Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අල් කුර්ආනයට නිවැරදි චින්තාවක් ලබා දීම
කුර්ආන් චින්තාවේ අරමුණයි

කුර්ආන් චින්තාව උස්තාද් මන්සූර් විසින් කුර්ආන් ග‍්‍රන්ථයට සිංහලෙන් ලියූ අටුවාවකි. ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය තුළ කුර්ආන් චින්තාව අභ්‍යාස කරන්නේ කෙසේද යන්න මෙයින් විග‍්‍රහ කෙරෙයි. මේ ඔහු සමඟ කළ සංවාදයයි.

09.01.2018  |  
මාතලේ දිස්ත්‍රික්කය

කුර්ආනයට අටුවාවක් ලිවීමට හේතුපාදක වුණේ කවර කාරණා ද?

අද වෙනකොට ලාංකීය සමාජයේ සිංහල භාෂාව තමන්ගෙ මාධ්‍ය භාෂාව කරගත්තු මුස්ලිම් ජනතාව විශාල පිිරිසක් ඉන්නව. විශේෂයෙන් ඒගොල්ලන්ට ආගම පිළිබඳ අවබෝධයක් නැහැ. ඒකට හේතුම තමයි ඔවුන්ගෙ ආගම දැනුම වර්ධනය කරගන්න සිංහල භාෂාවෙන් ලියවුණු පොත් පත් නොමැති වීම. එම නිසා ඔවුන්ට කුර්ආනය පිළිබඳ අවබෝධයක් ලබා දීම තමයි මේ පොත ලිවීමේ පළමු වෙනි අරමුණ. විශේෂයෙන් අප ජීවත් වන ජනවාර්ගික සමාජය තුළ අනෙකුත් සහෝදර ආගමිකයන්ට ඉස්ලාම් ධර්මය පිළිබඳ තියෙන්නෙ බොහෝ විට වැරදි ආකල්ප. මෑතක් වනතුරුම ලංකාවෙ තියෙන්නෙ අල්කුරානයට පරිවර්තන. නමුත් පරිවර්තනයක් හරහා අල්කුරානය වටහාගන්න අපහසුයි. නමුත් මේක අටුවාවක්, ඒ කියන්නෙ විවරණයක්. පරිවර්තන හරහා ඉස්ලාම් ධර්මය පිළිබඳ වැරදි අවබෝධයකින් හිටපු අයට නිවැරදි අවබෝධයක් ලබාගන්න මෙය විශාල රුකුලක් වෙනවා.

කුර්ආනය කියන්නෙ ඉස්ලාම් ආගමිකයන්ගෙ උත්තරීතර ග‍්‍රන්ථයක්. මේ සම්බන්ධයෙන් මීට පෙර අල්කුරානයට අටුවාවක් ලියවිලා නැද්ද?

අල් කුර්ආනයට විශාල වශයෙන් අටුවා ලියවිලා තියෙනව. මේ අටුවාවන් බොහෝ දුරට ලියවිලා තියෙන්නෙ ලාංකීය නොවන විද්වතුන් අතිින්. බොහෝ විට ඒව ලිව්වෙ පාකිස්ථාන් ඊජිප්තු හෝ තුර්කි ජාතිකයන්. ඒ රටේ වාතාවරණය හා පසුබිම මත තමයි මේ අටුවා ලියවෙන්නෙ. මෙම පොතේ තියෙන විශේෂත්වය තමයි ශ‍්‍රී ලාංකිකයෙකු විසින් දේශීය ආභාෂයත් සම`ග සුළුජාතික කණ්ඩායම නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාවෙ පළමුවෙනි වතාවට මෙවැනි පොතක් ලිවීම.

ශ‍්‍රී ලංකාවෙ සංස්කෘතියට අනුව කුර්ආනයේ ඉගැන්වීම් මෙම ග‍්‍රන්ථය ආශ‍්‍රයෙන් ගළපාගත්තෙ කවර ආකාරයෙන්ද ?

අල් කුර්ආනය අවුරුදු 23ක් වැනි කාලයක් තිස්සේ දිගටම පළ වුණා. මෙහි තියෙන්නෙ පොදු වූ කාරණා ටිකක්. සමහර වාක්‍ය පළ වෙලා තියෙන්නෙ එවකට තිබුණු පසුබිම මත. උදාහරණයකට ගත්තොත් සටන් බිමක දි නබිනායක තුමා සමඟ සටන් වැදුණු පිරිසත් එක්ක සම්බන්ධ වුණු වචන තමයි එදා පළ වුණේ. එම නිසා සමහරු අල් කුර්ආනය වැරදි විදියටත් තේරුම් අරගෙන තියෙනව. පොදුවේ ගත්තහම තනි පුද්ගලයෙක් වශයෙන්, පවුලක් වශයෙන්, සමාජයක් වශයෙන් තමන්ගේ ජීවිකාව ගොඩනගන්නෙ කොහොමද කියන වැදගත් කරුණු කාරණා අල් කුර්ආනයේ සඳහන්වෙලා තියෙනව. එය සඳහන් වෙලා තියෙන්නෙ මුස්ලිම්වරුන්ටම නෙවෙයි සමස්ත ජනයාට.
අල් කුර්ආනයෙ තියෙනව එක්තරා පරිච්ෙඡ්දයක් සුරතුන් නිසා කියලා ‘නිසා’ කියන්නෙ අරාබියෙන් ස්ත‍්‍රිය යන අර්ථය. එහි පොදුවේ සාකච්ඡා කරන්නෙ ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර පවත්නා සම්බන්ධය. දරුවන් සහ මාපියන් අතර තියෙන සම්බන්ධය. අල් කුර්ආනයෙ පරිච්ෙඡ්ද පටන්ගන්නෙ ‘යා අයුයහන්නාස්’ කියල. ජනයාණෙනි කියන වචනයෙන් තමයි පටන්ගන්නෙ. එතන දි අල් කුර්ආනය අපට කියන්නෙ ඔබ දෙවියන් සමඟ කොතරම් දුරට උසස් සම්බන්ධයක් පවත්වනවා සේම මානව සමාජය තුළ අනෙකා සමඟත් ඔබේ උසස් සම්බන්ධතාවක් තිබිය යුතුයි යන කාරණය.
ඔබ දෙවියන්ට බිය වන්න. ඔබගේ පැවැත්ම ආරම්භ වෙන්නෙ එක පියෙකුගෙන් හා එක මවකගෙන්. අපි මොන ප‍්‍රතිපත්තිය ඇදහුවත් මොන විශ්වාසයන් තුළ අප ජීවත් වුණත් අපිට ලේ සම්බන්ධකමක් තියෙනව. එහි දී දෙවියන්ට ලබා දෙන ගරුත්වය මානව සමාජය තුළ ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය.

කුර්ආනයට අටුවාවක්

මේ කෘතිය ලියවෙන්නෙ යම් ඇගයීමක් මත. ඊජිප්තුව හා සෞදිය ආභාෂයෙන් අල් කුර්ආනය භාවිත කිරීමෙන් වැරදි වැටහීමකට ලක් වුණාද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න.?

සාමාන්‍යයෙන් සෞදිය ගත්තත් ඊජිප්තුව ගත්තත් අල්කුරානය දිහා තමන්ගෙ බැල්ම හෙළන විධි ක‍්‍රම දෙකක් තියෙනව. කොටසක් සාවධානව ඉතාමත් නිවැරදි ආකාරයට බලන පිරිසක් ඉන්නව. සමහරු ඉන්නව අල් කුර්ආනය දෙස බලන්නෙ ඉතාමත් රළු විදියට. ඒකට හේතුව තමයි ඒ ඒ රටවල්වල තියෙන ඒකාධිපති පාලනය. අනෙක් හේතුව තමයි සෞදිය හැර අනිත් මුස්ලිම් රටවල් ගත්තම ඒ ඒ රටවල්වල පවතින දුප්පත්කම.

මැලේසියාව ඉන්දුනීසියාව තුර්කිය යන රටවල් ගත්තම ඒ රටවල්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනව. අල් කුර්ආනයට නිවැරදි චින්තාවක් ලබා දීමට තමයි මෙම කෘතිය එළිදක්වන්නට මුල් වුණේ කියල කියන්න පුළුවන්.

ශ‍්‍රී ලංකාවෙ ආගමික සංහිඳියාව ඇතිකරන්න මේ අල් කුර්ආන අටුවාව කරන බලපෑම?

මේ පොත එළිදැක්වීමෙ දි මුල් තැන දුන්නෙ මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් නෙවෙයි. අපේ සහෝදර විද්වත් බහුතර සිංහල බෞද්ධ භාෂාව හසුරුවන පිරිසට ආරාධනා කරල තමයි මේ පොත එළිදැක්වුණේ. මේක අපේ අනෙකුත් සහෝදරයන් අතරට යන එක තමයි එයට හේතුව වුණේ. මෙය ව්‍යාප්ත කරන්න අපි ප‍්‍රාදේශීය මට්ටමෙන් හෝ දිස්ත‍්‍රික් මට්ටමෙන් හෝ මේ සම්බන්ධයෙන් කථිකාවන් ගොඩනඟාගන්න බලාපොරොත්තු වෙනව.


සහෝදර සිංහල බෞද්ධ ජනතාවත් එක්ක මුස්ලිම් ප‍්‍රජාවට ඉතාමත් ශක්තිමත් බැඳීමක් තියෙනව.

සහෝදර සිංහල බෞද්ධ ජනතාවත් එක්ක මුස්ලිම් ප‍්‍රජාවට ඉතාමත් ශක්තිමත් බැඳීමක් තියෙනව. ඉතින් මේ ශක්තිමත් බැඳීමත් එක්ක මේ හඳුන්වා දීම කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙය නූතනයට ගැළපෙන විදියට ඇන්ඩ්‍රොයිඞ් සහ අයි ඕ එස් තාක්ෂණය හරහා සමාජයට ගෙනයන වැඩපිළිවෙළකුත් සකස්කරල තියෙනව.

අල් කුර්ආනය සහ ෂරියා නීතිය සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක් වෙලා තියෙනව. වැරදි වැටහීමක් මේ සම්බන්ධව සමාජයේ ගොඩනැගිල තියෙනව. මේ ගැන ඔබ මොකද කියන්නෙ.?

ඉස්ලාම් ධර්මයේ මූලාශ‍්‍ර දෙකක් තියෙනව. එකක් තමයි ‘වහී’. ඒ කියන්නෙ දේව හෙළිදරව්ව. මෙයට අන්තර්ගත වෙන එක තමයි අල් කුර්ආනය සහ සුන්නා. දෙවෙනි කාරණය තමයි අල් කුර්ආන් සහ සුන්නා හරහා යොදාගත්තු ‘ඉදිතිහාත්’ (මිනිස් පර්යේෂණ)
විශේෂයෙන් සමහරුන් හිතනව ශත වර්ශ කිහිපයකට පෙර පහළ වුණු අල් කුර්ආනයේ කරුණු කාරණා අදත් ඒ විදියටම පිළිගත යුතුයි කියල. නමුත් එය අද කාලයට ගැළපෙන අයුරින් අවබෝධ කරගත යුතු වෙනව. එය අපේ ජීවිතවලට ඔබින අයුරින් සකස් කරගන්න අපි දැනගතයුතු වෙනව. ඊට උදාහරණයක් ගත්තොත් මෑත කාලයේ කතිකාවට බඳුන් වුණු දෙයක් තමයි විවාහ වෙන වයස් සීමාව සම්බන්ධව. එක්දහස් නවසිය පනස් ගණන්වල නීතියක් ගෙනාව මුස්ලිම් විවාහය අවුරුදු 12 දි සිදු විය යුතු බව. නමුත් අල් කුර්ආනයේ නිශ්චිතවම සඳහන් වෙලා නැහැ ගැහැනු දරුවෙක් අවුරුදු 12 දි විවාහයට පත්විය යුතුයි කියල. ඒ වගේම නබිතුමන්ගෙ හදීස් එකට ගියත් ඒ වගේ තත්ත්වයක් නැහැ. හැබැයි එදා තිබුණු පරිසරය මත මොනහරි හේතුවක් නිසා ඒ වයස් සීමාව තීරණය කළා. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය සමාජ රටාව, සමාජ පසුබිම හැමදෙයක්ම වෙනස් වෙලා තියෙනව. විශේෂයෙන් අධ්‍යාපනය ලබා ගන්නා වයස් සීමාව ඉහළ ගිහින් තියෙනව.
සමහරු හිතනව එදා තිබුණු වයස් සීමාව තුළම අදත් විවාහ විය යුතුයි කියල. එදා තිබුණු පසුබිම මත ලියැවුණු දේවල් හරහා කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම අනුචිත කි‍්‍රයාවක්. අල් කුර්ආන් සහ හදීස් හරහා අදට ගැළපෙන, ඔබින ආකාරයට තීරණ ගත යුතු වෙනවා. එදා තිබුණු දේ අදත් තියෙන්න ඕනි කියල කෙනෙක් තර්ක කරනව නම් ඇත්තටම ඒක අනවබෝධය නිසා සිදුවන දෙයක්. ෂරියා සම්බන්ධ ප‍්‍රධාන ගැටලූවට මූලික හේතුව තමයි මේ අනවබෝධය.
අද අපි මේ කුරාන් සහ හදීස් හරහා අදට ඔබින වයස් සීමාව මොකක්ද කියන එක තීරණය කරන්න ඕනි. හැබැයි සමහරු කියනව එදා දාපු වයස් සීමාව තමයි අදත් තියෙන්න ඕනි කියලා. ඔබතුමා අහන ෂරියා සම්බන්ධ ගැටලූවටත් ප‍්‍රධාන හේතුව තමයි අර එදා අල්කුරානය අවබෝධ කර නොගැනීම. අවුරුදු දාහකට කලින් විද්වතෙක් වුණත් ජගතෙක් වුණත් එයා ලියන්නේ එයාගෙ පසුබිම. අද ඔහු ජීවත් වුණා නම් ඒක කණපිට තියෙන සමාජ රටාවක් දැන් තියෙන්නෙ. එදා තිබ්බ දේ අදත් තියෙන්න ඕනි කියල කවුරු හරි තර්ක කරනවා නම් ඒක මෝඩකමක්.

තේරුම් ගැනීමේ තියෙන අඩුපාඩුවක් ද මේ හැම අවුලකම තියෙන්නෙ.?

වැදගත්ම දේ තමයි නබිතුමාට නබිත‍්‍රය ලැබුණට පස්සෙ ඒ කියන්නෙ කි‍්‍ර.පූ 1000 – 900 අතර වගේ. මේකෙන් හිද්රි වෙනකම්ම ඒ කාලෙ හිටපු විද්වතුන් අල් කුර්ආන් හා හදිස් හරහා මිනිස් පර්යේෂණවලින් ඒගොල්ලො ඒක ගොඩනඟාගත්ත. ඊට පස්සෙ කිව්වා ආයි එහෙම කරන්න බැහැ කියල. තියෙන දේ තමයි පිළිපදින්න ඕනෙ කියල. ඒකාලෙ තිබුණා සංකල්ප හතරක්. මදහබ් කියල අපි ඒකට කියන්නෙ. ලංකාවෙ තියෙන්නෙ ශාෆි කියන සංකල්පය. ශතවර්ෂ 12කට 13කට කලින් තිබුණු චින්තන රටාවේ සමාජ පසුබිම, වාතාවරණය අද තියෙන්නෙ සම්පූර්ණයෙන් කණපිට. අදත් කවුරුහරි ඒ හරහා තමයි මේ හැමදෙයක්ම බලන්නෙ කිව්ව නම් තමයි පසුගාමී ආකල්ප හා ෂරියා පිළිබඳ තියෙන වැරදි අවබෝධයක් සමාජගත වෙන්නෙ. මුස්ලිම් අය අතරත් ඒ පිළිබඳ වන වැරදි අවබෝධයක් වී නම් වැරදි අවබෝධය නැති වීමට මේ කෘතිය ඉවහල් වෙනව.

අල් කුර්ආනය කියන්නෙ නීති පොතක් කියලයි ශ‍්‍රී ලාංකිකයන් විශ්වාස කරන්නෙ. මේ නිසා සමහරු ඉස්ලාම් ආගම වැලඳගැනීමට පවා භීතියක් දක්වනව. මෙහි ඇති සත්‍ය අසත්‍යතාව සඳහන් කළොත්?

අල් කුර්ආනයේ වාක්‍ය හයදහස් හයසිය ගණනක් තියෙනව. ඒකෙ නීති රීති ගැන සාකච්ඡුා කරල තියෙන්නෙ වාක්‍ය පන්සියයක් පමණයි. අල්කුරානය වැඩි නැඹුරුතාවක් දක්වල තියෙන්නෙ විශ්වාසය කියන කාරණාවට. දෙවෙනි එක තමයි ‘ඉබාදත්’ නැමැදුම සම්බන්ධව. තුන්වෙනි එක තමයි සදාචාරසම්පන්න ජීවිතය ගැන. මේ දේවල්වලට තමයි අල්කුරානය වැඩි ප‍්‍රමුඛස්ථානයක් ලබා දීල තියෙන්නෙ. ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම්වරු මෙම කාරණාවලින් මුල්තැන ලබා දුන්නෙ නීතිරීතිවලට. නීතියට ලබා දුන්නු වැදගත්කම අනෙකුත් කොටස්වලට ලබා දුන්නෙ නැහැ. මේ හේතුව නිසා තමයි මේ ආගම ගැන මෙවැනි බියක් සමාජගතවෙලා තියෙන්නෙ. ඒ වගේම අල්කුරානය තුළ සඳහන් වෙලා තියෙන්නෙ මානව සමාජය තුළ මුස්ලිම්වරයෙක්ගෙ දයාව කරුණාව මෛත‍්‍රිය වැනි කාරණා මත හැසිරිය යුත්තෙ කොහොමද කියන ආකාරය සඳහන් වෙලා තියෙනව.

මේ කෘතිය ලිවීමේ දි ලැබුණු අත්දැකීම් මොනවද?

මුළු කුරානය කියවීම හරහා තමයි මේ පොත ලියවෙන්නෙ. අල්කුරානයට ලියවුණු වැදගත් අටුවාවන් සියල්ල බොහෝ දුරට කියවල තියෙනව. ඒවායින් අදට ගැළපෙන දේවල් තෝරාගෙන මෙහි සඳහන් කරල තියෙනව. වර්තමානයේ අවට රට රටවල්වල ලියවුණු තක්සේරු කියවල ඒවායිනුත් අදට ගැළපෙන ආකාරයට මෙහි කරුණු අඩංගු වෙලා තියෙනව. ඒ වගේම මේක ලියවෙන්නෙ ලංකාවෙ සමාජ පරිසරය තුළ. නමුත් මේ අල්කුරාන අටුවාව සියයට සියයක් නිවැරදියි කියල කියන්න බැහැ. යම් යම් අඩුපාඩු තියෙන්නත් පුළුවන්.

උස්තාද් එම්. ඒ. එම්. මන්සූර් (නලීමි) ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. අකුරණ අල් කුර්ආන් අධ්‍යයන විවෘත විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ද වන ඔහු කුර්ආන් චින්තාවේ සම්පාදකවරයා ය.