නිර්මලා දේවි ගේ
පැල්පතේ ජීවිතේ
බෙදා ගන්නට තරම් සැපක් නැතත් නිරතුරු උරුම වූ දුක ම දෑ, කුල ගොත් බේදයකින් තොරව, සම සේ බෙදා ගෙන දිවි ගෙවන බිම් කඩ ‘අපේ වත්ත‘ යැයි නම් ලැබීමට හැම අතින් ම සුදුසු ය. මේ ‘අපේ වත්තේ‘ දිවි ගෙවන අපේ ම මිනිසුන් පිරිසක ගේ ජීවිතයයි.
ඇය නිර්මලා දේවි ය. දෙමළ, හින්දු බැතිමතියක වන ඇය 42 වන වියේ පසුවන, දරුවන් සිවු දෙනකුගේ මවකි. ස්වාමිපුරුෂයා, දරුවන් සිවුදෙනා සහ පුංචි මුණුබුරා සමඟින් ඇය ජීවත් වන්නේ ”පැල්පත් නිවාස”, දුම්රියපොළ පාර, බම්බලපිටිය යන ලිපිනයැති වත්තේ ය. එක් පසෙකින් මහ සයුරත්, අනෙක් පසින් කොළඹ – මාතර දුම්රිය පාරත් මැදිකරගෙන ”අපේ වත්ත” පවුල් 24ක් ජීවත් වන බිම් කඩකි. එහි ඇය වසර 30ක් පුරාවට ජිවත් වන්නී ය.
කොහොමද ජීවිතේ ගෙනියන්නේ ?
අපිට ඉතිං ස්ථීර රස්සා නැහැ. කුලී වැඩ කරලා තමා ජීවත් වෙන්නේ.
මොනවගේ කුලී වැඩ ද ?
ගෑනු අයනම් එහා පැත්තේ ෆ්ලැට් එකේ ගෙවල්වල වැඩට යනවා. බංගලාවලට යනවා. පිරිමි අය ඉතිං එළියේ එක එක කුලී වැඩවලට යනවා. කඩවල්වල වැඩට යනවා.
පවුලේ කවුද හම්බකරන්නේ ?
මගේ ලොකු දුවයි, මහත්තයයි තමා හම්බකරන්නේ. ඒවා ස්ථිර රස්සා නෙවෙයි. මහත්තයා කුලීවැඩ කරලා තමයි කීයක් හරි හොයා ගන්නේ. එයාගේ අතකුත් නැහැ. ඉතිං වැඩක් හම්බවෙන විධියට තමයි කීයයක් හරි ලැබෙන්නේ.
මහත්තයාට දවසකට කොච්චරක් හොයාගන්න පුළුවන් ද ?
එයාට වැඩක් හම්බවුනොත් රුපියල් 500ක් 600ක් වගේ තමා ලැබෙන්නේ. දුව වැඩට යන්නේ ෆ්ලැට් එකේ. එයා වැඩට ගියොත්, දවසකට රුපියල් 800ක් 900ක් ලැබෙනවා. ඒත් එයාට පඩි ලැබෙන්නෙ මාසේ අන්තිමෙට.
ලැබෙන මුදල දවස ගෙවා ගන්න සෑහෙනවද ?
අපෝ නැහැ. මේ දරුවා ස්කෝලේ යනවා. එයාගෙත් වියදම් තියෙනවා. තව දුවෙක් ඉන්නවා. එයා ආබාධිතයි. එයාටත් වියදම් යනවා. අපි ගොඩක් වෙලාවට කන්නේ කඩෙන්. තිබුණොත් – ලැබුණොත් අපි කාලා බීලා , ඇඳලා ඉන්නවා. නොකා නොබී ඉන්න දවසුත් තියෙනවා. අපිට ගෑස් ළිප් නැහැ. දර ළිපක් හදාගන්නත් බැහැ මුහුදෙ රැල්ල ගහන නිසා. අපි හත් දෙනෙක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මාසෙ අන්තිමෙට ණය වෙනවා.
කොහොමද ණය ගෙවන්නේ ?
කන බොන ඒවලින් අඩුකරගන්නවා. නැත්නම් ඉතිං ආපහු ණයට හොයාගන්නවා.
රසවත් කෑමක් එහෙම හදාගන්න පුළුවන් ද ?
අපි කොහොම ඒවා හදාගන්නද? කවුරු හරි ගෙනත් දුන්නම තමා එහෙම රසවත් කෑමක් අපිට කන්න ලැබෙන්නෙ.
විනෝද ගමන් බිමන් යන්නෙ නැද්ද ?
අපිට මොන විනෝදාස්වාද ද? දවස ගෙවාගන්න තමයි වලිකන්නේ.
දරුවොත් මේ විධියටම ඉදිරියට යනවාටද කැමති?
අයියෝ නැහැ. නැතිකමට, බැරිකමට මෙහෙම ඉන්නවා මිසක් කැමැත්තෙන් මේ අපා දුක්විඳිනවා නෙවෙයි. හෙට වුණත් යන්න තැනක් අපිට ලැබෙනවානම් අපි යනවා.