Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අළු මතින් නැඟිටින
පානම්පත්තුවේ ගැහැනු

කිසිවකුගේ ධනය, වස්තුව සොරා ගත හැකි වුව ද ඔවුන් ගේ සවිය, දිරිය කිසිවකුට උදුරා සොරා ගත හැකි නොවන බව පරම සත්‍යයකි. පානම්පත්තුවේ ගැහැනුන් ඒ පරම සත්‍යය තහවුරු කරන්නට ජීවමාන සාකෂ්‍ය සපයන හොඳ ම උදාහරණයකි.

25.01.2018  |  
අම්පාර දිස්ත්‍රික්කය

” අපේ ධෛර්ය කාටවත් හොරකම් කරගන්න ලැබෙන්නෙ නැහැ. හරිවිධියට අපිට අපේ ඉඩම් ලැබෙනකම් අපි ජීවිත මෙහෙම ගෙනියනවා.”

එසේ කියන්නේ පානම හෙවත් පානම්පත්තුවේ ගැහැනු ය.
පානම, අනු ගම්මාන කිහිපයක් ඒකරාශි කොට පොදුවේ ආමන්ත‍්‍රණය කරන සුන්දර පරිසරයකින් හෙබි, දෙස් විදෙස් සංචාරක සිත් ඇද බැඳ ගන්නා, නැගෙනහිර පළාතෙත් දකුණු පළාතෙත් අවසන් සීමා දෙක අතර පිහිටන සරු පොළොවකි. මනස්කාන්ත ගමකි. ජාතීන් වශයෙන් ගත්විට අති බහුතරය සිංහල භාෂාව කථාකරන හෙයින් නැගෙනහිර පළාතේ අවසන් සිංහල ගම්මානය ලෙසට ද හැඳින්වීම වරදක් නැති සුන්දර ජනපදයකි.
2015 ට පෙර පැවති දේශපාලන බල අධිකාරියේ බලය තුළ බලහත්කාරකම්වලට මුහුණ දුන් ගම්මාන 05ක සිංහල ජනතාව වසර කිහිපයක සිට ම සිය පාරම්පරික භුමිය – ඉඳුම් හිටුම් අහිමි වී, පානම නමැති විශාල ජනපදය තුළම අවතැන්ව වසති. එදා කුඹුරු , හේන් ඉඩම් හිමි වැවිලිකරුවෝ ද ස්වාධීන ධීවරයෝ ද වර්තමානයේ දී සිය ක්‍ෂෙත‍්‍රයට නොගැළපුණ ද සිය කුටුම්භය ජීවත් කරවීමේ සටනට මුහුණදීම සඳහා තමන් පෙර නොකළ රැකියාවල දැන් නිරත වෙති.

දේශපාලන බල අධිකාරියේ බලහත්කාරය, උන්හිටි තැන් මෙන් ම ජීවනෝපායන් සිදුකළ භූමිය, කළපුව, වැව් සහ මුහුද ද ඔවුනට අහිමි කළෝය. ”ජීවිතය” සටනක් බවට පත්වුව ද, අමිහිරි වුව ද වේදනාබර වුව ද ඒ තුළ කඩානොවැටී, එය හුදෙක් අභියෝගයක් කොට සළකමින් ”ජීවිත යාත‍්‍රාව” ඔවුන් ඉදිරියට ම ඇදගෙන යති. පැහැරගත් ඉඩම් ආපසු ලැබෙන තෙක්, භෝග වගාව මෙන් ම පාරිසරික හිතකාමි සංචාරක ව්‍යාපාරය ඔස්සේ සිය අනාගතය ජය ගන්නට ඔවුහු පියවර ඔසොවති.

භෝග වගා ඇරඹීම

”එදා වවපු භෝගවලින් බාගයයි අද අපි වවලා තියෙන්නේ. අපේ ගම ආපහු ලැබුණම එදා වගේ ම සරුවට අපි මේ වගාව කරනවා.” යැයි කුසුමාවති අධිෂ්ඨානශීලිව කීවේ වසර 05ක් පුරා තමන්ට මෙන් ම තම ගම්මුන්ට අහිමිවී තිබු භුමිය නිත්‍යනුකුලව යළි හිමිවිම කඩිනම් විය යුතුය යන්න අවධාරණය කරමිනි.

/

එවකට පහරදී පලවා හැරීමට පෙර, රාගම්වෙල ගමේ ජීවත් වු පවුල් 36ක්, සිය ඉඩමේ සීමාව මෙතෙකැයි තක්සේරුකර ලණු වැටවල් වලින් සීමා මායිම්කරගෙන තාවකාලීක නිවෙස් තනාගෙන ජීවත් වෙති. එක යායට පෙනෙන සුදෝ සුදු වැලි පොළොව මත තැන තැන කොළ පාටට හිස එසවු නොයෙක් නොයෙක් භෝග වර්ගයන්ගේ අංකුර මෙන් ම ළදරු වියේ පවතින ළා දළු පැළ දකින්නට ලැබීම පානම කාන්තාවන්ගේ ශක්තිය පෙන්වන සාක්ෂ්‍ය සපයයි.

කුමන බාධා, අපහසුතා තිබුණ ද , තමන්ගේ ශක්තිය ඒ කිසිවකින් සිඳලිය නොහැකි බව විවියන් කුලනායක (58) , එස්. ගුණවතී (65) මෙන් ම එස්. කුසුමාවතී (60)ද කියති. මොවුන් ගේ ගෙබිමවල රට කජු , කව්පි, මුං ඇට, බඩඉරිඟු මෙන් ම වෙනත් එළවළු වර්ග සහ මිරිස් වගාවන් වලින් ද සමන්විත ය.
”පහුගිය වසරේදි මේ වගාවලින් අදායමකුත් ලබා ගත්තා” යැයි අහිංසක සතුටු සිනහවක් පාමින් 70 හැවිරිදි එස්. සුදුකුමාර් ගේ ප‍්‍රිය බිරිය වූ 53 වියැති ඊ. තිලකාවති කියයි. ඒ කියමන තවදුරටත් සනාථ කරමින් 61 වියැති සුදුනිලමේ පෙරේසන් කුමාරි ද, 55 වියැති සුදුබණ්ඩා යසවතී ද ඊට තවත් වැකියක් එක්කරමින් කියා සිටියේ ” තවම අපිට හරියාකාරව මේ ඉඩම් බේරලා දුන්නේ නැහැනේ. දුන්නානම් බලන්න ඕනේ අපේ වගාවේ අස්වැන්න කොහොමද කියලා මොකද එතකොට මේ වගේ පොඞ්ඩක් නෙවෙයිනේ වවන්නේ.”

‘හෝම්ස්ටේ‘ සංචාරක ව්‍යාපාරය

”මං මේ ස්වයං රැකියාවේ නිරත වෙන්න හිතුවේ, ළමයි දෙන්නවත් බලාගෙන ගෙදරට වෙලා ම මේ වැඬේ කරන්න පුළුවන් නිසයි. ඒ වගේ ම තමයි කවදාහරි දවසක අපේ ඉඩම් ලැබුණහමත් මේ ව්‍යාපාරය ආරම්භකරන්න පුළුවන්, ඒකට මේ අවස්ථාව හොඳ පෙරහුරුවක් වෙනවා.” යැයි පානම කේ. සුසන්තිකා ශ‍්‍රියානි කියයි.

/

සමෘද්ධි බැංකුවෙන් සහ වෙනත් ණය ලබාදෙන ආයතනයකින් ණයක් ලබාගෙන තමන්ගේ නිවසේ එක් කාමරයක් ද නාන කාමරයක් ද මෙකී හෝම්ස්ටේ සංචාරක ව්‍යාපාරයට ඔබින පරිද්දෙන් සකසා ගෙන පාරිසරික සංචාරක ව්‍යාපාරයට ඇය අතගසා සිටියි.

වසර ගණනාවක් තමන් ජීවත් වු පානම පාරම්පරික භූමිය නැවත ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරත වෙමින් සිටින ජනතාව ඒකරාශි කරන ”පානම් පත්තුව සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ” කැඳවුම්කරු, සුසන්තිකා ශ‍්‍රියානි ගේ ස්වාමි පුරුෂයා පුංචිරාල සෝමසිරි ය. සෝමසිරි, අරගලයට නායකත්වය දෙමින් ඉඩම් නැවත ලබාගැනීම සඳහා කාලය යොදන විට, සුසන්තිකා සිය පවුලේ පැවැත්ම වෙනුවෙන් සිය කාලයත් ශ‍්‍රමයත් යොදවන්නී ය.

”එයාට වෙලාවක් නැහැ ගෙදෙර දේවල් බලන්න. අපේ පුතාලා දෙන්න ම ස්කෝලේ යනවා. ඒ දෙන්නගේ ඕනෑ එපාකම් බලාගෙන, ගෙදර කටයුතු බලාගන්නේ මම තමයි. ඒ නිසා මේ හෝම්ස්ටේ ව්‍යාපාරය මට විශාල පහසුකමක් වගේම ශක්තියක්.” යැයි සුසන්තිකා කියයි.

වසරක කාලයක් තුළ මෙකී සංචාරක ව්‍යාපාර කටයුත්ත පවත්වා ගෙන යමින් විදේශීය මෙන් ම දේශීය සංචාරකයන්ට පහසුකම් සලසා දෙමින් ආදායමක් ද ලබාගනිමින් සුසන්තිකා සිය ජීවිතයට අර්ථයක් ද පවුල් දිවියට ශක්තියක් ද ළඟාකර ගනිමින් සිටින්නී ය.

සංචාරක සත්කාරක නිවහන

පානම්පත්තුවේ ඉඩම් අහිමි පවුල්වල කාන්තාවන් සිය ඉඩම් පැහැරගත්තේ යැයි ආඩපාලි කියමින් දෙස්දොවොල් තියමින් කාලය නිකරුණේ ගෙවා දැම්මේ නැත. ජීවත් වීම සටනක් ලෙසට භාර නොගත් ඔවුන් සිය ශක්තිය ඉදිරියේ කිසිවක් කිරීමට අපහසු නොවන බව පසක් කර දී හමාරය.

/

අංක 76 ඒ, බටහිර පානම , ”පානම ග‍්‍රීන් හවුස්” හී අධිපතිනිය වන්නේ ජී. එන්. ප‍්‍රියදර්ශිකා යි. හෝම්ස්ටේ සංචාරක ව්‍යාපාරය යටතේ මීට වසර දෙකකට පෙර ආරම්භ කළ සිය ”පානම ග‍්‍රීන් හවුස්” සංචාරක ව්‍යාපාරය වර්තමානයේදි කාමර දෙකකින් සමන්විත වන අතර මේ වසර තුළදි එය තවත් ව්‍යාප්ත කරන්නට සුදානමක් ඇති බව ද ප‍්‍රියදර්ශිකා කියයි.

”මේ රැකියාව නිවසේ ඉඳගෙන ම කරන්න පුළුවන් නමුත් ඉතාම වගකීමක් ඇතිව කරන්න ඕනේ. අපි ළඟට නවාතැන් ගන්න එන්නෙ ආගන්තුකයෝ. ඒ අයට අපේ සත්කාර ගැන පැහැදීමක් වගේ ම විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒ තුළින් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ අය යළිත් වරක් අපේ නිවාසවලට ම ගෙන්නගන්න වගේ ම වෙනත් අයටත් අපේ නවාතැන් ගැන ප‍්‍රචාරයක් යවාගන්න.”යැයි ප‍්‍රියදර්ශිකා කීවේය.

පානම-ශාස්ත‍්‍රවෙල ගමේ තමන්ගේ පාරම්පරික ඉඩම් නිත්‍යනුකුලව ලැබෙන තෙක් වත්මන ජීවත්වන නිවසේ සිට සිය දිවි සැරිය ශක්තිමත් කරගන්නට සංචාරක සත්කාර නිවහන වන හෝම්ස්ටේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබී ඇති මේ සුවිශේෂණීය අත්වැල ගැන තමන් හා ස්වාමිපුරුෂයා ඉමහත් ප‍්‍රීතියට පත්ව සිටින බවත්, පුහුණුව හා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබා දුන් ආයාතනවල හොඳ හිත දිනාගනිමින් තවදුරටත් මෙම ස්වයං රැකියාව දියුණුකර ගැනීමේ ස්ථීර අධිෂ්ඨානයක තමන් පසුවන බව ප‍්‍රියදර්ශිකා අදිටන් සහගත ව කියයි.

”ඇත්තටම අපිට ස්ථිර රැකියා නැහැ. මගේ මහත්තයා පොඩි කඩයක් තමයි කරන්නේ. ඒකෙන් ලොකූ ආදායමක් ලැබෙන්නෙත් නැහැ. අපේ නිවසේ කාමර කිහිපයකුත් තියෙන නිසා, කොහේවත් රස්තියාදු නොවි කරන රැකියාවක් නිසා අපි හිතුවා මේ කටයුත්ත අපි ආරම්භ කළොත් හොඳයි කියලා.” පානම බටහිර, ඉරේෂා අයේෂානි එසේ කීවේ වසර දෙකකට ආසන්න කාලයක් තුළ ස්වාධීනව සිය නිවසේ තමන් විසින් පවත්වාගෙන යන හෝම්ස්ටේ සංචාරක ව්‍යාපාරය ගැන කථා කරමිනි.

පානම කාන්තාවන්ගේ ජීවනෝපායය

ලෝක කම්කරු සංවිධානය යටතේ, ‘එකෝ වේව්‘ආයතනයේ අනුග‍්‍රහය යටතේ සිදු කරන සංචාරක සත්කාරක නිවහන වැඩපිළිවෙළින් පානම කාන්තාවන්ගේ ජීවනෝපායය වර්ධනය කරමින් පවුල් බරට උර දීමත්, පානමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයනට සාධාරණ අයකිරීමක් යටතේ දේශීය බව සහ පරිසර හිතකාමි බව විඳින්නට සැලැස්වීමත් මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ බව ඉරේෂා පැහැදිලි කළාය.

/

”අපිව දැනුවත් කරලා තියෙන්නේ මහා ලොකු ආහාර පිළියෙළ කරලා අනවශ්‍ය වියදම් ඇතිකර ගන්න නෙවෙයි. බොහොම සරලව, අපේ ප‍්‍රදේශයේ ම තියෙන ආහාර හොඳට රසවත්ව සකස්කරලා පිරිසිදුව ලබාදෙන්න කියලායි. ”
ඉරේෂා තමන්ගේ ‘හෝම්ස්ටේ‘ සුවය භුක්ති විඳින්නට පැමිණෙන අමුත්තනට සැනසීමෙන් විවේකිව නතරව සිටිය හැකි ආකාරයේ නිදහස් වාතාවරණයක් සපයා දීම තම අරමුණ බව ද පැහැදිලි කළා ය.

මෙම සංචාරක සත්කාරක නිවහන ව්‍යාපාරයේ තවත් එක් සාමාජිකාවක් වන එස්. තිලකා කීවේ , ”සංචාරකයෙක් ඇයි පානමට එන්නේ? නවාතැනකින් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද ? කියන ප්‍රශ්නවලට උපරිමයෙන් පිළිතුරු දීමයි අපේ ‘හෝම්ස්ටේ‘ ව්‍යාපාරයෙන් අපේක්‍ෂා කරන්නේ. අපිත් එක්කම නැවතිලා, පිරිසිදුවට අපේ කෑම බීම ම ලබාගෙන, පහසුවට නින්දක් ලබාගන්න පුළුවන් ආකාරයේ නවාතැන් පහසුකම් තමයි ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ.”

මඟපෙන්වීම් හා පහසුකම්

පානම ගම්වලින් තෝරාගත් කාන්තාවන් කණ්ඩායමක් නිසි පුහුණුවක් යටතේ අවශ්‍යකරන මඟපෙන්වීම් හා පහසුකම් ද සපයා දෙමින් මෙම පරිසර හිතකාමී සත්කාරක සේවාව ක‍්‍රියාත්මක වෙයි.

”සංචාරකයන් පිළිගන්න ආකාරය , කෑම බීම පිළියෙළ කරන ආකාරය , කාමර සකස්කරන විධිය වගේම නිවස පිරිසුදුවට තබාගැනීම් යනාදිය ගැන අපිට මාස තුනක සාර්ථක පුහුණුවක් ලබාදුන්නා. ගෙදරට වෙලා නිකම් ඉන්නේ නැතිව, මේ වගේ වටිනා ස්වයං රැකියාවකට හිමිකමක් ලබාගන්න පුළුවන්වීම ගැන ඉතාමත් ම සතුටක් අපි හැමෝම අත්දකිනවා.” යැයි තිලකා කීවේ සතුටු මුවිනි.

ඉදිරියේ දී මුළු පානම ජනපදයම වඩාත් සුහදශීලි, වඩාත් පරිසර හිතකාමි, සාධාරණ මිලක් යටතේ දේශීය ආහාරපාන භුක්ති විඳිමින් පානම අසිරිය විඳගන්නට දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට පහසුකම් සැලසෙන බිමක් බවට පත්වීම,පානම්පත්තුවේ කාන්තාවන්ගේ ශක්තිය ලොවට පෙන්වන මහඟු අවස්ථාවක් වනු ඇතැයි ද තිලකා ගේ මෙන් ම ඉරේෂා සහ සුසන්තිකා ගේ ද පැතුමයි.