‘‘අපේ භාෂාව අපිවත් දන්නෙ නෑ’’
ලාංකීය සමාජය විචිත්‍රවත් කළ ‘කැෆර්වරු’
වෙනත් දෙසකට – වෙනස් බසකට උරුමකම් කී ඔවුන්ගේ අතීතය, අද වන විට පත්ඉරු ගිලිහී ගිය පුරාවෘත්තයක් මෙනි. පසුගිය වසර දෙසියක කාලය තුල ඔවුන්ගේ භෂාව ඔවුන්ගෙන් ගිලිහි ගිය අයුරු මේ ලිපියෙන් පෙන්වා දෙයි. වසර දෙසීයක ඇවෑමෙන් ඔවුහු හදවතින්ම ශ්‍රීලාංකිකයන් බවට පත්ව සිටිති. දැනට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක ජිවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත කැෆර් ජනතාව මෙරට ස්ථිර පදිංචියට පැමිණ මේ වසරේ වසර දෙසීයක් සපිරීම වෙනුවෙන් මේ වන විටත් උත්සව රැසක් සංවිධානය කර ඇත.
‘‘බාලා රගුන් තෙකෝ..බාලා රගුන්.. තේ.
බාලා රගුන් තෙකෝ.. විර වීර බයි ලමඤ්ඤ දෙකෝ..’’
අමුතු වුණත් තවත් භාෂාවක්.. ලෝකයේ තවත් භාෂාවක්. ලෝකයෙන් මෙන්ම ලංකාවෙනුත් වඳ වී යන භාෂාවක්. මොකද්ද මේ භාෂාව? මොකද්ද මේ කියන්නේ?
‘‘මේ පෘතුගීසි භාෂාව කියල තමයි කියන්නේ. මේ සින්දුවෙන් කියන්නේ බාල අයට නටන්න කියල, කැරකි කැරකි නටන්න කියල. හැබැයි අද වෙනකොට අපේ බාල අයට හරියට නටන්නත් බැහැ. අපේ භාෂාවත් බැහැ…’’
ඒ, මාක්ස් ජෙරොම් එමලියානා. අසූතුන් හැවිරිදි එමලියානා මට හමුවන්නේ පුත්තලම සිරම්බිඅඩියේදී. එමලියානා මේ ගම්මානයේ ජීවත් වන වයස්ගතම තැනැත්තියයි.
‘‘අපි මේක පෘතුගීසි භාෂාව කියල කිව්වට, අපිව බලන්න පෘතුගාලෙන් ඉදලා හිටලා මෙහෙට එන අයට මේ භාෂාව තේරෙන්නේ නැහැ. පෘතුගීසි අය කියන ඒව අපිටත් තේරෙන්නේ නැහැ.’’
ලංකාවේ කාපිරි, කාබේරි නැතහොත් ‘සිලෝන් කැෆර්’ යන නම්වලින් හැඳින්වෙන මේ ජනතාව බහුතරයක් අදටත් ජීවත් වන්නේ පුත්තලම ‘සිරම්බිඅඩිය’ ගම්මානයේ.
අඳුරු මහාද්වීපය ලෙස සුද්දන් විසින් හැදින්වුණු, ලෝකයේ සුන්දර ප්‍රදේශයක් වූ අප්‍රිකාවෙහි සහරාවට දකුණු දෙසින් වාසය කරන නිග්‍රෝ ජන ප්‍රජාව මෙරටට මුලින්ම පැමිණෙන්නේ පෘතුගීසින් මෙරට පාලනය කළ සමයේදීයි. 1630 වර්ෂයේදී පෘතුගීසින් කාපිරි ජනතාව මෙරටට ගෙන්වා ඇත්තේ වහල් සේවය සඳහා බවයි ඉතිහාසය කියන්නේ.
එලෙස ගෙන එන ලද කාපිරි ජනතාව ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයන් යටතේද මෙරට ජීවත් වූ අතර ඒ ඒ වකවානුවල පැවති සටන්වලටද දායකත්වය ලබා දුන් බවට ඉතිහාසයේ සාක්ෂි හමුවෙයි. මෙයට හොදම සාක්ෂිය රාජසිංහ රජු සමයේ රචිත ‘කාබේරි හටනේ’ සින්දුයි.
මන්ත්‍රිද මුදලි මැති නිරිඳුට වෙන්ඩ බැහැ දැකලා
නුවණින් විමසාලා
ලන්සි මිසක් වෙන හේවායකු නැති සරිලා
දැක්වූ මට සිටලා
උන්හට යන ලෙස පඩි පුර පදවල් දීලා
‘‘මගේ තාත්තගේ තාත්තා, එයාව මට හොඳට මතකයි. උස මහත මනුස්සයා. එයා ඒ දවස්වල කියනවා. අපිව ගෙනල්ල තියෙන්නේ මොසැම්බික් රටෙන් කියල. ගෙනාවේ යුද්ද කරන්නලූ. ඒ දවස්වල අපේ අයට ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් රටවල අය බයයිලූ. පෘතුගීසි කාලේ ඉඳල වරින් වර කීප වරක්ම අපේ අය ලංකාවට ඇවිලල ගිහිල්ල තියනවා. අපි ලංකාවේ ස්ථිර වශයෙන් පදිංචි වෙලා තියෙන්නේ 1817 ඉදලා තමයි. ඒ කියන්නේ අපි ලංකාවේ ස්ථිර පදිංචිකරුවෝ වෙලා මේ අවුරුද්දට අවුරුදු දෙසීයක් පිරෙනවා.’’ මාක්ස් ජෙරොම් එමලියානා උජාරුවෙන් පැවසුවාය.
/පැරණිම පුරුක-එමලියානා‘‘මට මතක ඇති කාලේ ඉඳලම සිංහල අයත් එකක් අපි සතුටින් ඉන්නවා. අපේ අය ඒ අය විවාහ කර ගන්නවා. අපි වැඩි පිරිසක් අදහන්නේ කතෝලික ආගම. නමුත් බෞද්ධ ආගම අදහන අයත් අපේ ඉන්නවා. පුත්තලමේ තමයි අපේ වැඩි පිරිසක් එකට එකතු වෙලා ඉන්නේ. ඊට අමතරව ත‍්‍රිකුණාමලය, නුවර ඇතුළු ප‍්‍රදේශ කීපයකත් අපේ අය ජිවත් වෙනවා. මං නියෝජනය කරන්නේ හය වෙනි පරම්පරාව. ඒ පරම්පරාවෙන් ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි. අපේ භාෂාව මටත් දැන් හරියට මතක නැහැ .
‘‘කි… නෝම්….’’ එමලියානා එකවරමා දෙසට ඇගිල්ල දිගු කරමින් ඇසු දෙයින් මම භීතියට පත් වීමි. ‘‘ මම ඔයාගෙන් ඇහුවේ ඔයාගේ නම මොකද්ද කියල.’’ එමලියානා මගේ අසරණ බව අවබෝධ කර ගත් අයුරින් පැවසුවාය. අද අපේ පොඩි ළමයෙකුගෙන් ඔය දේ ඇහුවත් ඔච්චර තමයි. උඩ බිම බලනවා.
‘මට සිංහල, දෙමළ ඉංග්‍රීසි වගේම අපේ භාෂාවත් පුළුවන්. නමුත්…?‘ එමලියානා ප්‍රශ්නාර්ථයක්ද තබමින් නිහඬ වූවාය.
‘‘අම්ම දුක්වෙන්නේ අපිට භාෂාව බැහැ කියල. අම්මටත් හරියට බැහැ තමයි. නමුත් අම්මා දන්න තරම් අපිට, අපේ ළමයිට බැහැ.‘ ජෝර්ජ් ශෙරින් ඇලෙක්ස් පැවසුවාය. අප‍්‍රිකානු සම්භවයක් සහිත සිලෝන් කැෆර් පරපුරේ වර්තමාන නායිකාව ඇයයි. තම වරිගයේ දහයක් දොළහක් එකතු කරගනිමින් රට පුරා ගොස් ගී ගයන්නී ඇයයි.
”අකිවේ සුසී’’ ශෙරින් ඇගේම භාෂාවෙන් යමක් කීමට උත්සාහ කළත් එය සාර්ථක නොවූ බව පෙනිණි. ‘‘ඒ මොකද්ද ශෙරින් කියන්න ගියේ?’’ මම විමසීමි. ‘‘මම කියන්න ගියේ අර බලන්න කියලයි. නමුත් ඉතිරි වචන ආවේ නැහැ. මොනවා කරන්නද? අපේ ආච්චිලගේ සීයාලගේ අඩු පාඩු කම් තමයි. ආච්චිට හොඳටම අපේ භාෂාව පුළුවන්කම තිබුණා. පරම්පරා පහක් ආපු භාෂාව නැවතුණේ හයවෙනි පරම්පරාවේ ඉදලයි. අපි හත්වෙනි පරම්පරාව. මේ වෙන කොට අටවෙනි පරම්පරාවේත් කට්ටිය ඉන්නවා.’’ ශෙරින් පැවසුවාය.
‘‘අපේ ජාතික දිනය සමරන්න මිට අවුරුදු පහකට ඉස්සර අපිව දකුණු අප්‍රිකාවට එක්කන් ගියා. මේකට මුල් වුණේ දකුණු අප්‍රිකාවේ ඉන්න ශ්‍රී ලාංකික තානාපති තුමා. පෙබරවාරි මාසයකදී තමයි අපි දකුණු අප්‍රිකාවට ගියේ.’’
ශෙරින්ලා දකුණු අප්‍රිකාවට ගොස් ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ නිදහස සැමරීම සදහායි. දැන් ශේරින්ලාත් ශ්‍රී ලාංකිකයන් ලෙස මිස අප්‍රිකානුවන් ලෙස නොසිතන බව මේ අනුව මනාව පැහැදිලිය.
‘‘අපි දවස් පහක් අප්‍රිකාවේ හිටියා. අපේ නැටුම් නැටුවා. අප්‍රිකානුවෝ ආසාවෙන් අපේ නැටුම් බැලූවා. අපි ඒ අයත් එක්ක කතා කරන්න උත්සාහ කළා, නමුත් අපිට ඒ අය කියන දේත්, ඒ අයට අපි කියපු දේත් තේරුණේ නැහැ. ඒකෙ තේරුම, අපේ භාෂාව ලෝකයේ කොහෙවත් ඉතුරු වෙලා නැහැ කියන එක කියල අපි හිතන්නේ නැහැ. අපි උත්සාහ කරනවා අපේ භාෂාව ඉස්සරහට අරන් යන්න. හැබැයි ඒකට අපිට උදව් අවශ්‍යයි.’’ ජෝසප් ශෙරින් ඇලෙක්ස් පවසයි.
ප්‍රවින්දී මධුෂානි, ශ්‍රී ලංකාවේ වෙසෙන ‘සිලෝන් කැෆර්’ පරපුරේ අටවෙනි පුරුක නියෝජනය කරන්නියකි. සිරම්බිඅඩිය ගම්මානයේදී ඇය මට හමුවුණේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිරයට යාමට සුදානම්ව සිටියදීයි. එකොළොස් හැවිරිදි ප්‍රවින්දී ගේ උප්පැන්න සහතිකයේ ජාතිය ‘සිලෝන් කැෆර්’ ලෙස සඳහන් වුවත් 1980ට පෙර උපත ලද මේ ගම්මානයේ බහුතරයකගේම උප්පැන්නයේ ජාතිය ලෙස සදහන් වන්නේ ‘කාපිරි’ යන්නයි.
‘‘මම කැමති නැහැ ජාතිය කාපිරි කියල කියනවට. කාපිරි කියන එක කැතයි. කැෆර් කියල කිව්වට කමක් නැහැ.’’ ප්‍රවින්දී මධුෂානි පවසයි. ‘‘මට ඒ භාෂාවත් බැහැ. හැබැයි මම ආසයි ඉගන ගන්න. වැඩිහිටියන් එක්ක අපේ සංස්කෘතික වැඩසටහන්වලට නම් මම සහභාගී වෙනවා.‘
‘‘ඔයාලගේ භෂාව වචනයක් දෙකක් වත් බැරිද?’’
‘කුමේ’ ඒ කියන්නේ කනවා, ‘බේබේ’ ඒ කියන්නේ බොනවා. ඒ වගේ වචනයක් දෙකක් හැරෙන්න වෙන දෙයක් දන්නේ නැහැ. ඒකත් ඉගන ගත්තේ අපි එක එක වැඩසටහන්වලට ගියාම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෑ නිසයි.’’
‘‘අපි දැන් ලාංකිකයෝ. අපේ භාෂාවත් දැන් සිංහල. මම ඉගන ගන්නෙත් සිංහලෙන්. අපි ජීවත් වෙන මේ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වගේම අපි වගේ කැෆර් ජනතාවත් ඉන්නවා. අපි හැමෝම සමගියෙන් ඉන්නවා.’’
”කන්තා” පුටුවක් පෙන්වමින් මැදිවියේ අයෙකු පැවසූ එවදන් මට වැටහිණි. ඉන් පසුව ඔහු කතාවට මුල පිරුවේය.
‘‘පෘතුගීසි කාරයෝ නේ අපිව මුලින්ම ලංකාවට එක්කන් ආවේ. ඒ නිසයි මේ භාෂාව පෘතුගීසි භෂාව කියල කියන්නේ.. ‘ මයිකල් මොරිස් ලෙනාර්ඞ් තමන් දන්නා දේ පැවසීය. අපිට හිතෙනවා මේක ලෝකයේ කොහෙවත් ඉතුරු වෙලා නැහැ කියලා. අපිට මේ දක්වා කිසිම කෙනෙක් මේ ගැන කියල නැති නිසයි අපි මෙහෙම කියන්නේ. ගොඩක් අය එනවා, ඇවිල්ල එක එක දේ අපෙන් අහගෙන යනවා. අපිත් කියනවා. හැබැයි අපේ අනන්‍යතාව රැක ගන්න, අපේ භාෂාව රැක ගන්න වුණු දෙයක් නැති තරම්. අපිට ඒ ගැන දුකක් තියනවා’’ ඔහු පැවසුවේ කනගාටුවෙනි.
මේ ජන ප්‍රජාව ගැනත්, ඔවුන්ගේ භාෂාව හා සංස්කෘතිය ගැනත් පරම්පරාවකට දෙකකට වත් කලින් පර්යේෂණයක් සිදු වූයේ නම්, ලෙනාර්ඞ්ලාගේ අපේක්ෂාවට එය රුකුලක් වනු ඇත. වසර දෙසීයක් තිස්සේ සිය සුවිශේෂ අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය විචිත්‍රවත් කළ ඔවුන්ට මීට වැඩි වටිනාකමක් හිමි විය යුතු නොවේද?