Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

යුද්ධය, අහිංසක වචන පවා
දරුණු ලෙස ප්‍රතිනිර්මාණය කළා

චන්ද්‍රගුප්ත තේනුවර, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකි, ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකි. දැනට ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරය හොබවන ඔහු දීර්ඝ කාලයක සිට සංහිඳියාව වෙනුවෙන් අභියෝගාත්මක භූමිකාවක නිරත වූවෙකි. මේ කතා බහ, සංහිඳියාව වෙනුවෙන් ඔහුගේ මෑත කාලීන මැදිහත්වීමක් වන ‘A to Z ’ ව්‍යාපෘතිය තේමා කර ගනී.

12.10.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය

මොකක්ද මේ ‘A to Z ’ කියන්නේ ?
එය කලා මාධ්‍ය සංහිඳියාව සඳහා යොදාගැනීම සඳහා දරන ලද උත්සාහයක් ලෙස හැඳින්විය හැකියි. ෂාමිණී පෙරේරා කියන අභිරක්ෂිකාව තමයි මට ඒ සම්බන්ධ යෝජනාව කළේ. ඇය චිත්‍ර ශිල්පීන් එක්ක වැඩකරන කෙනෙක්. ඇයගේ සංවිධානයක් තියනවා කලා ප්‍රකාශන කරන. චිත‍්‍ර ප්‍රකාශන ප්‍රදර්ශන භූමියෙන් ඉවත්ව පොතක් වගේ ගේන එකයි ඒකෙන් කරන්නේ. ඉංග‍්‍රීසි, සිංහල, දෙමළ මාධ්‍ය තුනෙන්ම කරන මෙය ප්‍රකාශයට පත් කරන්නේ විදෙස් රටවලදි. තෝරාගත් සිංහල, දෙමළ, මුස්ලිම් ජන කණ්ඩායම්වල කලාකරුවන්ට ඇය ආරාධනා කළා එයට සම්බන්ධ වෙන්න. චිත්‍ර ශිල්පියෙකු ලෙසට මට යෝජනා කළා ගැටුමට සම්බන්ධ වචන, ගැටුම හරහා අලූත් අර්ථ ජනනය කෙරෙන වචනවලට අදාළව, සංහිඳියාව පිළිබඳ කිසියම් අදහසක් පළ වෙන ආකාරයෙන් ඉංග‍්‍රීසි හෝඩියේ ‘A to Z‘ දක්වා චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන්න කියා.

ගැටුම හරහා අලූත් අර්ථ ජනනය කෙරෙන වචන… ? වඩාත් පැහැදිලි කළොත් ?
නිදසුනක් විදිහට ගත්තොත් ‘‘මාර්ග බාධකය’’ කියන වචනය වර්තමානයේ ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන්නේ යුද්ධයට සම්බන්ධවයි. යුද්ධයට කලින් ‘‘මාර්ග බාධකය’’ කියන වචනය යෙදුණා නම් ඒ යෙදී තිබෙන අර්ථයත්, යුද්ධයෙන් පසුව වර්තමානය වන විට එය යෙදෙන අර්ථයත් එකිනෙකට වෙනස්. ‘‘බැරලය’’ කියන වචනය ගත්තොත් එයත් යුද්ධයට කලින් ව්‍යවහාරයේ තිබුණු ‘‘අහිංසක බැරලය’’ නොවෙයි දැන් තියෙන්නේ. ‘‘මායිම් ගම්මාන’’ කියන එක ගත්තොත් යුද්ධයට කලින් එහෙම එකක් තිබුණේ නෑ. යුද්ධය නිසා තමයි මේ වචනය අලූතින් හැදෙන්නේ. දැන් ‘‘මායිම් ගම්මාන’’ කියා යමක් තිබෙනවා. ‘‘සිවිල් ආරක්ෂක කමිටුව’’ ගත්තොත් එයත් එහෙමයි. මේවා යුද්ධය නිසා ව්‍යවහාරයට එක්වෙලා තියන, අලූතින් නිෂ්පාදනය වෙලා තියන වචන. මේ විදිහට එකතුවෙලා තියන වචනවලින් තමයි  ‘A to Z ’ පෙළගසන්නේ. සිංහල, සිංහල මූලයන්වලිනුත් දෙමළ, දෙමළ මූලයන්වලිනුත් ඉංග්‍රීසි, ඉංග්‍රීසි මූලයන්වලිනුත් තමයි තෝරා ගන්නේ.

කොපමණ වචන ඔබ මේ ආකාරයට හඳුනාගන්නවාද ?
දෙමළ භාෂාවේ විශාල වචන ප‍්‍රමාණයක් තියනවා මේ විදිහට යුද්ධයත් එක්ක බැඳිච්ච. අලූත් අර්ථ ජනනය කරන. ‘‘බැහැපන්’’ කියන වචනය ගත්තොත් යුද්ධයට කලින් දෙමළ සමාජයේ ‘‘බැහැපන්’’ කියන වචනය භාවිත වුණු අර්ථයෙන් නොවෙයි යුද්ධයේදී එය භාවිතා වන්නේ. යුද්ධය තුළ ඔවුන් බස් එකෙන් බැස්සුවා. ගෙවල්වලින් එළියට බැස්සුවා. ‘‘නවතිනු’’ ගත්තොත් ඒත් ඒ වගේ. බුදුහාමුදුරුවෝ අංගුලිමාලට ‘නවතින්න’ කීවා වගේ නොවෙයි යුද්ධයේදී ආරක්ෂක හමුදාවෙන් ජනතාවට ‘නවතිනු’ කියන්නේ.

යුද්ධයට පෙර ‘‘කොටියා’’ කියා හැඳින්වෙන්නේ කැලේ ඉන්න සතෙක් වුවත් යුද්ධයෙන් පසුව ‘‘කොටියා’’ කියන්නේ ගැටුමට සම්බන්ධ එක් පාර්ශ්වයක සාමාජිකයෙක්.

අහිංසක වචන විශාල ප‍්‍රමාණයක් යුද්ධය නිසා දරුණු වචන බවට හැරිලා තිබෙනවා. මේ විදිහට දෙමළ භාෂාව තුළ නව අර්ථ ජනනය කෙරන අලූත් වචන විශාල ප‍්‍රමාණයක් තිබෙනවා යුද්ධයෙන් එක් වුණු. සාපේක්ෂව සිංහල සහ ඉංග‍්‍රීසි වචන ප‍්‍රමාණය අඩුයි. සංඛ්‍යවකින් හරියටම මේයැයි කියන්න බැහැ. මේවා ගැන තමයි ‘ A to Z ’ කතා කරන්නේ.
/

ඔබේ චිත්‍ර නිර්මාණ ගොණු වුණේ කොයි විදිහටද ?

පොත ගත්තොත් එක් පිටුවක මගේ චිත‍්‍රමය ප‍්‍රකාශනය තිබෙනවා. අනෙක් පිටුවේ ඒ චිත‍්‍රයට අදාළවන වචනය පිළිබඳ විස්තර සටහනක් තිබෙනවා. වචනයේ අර්ථය, එය යොදාගැනෙන අවස්ථා, නාම පදයක්ද? ක‍්‍රියාපදයක්ද? ආදී වශයෙන් එය අයත්වන ප‍්‍රභේදය ආදී කරුණු එහි ඇතුළත් වෙනවා. ශබ්දයයි රූපයයි එක් වූ පොතක් වශයෙන් එය හැඳින්විය හැකියි. සිංහල හෝඩියේ සමස්ත අක්ෂර මාලාවේ සියලූම වර නැගීම්වලට අදාළව මේ ආකාරයෙන් පෙළගැස්ම සිදුකරනවා. වචනයක මුල අකුරින් ගළපා ගැනීම කරගන්න නොහැකි වන අවස්ථාවල වචනයේ මැද අකුරක් ඒ සඳහා යොදාගන්නවා. සිංහල හෝඩියේ අකාරාදිය පනස්හතරක් වුණත් ් A to Z ’ සිංහල මාධ්‍ය පෙළගැස්මේ අක්ෂර දෙසිය ගණනක් තිබෙනවා. හෝඩියේ තිබෙන ‘ක’ යන්නට සීමා නොවී අපි ‘ක’ යන්න මුල්කොට ගෙන හැදෙන ‘කා’, ‘කැ’, ‘කි’, ‘කූ’ ආදී අක්ෂරත් ඇතුළත් කරගත්ත නිසා ඒ තත්ත්වය ඇති වුණා. මේ විදිහට තෝරාගන්නා වචනයට අදාළව අපිට දැනෙන හැඟීම තමයි චිත‍්‍රයට නඟන්නේ.

මෙහිදී ඔබේ චිත‍්‍ර නිර්මාණ රේඛා චිත‍්‍රවලට සීමා වුණාද ? අපි දුටුවා කටුකම්බි වැටක් වගේ දේවල් මුළුමනින්ම රේඛා චිත‍්‍රවලිනුයි කර තිබුණෙ ?
මගේ චිත‍්‍ර ගොඩක් කළේ රේඛා චිත‍්‍ර විදිහටයි. සමහර චිත‍්‍ර ශිල්පීන් වර්ණ භාෂාව පාවිච්චි කළා. තව සමහරු කොලාජ් නිර්මාණ කළා. සමහරු ඡුායාරූපවලින් කළා. එතනදි ප‍්‍රධාන වුණේ වඩාත් ජීවමානව ප‍්‍රකාශනය කළ හැක්කේ කෙසේද කියන කාරණයයි. ‘‘කටුකම්බි’’ යුද්දෙට කලින් වැටවල්වලට ගැහුව දෙයක්. පස්සේ කඳවුරු වටේට ගහන කටුකම්බියක් බවට පත් වුණා. දෙපැත්තෙන් ගහපු කටුකම්බි වැටවල් අතරින් ඇවිදගෙන ඇවිල්ලා මිනිසුන්ට කටුකම්බි වටකළ කඳවුරුවලට ගාල්වෙන්න සිදුවුණා. දෙපැත්තෙම කටුකම්බි. කටුකම්බි බැඳ ජනතාව. මේ විදිහට තමයි මගේ කලාව තුළ ‘‘කටුකම්බියට’’ අර්ථයක් ලැබුණේ. ‘‘නෝර්වේ’’ කොඩිය ගත්තොත් එහි මැද මිනිසුන් දැක්වෙන ආකාරයෙනුයි මම එය ඇන්දේ. ඒ වචනයත් එක්ක මට දැනෙන අදහස් තමයි මම චිත‍්‍රයට නැඟුවේ. ‘‘චැතැම් වීදිය’’ ගත්තොත් එය මුළුමනින්ම බැරිකේට්වලින් හිරවුණු වීදියක්. මගේ චිත‍්‍රය පිරී තිබෙන්නේ එම බැරිකේට්වලින්. එය තමයි මට ‘‘චැතැම් වීදිය’’ කියන කොට සිතට නැඟෙන රූපය. ඒ විදිහට ඒ ඒ වචනවලට අදාළව මට දැණුන දේ තමයි චිත‍්‍රයෙන් නිර්මාණය කළේ.
/

මේ කටයුත්තේදි ඔබේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටු වුණාද ?

සමකාලීන සිත්තරෙක් විදිහට මම හැම වෙලේම ප‍්‍රතිචාර දක්වන්නේ සමාජයේ, වටපිටාවේ සංවේදී ප‍්‍රශ්නවලටයි. සංහිඳියාවේ ප‍්‍රශ්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රශ්න, පොරොන්දු ඉටු නොකිරීමේ ප‍්‍රශ්න, මේවාටයි ප‍්‍රතිචාර දක්වන්නේ. යුද්ධය සමඟ බැඳුණු වචනවල කිසියම් සංස්කෘතික ඉතිහාසයක් ගැබ්ව තිබෙනවා. එය කියවීම හරහා සත්‍ය කොමිසමක් ඉදිරියට ගියා වැනි විරේචනයක් සිදුවෙනවා. එකිනෙකා ඇවිළීම වෙනුවට සංහිඳියාවට එය උපකාර වෙනවා. යම් කිසි අදහසක් වෙනත් කෝණයකින් බලන්න මෙතනදි පුළුවන්කම ලැබෙනවා.
යුද්ධයක් පැවති කාලයක සුන්දර මතකවලට වඩා අමිහිරි මතක වැඩියි. අමිහිරි වුවත් ඒ මතකයන් තබා ගැනීම වැදගත්. අපි කවුරුවත් දැකලාවත් නැති දුටුගැමුණු එළාර යුද්ධය ගැන අපි තවමත් කතා කරනවා. එවැනි දේ පිළිබඳ සත්‍ය කොමිසමක ආකාරයෙන් සිදුකෙරෙන සටහන් තැබීමක් ඉතාම වැදගත්. මෙහෙම ඉතිහාසයක් ඔස්සේ නේද අපි ඇවිල්ලා තියෙන්නේ කියන එක එයින් කියැවෙනවා.

සෙසු කලා මාධ්‍යයන්ට වඩා ජනතාව ආමන්ත‍්‍රණය කිරීමේදී චිත‍්‍ර පොදු ජනයාගෙන් කිසියම් දුරස්ථ බවක් ප‍්‍රකට කරනවා. ඔබේ නිර්මාණ මූලිකව ආමන්ත‍්‍රණය කළේ කවර සමාජ ස්ථරයකටද ?
මේක ලෝකයටම අදාළව කෙරෙන ප්‍රකාශනයක්. සමහර සංස්කෘතීන්වල චිත්‍ර කියවීමේ හැකියාව අඩුයි. සමහර ඒවායේ වැඩියි. අපේ බෞද්ධ සංස්කෘතිය ගත්තොත් අතීතයේ ඉතාම ඉහළ හැකියාවක් තිබිලා තියනවා චිත්‍ර කියවීමට. බෞද්ධ සාහිත්‍ය, බණ දහම් සියල්ලම ඉස්සර මිනිස්සු දැනගත්තේ පන්සල්වල චිත්‍රවලින්. දුටුමනින් අර්ථය ග්‍රහණය කරගන්නට නොහැකි වුවත් චිත්‍රයක් ළඟ මිනිසුන් නැවතී එය කියවන්නට උත්සාහ කරන ස්වාභාවයක් තිබෙනවා. එහි කුමක් හෝ ඇති කියා තේරුම් ගන්නට උත්සාහ කරනවා. එකඟවුවත් නොවුවත් වචනයට වඩා නිදහසේ නිගමනයකට ඒමට චිත්‍රමය අවකාශය තුළ එය නරඹන්නාට ඉඩ කඩ ලැබෙනවා. එය චිත්‍රයේ තිබෙන විශේෂ ගුණයක්. වචන භාවිතයේදී ඊට වඩා කොටු කිරීමක් සිදුවෙන්න ඉඩ වැඩියි.
නමුත් ප්‍රකාශන මාධ්‍යයක් විදිහට චිත්‍රය සමඟ සෑම විටම ප‍්‍රදර්ශන අවකාශවලට යන්නට අපිට හැකියාවක් නැහැ. ප්‍රදර්ශනයක් තිබ්බා. ඉවර වුණා. මේ කඩඉම අතික්‍රමණය කරන අලූත් ක්‍රමයක් විදිහට තමයි චිත‍්‍ර ශිල්පීන් තමන්ගේ චිත‍්‍ර ග්‍රන්ථ හැටියට ප්‍රකාශයට පත් කිරීම කරන්නේ. ‘Artist book ‘ කියලයි ඒවාට කියන්නේ. එහිදී මූල කෘතියට සමාන ආකාරයට ප‍්‍රතිනිශ්පාදනය කෙරුණු කෘතියක්ම තමයි එන්නේ. මෙතනදි මුල් කෘති දෙකක් තිබෙනවා. මුල් චිත්‍රය (Original Art work) සහ අනෙක (Artist book) එක. ඒ නිසා මේ පොත කියැවීම හරියට චිත්‍ර ප‍්‍රදර්ශනයකට සහභාගිවීමක් වගේ. Original Art work ටිකක් කලාගාරයක තිබුණට පාඨකයන්ට එයට සමීප වෙන්න බැහැ. රිසි පාඨකයාට රිසි වේලාවක පොතට ප්‍රවේශ වෙන්නට ඉඩ කඩ තිබීම මෙහි තිබෙන වාසියයි. අපි ‘ A to Z ’ එකේදි චිත්‍රයයි භාෂාවයි දෙකම එකවර යොදාගන්නා නිසා එය අලූත් පාඨක පිරිසකගේ අවධානය දිනාගන්නා අලූත් ප්‍රවේශයක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. මීට කලින් 2005 දි මේ වගේම ව්‍යාපෘතියක් කෙරුණා එහිදී යොදාගත්තේ චිත‍්‍ර පමණයි. එනිසා එයට සමීප වුණේ චිත‍්‍ර කලාව ගැන අවබෝධයක් ඇති පිරිස පමණයි.

මේ විදිහට තමයි මගේ කලාව තුළ ‘‘කටුකම්බියට’’ අර්ථයක් ලැබුණේ

සංහිඳියාව ඇති කිරීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයේ දායකත්වය සහ ඵලදායීත්වය පිළිබඳ ඔබේ නිරීක්ෂණ කොයිවගේද ?
හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනිය යටතේ සංහිඳියාව පිළිබඳ කාර්යාංශයක් තිබෙනවා. එයට යම් අවබෝධයක් තිබෙනවා කලාවත් එක්ක වැඩ කරන ආකාරය ගැන. එයින් යම් වැඩ කොටසක් කෙරෙනවා. කලාකරුවන්ට අනුග‍්‍රහ දැක්වීම්ද කෙරෙනවා. මම හිතන්නේ එතන තමයි මේ ගැන ලොකු අවබෝධයක් තිබෙන කණ්ඩායමක් ඉන්නේ. ඊට අමතරව නිල වශයෙන් තවත් අමාත්‍යාංශය සහ අංශ ගණනාවක් තිබෙනවා සංහිඳියාව වෙනුවෙන්ම පිහිටවපු. නමුත් සමහර වෙලාවට වැඬේ තියෙන්නේ සංහිඳියාවට ප‍්‍රවේශයක් ගන්නේ කොතනින්ද කියන එකයි. සිංහල-දෙමළ ජාතීන් අතර සංහිඳියාව සහ සිංහල-මුස්ලිම් ජාතීන් අතර සංහිඳියාව ගැන පමණක් දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. නමුත් සිංහලයා-සිංහලයා අතර සංහිඳියාවක් තිබෙනවාද කියන කාරණය මගහැරී තිබෙනවා. සෙසු ජාතීන් සමඟ සංහිඳියාව ඇති කිරීමට කලින් සිංහලයා තමන්ගේ ජාතිය අතර සංහිඳියාවක් ඇති කරගත යුතුයි. මම බොහෝ වෙලාවට ආමන්ත‍්‍රණය කරන්නේ සිංහල අයට.

සංහිඳියාවකට කලාකරුවන්ගේ දායකත්වය පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?
කලාකරුවන්ට සංහිඳියාව වෙනුවෙන් කළ හැකි විශාල වැඩ කොටසක් තියනනවා. එහෙත් සද්භාවයෙන් සංහිඳියාව වෙනුවෙන්ම වැඩ කරන කලාකරුවන් කොපමණ ප‍්‍රමාණයක් සිටිනවාද කියන එක ප‍්‍රශ්නයක්. රජයකට බැහැ සංහිඳියාව ඇති කරන්න. රජයකට පුළුවන් වෙන්නේ සංහිඳියාව පවත්වාගෙන යන්න අවශ්‍ය නීති රීති සම්පාදනය කරලා ඒවා නඩත්තු කිරීමටයි. අනෙක් සියල්ල රඳා පවතින්නේ පුරවැසියන් අතර. ඒ තුළ තමයි පවතින සංහිඳියාවකට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. විශේෂ කාරණයක් තමයි කොච්චර අමිහිරි වුණත් සත්‍ය ප‍්‍රකාශ කරන්න ඉඩ කඩ තිබිය යුතුයි. අනෙකාගේ දුකට ඔවුනට කෑගහලා අඬන්නට ඉඩ කඩ තිබෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ සොහොන් සමතලා කරලා විරු ස්මාරක හදලා හරියන්නේ නැහැ. දෘෂ්ටිමය වශයෙන් වෙනසක් සිදු නොවී සංහිඳියාව ඇති කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ.