Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

නව පළාත්පාලන මැතිවරණ ක්‍රමය
සියයට සියයක් සාධනීය නෑ

මෙවර පළාත්පාලන මැතිවරණය පැවැත්වූ නව මැතිවරණ ක්‍රමය සියයට සියයක් සාධනීය වුවක් නොවන බව මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලි ගුරුගේ කියයි. කිසියම් සංශෝධනයකින් බලාපොරොත්තු වියයුත්තේ පෙර පැවති ක්‍රමයේ අවුල් නිරවු කරන, වියදම් අඩු, කාර්යක්‍ෂම ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම බව පවසන ඔහු, මේ නව මැතිවරණ ක්‍රමය අධික වැය බරක් දරන්නට සිදුව තිබෙන ඊට සමගාමීව තවත් ගැටලූ ගණනාවක් වර්ධනය කරන්නට හේතුවන්නක් බව ද පෙන්වා දෙයි.

21.02.2018  |  
මාතර දිස්ත්‍රික්කය

නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබුණා. මේ නව මැතිවරණ ක්‍රමයේ විශේෂතා ඔබ දකින්නේ කවර ආකාරයෙන්ද?

නව මැතිවරණ ක‍්‍රමය සැකසෙන්නේම පැවති ක‍්‍රමයේ ප‍්‍රධාන දෝෂ දෙකක් නිවැරදි කර ගන්න. එකක් තමයි අපේක්‍ෂකයාට වියදම් අධික වූ මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කිරීම. දෙවැනි කාරණය තමයි කොට්ඨාස ක‍්‍රමය (ward System)යළි ඇති කර ඡන්ද දායකයාට වගකියන මන්තී‍්‍රවරයකු ඡන්ද කොට්ඨාසයට තෝරා පත්කර ගැනීම. මේවායේ සාධනීය වගේම නිශේධනීය තත්ත්වයකුත් තියෙනවා. කාන්තාවන්ට දේශපාලනයට පිවිසීමට ඉඩකඩ විවරකර දීම, ජනතාවට වගකියන මන්තී‍්‍රවරයකු කොට්ඨාස මට්ටමින් තෝරා පත්කර ගන්නට ලැබීම ඉතාම හොඳ තත්ත්වයක්. ප‍්‍රශ්නය තියෙන්නේ මේ ක‍්‍රමවේදය ක්‍රියාවට නැංවීමේදීත් රජයට අධික වියදමක් දරන්නට සිදුවීම. මනාප ක‍්‍රමයෙන් වියදම් වැඩි වුණේ අපේක්‍ෂකයාට. දැන් සභික ධූර සංඛ්‍යාව දෙගුණයක් වීමෙන් වියදම් වැඩි වෙන්නේ රජයට,
පළාත් පාලන ආයතනයට නැතිනම් ජනතාවට පළාත් පාලන ආයතනවල මෙතෙක් සිටි සභික පිරිස 4486යි. ඒ තත්ත්වය 8356 දක්වා ඉහළ ගිහින් තියෙනවා. සභික ප‍්‍රමාණය වැඩි වීම 3870 යි. පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 සිට 341 දක්වා වැඩිවෙලා. මේ සභික සංඛ්‍යාව නඩත්තු කරන්න මාසිකව අවම වශයෙන් කෝටි 178ක මුදලක් රජයට දරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ මන්තී‍්‍රවරුන්ට සභික දීමනා, දුරකථන දීමනා, ගමන් වියදම්, සංග‍්‍රහ වියදම් ඇතුළු විවිධ ස්වරූපයෙන් දරන්න වෙන වියදම් සමානුපාතිකව වැඩිවෙනවා.

නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ගැටලු ගණනාවක් මතුවෙන්න පුළුවන්

ජනතාව ඡන්දයෙන් ප‍්‍රතික්‍ෂෙප කළ අපේක්‍ෂකයින්ට පවා මේ නව ක‍්‍රමය යටතේ සභික ධූර පිරිනමන්න විශාල ඉඩකඩක් ඇති කරලා තියෙනවා. ඒ වගේම කලින් සිටි සභික සංඛ්‍යාව දෙගුණවීම නිසා පළාත් පාලන ආයතනවලත් ගැටලූ මතුවෙන්න පුළුවන්. දුර්වල ආණ්ඩු පක්‍ෂයක් සහ විශාල විපක්‍ෂයක් නිර්මාණය වෙන්නත් පුළුවන්. පළාත් පාලන ආයතන තුළ රජයේ නිලධාරීන්ටත් අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. කලින් සභිකයෝ නවදෙනෙක් ගන්න තීන්දුවක් දැන් සභිකයින් 17ත් 18ත් එකතුවෙලා තමයි ගන්න වෙන්නේ. වැඩි පිරිසක් මැදිහත් වුණාම තින්දුවක් ගන්න එක ටිකක් දුෂ්කර කාර්යයක්. මේ නිසා නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ගැටලු ගණනාවක් අනාගතයේදී මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ නව මැතිවරණ ක‍්‍රමය 100%ම සාධනීය එකක් නෙමෙයි.

රටේ ජනතාවට අධික වැය බරක් දරන්නට සිදුවෙලා

කිසියම් සංශෝධනයකින් බලාපොරොත්තු වෙන්නේ කලින් තිබුණාට වඩා නිරවුල්, වියදම් අඩු, කාර්යක්‍ෂම ක‍්‍රමවේදයකින්. එහෙත් මේ නව මැතිවරණ ක‍්‍රමය විසින් රටේ ජනතාවට අධික වැය බරක් දරන්නට සිදුවෙලා තියෙනවා. ඊට සමගාමීව තවත් ගැටලූ ගණනාවක් වර්ධනය කරලා තියෙනවා. වෙලාවකට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සභික ධුර වැඩිකර ගෙන දිනන පරදින සියලු පක්‍ෂ හා කණ්ඩායම් අතරේ බෙදා ගැනීමේ නව ක‍්‍රමය යනු දේශපාලන පක්‍ෂවල ගම් මට්ටමේ කාඩරය මහජන මුදලින් නඩත්තු කිරීමේ අනියම් උපාය මාර්ගයක් කියලා.


මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සභික ධූර සංඛ්‍යාව දෙගුණයක් වුණා. ඒ එක්කම තවත් ගැටලු ගණනාවක් මතුවෙන්න පුළුවන්.

මන්තී‍්‍රවරුන් බරක් නොවී කාර්යය සාධනයක් සහිත පලදායී පිරිසක් බවට පත්කර ගන්නේ කොහොමද?

මේ ජනතා නියෝජිතයන්ට සංවර්ධනය කටයුතු සඳහා මුදල් ලබාදීමට බරපතළ ගැටලුවක්. කොහොම වුණත් මන්තී‍්‍රවරුන් කාර්යය සාධනයක් සහිත පලදායි පිරිසක් බවට පත්කරන්නට යම් මේ ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. පළමුවෙන්ම මේ මන්තී‍්‍රවරුන් පළමු මාස කීපය තුළ පළාත් පාලන ආයතන තුළ අභ්‍යන්තර ක‍්‍රමවේදය සහ ඔවුන්ගේ වගකීම් හා යුතුකම් පිළිබඳ පුහුණුවක් ලැබීම අවශ්‍යයි. ඒක පළාත් මට්ටමේ ප‍්‍රධාන අමාත්‍යාංශය හෝ ජාතික මට්ටමේ පළාත් සභා හා අමාත්‍යාංශය හෝ ජාතික මට්ටමේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැදිහත්වෙලා කළයුතු දෙයක්. ඒවගේම පළාත් පාලන ආයතනවල සභික මන්තී‍්‍රවරුන්ට ආචාර්ය ධර්ම පද්ධතියක් හඳුන්වාදීම අවශ්‍යම වෙනවා. ඊළඟට 1947 අංක 16 දරණ මහ නගර සභා ආඥාපනත තමයි නිදහස ලැබිලත් අද අවුරුදු 70ට පස්සෙත් අපි තමත් භාවිත කරන්නෙ. එය සුද්දා හදපු පනතක්. මේ පනත අදට ගැළපෙන එකක් නෙවෙයි. මේවා තවමත් අපේ රටේ වෙනස්වෙලා නෑ. නිදහසෙන් වසර 70 කට පස්සෙත් අපි භාවිත කරන්නේ අවුරුදු 71 ක් පැරණි පනතක්.

/

දකුණු අපි‍්‍රකාව නිදහස ලබලා වසරක් යනකොට 1996 දී ඔවුන් නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයෙන් නව පළාත් පාලන පනතක් සම්මත කර ගත්තා. අපි 2016 දී දකුණු අපි‍්‍රකාවට යනකොට ඔවුන් අවුරුදු 20ක් නව පනතකින් වැඩ කරලා තියෙනවා. නිදහස ලබලා අවුරුදු විසි එකයි. නව පනතට 20යි. අපි නිදහස ලබලා අවුරුදු 70යි. නව පනතට එක අවුරුද්දක්වත් නෑ. පරණ පනතට අවුරුදු 71යි. මේ වගේ තත්ත්වයන් නීතිමය ප‍්‍රතිසංස්කරණය මඟින් වෙනස් කිරීම අවශ්‍ය වෙනවා. අද ඩිජිටල් යුගයක පළාත් පාලනය යන දිශාව තීරණය කරන්න නීතිය අලූත් කරන්න වෙනවා. ඒ නිසා මේ තියෙන පරණ නීති අරගෙන අලූත් ප‍්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා අලූත් මන්තී‍්‍රවරුන්ට තම කාර්යය භාරය වැඩි කරන්න, කුණු අදින සරල කාරණාවලින් ඔබ්බට නගරයක ජීවත්වන සියලූ ජනයාගේ පහසුව ඇති කරන්න අලූත් වගකීම් ප‍්‍රමාණයක් බෙදෙන විදියට නීති රීති සම්මත වීම අවශ්‍ය වෙනවා.

මන්තී‍්‍රවරු වැඩි ප‍්‍රමාණයක් නිකමුන් බවට පත්වෙනවා

ඔබ කියන ප‍්‍රතිසංස්කරණ වුණේ නැත්නම් කාර්යය සාධනයක් නැතිව මන්තී‍්‍රවරු වැඩි ප‍්‍රමාණයක් නිකමුන් බවට පත්වෙනවා. නාමික මන්තී‍්‍රවරයෙකුගෙන් ජනතාවට වැඩක් නෑ. ජනතා ගැටලූවලට විසඳුම් දෙන්න බැරිවුණොත් ජනතාවගේත් මන්තී‍්‍රවරයාගේත් අපේක්‍ෂා බොඳ වෙනවා. මේ නිසා ඔවුන් ඉච්ඡාභංගත්වයට පත්වෙන්න පුළුවන්?

 

ඇතැම් පළාත් පාලන ආයතනලට ඉන්න කම්කරුවන්ගේ කාඩර් එකට වඩා මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. අපි උදාහරණයක් විදියට ගනිමු මාතර දිස්ති‍්‍රක්කයේ මාලිම්බඩ ප‍්‍රාදේශීය සභාව. සෞඛ්‍යය හා මාර්ග කම්කරුවන්ගේ එකතුව අටයි. ඊළඟට අතුරලිය ප‍්‍රාදේශීය සභාව ගනිමු. සභික ධූර සංඛ්‍යාව නවයේ සිට දහනවය දක්වා වැඩිවෙලා. සෞඛ්‍ය හා කර්මාන්ත කම්කරුවන්ගේ එකතුව අටයි. දැන් අපි හිතමු කොට්ඨාස එකකට එක කම්කරුවෙක් යොදා ගැනීම සඳහා නැත්නම් එක මන්තී‍්‍රවරයෙක් වෙනුවෙන් එක කම්කරුවෙක් හරි තමන්ගේ බල ප‍්‍රදේශයේ සේවයට යොදා ගැනීම සඳහා ඉඩකඩ නෑ. ඒ අනුව මන්තී‍්‍රවරුන්ට උදේ පෙරෙට්ටුවට ඇවිල්ලා අර හුණු වටයේ කතාවෙදී මයිකල් කුමාරයාගේ අත්දෙකෙන් දෙපැත්තට ඇද්දා වගේ කම්කරුවන් බෙදා ගන්න යම් අරගලයක් කරන්න සිද්ධ වේවි. එවැනි සම්පත් හිඟයක් තියෙනවා. මානව සම්පත් සහ මූල්‍ය සම්පත් අතින් හිඟයක් තියෙන ආයතනවල මන්තී‍්‍රවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් කෙතරම් දුරට අනාගතයේ සහනශීලී පළාත් පාලනයක් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවාද කියන කාරණය අපි කල්පනා කරන්න ඕන.

මන්තී‍්‍ර සංඛ්‍යාව වැඩි කිරීම පිළියමක් නෙවෙයි

පළාත් පාලන ආයතන තමන්ගේ නඩත්තු කටයුතු ටික ලයිට්, වතුර බිල් ටික ගෙවා ගෙන කම්කරුවන්ට වැටුප් ගෙවාගෙන ආයතනය පවත්වාගෙන කම්කරුවන්ට වැටුප් ගෙවාගෙන ආයතනය පවත්වාගෙන යාමටවත් අවශ්‍ය ආදායමක් උපයාගන්නේ නැති අවස්ථා තියෙනවා. එවැනි පළාත් පාලන ආයතන තියෙනවා. ඒවාට රජයෙන් ලැබෙන මුදලින් තමයි නඩත්තු කටයුතු කරගෙන යන්නේ. එවැනි ආයතනයක සභික ධූර සංඛ්‍යාව වැඩි වීමත් ඒ මන්තී‍්‍රවරුන්ට අවශ්‍ය ප‍්‍රතිපාදන අහිමිවීමත් නිසා ඔවුන් විශාල අර්බුදයකට ලක්වෙනවා. නැවත ගමට ගිහිල්ලා ගමේ ජනතාවට මුහුණදෙන්න බැරි තත්ත්වයකට පත්වෙනවා.

මෙවර මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩි කිරීම නිසා දැන් දේශපාලනයට පිවිසීමට ඔවුන්ට අවස්ථාව හිමිවෙලා?

හැම පක්‍ෂයක් ම නම් කාන්තාවන් එක් අයෙකු හෝ දෙන්නෙකුගේ නම් ඡන්ද ලැයිස්තුවට දාලා තියෙනවා. වැඩි පිරිසක් තේරී පත්වෙන්නේ සමානුපාතික ක‍්‍රමයට. ඒ කියන්නේ කාන්තාවන් සෘජුව තරග කරලා මැතිවරණ ආසන ජයග‍්‍රහණය කරණාවට වඩා පක්‍ෂ මහ ලේකම්ගේ නාමයෝජනා කිරීමෙන් තමයි බොහෝ දුරට පළාත් පාලන ආයතනයක සභික ධූරයක් හිමිකර ගන්නේ. ඉතින් එතනදී ගෘහ පාලනයට සම්බන්ධ කෙනෙක් පළාත් පාලනයට සම්බන්ධ විම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. දේශපාලන වශයෙන් මැතිවරණයට තරග කරලා ජයග‍්‍රහණ කිරීමට තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. මෙහිදී සිදු කළ යුතුව තිබුණේ ඉන්දියාවේ පංචායත් ක‍්‍රමය ආදර්ශයට ගැනීමයි. එය ඉතාම සාර්ථක ක‍්‍රමයක්. කාන්තා නියෝජනය සඳහා එහි හැම පංචායත් සභාවකම රැඳී ඉන්න එහි තේරී පත්වන සභික ධූර සංඛ්‍යාව යම් ප‍්‍රතිශතයක් කාන්තාවන් බවට තීරණය කරලා තියෙනවා. එතකොට ඒ පංචායත් සභාවේ අපි හිතමු තියෙනවා. කියලා ආසන දහයක්. ඒ ආසන දහයෙන් ආසන ප‍්‍රතිශතයක් හැටියට නම් කරනවා. යම් ආසන ප‍්‍රමාණයක්. අනිවාර්යෙන්ම කාන්තා නියෝජනය හැටියට.එතකොට ඒ ආසනයට තරග කරන්න පුළුවන් වෙන්නේ සියලූම පක්‍ෂවලින් කාන්තාවන්ට පමණයි. දැන් මේ පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය තුළ කාන්තාවන් තරග කළේ පිරිමින් සමඟ.

කාන්තා ආසන වෙන්කරලා නෑ

මේ ආසන කිසිවක් කාන්තා ආසන හැටියට වෙන්කරලා නෑ. සියලූම ආසනවලට කාන්තාවන්ට හෝ පිරිමින්ට තරග කිරීමට හැකියාව තියෙනවා. එහෙත් යම් ප‍්‍රතිශතයක් 25%ක් කාන්තා නියෝජනය වෙනුවෙන් වෙන්කරලා තියෙනවා. ඉන් 10%ක් අනිවාර්යයෙන්ම තරග කළ යුතුයි. ඒ තරග කරන කාන්තාවන් තරග කරන්නේ පිරිමින් සමග. පිරිමින් සමග තරග කිරීම සමානාත්මතාව ගිලිහිච්ච අවස්ථාවක් එතකොට යම් මැතිවරණ කොට්ඨාසයකට කාන්තාවක් තරග කරන්නේ තවත් පිරිමි අපේක්‍ෂකයන් කිහිප දෙනෙක් එක්ක. බොහෝ දුරට අපේ රටේ ස්වරූපය අනුව පිරිමි අපේක්‍ෂකයාට ජයගන්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට කාන්තාවෝ තරග කරන තැන්වලදී කාන්තාවෝ පරාජයට පත් කිරීමට තිබෙන ඉඩකඩ වැඩියි. එහෙත් මේක වෙනස් වුණා නම් යම් මැතිවරණ ආසන ප‍්‍රමාණයකට කාන්තාවන් සඳහාම ආසන සංඛ්‍යාවක් කෙලින්ම නම් කළා නම්, ආසනවලින් 25%ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කළා නම් ප‍්‍රශ්නය ඉවරයි.

මේ මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් පාලන ආයතනවල සභික ධූර සංඛ්‍යාව වැඩි වීම නිසා රජයට අධික වියදමක් දැරීමට සිදුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරලා තිබුණ තේරීපත්වන සියලූ සභිකයන් ස්වේච්චාවෙන් වසර දෙකක් වැඩ කරමු කියලා. මේ යෝජනාව කෙතරම් දුරට ප‍්‍රායෝගික ද?

පළාත් පාලන ආයතන කියන්නේ එක්තරා දුරකට ආදායම් උත්පාදනය කළ හැකි ආයතන මෙම ආයතනවලට නිර්මාණාත්මක සභික පිරිසක් පත්වුණොත් ඒ අය කිසියම් ආකාරයක පළාත් පාලනයට බරක් වෙන්නේ නෑ.ඔවුන්ට හැකියාව තියෙනවා ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව සහ කුසලතා භාවිත කරලා පළාත් පාලන ආයතනය තුළ අලුත් ආදායම් නිර්මාණය කරන ව්‍යාපෘති ආරම්භ කරන්න, එවැනි ව්‍යාපෘති ආරම්භ කරලා ආදායම් උත්පාදනය කිරීමට සම්බන්ධ වෙලා ඒ තුළින් කිසියම් ප‍්‍රතිඵලදායක තත්ත්වයක් පළාත් පාලන ආයතනයට එකතු කරන්න. එහෙම වුණොත් ඇතැම් අපහසුතා තියෙන ඇතැම් දුෂ්කර ප‍්‍රදේශවල තියෙන පළාත් පාලන ආයතන තුළ විශිෂ්ට ප‍්‍රතිඵල අත් කර ගැනීමට හැකියාව තියෙනවා.