ ළග ඉන්නේ කිව්වම කියනවා මෙතනින් අයින් වෙන්නලු. ළමයව බිමට දාන්න එපාලු. ගල් අගුරු කුඩු වලටත් මෙහෙම වෙන්න පුළුවන්ලු. ඒත් අපි කොහේ කියල යන්නද? බලන්න මේ අපි බොන වතුර. ගල් අගුරු කුඩු තියන හැටි පේනවා නේද?’ සුනිල් ඩෙන්සිල් පැවසුවේය.

බලාගාරයට ආසන්නව දකුණු දෙසින් ජීවත් වන සුනිල් ඩෙන්සිල් හා ශිරෝමි මල්කාන්ති යන යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර බාල දරුවා චර්ම රෝගයට ගොදුරුව සිටි. “දරුවට වයස අවුරුද්දයි. උපන් දා සිට මේ සමේ රෝගේ තියනවා. මුළු ඇග පුරාම තියනවා.” මල්කාන්ති පැවසුවාය.

බලාගාරයට ආසන්නවම උතුරු දෙසින් ජීවත් වන හර්ෂනිට හා ගයාන් තිලන්කට සිටින එකම දරුවාද ඊට සමාන රෝගී තත්ත්වයකින් පෙළෙයි.

“ මගේ දරුවගේ මේ ලපය වගේ ඒක තිබුණේ උපන් දවස්වල ඉදලමයි. එදා ඉදල අද දක්වාම මේක වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැ .බෙහෙත් කොච්චර ගත්තත් අඩු වුණෙත් නැහැ. දොස්තර මහත්තුරු කියන්නේ කාලයක් යද්දී හරි යයි කියලයි.” ශෂිකලා හර්ෂනී පැවසුවාය.

බලාගාරයට නැගෙනහිරින් ජීවත් වන හැත්තෑ හැවරිදි ජේ. වෙරෝනිකා මාතාවගේ මුණුපුරන් දෙදෙනෙක්ම මේ චරම රෝගයට ගොදුරුව සිටිති. මේ එක් දරුවෙකුගේ පාදයේ අගල් දෙකක පමණ බිබිලක් ලෙසද අනෙක් දරුවාගේ හිසේද මේ චර්ම රෝගය දක්නට ලැබේ.

විද්‍යාත්මක පසුබිම

පරිසර පදනම මේ වන විට අධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු විදුලිබලාගාරය හේතුවෙන් ඒ අවට මහජනතාවට හා පරිසරයට සිදුව ඇති පීඩා පිළිබදවයි .

එක් දරුවෙකුගේ පාදයේ අගල් දෙකක පමණ බිබිලක්

ගල් අගුරුවලින් හා ඉවතලන අළු හේතුවෙන් සෞඛ්‍යයට සිදු වන හානි පිළිබදව පරිසර පදනම අධ්‍යයනයකද නිරතව ඇති අතර එම අධ්‍යයනය සිදු කළ විශ්ෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු මෙම ගල් අගුරු බලාගාරය මෙන්ම විදෙස් රටවල ගල් අගුරු බලාගාර පිළිබදවද අධ්‍යයනයක නිරතව ඇත .

”ගල් අගුරු කුඩු හා ඉවත ලන අළු පරිසරයට මිශ්‍ර වීමෙන් වාතය මෙන්ම ජලයත් අපිරිසිදු වෙනවා. මිනිස් සිරුරට ඉතා අහිතකර රසායනික ද්‍රවය මේ නිසා මිනිස් සිරුරට ඇතුළු විය හැකියි. ඒ හේතුවෙන් පෙනහළු ආශ්‍රිත රෝග, චර්ම රෝග, පිළිකා, වකුගඩු රෝග හා හදවත් රෝගත් ඇති විය හැකියි. මෙවැනි තත්වයන් නොරොච්චෝලේ අවටින් දැනටමත් වාර්තා වි තිබෙනවා. ඒ වගේම මෙවැනි බලාගාර අවුරුදු ගණනක් තිබු රටවල මෙවැනි රෝග සහිත පුද්ගලයන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ලංකාවෙත් මේ තත්වය ඉදිරියේදී විශාල ලෙස සිදු විය හැකියි.” විෙශ්ෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ගල් අගුරු බලාගාරය ආරම්භ කළ 2011 වර්ෂයේදී, ලෝක සෞක්‍ය සංවිධානය රටවල් 91ක නගර 1100ක සිදු කරන ලද වායු තත්ව පරික්ෂාවේදීද අනාවරණය වී ඇති ප්‍රධාන කරුණක් නම් වායුව දූෂණය වීමට මේ නගරවල පිහිටි ගල් අගුරු විදුලි බලාගාර ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

පරිසරවේදීහු

කල්පිටිය අර්ධද්වීපයේ නොරොච්චෝල ප්‍රදේශයේ ඉදි වූ මේ ගල්අගුරු විදුලිබලාගාරයට මුල සිටම හේතු සහිතව විරෝධය පළ කළ පරිසර සංවිධානයකි පරිසර යුක්ති කේන්ද්‍රය. එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ප්‍රකාශ කරන්නේ මේ බලාගාරය සදහා රැගෙන එන ලද යන්ත්‍ර උපකරණ වසර තිහක් පැරණි ඒවා බවයි.

“අපි මුල සිටම මේ බලාගාරයට විරුද්ධ වුණේ නිසි තාක්ෂණය භාවිත නොකර මෙය ඉදි කිරීම නිසයි. ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නැහැ . මේ නිසා මේ අපද්‍රව්‍ය මේ පරිසර පද්ධතියට එකතු වෙනවා. අද වන විට මේ ආයතනය ගැන නිරීක්ෂණය කරන්න කවුරුත් නැහැ.” හේමන්ත විතානගේ පැවසීය.

ජනතාව පිඩාවට පත් වෙලා තියෙන්නේ අළු සුළං සමග ගසාගෙන යාමෙන්.

පරිසරවේදී විදුර රළපනාව සාම්පුර් බලාගාරය මෙන්ම නොරෝච්ච්ලේ ගල් අගුරු විදුලි බලාගාරය පිළිබදවද අධ්‍යනය කල පරිසරවෙදියෙකි. මේ ප්‍රදේශය ජනතාවට ජීවත් වීමට නුසුදුසු තත්වයක් විදුලිබල මණ්ඩලය විසින් මේ වන විට නිර්මාණය කර ඇති බව ඔහුගේ මතයයි.

”එක දිනකට පිටකරන අළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් නවසිය දහයක්. ( Fly Ash 850 MT , Bottom Ash 60 MT) 2011 පෙබරවාරි මාසයේ මේ බලාගාරය ආරම්භ කළ දින සිට මේ අළු එකතු වෙනවා. මුලින් සිමෙන්ති වැනි නිෂ්පාදන සදහා මේ අළු රැගෙන ගියා. දැන් ඒ තත්වය දකින්න ලැබෙන්නේ ඇතැම් කාලවලදී පමණයි. සිමෙන්ති හදන්න මේ අළු ගන්න බැරි තත්වයන් සමහර කාලවලදී තියනවා. ඒ ලංකාවට ගේන ගල් අගුරු තත්වයෙන් බාල නිසයි. පරිසරවේදී විදුර රළපනාව වැඩි දුරටත් පැවසිය.

රජයේ අධ්‍යයන

පරිසර විශේෂඥයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය, ගල් අගුරු විදුලිබලාගාර, හා ගෑස් විදුලිබලාගාර පිළිබඳ අධ්‍යයනයක නිරත වූ විද්වතෙකි. ශ්‍රී ලංකාවේ අගමැතිවරයාගේ පත් කිරීමක් මත සිදු කර ඇති මේ අධ්‍යයනයේදීද හෙළි වී ඇත්තේ ගල් අගුරු බලාගාරයෙන් පිටකරන අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රම වේදයක් නොමැති වීම මේ පරිසර විනාශයට ප්‍රධාන හේතුව බවයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබද එම ප්‍රදේශවාසීන් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා පිළිබද සොයා බැලීමට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි එහි පරිසර හා සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී සරත්චන්ද්‍ර ප්‍රකාශ කළේය.

ධීවර හා ගොවි ප්‍රජාව, පරිසරවේදීන්, ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා පරිසර පදනම යන ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නියෝජිත කමිටුවක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. මේ වන විට නොරොච්චෝලේ ප්‍රදේශවාසීන් ගේ අදහස් හා යෝජනා මෙම කමිටුවට ඉදිරිපත් කර තිබේ. කමිටුව ලබන මාසයේ නැවත රැස්වීමට නියමිත අතර එහි වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.


නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයෙන් පරිසර විනාශයක් සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයද පිළිගනී.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ, මීට පෙර ප්‍රමිතියකින් තොරව ගල් අගුරු ගෙන්වීම මෙම පරිසර විනාශයට එය හේතුවක් වී ඇති බවයි. ඔහු මෙසේද පැවසුවේය.

විදුලිබල මණ්ඩලය පිළිගනී

”ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට හතළිහක් නිෂ්පාදනය කරන්නේ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයෙන්. මෙගාවොට් තුන්සිය බැගින් වූ ජනන යන්ත්‍ර තුනක් මේ සදහා භාවිතයට ගන්නවා. බලාගාරය හේතුවෙන් පරිසර හානියක් සිදු වෙනවා, ඉන් ජනතාව පිඩාවට පත්වෙලා ඉන්නවා කියල පසුගිය කාලය පුරාම පැමිණිලි ලැබිල තියනවා. ජනතාව පිඩාවට පත් වෙලා තියෙන්නේ අළු සුළං සමග ගසාගෙන යාමෙන්. දැනටමත් යම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියනවා. ඒ අනුව ඉදිරියේදී සුළං බාධකයක් ඉදිකිරීමට නියමිතයි.

විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු හා ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පරිසර හා සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී සරත්චන්ද්‍ර

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන ලෙස නොරොච්චෝලේ ගල් අගුරු විදුලිබලාගාරය සදහා පරිසර බලපත්‍රයක් ලබා ගෙන තිබේ. එහෙත් වයඹ පළාත් පරිසර අධිකාරිය ප්‍රකාශ කරන්නේ මේ වසර සදහා නොරෝච්චෝලේ බලාගාරය සදහා පරිසර බලපත්‍රයක් නිකුත් කර නොමැති බවයි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය පරිසර බලපත්‍රය ලබා ගත්තේ කුමන ආයතනයකින්ද යන්න ගැටලු සහගතය .

වයඹ පළාත් පරිසර ප්‍රඥප්තිය අනුව වයඹ පළාතේ කරගෙන යනු ලබන කර්මාන්ත සදහා අනිවාර්යෙන් පළාත් පරිසර අධිකාරියෙන් පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතුව තිබේ. මෙලෙස පරිසර විනාශයන් සිදු කළ ආයතන කීපයක් සදහා වයඹ පළාත් පරිසර අධිකාරිය පරිසර බලපත්‍ර ලබා නොදීම හේතුවෙන් එම ආයතන වසා දැමීමට පසුගිය කාලයේ සිදුවිය. ඒ අනුව විදුලිබල මණ්ඩලය කෙතරම් බලගතු ආයතනයක් වුවත්, මහජන යහපතට අදාළව සකස් කර ඇති නීතියට අනුව නම්, නොරොච්චෝල බලාගාරයටද අත් විය යුතුව ඇත්තේ ඒ ඉරණමය.