Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පරම්පරා පහක දරු මුණුපුරන් දකින
ශ්‍රී ලංකාවේ වැඩිමහල් ම හදවත

ශ්‍රී ලාංකීය සංස්කෘතිය අනුව, කෙනෙකු වෙනුවෙන් කළ හැකි ඉහළම පැතුම නම් දිගාසිරි පැතුමය. ‘ආයුබෝවන්’ කීමේ අරුතද එයයි. වයඹ පළාතේ තලවිල ගමේ පදිංචි ‘ආනා’ මාතාව ශ්‍රී ලංකාවේ ජීවත් වන සාධක සහිතව වයස තහවුරු කළ හැකි වැඩිමල්ම තැනැත්තියයි. ඇය මේ ගෙවන්නේ සිය දිවි මගෙහි 111වැනි වසරය.

24.01.2018  |  
පුත්තලම දිස්ත්‍රික්කය

“මගේ නම ආනා. හේවා පේඩිගේ ආනා. මගේ වයස මට මතක නැහැ. දරුවෝ හය දෙනෙක් ඉන්නවා.”
මේ මව මට හමු වුණේ මාරවිල තල්විල ප්‍රදෙශයෙදීය.
ඇයට ඇගේ වයස අමතක වුවත් ඇගේ වයස ලෝකයට ඔප්පු කර පෙන්වීම සදහා ඇයට හැකියාව තිබේ. ඒ ඇගේ ජාතික හැදුනුම්පතයි. 1973 වර්ෂයේ අටවැනි මස විසිවෙනි දින නිකුත් කර ඇති 07 668 0094 v දරන අංක ඇති මේ ජාතික හැදුනුම්පතේ, ඇගේ උපත සිදුව ඇත්තේ 1907 මැයි මස 16 වැනිදා ලෙස සටහන්ව තිබේ.
මිගමුව ඉහළ මඩම්පැල්ල ග්‍රාමයේ උපත ලබා ඇති ආනා මාතාව ඉතා ළාබාල වයසේදීම විවාහපත්ව තල්විල ග්‍රාමයට පැමිණ ඇත. ඉන් අනතුරුව වසර ගණනාවක් සිය ගමට නොගිය ඇය, කාලයාගේ ඇවෑමෙන් දරුවන් හයදෙනෙකු බිහි කළාය. ඔවුන් ලොකු මහත් කිරීමට ඇය නොගත් වෙහෙසක් නොමැති බව බාල පුත්‍රයා වන ඒච්.පී. සෝමපාල මහතා පවසයි.
/

“මගේ අම්මා ලංකාවේ මේ වෙන කොට ජීවත් වන වයසකම තැනැත්තිය කියලයි මම හිතන්නේ. අම්ම මේ පසු කරන්නේ එකසිය එකොළොස්වන වසර. එයාගේ හැදුනුම්පත ඊට සාක්ෂි සපයනවා. මගේ තාත්තගේ නම එච්.පී. කරෝන්චියා. තාත්තා 1962දී මිය ගියා. මම එතකොට කුඩායි. අම්මා ලොකු වෙහෙසක් ගත්තා අපි හය දෙනාව ජීවත් කරවන්න. අපි හයදෙනාගෙන් හතර දෙනෙක්ම රජයේ රැකියාවලට යොමු කරවන්න අම්මට හැකි වුණා. අම්මා වතුවල කුලී වැඩ කළා, කඩයප්පන් හැදුවා. මේ දේවල් කරලා තමයි අම්මා අපිව මේ තත්ත්වයට ගෙනාවේ. අම්මගේ ආයුෂ වැඩි වෙන්න හේතුව විදිහට අපි දකින්නේ අම්මා මස්, මාලු කෑවේ නැහැ. පලා වර්ග හොදට කෑවා. මහන්සි වෙලා වැඩ කළා. මට මතක ඇති කාලේ ඉඳන් අම්මා එක තප්පරයක් නිකම් ඉන්නවා මම දැකල නැහැ. අද මගේ නිවසේ තමයි අම්මා ඉන්නේ, ඇය නිරෝගීව ඉන්නවා. මගේ බිරිඳ ඇයට අවශ්‍ය සියලු ඇප උපස්ථාන කරනවා.”

ආරෝග්‍ය සම්පත්තිය

මේබල් රේජිනා ප්‍රනාන්දු, සිය නැන්දනියට සුළු අඩුවක් හෝ වීමට ඉඩ නොදෙයි. ඇය ප්‍රකාශ කරන ලෙස දියවැඩියාව, රුධිර පීඩනය අවම හෝ අධික වීම, වැනි ශ්‍රී ලංකාවේ මේ වන විට බහුලව අහන්නට ලැබෙන රෝග කිසිවක් මේ ආනා මාතාවට නැත.

“අම්මා එයාගේ වැඩ ගොඩක් තවමත් කරගන්නේ තනියම. නාගන්න වතුර ටික ලෑස්ති කරලා දුන්නම නා ගන්නවා. වැසිකිළි කැසිකිළි වැඩ තනියම කරගන්නවා. කන බොන ඒවත් එහෙමමයි. අම්මගේ මතකය වෙලාවකට හොදයි. නමුත් සමහර දවස් වලදී මතකය අඩු වීමක් දකින්න තියනවා. අම්මගේ අම්මා මැරුණේ අවුරුදු අනූපහක් ඉදලා. අම්මගේ නංගි අවුරුදු 105ක් ඉදල සති දෙක තුනකට කලින් තමයි නැති වුණේ. මේ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න මාත් ලොකු පිනක් කරලා තියනවා. අම්මා නිතරම අනිත් අයගේ යහපත ගැන හිතන කෙනෙක්. අදට වුණත් කෑමට ගියොත් හැමෝගෙන්ම අහනවා කාලද ඉන්නේ කියල. ඒක තමයි මම මගේ ජීවිත කාලේදී මනුස්සයෙකුගෙන් ලද ලොකුම ඉගනගැනීම. ඒ කියන්නේ බෙදාහදා ගැනීම. අනික් කරුණ තමයි මගේ මහත්තයා ඇතුළු දරුවන් ලොකු මහත් කරන්න මේ අම්මා නොකරපු දෙයක් නැති තරම් කියල මම අහල තියනවා. අපේ ආයුෂත් අරගෙන අපේ අම්මා තව කාලයක් ජීවත් වෙන්න ඕන.”
ඇය නැන්දනිය ගැන නෝක්කාඩුවක්ද අප සමග පැවසුවේ සිනාසෙමිනි. “අම්මා දැනුත් ඉස්සර කරපු වැඩ කරන්න යනවා . මේ ළගදි දවසක අම්මා කුස්සියේ මෙසේ උඩට නැගල නිදියගෙන තිබුණා. මම සෑහෙන මහන්සියක් දරල තමයි බිමට බස්සව ගත්තේ.”
අතීත මතක
“ඉදි ආප්පයක් කීයද?”
“ඒ දවස්වල ශත දෙකයි.”
“මොනවද පරණ දේවල් මතක තියෙන්නේ?” මගේ දෙවන ප්‍රශ්නයත් ඇය වෙත යොමු විණි. සුළු වෙලාවක් සිය මතකය අවදි කළ ආනා මාතාව, බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරයා මියගිය දිනය සිහිපත් කළාය. මාරවිල තල්විල ප්‍රදේශයට බෝම්බයක් ඇද වැටුණු ආකාරයද සදහන් කළාය. කාල වකවානු මතක නැතත්, එය දෙවන ලෝක යුද සමයේ සිදුවීමක් බව අනුමාන කළ හැකිය.

නම ලැබුණු හැටි
පරම්පරා පහක දරු මුණුපුරන් දකින ආනා රණසිංහ මාතාව එදා

ලංකාවේ මෑත ඉතිහාසයේ අඳුරු කාලපරිච්ඡේදවල මතකයද ඇගේ හිතේ තාමත් රැඳී ඇත. 89 භීෂණ සමයේදී තම ඥාති පුත්‍රයෙකු අතුරුදහන් වූ අයුරුද සිහි කළාය. අසන්නට බොහෝ දේ තිබුණද ඇය වෙහෙස කරන්නට මට නොසිතුණේ, ඇගේ දරුවන් ඇය ගැන බොහෝ දේ දැන සිටි බැවිනි.

ආනා මාතාවට නම ලැබී ඇති අයුරුද ඉතා අපූරු කතාවකි. ඒච්.පී.සෝමපාල එය මෙසේ විස්තර කළේය. “අපේ අම්මගේ පරම්පරාවේ සියලු දෙනාම හොඳ බෞද්ධයෝ. ඒ වුණාට අපේ අම්මගේ නම කතෝලික නමක්. ආනා කියන්නේ ජේසුතුමාගේ අම්මගේ, අම්මගේ නම. මට පහු කලෙකදී මේ ගැන හොයල බලන්න හිතුණා. ඒ දවස් වල මඩම්පෑල්ලේ සුදු සිස්ටර්ලා ඉදලා තියනවා. මේ අය අපේ අම්මගේ නිවසට නිතරම ඇවිල්ල තියනවා. ඒ සම්බන්ධකම මත තමයි ඔවුනට ගරු කිරීමක් විදිහට මේ නම මගේ අම්මට දාලා තියෙන්නේ. ඔවුන් එක්ක ඒ තරම් හිතවත්කමක් තිබිල තියෙන්නේ.”
මේ වන විට පරම්පරා පහක දරු මුණුපුරන් දකින ආනා රණසිංහ මාතාවට දරු මුනුපුරන් සියය ඉක්මවා දැක ගැනීමට හැකි වූ බවද මෙහිදී කියැවිණි .
කොහොමද කියන්නේ ඔයාගේ අම්මා ලංකාවේ ඉන්න වයස්ගතම අම්මා කියල? බොහෝ දෙදෙකු තුළ ඇති විය හැකි ඒ ප්‍රශ්නය අපි සෝමපාල මහතා ගෙන් ඇසුවෙමු. “අපේ අම්මට මේ අවුරුද්දේ ලෝක වැඩිහිටි දිනයේදී උපහාරයක් පිදුවා. එකේදී තමයි දැනගත්තේ අම්මා තමයි නිසි ලෙස ඔප්පු කළ හැකි ලියකියවිලි තියන ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා කියල.”

ලෝක වැඩිහිටි දිනයේදී උපහාර