Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

රටේ නිලධරයන් නීතියට ගරු නොකරනතාක්
ඒ රටේ මානව හිමිකම් රැකෙන්නේ නෑ

රටක ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක කරවමින් ශිෂ්ට සමාජයක් ගොඩනැඟීෙම් මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය භාරයට අවශ්‍ය කරන රාජ්‍ය සහාය ලබාදීම ආණ්ඩුවක වගකීමකි. කොමිෂන් සභාව ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කරන්නට පවා දායකත්වය නොසපයන බලධාරීන් සිටින සමාජයක මානව හිමිකම් සුරැකීම ගැන කෙසේ බලාපොරොත්තු තැබිය හැකිදැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි, ආචාර්ය දීපිකා උඩගම විමසයි.

21.02.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ වටාපිටාව කවරාකාරද?

මානව හිමිකම් කොමිෂන් සභාව, අවසන් කාර්තු තුන තුළදී, එනම් පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පැමිණිලි 2015ක් විභාගකර අවසන් කර තිබෙනවා. ඉන් පැමිණිලි 135 මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයි. පැමිණිලි 713ක් සඳහා පාර්ශවකරුවන් අදාළ විභාග කිරීම්වලට පැමිණියේ නැහැ. පැමිණිලි 83 කට නිර්දේශ ලබාදී තිබෙනවා. නොයෙකුත් විසඳුම් හා ක්‍රියාමාර්ග හේතුවෙන් පැමිණිලි 247ක් පැමිණිලිකරුවන් විසින් ම ඉවත්කර ගෙන තිබෙනවා. මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන සමත කිරීම් මගින් පැමිණිලි 195ක් විසඳා තිබෙනවා. ඉදිරිපත්වූ පැමිණිලි 346ක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. පැමිණිලි 25ක් වෙනත් අදාළ ආයතන වලට යොමුකර තිබෙන අතර පැමිණිලි 145ක් පිළිබඳව අධිකරණ ක්‍රියාදාම සිදුවෙමින් පවතිනවා.
පරිපාලන ව්‍යුහයේ උග්‍ර මානව සම්පත් හිඟයක් අපට පවතිනවා. වසරකට පැමිණිලි 9000-10000 ත් අතර ප්‍රමාණයක් මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබෙනවා. අපි තවමත් 2017 අවසන් කාර්තුවේ ගණනය කිරිම්වල නිරතවෙලා ඉන්නේ. පළමු කාර්තු තුනේ පමණක් පැමිණිලි 5614ක් ලැබී තිබුණා. මානව හිමිකම් කොමිෂන් සභාව යටතේ දිස්ත්‍රික් කාර්යාල දහයක් තිබුණත් සියළුම ප්‍රශ්න අපේ මූලස්ථානයට ලැබෙනවා. අපට තිබෙන මානව සම්පත් ප්‍රමාණයත් එක්ක ඒ සියළුම පැමිණිලිවලට මුහුණ දීම දැඩි අභියෝගයක් වෙලා තිබෙනවා.

අප කොමිෂම භාරගත නොයුතු විශාල පැමිණිලි සංඛ්‍යාවක් භාර ගැනෙනවා. අපගේ විෂය පථයට නොවැටෙන වෙනත් අංශ කෙරෙහි, ඒ කියන්නේ පොලිස් කොමිෂම, ළමාරක්‍ෂන අධිකාරිය වැනි ස්ථානවලට යොමු විය යුතු පැමිණිලි පවා අපේ ආයතනයට ලැබෙනවා. ඒවා නිසි පරිදි අදාළ ආයතනවලට යොමුවුවහොත් ඒ පැමිණිලිකරුවන් හට ඉතා ඉක්මනින් පිළිතුරු ලබාගන්න හැකියාව ලැබෙනවා. පසුගිය කාලය තුළදී පැවති මෙම පරිපාලනමය දුර්වලකම් නිසා විභාග කළ යුතුව තිබු, අතුරුදහන්වීම් , වධහිංසාව වැනි වැදගත් පැමිණිලි රාශියක් පරික්‍ෂණයට ලක්වෙලා නැහැ.

එය එක්තරා අන්දමකින් පැමිණිලිකරුවනට සිදුවන අසාධාරණයක් නොවෙයිද? එවැන්නක් සිදුවන්නේ ඇයි?

ජනතාවගේ පුරුද්දක් තියෙනවා සුුදුසු නුසුදුසු සෑමදේටම මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියට එන්න. උදාහරණයක් විධියට ගත්තොත්, පරිපාලනමය ආයතනයකින් යම්කිසි පුද්ගලයෙකුට අගතියක් වූනාම, ඒ ආයතනයේ ඉහළින් ඊට විසඳුමක් ලබාදෙන්න ඕනේ. එහෙම නොලැබුණොත් තමයි කොමිෂන් සභාවේ සහය අපේක්‍ෂා කරන්න ඕනේ. නමුත් එසේ නොකර බොහෝ දෙනෙක් යම් යම් සිද්ධින් වූ සැණින් අපේ ආයතනයට පැමිණෙනවා.

මානව හිමිකම් කොමිෂම ලබාදෙන නිර්දේශ යම්කිසි පාර්ශවයක් ක්‍රියාවට නංවන්නේ නැතිනම්, ඊට එරෙහිව පියවර ගන්නට කොමිෂන් සභාවට අවකාශයක් තිබෙනවාද?

නැහැ. මානව හිමිකම් කොමිෂමේ පනතට අනුව අප ලබාදෙන නිර්දේශ ක්‍රියාවට නැංවුයේ නැතැයි කියා ඊට එරෙහිව පියවර ගන්නට අපට බලයක් නැහැ, ඒ පිළිබඳ තතු ජනාධිපතිතුමා මගින් පාර්ලිමේන්තුවට යොමු කිරීම තමයි අපිට කළ හැකිවෙන්නෙ. මේ තාක් කල් අපි මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. අපි උත්සාහා කළේ සාකච්ඡා මට්ටමින් නිමකර ගන්නට, නමුත් එන්න එන්නම අපට පෙනෙනවා බලධාරීන් ඊට ප්‍රතිචාර නොදක්වන බව. විශේෂයෙන් ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ යම් යම් බලධාරීන් සිටිනවා අප නිකුත් කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන. ඒ නිසා දැන් අප බලාපොරොත්තු වෙනවා ඒ අය සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුව ඊට නිසි අවධානය යොමුකරලා අවශ්‍ය පියවර ගනීවී කියා අප විශ්වාස කරනවා.

සාධාරණ හේතුවක් තිබෙනවානම් සද්භාවයෙන් යුතුව ඇවිත් සාකච්ඡ කර සම්මුතියකට එන්නට උත්සාහා ගන්න ඕනේ. ඒ නිසා අප දැන් තීරණය කර තියෙනවා පවතින ආයතන සංග්‍රහය සංශෝධනය කර ඒ හරහා ඒ අදාළ නිළධාරින්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට.

නිලධාරීන්ගේ මේ හිතුවක්කාරි ක්‍රියා පිළිවෙළ ගැන ඔබ මොකද හිතන්නේ ?

මා මානව හිමිකම් කොමිෂමේ සභාපතිනියට වඩා, මේ රටේ පුරවැසියෙක් හැටියට දකින්නේ නීතිය එක තැනකින් කොනිත්තලා හදන්න පුළුවන් දෙයක් ලෙස නෙවෙයි. මේ රටේ ජනතාව සමස්තයක් හැටියට කොයි ආකාරයටද නීතිය දිහා බලන්නේ, මේක මගේ බලතල, මගේ රාජධානිය, කාටවත් අත තියන්න ඉඩ දෙන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්න මා නීතියෙන් බැඳී නැහැ, ඒ නිසා මා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන ස්ථාවරයක ඉන්නවානම් රටක් අරාජික වෙනවා. මේ විධියට ඇතැමුන් අධිකරණ තීන්දු පවා ක්‍රියාත්මක කරන්න මැළිවෙන අවස්ථා අපි දකිනවා. එතකොට රටක අනාගතයට මොකක්ද වෙන්නෙ ? මිනිස්සුන්ට සාධාරණත්වය ලැබෙන්නේ කොහොමද? රටක ”නීතියක්” තියෙන්න ඕනේ. ඒ නීතිය හැමදෙනාට ම පොදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි, සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීමේදි තෝරා බේරාගෙන කැමති අකැමැති ආකාරයට තමයි නඩු පවරන්නට කටයුතු සැලසෙන්නේ. මේ විධියට ප්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩනඟන්න බැහැ. නීතිය ඉදිරියේ සියළුම දෙනා එක හා සමාන විය යුතුයි.


සැමවිටම දඬුවම මුලික කරගෙන නීතිය ක්‍රියාත්මක කරන්නට අපේක්‍ෂා කරනවානම් අපිට හොඳ සමාජයක් ගොඩනඟන්නට අසීරුයි.

මානව හිමිකම් ඉටුවීම සඳහා පුරවැසියන්ගෙනුත් ඉටුවිය යුතු යුතුකම් කොටසක් තිබෙනවා. මානව හිමිකම් ඉටුකරන්න අයිතිවාසිකම් හා යුතුකම් අතර තුලනයක් ඇතිකිරීම අතීශයින් ම වැදගත් වෙනවා. අයිතිවාසිකම් ගැන පමණක් කථාකිරිමෙන් හොඳ සමාජ ක්‍රමයක් පවත්වාගන්නට අසීරුයි යන්න තමයි මානව හිමිකම් කොමිෂම විධියට අපි සැමවිට ම පෙන්වා දෙන්නට උත්සාහා කරන්නෙ. මේ බව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි වගන්තියෙන් අයිතිවාසිකම් ගැන පමණක් නොවෙයි පුරවැසියන්ගේ යුතුකම් ගැනත් දක්වා තිබෙනවා. යුතුකම් පිළිබඳව පමණක් නොවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය ආරක්‍ෂා කිරීම හා අනුගමනය කිරීම, ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම, තමන් විසින් තෝරාගනු ලැබු රැකියාවෙහි හෘදය සාක්‍ෂියට එකඟව නොපිරිහෙලා වැඩ කිරීම, රාජ්‍ය අංශයේ ඵලදායිතාවය ගැන, පොදු දේපොල සුරක්‍ෂිත කොට ආරක්‍ෂා කිරීම, පොදු දේපොල අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට හා නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරිම යනාදිය මෙහි සටහන් වෙනවා. අවශ්‍යකරන්නේ ක්‍රියාත්මක කිරීමයි හෝ කරවීමයි.

කොමිෂන් සභාවෙන් පනවන නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නට ඇතැම් නිලධාරීන් පෙළඹෙන්නේ අැයි?

අපේ රටේ නිලධාරීන් නීතියට ගරු නොකිරීම තමයි ප්‍රමුඛ වෙන්නේ. අධිකරණමය තීන්දුවක් නම් අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කරන්නට පෙළඹෙනවා. නමුත් මෙය නීතිය මගින් බැඳ තබන්නේ නැති නිසා පහසුවෙන් ඉන් ගැලවී යාමට නැතිනම් එවැනි නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටින්නට ඔවුන් වගබලා ගන්නවා. කිසිම වගවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒකෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ නීතිය ගැන, නීතියේ ආධිපත්‍ය ගැන තියෙන ලිහිල් භාවයයි.

දණ්ඩනයක් නැතිනම් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නට බැරි තත්ත්වයක් තමයි අපිට පෙනෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් ඇති රටක නීතිය ගැන අවබෝධයක් තිබෙනවා මෙන් ම නිර්දේශයක් ක්‍රියාත්මක කරන්නට නොහැකි වුණු අවස්ථාවකදී ඒ ගැන සාධාරණ හේතු පෙන්වා දීලා, තවදුරටත් සාකච්ඡා කරලා බලනවා. එසේ නැතිව හිතු හිතු ලෙසට මගහරින්න බැහැ. මෙසේ මගහැර යෑම ලංකාවේ පුරුද්දකට ගෙන තිබෙන බවක් තමයි අප දකින්නේ.

/

මෙයින් පෙන්නුම් කරන්නේ අපේ රටේ නීතියේ ආධිපත්‍යට තිබිය යුතු තැන වැඩිදියුණු විය යුතුයි කියන කාරණයයි. ඒ නිලධාරින්ට මා හැමවිටම කියා සිටින්නේ ඔබට කරදරයක් වෙලා, මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් ඒ සඳහා ලබාදෙන නිර්දේශ ඉටුකිරීම අදාළ පාර්ශව මේ වගේ පැහැර හැරියොත් ඔබට දැනෙන වේදනාව ම තමයි වෙන පුරවැසියෙකුට දැනෙන්නේ. ඒ නිසා මෙවැනි දේ බොහෝම සාධාරණ විධියට, සංවේදිව සහ සංවරව ක්‍රියාත්ම කරන්න කියා. අවාසනාවකට ලංකාවේ ඉතාම නරක පුරුදු මුල් බැහැගෙන තිබෙනවා. මානව හිමිකම් කොමිෂමෙන් ලබාදෙන නිර්දේශ වලින් 40% ක් පමණ ක්‍රියාත්මක නොවන ආකාරයක් තමයි අප දකින්නේ.

මේ රටේ නිලධාරිවාදය තිබෙන තාක්කල් මේ රටේ කිසිම දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. වැඩකළොත් කරන්නේ බයට. රස්සාව අහිමි වෙයි, ස්ථාන මාරුවක් ලැබෙයි කියන ඔය බය නිසා වැඩකරනවා. නමුත් රට ගැන කැක්කුමක් ජනතාවට සෙතක් වෙන්න ඕනේ කියන ආකල්පවලින් වැඩ කරන්න ඕනේ. එහෙම නිලධාරීන් ඉන්නවා නමුත් ස්වල්පයයි. මේ තත්ත්වය සමස්ත රටට අභාග්‍යයක්. දැනට රටේ පවතින මේ අභාග්‍යසම්පන්න සියළු තත්ත්වයන්, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ශක්තිමත් ව්‍යවස්ථාවක් හරහා වෙනස් විය යුතුයි. රටක ”නීතිය ඉටුකිරීම” යන්න අනිවාර්යය සහ සදාචාරත්මක අයිතියක් විධියට පුද්ගල භේදයකින් තොරව සමස්ත රටවැසියන්ගේ පූර්ණ වගකීමක් බවට පත්විය යුතුයි. මේවා රටේ ව්‍යවස්ථාව හරහා ශක්තිමත් ව ඉදිරිපත් වෙන්නට ඕනේ.