Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ප්‍රියයන් වෙන් කිරීම පිළිබඳ
අතුරුදහන් නොවන මතකය

ප්‍රියයන් ගෙන් වෙන් වීම මෙන් ම ප්‍රියයන් ගෙන් වෙන් කරනු ලැබීම ද එක සේ ම දුකකි. උතුරේ හෝ දකුණේ හෝ ඒ දුකට පත්වූවන් අත්විඳින දුකෙහි වෙනසක් නොවන බව අතුරුදහන්වුවන් සෙවීමේ අරගලයේ දින 500 ට සහාය පළකරමින් ”කොළඹ සහයෝගිතා විරෝධතාව”ට එක්වූවවෝ අපට පසක් කරති.

25.07.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

”මගේ මහත්තයා ගැන තොරතුරක් ලබාගන්න රුපියල් ලක්‍ෂය දෙකේ ඉඳලා මා ළඟ තිබුණු හැම දාහේ කොළයක් ම දන් දුන්නා. මගෙත් ළමයි තුන්දෙනාටත් තිබුණු රත්තරන් බඩුත් දුන්නා. අන්තීමෙට දෙන්න දෙයක් නැතිව අකමැත්තෙන් බොහෝම වේදනාවෙන් මඟුල් දවසේ මහත්තයා මට බැන්ද මගේ තැල්ලත් දන් දෙන්න සිද්දවුණා. ඒත් අදටත් මහත්තයාත් එයා එක්ක හිටපු අනික් අය ගැනවත් කිසිම තොරතුරක් නැහැ. අඩුම තරමින් අතුරුදහන් වෙච්ච අපේ අය හොයල දෙනවා කියල අපේ දේවල් කොල්ල කාපු අය ගැනවත් තොරතුරක් නැහැ.”

නිවෙසට පැමිණෙමින් සිටිය දී පැහැර ගෙන ගොස් සිටි ධීවරයකු වූ තම සැමියා ඇතුළු පිරිසක් බේරා ගන්නට වෙර දැරූ මඩකළපුවේ එක් අම්මා කෙනෙකු අප හමුවේ හෙළි කළ කථාවක සාරාංශයයි ඒ.

ඇය පවසන්නේ තමන් ගෙන එසේ අල්ලස් ලබා ගත්තේ මඩකළපුවේ ම පුරවැසියෙකු ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු කියාය. මෙවන් ක‍්‍රියා මාර්ග හරහා මෙන් ම නිල වශයෙන් ද සිය අතුරුදහන් ඥාතීන් සෙවීම පිණිස විවිධ උත්සාහ දරමින් දැවැන්ත මෙහෙයුමක ඔවුහු නිරත වූහ. ඒ මෙහෙවර හා වෑයම ජිනීවා නුවර තෙක් දිගු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසට, ඔවුනට යුක්ති සාධාරණය ලබා දෙනු වස් විවිධ ක‍්‍රියාමාර්ග ඇරඹිණි. කොමිසම් බිහි විණි. ඔවුන්ගේ ම වදනින් කියතොත් මේ සියලු වෑයම් තවමත් මන්දගාමි තත්ත්වයේ පසුවන්නේය. මේ පිරිස පවසන්නේ තම පීඩාවේ තරම ශ්‍රී ලාංකීය බලධාරින්ට තවමත් හරිහැටි දැනුණු සේයාවක් නොමැති බවය.

කිසිවිටකත් යුද්ධයට සම්බන්ධ නොවූ තම ඥාතීන් පැහැර ගෙන යාම බරපතළ අපරාධයක් බව මේ පිරිස පවසන්නේ දිගු කලෙක සිට ය. දින වශයෙන් ගත් කල දින 500 කට වැඩි කලෙක සිට ය. තම අතුරුදහන් වූවන් ගැන සෙවීම ජාත්‍යන්තර අධිකරණයකට භාර කරන ලෙස මේ පිරිස ආණ්ඩුවට බල කර සිටියහ. යුද සමයේ සිදු වූ දහස් ගණනක් අතුරුදහන්වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

යුද්ධයේ අවසන් කාලය තුළ 16,000 සිට 22,000 දක්වා පිරිසක් අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයකු වන හුවාන් මෙන්ඩිස් පවසයි.

1983 වසරේ සිට ගැටුම් පැවති කාලය දක්වා ශ්‍රී ලාංකිකයන් 65,000 ක පිරිසක් අතුරුදහන් වී ඇති බව සංහිඳියා කාර්යාලයේ ප්‍රධානී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියි.

මේ සියලු තත්තවයන් හමුවේ අලුතින් ම කරලියට පැමිණියේ අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීමය. අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අතුරුදහන් ජනකායට සිදු වූ දේ පිළිබඳව හෙළි කර ගැනීම බව එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි.

/

ආණ්ඩු කිහිපයක්ම තම සමීපතමයන් සොයා දීම සඳහා අවංක උත්සාහයක් දරා නොමැති තැන අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය (OMP)කෙරේ විශ්වාසය තබන්නේ කෙසේද යන්න යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාල හමුව වර්ජනය කරමින් ඒ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ දෙමළ ඥාතීන් සිය ගණනක් ප්‍රශ්න කර තිබිණි.

මෙවන් පසුබිමෙක උතුරේ නැඟෙනහිර මෙන් ම රටේ වෙනත් පළාත්වල ද සිය සමීපතමයන් අහිමි වූ පිරිසට සිය සහයෝගීතාව පළ කරනු පිණිස අතුරුදහන්වුවන් සෙවීමේ අරගලයේ දින 500ට සහාය පළකරනු වස් ”කොළඹ සහයෝගිතා විරෝධතාව” සංවිධානය කෙරිණි. එම අවස්ථාව සංවිධානය කළ මානව හිමිකම් ක‍්‍රියාධරයින්ගේ කණ්ඩායමේ සම්පත් සමරකෝන් පවසන්නේ තමන් මේ අධිෂ්ඨාන ක‍්‍රියාවලියෙන් බලාපොරොත්තු වන්නේ උතුරේ නැගෙනහිර අතුරුදහන් වුණු ගැහැනුන්, මිනිසුන්, තරුණයන්, දරුවන් හා ඥාතීන් සොයා දෙන්නැයි අයදිමින් මහ මඟ දුක් විඳින උතුරු නැඟෙනහිර දෙමළ ජනයා වෙත තම සහෝදරත්වය ප‍්‍රකාශ කිරීම බව ය.

‘‘අපේ මේ උත්සාහය ඒ මිනිස්සු එක්ක දකුණේ අපිත් ඉන්නවා කියන පණිවිඩය දෙන්න. ඒ වගේ ම කිසිම භේදයකින් තොරව, සෑම මිනිසෙකුට ම ආදරය, ජීවිතය, බලාපොරොත්තුව, යුක්ති සාධාරණය හිමි වෙන්න ඕනෙ කියන අදහස ලබාදෙන්න. ඒ වෙනුවෙන් කථාකරන, හඬ නගන සමාජයක් බිහිවෙන්න ඕනෙ කියන හැඟීම තවත් හිත්වලට කා වද්දන්න. ” යි සම්පත් තව දුරටත් පවසයි.


දැන්වත් පොරොන්දු ඉටුකරන්න, සත්‍යය හා යුක්තිය ක‍්‍රියාවට නංවන්න. ඔවුන් වෙත ඉටු කරන යුක්තිය හා සාධාරණයට පමණක් ඔවුන්ගේ තුවාල සුවකළ හැකියි.

වයස් සහ ලිංග භේදයකින් තොරව අතුරුදහන් වී ඇතැයි වාර්තා වුණු සිය සමීපතමයන්සොයා 2009 වසරේ යුද්ධාවසනායේ සිට උතුරේ සහ නැගෙනහිර දෙමළ ඥාතීන්ට තවත් යුද්ධයක නියැළෙන්නට සිදු විය. යුද සමය සහ පශ්චාත් යුද අවධිය තුළ ත‍්‍රිවිධ හමුදාවන් වෙත ඕනෑකමින් භාරවීමෙන් හා භාරදීමෙන් පසු අතුරුදහන් ව ඇති පිරිස දහස් ගණනකි. ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් තවම නොලැබීම, අතුරුදහන්වූවන් සෙවීමේ යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් මේ ඥාතීන් මෙන් ම මානව හිමිකම් ක‍්‍රියාධරයන් ද මුහුණ දෙන ගැටලුවකි.

උතුරු නැඟෙනහිර අතුරුදහන් වූවන්ගේ ඇතැම් ඥාතීහු සිය ඇඳිවත පමණක් ඉතිරි වන සේ තමන් සන්තකයේ තිබූ වටිනා සියල්ල දන් දුන්නෝය. ඒ කප්පම් හෝ අල්ලස් ලෙසටය. ඒ ඇතැම්විටආරක්‍ෂක අංශවල සේවය කරන නිලධාරීන් වෙතටය. ඇතැම් අවස්ථාවල විවිධ සිවිල් සංවිධානවල නිලධාරින් වෙතටය. එහෙත් ආපසු ලැබුණු අතුරුදහන්වු ඥාතියෙක් නොවීය. අවම වශයෙන් තොරතුරුක්වත් නොවීය.

 

අතුරුදහන් වූ තම සමීපතමයන් සොයා දෙන ලෙස කෙරුණු ඉල්ලීම අරගලයක් ව , අවසානයේදී වීථි බැස්සේය. වව්නියාව, මුලතිව්, කිළිනොච්චි සහ ති‍්‍රකුණාමලය යන දිස්ත‍්‍රික්ක වශයෙන් බෙදී, මහා මාර්ගයේ දෙපස තනාගත් තාවකාලික කුඩාරම් තුළ හිඳිමින් ඇරඹූ මේ අරගලයට, පසුගිය 18 වන දා (ජුලි 18) වන විට දින 500 ක් සැපිරිණි. 2017 වසරේ පෙබරවාරි මස ඇරඹී මේ අඛණ්ඩ උපවාසයේ නැතහොත් විරෝධාලාපනයේ නායකත්වය ද සහභාගීත්වයට ද මුල් වූයේ කාන්තාවන් ම හේතුවෙන්, ඔවුනට ”අතුරුදහන්වූ තම ඥාතින් සොයා යන උතුරු, නැගෙනහිර අම්මලා” යනුවෙන් ශ්‍රී ලංකා සමාජයේ මුද්‍රාවක් ද තැබිණි.

”ඒ අම්මලාගේ, සහෝදරියන්ගේ පුදුමාකාර ධෛර්යය, ඉවසීම සහ අතුරුදහන් වුණු තමන්ගේ ඥාතීන් වෙත දක්වන අමිල ආදරය අපි අගය කරනවා. දින 500ක් මහ පාරේ අපමණ දුක් විඳ ගෙන ගෙනා මේ අරගලය අපේ ඇගයීමට ලක් වෙනා වගේම අපේ ගෞරවයත් ඔවුනට හිමිවෙනවා‘යි ප‍්‍රකාශ කළේ කොළඹ සහයෝගිතාවට පැමිණ සිටි පූජක හා පැවිදි පාර්ශවයන් ය.

/

2009 වසරේ මාර්තු මාසේ 21 වෙනි දා කොළඹ දී පැහැරගෙන යනු ලැබූ මට්ටක්කුලියේ පදිංචිව සිටි ත‍්‍රිරෝද රථ රියැදුරෙකු වු මොහොමඞ් හකීම් තරුණයාගේ මව වන සිත්ති ජමීනා ද කොළඹ සහයෝගිතාවට පැමිණ සිටියා ය. ”දින 500 අරගලය තවත් ශක්තිමත් කරන්නයි අපේ දායකත්වයත් ලබාදෙන්නේ. උතුරේත් දකුණේත් කියා වෙනසක් නැහැ. උතුරේ මාපියන්ගේ දුක හොඳටම අපිට තේරෙනවා. අපේ ළමයින්ටත් ඒ ළමයින්ටත් වෙලා තියෙන් අත් වෙලා තියෙන්නෙ එකම ඉරණම” යැයි සිය අතුරුදහන් පුතුගේ ජායාරූපයක් අතැතිව විරෝධතාවයේ යෙදී සිටි සිත්ති ජමීනා කීවා ය.

අධිශ්ඨාන ක‍්‍රියාව අවසන, පුද්ගලයින් 242 දෙනෙකු හා සංවිධාන 39 ක අත්සන් සහිත ඉල්ලීමක් ශ‍්‍රි ලංකා ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මානව හිමිකම් සහ කොළඹ පිහිටි තානාපති අංශ, මෙන්ම දෙස් විදේශීය බලධරයන් කිහිප දෙනෙකු වෙතම යැවීම පිණිස ද සූදානම් කෙරිණි. ”අතුරුදහන්වී ඇති දෙමළ පුරවැසියන් වෙනුවෙන් දැන්වත් පොරොන්දු ඉටුකරන්න, සත්‍යය හා යුක්තිය ක‍්‍රියාවට නංවන්න. ඔවුන් වෙත ඉටු කරන යුක්තිය හා සාධාරණයට පමණක් ඔවුන්ගේ තුවාල සුවකළ හැකි යැයි” එම ලියවිල්ලේ සඳහන් ව තිබිණි.