Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ප්‍රචණ්ඩත්වය මුල් කර ගත් සමාජයක
ප්‍රජාතන්ත්‍රවාදය පලවා හැරෙනවා!

ප්‍රචණ්ඩත්වය මුල් කර ගත් සමාජයක සදාචාරය අභියෝගයට ලක් වන බවටත්, ප්‍රජාතන්ත්‍රවාදය පහර දී පලවා හැරෙන බවටත් ලෝක ඉතිහාසය අනේක විධ සාක්ෂි ගෙනහැර දක්වයි. එවන් පසුබිමක සිදුවන්නේ රටත් පුරවැසියාත් දෙදෙනා ම අනතුරකට පත්වීම යැයි සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන මහමාන්කඩවල පියරතන හිමියෝ පෙන්වා දෙති. එප්පාවෙල පොස්පේට් නිධිය රැකගැනීම සඳහා ඇරඹූ මංගල අරගලයෙන්ම එය දිනාගැනීමේ මුද්‍රාව තැබූ උන්වහන්සේ පෙරමුණ ගත් ජන අරගල රැසකි.

06.04.2018  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

අපේ රටේ පුරවැසියන් තවමත් අවතැන් කඳවුරු, ඉඩම් අහිමි කරවීම්,  වින්දිත ගෘහමූලික කාන්තාවන්, අතුරුදහන්වුවන්, දේශපාලන සිරකරුවන් වශයෙන් නොවිසඳුණු ප‍්‍රශ්න රාශියක් තුළ කොටු වී සිටිනවා. මෙවැනි වාතාවරණයක් රටේ තාමත් පවතිනනට බලපා ඇති කරුණු වටහා ගත යුත්තේ කෙලෙසකින් ද?

ප්‍රධානම කාරණේ තමයි මේ රටේ තාමත් හරියට ක‍්‍රියාත්මක ප්‍රජාතන්ත‍්‍රවාදයක් නොමැතිකම. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්න නම්, ඒ රටේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍ර වාදීන් ඉන්නට ඕනේ. මේ සමස්ත ක‍්‍රියාවලිය තුළ කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලක්‍ෂණ නැහැ. ඒ නිසා බලයට පත්වෙන මිනිස්සුන්ට රටේ ජීවත්වෙන පුරවැසියන්ගේ සිතුම් පැතුම් ආකල්ප සත්‍ය විධියට තේරුම් ගන්න බැරිවී තිබෙනවා. පුරවැසියන්ගේ ජීවත්වීමට වඩා දේශපාලනයේ පැවැත්ම කියන එක තමයි ඉස්මතුවෙලා ක‍්‍රියාත්මක වෙන්නේ්.

අපි තරුණ කාලෙ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබුණා. එ්ක ඉතාම සදාචාර සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. ඒ සදාචාරසම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ රට ක‍්‍රම ක‍්‍රමයෙන් සංවර්ධනය දෙසට ගමන් කළා. ඒ, කාටත් දායකවෙන්න පුළුවන්, කාවත් සම්බන්ධ කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සංවර්ධනයක්. ඞී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක වගේම සිරිමාවෝ මැතිනියගේ කාලසීමාවන්වලදී පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිම තමයි ඒ. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල් බිහිවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක ප‍්‍රචණ්ඩත්වය දෙසට හැරුණා.

අරගල මඟින් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෝදාපාළුවට ලක් වෙනවා

ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ යම් යම් අභිමථාර්ත ඉටුනොවෙනකොට ප‍්‍රචණ්ඩකාරි ක‍්‍රියාවලින් හරහා පවතින ආණ්ඩුව පෙරළලා දමල බලය අල්ලාගන්නට යෑමෙන් සිදුවී ඇත්තේ සහ සිදුවන්නට ඉඩ ඇත්තේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලක්‍ෂණ කැපී යෑමයි. පැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් විශාල ප‍්‍රමාණයක් කප්පාදු වීමයි. 71 දී අපි තරුණ විශ්වවිද්‍යාල සිසුන්ව සිටිය දී මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. පස්සේ 83 මෙන් ම 89 දීත් ඊටත් වඩා භයානක ප‍්‍රචණ්ඩත්වයක් ඇතිවුණා එහිදීත් දරුණු නීති පද්ධතියක් සකස් වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලක්‍ෂණ සම්පුර්ණයෙන් අහිමි කරලා හදිසි නීතිය සාමාන්‍ය නීතිය බවට පත්වුණා.

අනෙක් අරගලය තමයි විශාල පරාසයක් තුළ දියත් වුණු දෙමළ තරුණයින්ගේ සටන. ඒ අරගලය තුළ දෙමළ – සිංහල පාර්ශවයන් දෙකක් අතර වීමත් දරුණු අවි ආයුධ භාවිතා කිරීමත් නිසා විශාල ජාතිවාදයකුත් ප‍්‍රචණ්ඩත්වයකුත් තිබුණා. මේ අරගලය නිසාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි නොවන විශාල නීති පද්ධතින් අපේ ව්‍යවස්ථාවට ඇතුළත් වුණා.

අපට තේරුම්ගන්නට වෙලා තිබෙන්නේ, මේ ප‍්‍රචණ්ඩකාරි අරගල, විවිධ තරුණ නැඟිටීම් හෝ ආයුධ සන්නද්ධ අරගල හෝ මඟින් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් සෝදාපාළුවට ලක්වන බවයි. ඒක දෙමළ ද සිංහල ද මුස්ලිම් ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ආණ්ඩුවට විරුද්ධව හෝ ආණ්ඩුව වෙනස් කරන්නයි කියා ආයුධ සන්නද්ධ අරගල අපි ආරම්භ කළොත්, එහි ප‍්‍රතිඵලය වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශවෙලා යෑමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් වෙනස්කම් ඇතිකර ගන්න මාර්ගය තියෙද්දී, ප‍්‍රචණ්ඩත්වය භාවිතා කරන්නට හෝ ප‍්‍රචණ්ඩත්වය ක‍්‍රියාත්මක වෙන්නට ඉඩ හදාගන්නට නරකයි.

දෙමළ සිංහල පාර්ශවකරුවන් වු දෙමළ අරගලය මීට වඩා වෙනස්. යුද්ධය පැවති වසර විසිපහ තුළ තිබුණේ යුද මානසිකත්වයක්. ඒ යුද මානසිකත්වයම දේශපාලනඥයින් තමන්ගේ ජයග‍්‍රහණ සහ බලය තහවුරු කරගැනීමට භාවිත කළා. නමුත් මේ යුද්ධය නිමාවෙලා වසර අටකුත් ගෙවිලා ගියාට සිංහල සමාජය තුළ අර යුද මානසිකත්වය පහවෙලා ගිහිං නැහැ. යම් යම් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් ලබා දෙන්නට ඇතැම් පාලකයෙක් කැමති වුණත්, යුද මානසිකත්වයෙන් පිරී සිටින විරුද්ධවාදීන්ගේ විශාල බලපෑමකට ඔවුනට මුහුණ දෙන්න සිදුවෙනවා. එ නිසා රට පාවා දුන්නා කියන ප‍්‍රශ්නයකටත් මුහුණ දෙන්න සිදුවෙනවා. දෙපාර්ශවයක තිබෙන මෙවැනි දෝලනය වන දේශපාලනික ආත්මාර්ථකාමී තත්ත්වයක් තුළ තමයි අද දෙමළ ජනතාවට ඔවුන්ට අවශ්‍ය කරන නිදහස නොලැබීයාමට ප‍්‍රධාන හේතුව වෙලා තිබෙන්නෙ.

දේශපාලනඥයින් බලය තහවුරු කරගැනීමට යුද මානසිකත්වය භාවිත කළා

මේ ආණ්ඩුව පත්වෙනකොට අපි විශ්වාසයක් තැබුවා මේ ප‍්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා. නමුත් තවම එහෙම දෙයක් වුණේ නැහැ. එවැනි මානුෂික තත්ත්වයක් ලංකාවේ තාම හැදිලා නැහැ කියල තමයි පේන්නේ. ශක්තිමත් සිවිල් බලවේගවලින් තමයි ඒ තත්ත්වය ඇතිකරන්නට පුළුවන්. හැබැයි රටේ ජනතාවත් මීට දායක වෙන්න ඕනේ.

සිවිල් බලවේග හා ව්‍යාපාර රැසක් අදටත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වෙනවා?

සිවිල් බලවේග රාශියක් ලංකාවේ තිබුණට ඔය කියන ආකාරයේ අතිෂය මානුෂික පරිසරයක් ඇතිකරන්නට තරම් සමත් සිිවිල් බලවේග ඒ අතර නැහැ. අපි කවුරුත් මනුෂ්‍යයෝ ය කියන පදනමේ ඉඳගෙන වැඩකරන, සිතන පතන සමාජයක් බිහිකර ගන්නට සිවිල් බලවේගවලට හැකිවෙලා නැහැ. එවැනි සමාජයක් තමයි මේ සිංහල සමාජය තුළ බිහිවන්නට අවශ්‍ය කරන්නේ.

එවන් වුවමනාවක් සපුරා ගන්නට පුරවැසියාගෙන් ලැබිය යුතු දායකත්වය කවරාකාර ද?

මේ රටේ ජනතාවත් හරිද කියන ප‍්‍රශ්නය ඉස්මතුවෙලා තියෙනවා? පුරවැසියන් විධියට ඔවුන් නිවරැදි තීන්දුම ද ගන්නේ? රටේ සංවර්ධනය, රටේ ප‍්‍රගමනය, ආර්ථීකයේ දියණුව යනාදි පොදු කාරණාවලින් තමයි අපිටත් දියුණුවක් ලැබෙන්නේ කියන මතයේ නෙවෙයි ජනතාව සිටින්නේ. බහුතරයක් දෙනා තමන්ගේ රැකියා වෙනුවෙන්, දරුවන්ට රැකියා ගන්න, ඉඩමක් ගන්න, අල්ලස් ගත්ත මිනිහගෙන් පලි ගන්න වගේ ඉතාම පටු කාරණා වෙනුවෙන් තමයි තමන්ගේ දේශපාලනය ක‍්‍රියාත්මක කරන්නේ.

අපේ මිනිස්සු ඡන්දදායකයො මිස තවමත් පුරවැසියො නෙවෙයි

ඒවගේම තමයි බහුතර පුරවැසියා තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට හෙවත් රටේ පාලන තන්ත‍්‍රය මෙහෙයවන්නට යවන්නේ කාවද? නළුවෙක්, නිළියක්, කුඩු මුදලාලියෙක්, මැරවරයෙක්. මේවා කිසිම තේරුමක් නැති තෝරාගැනීම්. කාගෙන් හරි කමක්නැහැ තමන්ගේ වැඬේ කරගන්න පුළුවන් නම් කියන කිසිම සුගතියක් නැති පටු අරමුණකින් තමයි බහුතර ජනතාවක් තමන්ගේ දේශපාලනය කරන්නෙත්, ඡන්ද අයිතිය භාවිතා කරන්නෙත්. පාලකයෝ මේ ස්වභාවය හොඳට දන්නවා. ඒ නිසා පුරවැසියන් ගොනාට අන්දාගෙන තමන්ගේ මල්ල කොහොම කොහොමහරි පුරවාගෙන ඊළඟ ඡන්දෙට යන්න මාර්ගය හදා ගන්නවා. අපේ මිනිස්සු ඡන්දදායකයො මිස තවමත් පුරවැසියො නෙවෙයි.

/

නිවරැදි තේරිමක් නොමැතිකම තුළ පුරවැසියන්ගේ පසින් විශාල රික්තයක් පවතිනවා. ඒ තුළ රටත් පුරවැසියනුත් විශාල පරිහානියක් කරා ගමන්කරනවා. 1971 විශාල විනාශයක් සිදුවුණා. 80 ගණන්වල ඒ වගේම 2000 ගණන්වල සිදුවුණා, එන්න එන්න ඒ ප‍්‍රගමනය වැඩි නිසා යළිත් වතාවක් ඒවගේ විනාශයක් එයිදෝ යි කියා බියක් දැනෙනවා.

යුද්ධයත් නිමවෙලා වසර 09ක් වෙලා ප‍්‍රශ්න තවමත් එලෙසමයි

යුද්ධය නිසා, ඒ යුද්ධයේ අතුරුපල විධියට අලූතින් ඇතිවුණු අවතැන් කඳවුරු, ඉඩම් අහිමි කරවීම්, ගෘහමූලික කාන්තාවන්, අතුරුදහන්වුවන් දේශපාලන සිරකරුවන් වශයෙන් සිටින අය යනාදි මේ ප‍්‍රශ්න අඩු වැඩි විසඳුම් සමඟ තවමත් ඒ ආකාරයෙන් ම පවතිනවා. ඒ ප‍්‍රශ්න විසඳීම සඳහා අලූතින් පත්වුණු මේ ආණ්ඩුවට තිබුණා නිවරැුදි විදියට මේ ක්‍ෂේත‍්‍ර ගැන සොයාබලා විසඳුම් ලබාදෙන්න. දේශපාලන සිරකරුවන් අතරේ වැරදි කරපු අයට නඩු පවරලා සුදුසු දඬුවම් ලබාදෙන්නත් නිවරැදි කරුවන් ගැන විභාග කරලා නිදහස් කරදමන්නත්. යුද්ධයත් නිමවෙලා වසර 09ක් වෙනවා ඒ ප‍්‍රශ්න තවමත් ප‍්‍රශ්න ලෙසට පවතිනවා.

මේ ස්වරූපය වෙනස්කර ගන්න කළයුත්තේ කුමක් කියා ද ඔබවහන්සේ හිතන්නේ ?

මා පිළිපදින දහමත් එක්ක කථා කළොත්, මූලික වශයෙන් මේ රට නිවරැදි මාවතකට පිවිසෙන්න නම්, පළමුවෙන් ම ගුණදහම් ඇති පුද්ගලයින් නැගී සිටින්න ඕනේ. ගුණ දහම් ඇති අය නැගී සිටින්න ඕනෙයි කියන්නේ මේ ආණ්ඩු පෙරළන්නවත්, ආණ්ඩු පත්කරන්නවත් නෙවෙයි, අනෙක් ජනතාව තුළ ගුණදහම් වර්ධනය කරන්න. අවම වශයෙන් මේ රටේ මිනිස්සු පංචශිල ප‍්‍රතිපත්තය රකින පිරිසක් බවට පත් කරන්න යම් බලවේගයක් ඉදිරිපත්වෙලා, සියලූ ජාතීන් ම සියලූ ආගමිකයෝ ම පංචශීල ප‍්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරනවානම් මේ තත්ත්වය මීට වඩා යහපත්කර ගන්න පුළුවන්.

ඒ පැත්තට මේ පැත්තට ඡන්දෙ දීලා දේශපාලන මිත්‍යාව තුළ මිනිස්සු හෙම්බත්වෙලා රටත් නන්නත්තාර වෙලා තියෙන මෙවැනි අවස්ථාවක මේ රටේ ආගමීක නායකයින්ටත් විශාල කැපකිරීමක් කරන්න සිදුවෙනවා. පන්සල පල්ලිය කේන්ද්‍රකර ගෙන රටේ පුරවැසියන් සදාචාර සම්පන්න, ගුණගරුක පුරවැසියන් පිරිසක් බවට පත්කරවීමේ කාර්ය භාරයට උරදෙන්නට ඔවුන්ට සිදුවෙනවා. එහෙම වුනාම අනෙක් පැති නිවරැදි වෙනවා කියලා මා විශ්වාස කරනවා. මේ කර්තව්‍යය ඉටු කරන්න ආගමීක නායකයින්ට විශාල ප‍්‍රයත්නයක් දරන්නට සිදුවෙනවා.

අපේ රටේ පවතින්නේ සාක්කු පුරවා ගන්න හැදුණු අධ්‍යාපන ක‍්‍රමයක්

සදාචාර සම්පන්න ගුණගරුක පුද්ගලයෙකු බිහිකිරීමේ ප‍්‍රධාන භුමිකාවක් අධ්‍යාපනයටත් හිමිවෙනවා. අපේ අධ්‍යාපන රටාව එවන් දායකත්වයක් සපයන බවක් පෙනෙනවාද?

සදාචාර සම්පන්න ගුණගරුක පිරිසක් බිහි කිරීමේ හොඳම තැන තමයි අධ්‍යාපනය. මේ සඳහා අධ්‍යාපනය තුළ අරගලයක් නැහැ. බලධාරිනුයි මාපියෝයි, ශිෂ්‍යයෝයි විශාල ධනස්කන්ධයක් වැයකරල දැනුම දෙනවා, දැනුම ලබාගන්නවා. විෂය දැනුම ලබාගන්නවා නමුත් මිනිසෙක් හදන, දරුවෙක් හදන ක‍්‍රමයක් අද අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ සම්පුර්ණයෙන් ම නැහැ. ඒ කාර්ය සම්පුර්ණයෙන් ම අධ්‍යාපනයෙන් ගිලිහිලා ගිහිං. මිනිසෙක් සෑදිය යුතුම අධ්‍යාපනයෙන් මිනිසුන් නොසාදා ඒ වෙනුවට තරගකාරීත්වයට මුල්තැන දුන්න, තමන්ගේ සාක්කු පුරවා ගන්න සැදුණු අධ්‍යාපන ක‍්‍රමයක් අපේ රටේ පවතින්නේ. හරි විධියේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් ඇතිකරන්නේ නැතිව කවදාවත් මේ රට හදන්න බැහැ.