Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පිරිසක් කළ වැරැද්දකට
සමස්ත ජාතියක් දඩුකඳේ ගැසිය යුතු නෑ!

පාස්කු ඉරිදා ඛේදවාචකයේ සැබෑ තත්ත්වය සහ එහි ආරම්භය හෝ විකාශනය ගැන නිවරැදි වැටහීමකින් තොරව සමස්ත මුස්ලිම් සමාජයම අපරාධකාරයින් සේ හංවඩු ගසන්නට අති බහුතර ශරීොරව ලාංකීකයින් පෙලැඹීම සමාජයක් ලෙස අප කෙතරම් පසුගාමී බවත් වෙත තල්ලූ තර තිබේදැයි යන්නට නිදසුන් සපයයි. තිස් වසරක යුද ගැටුමකින් අනතුරුව, නොහොඳ නෝක්කඩු සමනය කර ගනිමින් ජනතා සිත් සතන් සංහිඳියාව නැඹුරු වෙමින් පවතින යුගයක නැවත වාර්ගික ගැටුමක් දක්වා මේ අසමඟිය වර්ධනය වුවහොත් එය දරුණු සාමාජීය ව්යවසනයක් වනු නොඅනුමාන ය.

24.06.2019  |  
පුත්තලම දිස්ත්‍රික්කය
සත්කෝරළ මහ දිසාවේ උප  ප්‍රධාන සංඝ නායක මහාගල්කඩවල පුඤ්ඤසාර නාහිමි

පාස්කු ඉරිදායින් පසුව ද සමාජයේ එක් එක් ප‍්‍රදේශවල ඇවිළී ගිය හා අවුළුවන්නට තැත් දැරුණු වාර්ගික කැරළි කෝලහාල නිසා එහි දරුණුකම තවත් ඉස්මතු විය. පුරාණ ලංකාවේ එක්ව දිවි ගෙවූ මුස්ලිමුන් සහ සිහලුන් අතර පැවති සහජීවනය යළිත් දළු ලා එන්නේ නම්, මෙවන් ගැටලු මඟහරවා ගත හැකි බවත්, එය  ශ්‍රී ලාංකීය පුරවැසියාට මෙන් ම ලංකා මාතාවට ද සැබෑ සංහිඳියාවක් අත්පත් කර දෙනු ඇති බවත් රත්විට රාජමහා විහාරාධිපති, සත්කෝරළ මහ දිසාවේ උප  ප්‍රධාන සංඝ නායක මහාගල්කඩවල පුඤ්ඤසාර නාහිමියෝ පවසති.

පාස්කු ඉරිදා ඛේදවාචකය ඔබ වහන්සේට හැඟුණු දැනුණු අයුරු කවරාකාරදැයි පහදා දෙන්න.

පාස්කු ඉරිදා ඒ සිදුවීම නිසා අපේ හදවත්වල ලොකු කම්පනයක් ඇති වුණා. දේවස්ථානවලට ඇතුළුවෙලා අහිංසක ජනතාවක් ඝාතනයට ලක්කිරීම ගැන පුදුමාකාර විධියේ සංවේගයක් ඇති වුණා. ඒ සංවේගය තාමත් එහෙමමයි. බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබලා තවමත් රෝගාතුරව සිටින, මානසික ආතතියෙන් පෙළෙන, කම්පාවෙන් පෙළෙන, විපතට පත්වුණු සියලූම කිතුණු ජනතාවට අපේ සුවයේ සහනයේ ප්‍රාර්ථනාව අප පළ කරනවා.

පාස්කු ඉරිදා ඛේදවාචකයට දින 20කට පසුව රටේ එක් එක් ප‍්‍රදේශවල ඇවිළී ගිය හා අවුළුවන්නට තැත් දැරුණු වාර්ගික කැරළි කෝලහාල ඔබවහන්සේ දකින්නේ කුමන ඇසකින් ද?

යම් යම් දේශපාලන නායකයන් බලයට තිබෙන කෑදරකම නිසා අවස්ථාවාදීව කටයුතු කළා. එය තවමත් සිදුවෙනවා. අපි නාත්තණ්ඩියට, හෙට්ටිපොළට, කුලියාපිටියට ස්ථාන රැසකට ම ගියා මේ තත්ත්වය දකින්න. මුස්ලිම් පල්ලි, කඩ සාප්පු, ව්‍යාපාරික ස්ථාන, මෙන් ම ඇතැම් අවස්ථාවල සිංහල මිනිසුන්ගේත් දේපළවලට හානි පමුණුවා තිබුණා. අවශ්යමකරන්නේ දැන් ජීවත්වෙන දෙමළ, මුස්ලිම්, සිංහල අහිංසක ජනතාව අරක්ෂාව කිරීමයි. මේ සියලුම දෙනා මේ රටේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ. වර්ගවලට බෙදීමක් අවශ්‍ය නැහැ. සිංහල බෞද්ධ මිනිස්සුන්ට විතරක් නෙවෙයි මේ රට අයිති. දෙමළ, මුස්ලිම්, සිංහල, බෞද්ධ,  ක‍්‍රිස්තියානි, හින්දු හැමෝටම අයිතියි. මේ රටේ හැමදෙනාට ජීවත් වෙන්න පුළුවන පසුබිමක් තහවුරු කළ යුතුයි.

ඔබවහන්සේ මේ ඛේදවාචකය පිටු දකින්නට ගත් යම් වෑයමක් හෝ ප‍්‍රායෝගික ක‍්‍රියා මාර්ගයක් තිබෙනවාද?

ඒ ඛේදවාචකය දරාගන්න බැරිතැන අපි ගමින් ගමට ගිහිං මෙවැනි ව්‍යසන මින්මතු ඇති නොවේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් වගකිව යුතු මිනිස්සුන්ට කථාකරලා කියන්නේ මේ වගේ ව්‍යසන ඉදිරියේදි ඇති නොවෙන්නට කටයුතු කරන්න කියලා. අපිට කවුරුත් කිව්වෙත් නැහැ, මුස්ලිම් අයගෙන් ඉල්ලීමක් තිබුණෙත් නැහැ එහෙම කරන්න කියලා. අපි බෞද්ධ භික්ෂුන්වහන්සේලා හැටියට අපේ වගකීම්, යුතුකම් ඒ විධියට ඉටුකරමින් ඉන්නවා.

බිය නැති කිරීම සඳහා සංවාදයක් ගොඩනැඟීමට වුවමනායි

/

අප මුස්ලිම් පල්ලිවලට ගොඩ වුණා. ගෙවල්වලට ගියා. ව්‍යාපාරිකයන් මුණගැහුණා. අනෙකුත් සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් මුණගැහුණා. අප ඔවුන්ට කියා සිටියා ත්‍රස්තවාදය අප එහෙමපිටින් ම හෙළා දකින බව. ක‍්‍රිස්තියානි – කතෝලික ජනතාවට සිදු වූ ව්යසසනය ගැන අපි කවුරුත් කනගාටුව, සංවේගය පළ කළ යුතු බවත් අප අවධාරණය කළා.
පාස්කු දවසේ ව්‍යසනයෙන් පස්සේ මුස්ලිම් මිනිස්සුන්ට හිරිහැර කිරීම ඇරඹීම නිසා ඔවුන්ට ඉන්නට සිදු වුණේ පුදුමාකාර බියකින්. සිංහල ගම්වලට මැදි වෙච්ච මුස්ලිම් ගම් විශාල සංඛ්‍යාවක් මේ රටේ තිබෙනවා. අදාළ සිදුවීම්වලින් පස්සෙ ඒ ගම්වල මුස්ලිම් මිනිසුන් ජීවත් වුණේ අති විශාල බියකින්. ඒ බිය නැතිකරන්නට කටයුතු කිරීමයි අපේ අරමුණ විය යුත්තේ. මිනිසුන් තුළ ඇති ව තිබෙන බිය නැති කිරීම සඳහා ඔවුන් සමඟ සංවාදයක් ගොඩනැඟීමට වුවමනායි. ඔවුන් තුළ වන බිය සැක නැති කිරීමට එමඟින් හැකිවෙනවා.

මුස්ලිම් ජාතිකයකු දුටුවිට, කුපිත වෙන, වෛරි සිතුවිලි පහළ කරගන්නා පුද්ගලයින්ට ආගමික නායකයෙකු ලෙස ඔබ වහන්සේ ලබා දෙන ආදර්ශය කෙබඳු ද?

බෞද්ධ භික්ෂුවක් විධියට උපදෙස් දෙනවාට වඩා ඒ දෙය ක‍්‍රියාවෙන් කරලා පෙන්වීමයි වැදගත්. එතකොට තමයි මිනිස්සු අපි කියන ඒවා පිළිගන්නෙ, පිළිපදින්නෙ. අපි දැනටමත්, ඒ ඒ ප‍්‍රදේශවල ජීවත්වෙන මුස්ලිම් සිංහල මිනිස්සුන් ඒ ඒ විහාරස්ථානවල රැස්කරලා මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කියාදීලා ඔවුන්ගේ බිය නැතිකර ගන්න මඟ පෙන්වනවා, උදවු කරනවා. බහුතර සිංහල මිනිසුන් ඔවුනට විරුද්ධව කටයුතු නොකරන බවත්, ඔවුනට කිසිදු කරදරයක් සිදු වන්නට අප ඉඩ නොදෙන බවත් අප බොහොම විවෘතව පවසනවා. ඉන් ඒ මිනිසුන්ගේ හිත්වල යම්කිසි නිදහසක් මෙන්ම අපි කෙරෙහි විශ්වාසයක් ද ගොඩනැඟෙනවා. සිංහල – මුස්ලිම් දෙපිරිස අතර තිබුණු අතීත සබැඳිකම් අප ඔවුනට පෙන්වා දෙනවා. සිංහල – මුස්ලිම් වාර්ගිකත්ව දෙක අතර අතීතයේ පටන් එන නෑදෑකමක් පවතිනවා. ඒක අප දෙගොල්ලන් ම අවබෝධ කරගත යුතුයි.

මා මුස්ලිම් තරුණයින්ගෙන් ඉල්ලීමක් කරනවා, අතීතයේ සිදුවුණා වගේ සිංහලයන් සමඟ සෘජු සම්බන්ධතා ආරම්භ කරන්න. සිංහල තරුණියන් විවාහාපත් කරගන්න. අපේ ප‍්‍රදේශවල ඇතැම් සිංහල – මුස්ලිම් මිශ‍්‍ර විවාහ සිදු කර ගත් පිරිස් බොහෝම ලස්සනට හොඳින් ජීවත්වෙනවා. මේ මිශ‍්‍ර විවාහ නිසා අඬදබර කලකෝලාහාල සිද්ධ වෙන්නෙ නැහැ. ඔවුනොවුන්ට තම තමන්ගේ ජාතියේ වෙනස්කම් විවිධත්වයන් සමානකම් අවබෝධ කර ගන්නට ඉන් අවස්ථාව උදා වෙනවා. පසුකාලයේදි ඒවා ඔවුන්ගෙ දරුවන්ටත් ආදර්ශයක් වෙනවා වගේ ම ඔවුනුත් ඒ යහපත් ආකල්ප අනුගමනය කරන්නට පෙලැඹෙනවා.
පුරාණ කාලේදී මේ රටට ආව මුස්ලිම්වරුන් විවාහයට තෝරා ගත්තෙ සිංහල කන්තාවන්. ඒ නිසා හේරත්මුදියන්සේලාගේ මොහොමඞ් ලා වගේ අය අපි අතරේ තවමත් ජීවත් වෙනවා. අපේ සිංහල ගම්වල මේ මිනිස්සු හරිම සුහදතාවකින්, හරිම අවබෝධයකින් ජීවත් වෙනවා. ඒක වුණේ මේ සිංහල මුස්ලිම් මිශ‍්‍ර විවාහ නිසයි. මා යෝජනවා කරනවා මෙය යළිත් දළු ලා වැඩෙන්න ඕනෙ කියලා. එතකොට අපේ රටේ හරි අගේට සංහිඳියාව ක‍්‍රියාත්මක වේවි.

සිංහලයන් සමඟ සෘජු සම්බන්ධතා ආරම්භ කරන්න

/

ජාති, ආගම් භේදයකින් තොරව සමස්ත මුස්ලිම් ජන සමාජයම අවිශ්වාසයට සහ අවතක්සේරුවට ලක්කර තිබෙන මොහොතක ඒ අනර්ථකාරී බව පිටු දැකිය යුත්තේ කෙලෙස ද?

ජාති, ආගම් භේදයකින් තොරව සමස්ත මුස්ලිම් ජන සමාජය අවිශ්වාසයට සහ අවතක්සේරුවට ලක්කර තිබෙන මොහොතක් මේ. ඉතා අසංවර විධියට සිද්ධ වුණ, සිද්ධවෙමින් පවතින දෙයක් මේ. එක්තරා කොටසක් සිදු කළ ත‍්‍රස්ත ක‍්‍රියාව දඩමීමා කරගෙන මේ රටේ පළාතෙන් පළාතේ, නගරයෙන් නගරයේ දැන් ගෙනියන්නේ තනිකර ම දේශපාලන බලය ලබාගැනීමේ ක‍්‍රියාවලියක්. නිවරැදි, නිදොස් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්කරවන පීඩනයට පත්කරවන යම්කිසි ‘ව්‍යාපාරයක්‘ දියත්වෙමින් පවතිනවා. අපි ඒකට විරුද්ධයි. දැන් මේ පිරිස ගෙන යන්නේ සම්පුර්ණයෙන් ම දේශපාලන බලය අල්ලා ගැනීමේ මෙහෙයුමක්. අපේ බහුතර සිංහල මිනිස්සුත් දැන හෝ නොදැන මේ උගුලට අහුවෙලා. ඒ ගැන අප තුළ ඇත්තේ කනගාටුවක්.

මා ඉල්ලා සිටිනවා, සිංහල – මුස්ලිම් පිරිස් ඔවුන්ගේ දුක සැප බෙදාගත යුතු බවට. එතකොට මේ දෙපාර්ශවය අතර සමීප සම්බන්ධතාවකට අඩිතාලම වැටෙනවා. එන්නේ යන්නේ කවුද? සිද්ධවෙන්නේ මොනවාද කියලා එවිට කාටත් පේනවා. කවුරුත් දන්නවා එතකොට. වැරැද්දක් වෙන්න ගියත් එළිපිට කථාකරල බේරාගන්න පුළුවන්. මේ රටේ දිවි ගෙවන මිනිස්සු ඔක්කොම අපේ සහෝදර ජනතාවයි. කොටසක් වැරැද්දක් කරපු පලියට සමස්ත සංහතිය ම දඩුකඳේ ගහන්න අපි කැමති නැහැ. වරද කරපු අය නීතියේ රැහැනට හසු කර ගන්න එකයි, ඊට අදාළ පියවර ගැනීමයි, ඒවා මින් පසු නොවෙන්නට වග බලාගැනීමයි රටේ නීති ක‍්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින්ගේ වගකීම මිසක් රටේ මිනිස්සුන්ගේ වගකීමක් නෙවෙයි. ජනතාවට නීතිය අතට ගන්නට කිසිදු අයිතියක් නෑ. නිවරැදි මුසලිම් මිනිස්සුන් අල්ලාගෙන තඩිබාන එක මොන පාපිෂ්ඨ වැඩක් ද? පුංචි කෝන්තර හිත්වල තියාගෙන නිරපරාදේ ඇණකොටා ගන්නෙ නැතිව කොයිකවුරුත් එකතුවෙලා අතීතයේ තිබුණු සහජීවනය යළිත් ගොඩනගා ගැනීමයි අද දවසේ අපේ වගකීම විය යුත්තේ.