Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උතුරේත් දකුණේත් දෙපිරිසම විඳින්නේ
අයිතිවාසිකම් අහිමිවීමේ වේදනාවයි

යුද්ධයෙන් ආබාධිත වු දෙමළ කතුනට වැඩි අවාධානයක් ලබාදී ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කළ යුතු යැයි ඉල්ලා සිටින ඇය, 59 වියැති ආබාධිත සිංහල කාන්තාවකි. තම ආබාධිත තත්ත්වය පසෙක ලා තමන් මෙන්ම ආබාධිත ව සිටින ශ‍්‍රී ලාංකීක කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීමෙහි ලා, ”ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” පිහිටුවා ගෙන එහි සභාපතිනිය ලෙස සේවය කරන ඇය, නාරායනගෙදර කමලාවතී ය.

08.10.2018  |  
කිලිනොච්චි දිස්ත්‍රික්කය

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙසෙන ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙරමුණ ගෙන ඇය ක‍්‍රියාකාරි වන්නී ය. ‘ආබාධිත සහිත පුද්ගලයින් කිසිවෙක් යැපෙන්නන් නොවෙයි, ඔවුනට ලබා දිය යුත්තේ ”සුබ සාධන හෝ අනුකම්පාව නොව අයිතිය බව ද, ඔවුන් රටේ සංවර්ධන ප‍්‍රවාහයට යොදවා ගත හැකි සම්පත් ලෙස ඇය පෙන්වා දෙයි.

”ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” වැනි සංගමයක් පිහිටුවා ගත්තේ ඇයි?

මං වසය අවුරුදු 04 දි පෝලියෝ හැදිලා පාසල් ගියෙත්, පසුව රැුකියාවට ගියෙත් කිහිලිකරුවල සහ රෝද පුටුවල ආධාරයෙන්. රෝදපුටු තරග වලටත් ඒ වගේම ආබාධිත පුද්ගලයන්් නියෝජනය කරමින් විදේශ රටවල පැවැත්වූ සම්මන්ත‍්‍රණවලටත් සහභාගි වෙලා තිබෙනවා. එවැනි සම්මන්ත‍්‍රණ සමුළු වෙතින් මා ලැබු දැනුම වගේම අත්දැකීම් හරහා තමයි මෙවන් සංගමයක් පිහිටුවා ගතයුතු කියන අදහස මතු වුණේ. ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව ක‍්‍රියාකරන ආයතනයක් හෝ ඔවුන්ට පහසුකම්වත්, ස්වාධීනව ජීවත්වීමටවත් උපකාර වන විධිමත් ක‍්‍රමවේදයක් මේ රටේ තවම ගොඩ නැ`ගී නෑ. ඒ අඩුව මා බොහෝවිට දුටුවා, ඒ සම්බන්ධ අත්දැකීම් ලැබුවා. ඒ නිසා තමයි මට හිතුණේ් ආබාධිත සහිත කාන්තාවන්ට ඒකරාශි වෙන්න වේදිකාවක් තියෙන්න ඕනෙ කියලා. අපේ අයිතිවාසිකම් ගැන කථාකරන්න සංවිධානයක් පිහිටුවා ගන්න ඕනේ කියලා. එතකොටයි අපිට පුළුවන් වෙන්නේ ආබාධ සහිත සියලූම කාන්තාවන් එකතුවෙලා රජයට හෝ වගකිවයුතු ආයතන වෙත යම්කිසි බලපෑමක් කරලා අපේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ශක්තිමත් ව කටයුතු කරන්න.
ඒ අනුව තමයි අපේ සංවිධානය, ”ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” 1989 වසරේදි ආරම්භ කළේ. 1995 දි අපි සංවිධානය ලියාපදිංචි කළා. ප‍්‍රතිසංවිධානය කරලා නවතාවයකින් යුතුව දැන් වැඩකටයුතු කරගෙන යනවා.

ඔබේ සංවිධානයෙන් සිදුවන්නේ කවර ආකාරයේ වැඩකටයුතු ද? ඉන් යුද්ධයේ දී ආබාධිත වූ දෙමළ කතුන් ගේ වුවමනා සැපිරෙන්නේ කෙලෙසින්ද?

ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂාකර ගැනීම පරමාර්ථ කරගෙන නොයෙකුත් වැඩසටහන් අප ක‍්‍රියාත්මක කරනවා. විවිධ සමීක්‍ෂණ සිදු කරනවා. 2007 වසරේ දී අපි ශ‍්‍රි ලංකාවේ ආබාධ සහිත කාන්තාවන්ගේ තත්ත්ව අධ්‍යයන සමීක්‍ෂණයක් කළා. ඉන් පසු 2012 දී යුරෝපා කොමිසමත් සම`ග එකතුව උතුර සහ උතුරු නැගෙනහිර, උතුරු මැද පළාත්වල යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත් ව ඉන්න කාන්තාවන්ගේ තත්ත්වය ගැන සමීක්‍ෂණයක් කළා. මේ සමීක්‍ෂණයට ආබාධිත සහිත කාන්තාවන් 1000 ක් අප සම්බන්ධ කරගත්තා.
2014 වන විට යුද්ධය නිමාවි වසර 05ක් ගෙවී ගියාට පසුව ආචාර්ය දිනේෂා සමරරත්න සහ බටහිර සිඞ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් වන කැරන් සොල්ඩටික් මහත්මීන් සමඟ එකතුවෙලා යුද්ධයෙන් පීඩා විඳි, ආබාධිත තත්ත්වයට පත්වී සිටින, අපගේ ”ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” එකතු වී, ඒ හරහා ජීවිතය ජයගත්ත ආබාධිත සහිත කාන්තාවන් පිළිබඳව සමීක්‍ෂණයක් කළා.
නීතිය හා සමාජ භාරය ආයතනය සමඟ සම්බන්ධවෙලා කටයුතු කරන්න අප සංවිධානයට අවස්ථාව ලැබුණා. එහිදී අපිට අවස්ථාවක් ලැබුණා සාර්ථක සමීක්‍ෂණයක් මෙහෙයවීම පිළිබද ඉතාම හොඳ පුහුණුවක්. එ් පුහුණුවේ ප‍්‍රතිඵලයක් විධියට, යුද්ධයෙන් පීඩාවට පත්වී සිටින උතුරු නැගෙනහිර ආබාධිත ශ‍්‍රි ලාංකීක කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ කළ සමීක්‍ෂණයට දායකත්වය ලබාදෙන්න අපේ සංගමයට අවස්ථාවක් ලැබුණා. මේ සමීක්‍ෂණයත් සිදුකළේ නීතිය හා සමාජ භාරය ආයතනය (එල්එස්ටී* සහ බටහිර සිඞ්නි විශ්වවිද්‍යාලය එකතුවෙලා. අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්ක වෙනුවෙන් කළ සමීක්‍ෂණය අපේ සංගමය හරහායි සිදුකළේ.


දෙගොල්ලන්ම විඳවන්නේ තමන්ගේ අයිතිවාසිකම් අහිමිවීම. කවුරුන් හෝ මිනිසුන් දෙකොටසක් කරපු ක්‍රියාවක අනිසි ප්‍රතිඵල දැන් භුක්ති විඳින්නේ අහක හිටපු මිනිස්සු.

මෙවැනි සමීක්‍ෂණ කරන්නට සිදුවී තිබෙන්නේ ඇයි?

ආබාධ සහිත කාන්තාවන්ගේ වත්මන් ජීවන තත්ත්වය, ජීවිත ප‍්‍රශ්න, අයිතිවාසිකම් සම්බන්ධයෙන් කථාකරන්න, ඔවුන්ගේ අනාගත අපේක්‍ෂා පිළිබඳ දැනගන්නට ඇත්තෙන් ම සමීක්‍ෂණ සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන් වෙනුවෙන් ක‍්‍රියාකරන්නට ඉඩ සැපයෙන අවස්ථා අපේ රටේ නැති තරම්. මෙවැනි සමීක්‍ෂණ කිහිපයක් ම අප සිදුකර තිබෙනවා. එහිදී අපි එළිදරව් කරගත් සංවේදී කරුණු බොහෝමයක් තිබෙනවා. බොහෝ අයට ජාතික හැඳුනුම්පත නැහැ. ඉන් අති බහුතරය විවාහ වෙලා නැහැ. එක දිස්ත‍්‍රික්කයක 200 දෙනෙක් මේ සමීක්‍ෂණයට සහභාගි වුණා. ඒ කාන්තාවන්ගෙන් සියයට 30 ත් 35ත් අතර ප‍්‍රමාණයක් තමයි විවාහවෙලා හිටියේ. ඉතිරි සියලූම දෙනා අවිවාහකයි. ඔවුන්ගේ් ආරක්‍ෂාව පිළිබඳ ප‍්‍රශ්නත් තිබුණා. මෙවැනි දැ එළියට එන්නේ මේ වගේ සමීක්‍ෂණ සිදුකළොත් පමණයි.
මෙවන් පිරිස් පිළිබඳ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හරි ආණ්ඩුවේ වෙත් කාර්යාලයකින් හෝ වෙනත් රාජ්‍ය නොවන ආයතනයකින් හෝ ලබාගන්න වෙන්නේ අසම්පූර්ණ දත්ත, තොරතුරු. ඒ අය ළඟ තියෙන්නෙ උඩින් පල්ලෙන් අහුලාගත්ත තොරතුරු ටිකක් විතරයිි. ආබාධ සහිත පුද්ගලයන් ගැන, විශේෂයෙන් යුද්ධයෙන් බැට කෑපිරිස් ගැනත් සමීක්‍ෂණ කළ යුතු බව මේ පිරිස් දන්නවා. එනමුත් මේ ආයතන ඒ සඳහා ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ.
ආබාධ සහිත කාන්තාවන්ගේ මෙන් ම පිරිමින් ද සම්බන්ධයෙන් සමීක්‍ෂණය කරලා ඔවුන්ගේ අවශ්‍යතා දැනගෙන, ඔවුන්ගේ විවිධ හැකියා, ධාරිතා හඳුනාගැනීමෙන් සමාජ සංවර්ධනයට, සංවර්ධන ප‍්‍රවාහයට ඔවුන් එක්කර ගත යුතුයි. මෙවන් සමීක්‍ෂණ ඒ සඳහා බොහෝ සේ උපකාරී වෙනවා.

ඔබ පවසන්නේ ආබාධ සහිත කාන්තාවන් හා පොදුවේ ගත් කල ආබාධ සහිත පුද්ගලයන්ට මේ සමාජයේ නිසි අවධානය යොමුවෙලා නැහැ යන්නද? ඔවුනට සාධාරණය, යුක්තිිය ඉටුව නැහැ යන්නද?

පිළිගන්නවා විතරක් නෙවෙයි, බොහෝ අවස්ථාවල මං ඒ තත්ත්වය අත්දැකලා තිබෙනවා. රෝදපුටුවකින් ගමන්කරන කෙනෙකුට ලංකාවේ තිබෙන පහසුකම් මොනවද? මං අනුරාධපුරේ ඉඳලා කොළඹ එනවනම් අනිවාර්යෙන් ම පෞද්ගලීක වාහනයක එන්න ඕනේ. පොදු ප‍්‍රවාහනයට, බස් එකකට, කෝච්චියට ගොඩවෙන්න ක‍්‍රමයක් නැහැ රෝදපුටුවක් එක්ක. ඒ නිසා ගමනා ගමන පහසුකම එහෙමපිටින් ම ආබාධිත අපිට නැහැ. සමහර ස්ථානවල ලොකුවට බෝර්ඞ් ගහලා තියෙනවා ප‍්‍රවේශ පහසුකම තියෙනවා කියලා. නමුත් අපි ගියාම ඒ පහසුකම නැහැ. වොෂ්රූම් එකකට රෝදපුටුව ගන්න බැහැ. සමහර ස්ථානවල වතුර ටිකක් බොන්න අත සෝදගන්න ක‍්‍රමයක් නැහැ. ටැප් එක ගොඩාක් උසින් තියෙන්නෙ. අපිට අවශ්‍යකරන ආකාරයට බොහෝ ස්ථානවල ඒ පහසුකම් නැහැ. දැන් අවුරුදු 20ක් තිස්සේ අපි, ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන එකතුවෙලා බලපෑම් කිරීමේ ප‍්‍රතිඵලයක් විධියට දැන් ඒ පහසුකම් ඇති කිරිමේ ආරම්භයක් තිබෙනවා.

සමහර රජයේ උසස් නිලධාරීන් හමුවෙන්න අපට යන්න බැහැ පඩිපෙළවල් නගින්න බැරි නිසා. රෝදපුටුවලට යන්න පහසුකම් නැහැ. ඒ වගේ ම අපේ රටේ සිටින ආබාධිත අපට ආගමික කටයුතුවල නිරතවෙන්න සිදුවෙලා තියෙන්නේ බාගෙට. හාමුදුරු කෙනෙක් සංඥා භාෂාවෙන් බණ කියනවා අපි කොහේවත් දැකලා නැහැ. පල්ලියක පුජකතුමෙක් සංඥා භාෂාවෙන් යාච්ඥා පවත්වනවා, පුජාවක් තියනවා අපි දැකලා නැහැ. කථාකරන්න බැරි කාන්තාවක් තමන්ගේ ආගමික ස්ථානයකට ගිහිං වඳින්න, පූජා තියන්න ගියාට වැඩක් නැහැ ඒක එයාට තේරෙන්නෙ නැහැ. ආගම සිහිකිරීමේ ඉඳලා සමස්ත ජීවත්වීම ම අපහසුතා රැුසක් මැද තමයි අපට ඉටු කරගන්නට සිදුව ඇත්තේ.
ආබාධ සහිත පුද්ගලයින් එක අමාත්‍යංශයකට කොටුකර තිබීම බොහෝ ගැටලූ මතු කරන්නක්. ඒ මිනිස්සුන්ගේ නිවාස ප‍්‍රශ්නයකට උත්තර දෙන්නේ නිවාස සංවර්ධන අමාත්‍යංශය වුණාට, අපි නිවාස ප‍්‍රශ්නයකට ඒ අමාත්‍යංශයට ගිය ගමන් අප යොමුකරවනවා සමාජසේවා අමාත්‍යංශයට. කාන්තාවන් සම්බන්ධ ප‍්‍රශ්නයකට ගියත් සමාජසේවා අමාත්‍යංශයට යොමුකරවනවා. ආබාධ සහිත තරුණ තරුණියකගේ අවශ්‍යතාවකට තරුණ කටයුතු අමාත්‍යංශයට ගියත් සමාජසේවා අමාත්‍යංශයට තමයි යොමුකරවන්නේ. මේ රටේ පාලකයන්ම තමයි ආබාධ සහිත පුද්ගලයන් එක අමාත්‍යංශයකට කොටුරලා සුබසාධන ක‍්‍රියාවලියකට යොමුකරවලා තියෙන්නෙ. විය යුත්තෙ මනුෂ්‍යයන් ලෙස වෙනසක් නැතිව එක හා සමානව අපටත් ඒ ඒ අමාත්‍යංශවලින් ඉටුවෙන සේවා ලබාගන්න අවස්ථාව උදා කිරීමයි. ආබාධ සහිත පුද්ගලයන් කොන් නොකර මේ රටේ සංවර්ධන ක‍්‍රියාවලියට අපේ ශ‍්‍රමයත් ලබාගන්න ඕනේ. අප කොන්කරලා සුබසාධන ක‍්‍රියාවලියකට යොමුකරවල තියෙන නිසා තමයි තුන්වෙනි ලෝකෙ රටක ආබාධ සහිත පුද්ගලයන්ට ඉස්සරහට යන්න බැරි.

ඔබ අභියෝග කරනවා ඔබ වැනි පුද්ගලයන්ට සුබසාධන අවශ්‍ය නැහැයි කියා?

ඇත්තෙන් ම ඔව්! සුබසාධන නෙවෙයි, අපිට අවශ්‍ය අයිතිවාසිකම්. අවස්ථාව සහ සමානාත්මතාවය. දැන් අි දෙදෙනාම කාන්තාවන්. ඔබ කකුල් දෙකෙන් මෙතන්ට ආවා. මං රෝදපුටුවෙන් ආවා. මා ගැන යැපෙන්නෙක් විධියට හිතනවානම් වැරදියි. බලන්න, ආබාධ සහිත දරුවෝ ඉන්න අඳ බිහිරි පාසල්වල දරුවන්ට උදේ හවස දාන දෙනවා. එ් ළමයි එළියට එනකොට ආත්ම අභිමානයක් නැහැ. වයස අවුරුදු පහේ ඉඳලා දානෙම කාලා හිතනවා එළියට ගියාම හිඟාගෙන කෑවට කමක් නැහැ කියලා. මිනිස්සු නිවන් යන්න කියලා හිතාගෙන දානෙ දෙනවා, දානෙම කන්න පුරුදු වුණු ඒ ළමයි පාරට වැටෙනවා. එහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් ඒ ඒ ආයතනවල අවශ්‍යතා නිසි විධියට සපුරන්නේ නැති නිසා. ඒ ආයතනවලට සිද්දවෙලා තියෙනවා මිනිස්සුන්ගෙන් දානෙ අරගෙන යැපෙන්න. ඇත්තටම කනගාටුයි, මේ රටේ පාලකයන්, බලධාරීන් දන්නේ නැහැ දක්‍ෂ බුද්ධිමත් ආබාධිත පුද්ගලයන්ගේ ශ‍්‍රම දායකත්වය රටේ සංවර්ධන ක‍්‍රියාවලියට යොදාවා ගන්න.
/

යුද්ධය නිසා ආබාධිත තත්ත්වයන්ට පත්වුණු උතුරේ, උතුරු නැගෙනහිර දෙමළ කාන්තාවන් පිළිබඳ ඔබේ විග‍්‍රහය කෙබදු ද?

ඇත්තෙන්ම එ්ක ඉතාම, ඉතාම ශෝචනීය තත්ත්වයක්. උතුරේ සහ නැගෙනහිර එවැනි කාන්තාවන් රාශියක් අපේ සංගමයට සම්බන්ධයි. යුද්ධයට ගිය කාන්තාවන් එක්කත් අපි වැඩකරනවා. ඒ වගේම යුද්දය නිසා විපතට පත්වුණු, ආබාධිත තත්ත්වයට පත්වෙච්ච කාන්තාවන් එක්කත් අපි වැඩකරනවා. ආබාධිත තත්ත්වයට පත්වුණාට පස්සේ දෙගොල්ලම එකයි. දෙගොල්ලන්ම විඳවන්නේ තමන්ගේ අයිතිවාසිකම් අහිමිවීම. කවුරුන් හෝ මිනිසුන් දෙකොටසක් කරපු ක‍්‍රියාවක අනිසි ප‍්‍රතිඵල දැන් භුක්ති විඳින්නේ අහක හිටපු මිනිස්සු, ඒ කාන්තාවන්.
උතුරේ නැගෙනහිර කාන්තාවන්ට, යුද්ධය කියන කුරිරු ක‍්‍රියාව නිසා ආබාධිත තත්ත්වයන්ට පත්වෙන්නට සිදුවුණා. ඒක මහා අපරාධයක්. ඒ අවාසනාවන්ත තත්ත්වය තුළ අතරමං වුණු කාන්තාවන් බොහෝ පිරිසක් ඉන්නවා නිසි ජීවත් වීමේ වැඩපිළිවෙළක් නැතිව. ඇතැම් අයගේ ස්වාමිපුරුෂයන් යුද්දෙදි මියගිහිං. ඇය ළමයින් සමඟ දැන් තනිවෙලා ජීවත් වෙන්න, ළමයිට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ඇයට හැකියාවක් නැහැ. ඔවුන් අධික ලෙසට මානසීකවත් ශාරීරිකවත් පීඩා විඳපු පිරිසක්, තාමත් පීඩා විඳිනවා. ඔවුන්ගේ අහිමිවීම් අධිකයි. ඔවුන්ගේ පීඩාව අධිකයි.
අපට වඩා ඒ ආබාධිත දෙමළ කාන්තාවන් ගැන හොඳ අවධානයකින් යුතුව සොයා බලන්න ඕනේ්. ඔවුන් තවත් පීඩාවට පත්වෙන්න ඉඩහරින්නේ නැතිව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දෙන්නට බලධාරීන් පියවර ගන්න ඕනේ. ඒත් එවැනි දෙයක් නම් අපි තාම දකින්නෙ නැහැ.
රටේ සැමට එකසේ සලකනවා කියා කියනවානම් අපත් සාමානාත්මතාවය තුළ පිළිගැනීමට ලක්වෙන්න ඕනේ. නමුත් එහෙම පිළිගැනීමක් තවමත් නැහැ. පහුගිය කාලයේදි ලංකාවේ අලි කීදෙනෙක් ඉන්නවාද කියලා සංගණනයක් පැවැත්වුවා. ඇත්තුන්ගේ දළ ගැන එහිදි ගණනය කළා. හැබැයි අපේ රටේ ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ නිවරැදි සංගණනයක් තවම සිදු කර නැහැ.