Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වළලු ලූ අත් සුරකින්නට
අට පනතක්

ශ්‍රී ලංකාවේ ආර්ථීක ප්‍රගමනය සඳහා දායකවන කාන්තා ශ්‍රමිකයන්ගේ (අවිධිමත්) දායකත්වයට නිසි ඇගයුමක් නොවීම කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න අතුරින් මූලික ගැටලුවකි. ආර්ථික සමානත්මතාව ඇති කිරීම සඳහා එකී ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඉතා වැදගත් කටයුත්තකි.

24.03.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

කලාපයේ අනිකුත් රටවල් සමග සැසඳීමේදී කාන්තාවන් සවිබල ගැන්වීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකාවේ කාන්තා සහ සෞඛ්‍යය තත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද පවසන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, අධ්‍යාපනය අංශයෙහි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මැනීමේ දර්ශකය අතින් ද ශ්‍රී ලංකාව ඉතා ඉහළ මට්ටමක සිටින බව අවධාරණය කරයි.

ශ්‍රම බළකායේ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක වීම ,කළමනාකරණ තනතුරුවල සහ ආයතනවල ඉහල තැන්වල කාන්තා නියෝජනය අඩු වීම, උගත් කාන්තාවන් අතර විරැකියාව මෙන් ම ශ‍්‍රී ලංකාවේ ආර්ථීක ප‍්‍රගමනය සඳහා දායකවන ලාංකීය කාන්තා ශ‍්‍රමිකයින්ගේ (අවිධිමත්) දායකත්වයට නිසි ඇගයුමක් නොවීම ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න අතුරින් මූලික ගැටලුවකි. ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සමානත්මතාව ඇති කිරීම සඳහා එකී ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඉතා වැදගත් කටයුත්තකි.

”අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම : මානව හිමිකම් න්‍යාය පත‍්‍රයක් ” යන තේමාව යටතේ ”ඇගෙන් තොර ලොවක් ?” නමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථීක ප‍්‍රගමනය සඳහා දායකවන ලාංකීය කාන්තා ශ‍්‍රමිකයින්ගේ (අවිධිමත්) දායකත්වය පිළිබඳව සකස් කළ වාර්තාවක් එළිදක්වමින්, මෙවර 2018 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට මානව හිමිකම් කොමිෂන් සභාව උත්සාහ දැරුවේ ඉහත ගැටලු ආමන්ත්‍රණය කරන්නට හොඳ ම මඟක් සෙවීමේ ප්‍රයත්නය ද පෙරදැරිව ය. පසුගිය වසර දෙකෙහිදිම ග‍්‍රාමීය වශයෙන් කාන්තා නායිකාවන් සමඟ පැවැත්වූ සාර්ථක වටමේස සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙසට ”අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම : මානව හිමිකම් න්‍යාය පත‍්‍රයක් ” ලෙස අවධාරණය කරමින් කාන්තා වෘත්තිකයින්ගේ පවතින තත්ත්වය පෙන්වා දෙමින් වාර්තාවක් ද එළිදක්වන්නට හැකියාව ලද බවත් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කියයි.

මේ සාකච්ඡාවලින් ග‍්‍රාමිය මට්ටමේ සැඟවුණු මැණික් වන් කාන්තා නායකත්වයන් මෙන්ම කාන්තා දායකත්ව රාශියක් ද හඳුනාගන්නට ලැබුණු බව ද, මේ දිරිය කත්‍රන්ගේ දායකත්වය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වූවක් බව ද ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අවධාරණය කරයි. මේ කතුන් ජාතික සමාජ, ආර්ථික හා විවිධ සේවා වෙත දක්වන දායකත්ව නීතීයේ නියාමනයට ලක්වී ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. වතුකම්කරු කාන්තාවන්ගේ දායකත්වය, සංක‍්‍රමණික සේවිකාවන්ගේ දායකත්වය ඉතාම ඉහළ මට්ටමක පැවතිය ද ඔවුන් ගේ එම දායකත්වය පිළිබඳ පිළිගැනීමත් තක්සේරුවත් ඉතාම අවම මට්ටමක පවතින බව මෙහිදී අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන පමණක් නොව සමාජීය ආර්ථික අයිතිවාසිකම් පිළිබඳවත් ඉතා ප‍්‍රබල අවධානයක් යොමු කරයි. සැඟවුණු කාන්තා නායකත්වයට අවස්ථාව ලබාදීම පමණක් නොව, කාන්තාවන් අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයන්හි නිරත වෙමින් රටේ ආර්ථීකයට දක්වන ශ‍්‍රම දායකත්වයේ දී ඔවුනට මුහුණ දෙන්නට සිදු වී ඇති අභියෝගවලට, ගැටලුවලට මානව හිමිකම් රාමුව තුළ කෙබඳු ආකාරයේ පිළිතුරු ලබාදිය හැකිද යන්න සොයා බලා එම ගැටලු විසඳීමට අදාළ රජයේ බලධාරීන් වෙත නිර්දේශ ලබාදීම මෙහි අරමුණකි.

ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාල ”ඇගෙන් තොර ලොවක්” යන තේමාව යටතේ කෘෂිකාර්මික ක්‍ෂෙත‍්‍රය, විවිධ ගෘහ කර්මාන්ත ක්‍ෂෙත‍්‍ර, වෙළෙඳ කලාප ක්‍ෂෙත‍්‍රය, වතුකර ශ‍්‍රමිකයන් හා සංක‍්‍රමණික සේවකයන් වැනි විවිධ අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයන් හී සේවයේ නියුතු කාන්තාවන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීම මඟින් ලද හැකි ප්‍රගතිය වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන වෙත 1996 අංක : 21 දරන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 සහ 11 වන වගන්තිවලින් ලත් බලතලඑලට අනුව ඉදිරිපත් කරන නිර්දේශ සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන් ම සකස් කර තිබෙන ”අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම : මානව හිමිකම් න්‍යාය පත‍්‍රයක් ” යන වාර්තාවේ අඩංගු ය.

”අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම : මානව හිමිකම් න්‍යාය පත‍්‍රයක් ” යන වාර්තාවේ 28 සහ 29 යන පිටුවල දක්වා ඇති පරිදි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව අධීක්‍ෂණය කරන අතර නිර්දේශ උල්ලංඝණය කිරීම සිදුවන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ද එයට මුහුණ දුන් පුද්ගලයන්ට හැකියාවක් ඇත. මෙම උල්ලංඝණ පිළිබඳ කොමිෂන් සභා පනතේ 14 වැනි වගන්තිය යටතේ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් පැමිණිලි විමර්ශනය කිරීමේ හැකියාව ද පවති.
මේ නිර්දේශ කාන්තාවන්ට එරෙහිව සිදුවන වෙනස්කම් සැළකිල්ලට ගනිමින් ඒවා තුරන්කිරීම සඳහා ලබාදෙන නිර්දේශ වේ. මෙම නිර්දේශ ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(2) ව්‍යවස්ථාවත් කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ අන්තර්ජාතික සම්මුතියේ පළමුවැනි වගන්තියත් පාදක කර ගෙන ඇත./

කාන්තාවන්ට එරෙහිව සිදුවන වෙනස්කම් සැළකිල්ලට ගනිමින් ඒවා තුරන්කිරීම සඳහා ලබාදෙන නිර්දේශ පහත ආකාර වේ.

1. කාන්තාවන් සම්බන්ධ ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී හා ප‍්‍රතිපත්තීන් සකස්කිරීමේ දී නියමිත ක්‍ෂෙත‍්‍ර නියෝජනය කරන කාන්තාවන් ඒ සඳහා සෑම විටම සහභාගී කරවා ගැනීමට කටයුතු සිදුකිරීම. මෙකී කාර්යය අදාළ රාජ්‍ය ආයතන මගින් සිදුවන්නේ ද යන්න අධීක්‍ෂණය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සිදුකළ යුතුය. පළාත් රාජ්‍ය ආයතන මගින් මෙම නිර්දේශ ක‍්‍රියාත්මක වන්නේද යන්න පළාත් කාන්තා කටයුතු අමාත්‍යංශය අධීක්‍ෂණයට ලක් විය යුතු වේ.

2. කෘෂිකාර්මීක ප‍්‍රදේශවලට හා අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයන් හි සේවයේ නියුතු කාන්තාවන්ට ණය ලබාදීමේ දී වෙනස්කම්වලින් තොරව ණය ලබාදීම සඳහා ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම. එහිදී කාන්තාවන්ට වෙනස්කම් නොකරන ජාතික ණය ප‍්‍රතිපත්තියක් සකස් කිරීම, ණය ලබාදීමේ ජාතික ප‍්‍රතිපත්තියක් කාන්තා නියෝජනය සහිතව සකස් කිරීමෙ, ණය නිසි කළමනාකරණය පිළිබඳ දැනුවත් භාවයක් ඇතිකිරීම හා ක්‍ෂුද්‍ර ණය ලබාදීමේ යෝජනා ක‍්‍රම හා එම ආයතන නියාමනය කිරීම, ඒ සඳහා ප‍්‍රතිපත්ති සකස් කිරීම ශ‍්‍රී ලංකා මහා බැංකුව හා ණය ලබාදෙන රජයේ සහ පෞද්ගලීක බැංකු ඇතුළු මුල්‍ය ආයතන කටයුතු කළ යුතුය.

3. අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ මෙන් ම විධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ ද සේවයේ නියුතු කාන්තාවන්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා විධිමත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීමේ ක‍්‍රමවේද ඇතිකිරීම හා ඒවා ස්ථාපිත කිරීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය, සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශය හා සියලූම පළාත් අමාත්‍යංශ පියවර ගත යුතුය.

4. අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රය පිළිබඳ කාන්තාවන්ගේ නිපුණතා වර්ධනය සඳහා ක‍්‍රමාණූකූල පුහුණු කිරීම් ක‍්‍රියාවලියක් හා නවීන තාක්‍ෂණීක දැනුම ලබාදීමට කුසලතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශය, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යංශය, ප‍්‍රාථමීක කර්මාන්ත අමාත්‍යංශය, ග‍්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශය සහ සියලූම පළාත් සභා හී ග‍්‍රාමීය සංවර්ධන තාක්‍ෂණීක, ආර්ථීක සංවර්ධන හා කාන්තා කටයුතු අමත්‍යංශ පියවර ගත යුතුය. මෙහිදී අලෙවිකරණය, වෙළෙඳ ප‍්‍රචාරණය, වෙළෙඳපොළ සොයාගැනිම පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.

5. අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ දැනට පිළිගෙන ඇති සේවා කිසිදු වෙනස් කමකින් තොරව කාන්තාවන්ට සැපයීම සහ අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රයේ කාන්තා ශ‍්‍රමිකයින්ගේ පවතින අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා නව ප‍්‍රතිපත්තීන් හා ක‍්‍රියාමාර්ග සකස්කිරීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ හා අධිකරණ අමාත්‍යංශයේ අධීක්‍ෂණය යටතේ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, ප‍්‍රාථමීක කර්මාන්ත අමාත්‍යංශය, ග‍්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යංශය හා සියලූම පළාත් සභා හී ග‍්‍රාමීය සංවර්ධන, ආර්ථීක සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශ පියවර ගත යුතු ය.

6. අවිධිමත් ආර්ථීක ක්‍ෂෙත‍්‍රවල නියුතු කාන්තාවන් ජාල ගතකිරීමට හා සමූපකාර සමිති වැනි සංවිධාන හරහා සංවිධාන ගතකිරීමට කටයුතු කිරීම. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය, සමූපාකාර කටයුතු අමාත්‍යංශය, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, ප‍්‍රාථමීක කර්මාන්ත අමාත්‍යංශය, ග‍්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යංශය හා සියලූම පළාත් සභා හී ග‍්‍රාමීය සංවර්ධන, ආර්ථීක සංවර්ධන, සමූපකාර හා කාන්තා කටයුතු අමාත්‍යංශ සිදුකළ යුතුය.

7. කාන්තාවන්ට වෙනස්කම් සිදුකරන නීති හා ප‍්‍රතිපත්ති සංශෝධනය කිරීම. මෙහිදි ඉඩම් සංවර්ධන ආඥා පනතට කාන්තාවන්ට හිතකර සංශෝධන එක්කිරීමට අධිකරණ අමාත්‍යංශයට හා ඉඩම් අමාත්‍යංශයට නිර්දේශ කරන අතර වතු ආශ‍්‍රිත සේවිකාවන්ගේ වේතන හා දීමනා හි පවතින විෂමතා ඉවත් කිරීමට කම්කරු හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශය වෙත නිර්දේශ කර සිටියි.

8. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියෙන් කාන්තාවන් වෙනස් කොට සැලකීමට එරෙහි ප‍්‍රබල ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම මෙන් ම දශක ගණනාවක් සාකච්ඡාවට භාජනය වු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කෙටුම්පත කාන්තාවන්ට එරෙහි සියලූම ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතියේ සඳහන් රාමුව පාදක කොටගෙන සම්මත කරගැනීම. මේ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය අවශ්‍ය පියවර ගතයුතු වේ.