Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ගිනි දැල් අතරින් මතු වූ
ආණමඩුවේ මිනිසත්කම

පුරා අවුරුදු විසි අටක් කිසිම භේදයකින් තොරව ආණමඩුවේ ජනයාගේ කුසගින්න නිවූ මදීනා හෝටලය ද මෑත දී පැතිර ගිය අධර්මයේ ගිනි දැල්වලින් වැසී ගියේ ය. ඒ ගිනි දැල් නිවා දමා මිනිසත්කම යළි මතු කරන්නට ආණමඩුව මිනිසුන්ගේ එකමුතුකම පෙළ ගැසුණු අයුරුයි මේ.

17.03.2018  |  
පුත්තලම දිස්ත්‍රික්කය

“ආණමඩුවේ මනුෂ්‍යත්වය සියලු දේ පරාජය කළා. මං මේ පහත් ක්‍රියාව කරපු අයට අනුකම්පා කරනවා. මට ආයේ ආණමඩුවේ ජනතාවට රසට කන්න දෙන්න පුළුවන්. ඒ වගේම මේ වැඩේ කරපු අය නිදහස් වෙලා ආවම ඒ අයටත් මගේ හෝටලය විවෘතයි.” ගිනි ලෑමෙන් පසු සුන්බුන් අතරින් යළි ඉදි වූ ආණමඩුව නගරයේ පිහිටි එකම මුස්ලිම් හෝටලයේ හිමිකරු මදීනා මුදලාලි හෙවත් මොහොමඩ් රහීම් එසේ කීවේ නෙත් පුරා පිරුණු සතුටු කඳුළු අතරිනි.

පුරා අවුරුදු විසි අටක් කිසිම භේදයකින් තොරව ආණමඩුවේ ජනයාගේ කුසගින්න නිවූ මදීනා හෝටලය ද මෑත දී පැතිර ගිය අධර්මයේ ගිනි දැල්වලින් වැසී ගියේ ය.

හෝටලය ගිනි ගෙන විනාශ වේගන යද්දී මට හිතුනේ ආයේ කවමදාවත් හෝටලයක් කරලා ආණමඩුවේ ජනතාවට රසට කන්න දෙන්න බැරි වෙයි කියලයි. නමුත් මගේ ඒ සිතුවිල්ල පැය කීපයකින් වෙනස් කරන්න මනුෂ්‍යත්වය කටයුතු කළා.” ඒ ආණමඩුව නගරයේ පිහිටි එකම මුස්ලිම් හෝටලයේ හිමිකරු මදීනා මුදලාලි හෙවත් මොහොමඩ් රහීම් ගේ වදන් ය.

හෝටලය ප්‍රතිසංස්කරණය

‘‘ආණමඩුවේ හෝටලයක් ගිනි තියලා. ඒක තමයි ආණමඩුවේ තිබුණු එකම මුස්ලිම් කඩේ, පාන්දර දෙකට විතර තමයි ගිනි තියල තියෙන්නේ. පසුගිය එකොලොස්වන දින අළුයම අසන්න ලැබුණු මේ පුවතත් සමඟ නැවතත් රටම උණුසුම් විණි. අම්පාරේ හා මහනුවර දිගන පළාතේ හටගත් ජාතිවාදී ප්‍රහාර රටම වෙලා ගන්නට තැත් දරන්නා සේ මේ පුවත කන වැකුණු බොහෝ දෙනාට දැනිණි. සමාජ මාධ්‍ය තහනම තිබුණත් ලොව පුරා මේ ආරංචිය පැතිර යාමට ගත වූයේ විනාඩි කීපයක් පමණි. මේ ආරංචියත් සමඟ රජය මෙන්ම ආරක්ෂක අංශ මේ පිළිබඳ ගත යුතු පියවර සම්බන්ධයෙන් යුහුසුළු විය. අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ නියෝග මත මේ සම්බන්ධව කඩිනමින් ගත යුතු පියවර කීපයක් ප්‍රකාශයට පත් විණි. ඉන් ප්‍රධාන වූයේ මේ සිදුවීමට අදාළ සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමයි. දෙවෙනුව ආණමඩුවේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේත් ආරක්ෂාව තර කිරීමයි.මේ සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශ යොදා ගැනීමට ද තීරණය විණි. තෙවෙනුව තීරණය වුයේ ගිනිගෙන විනාශ වී තිබු මදීනා හෝටලය තිබූ ආකාරයට ම ප්‍රතිසංස්කරණය කිරීමයි.

මදීනා මුදලාලි හෙවත් මොහොමඩ් රහීම්

“මදීනා මුදලාලි, ඔයා මේ වෙලාවේ අපි තනි කරන්නේ නැහැ. ඔයත් එක්ක අපි ඉන්නවා. ඔයා කියන දෙයක් අපි කරන්නම්.‘‘ ගින්න නිවීමටත් පෙර මොහොමඩ් රහීම් ගේ සිත සවිමත් කිරීමට බහුතරයක් වූ ආණමඩුවේ බොදුනු සිංහලයන් ඉදිරිපත් වීම රජයේ මෙන්ම ආරක්ෂක අංශවලද පහසුවට හා පැසසුමට හේතු විණි.

“අද රෑට අපි මේකේ කොත්තු කන්න ඕනේ. දැන් වෙලාව උදේ හතයි නේ. සවස හත වෙද්දී අපි මේක හදල ඉවර කරමු ” ආණමඩුව නව එක්සත් වෙළද සංගමයේ ඒකමතික තීරණය එය විණි.

වෙළඳ සංගමයට ජාතිවාද, කුලවාද, ආගම් වාද නැති බව

මේ සදහා පෙරමුණ ගත් ආණමඩුව නව එක්සත් වෙළඳ සංගමයේ සභාපති දයාන් අබේරත්න මහතා පැවසුවේ තම වෙළඳ සංගමයට ජාතිවාද, කුලවාද, ආගම් වාද නැති බව ය.
‘අන්තවාදීන් කීප දෙනෙකු එකතුවෙලා මේ ගිනි තිබ්බේ අපේ සතුටේදී මෙන්ම අපේ දුකේදීත් අපිත් එක්ක හිටපු රහීම් සහෝදරයාගේ හෝටලයට. අපි සියලු සමාජිකයන් එක්ව තීරණය කලේ පැය දොළහක් ඇතුළත මේ හෝටලය තිබු පරිදි හදන්න. අපි සියලු දෙනා ශ්‍රී ලාංකික, ආණමඩුවේ ජාති,ආගම, කුල භේද නැහැ. සියලු දෙනා සහෝදරත්වයෙන් ජිවත් වෙනවා කියල මේ සිදුවීමෙන් මුළු ලෝකයටම ඔප්පු වෙනවා. විශේෂයෙන් මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරලා සතුටු වෙන්න බලාගෙන හිටපු කීප දෙනාටත් මේක හොඳ පාඩමක්.“

වැඩෙහි යෙදෙන්නවුන් ගේ කුසගින්න නිවන්නට සැපැයුණු කෑම බිම

ආණමඩුව එක්සත් වෙළඳ සංගමයේ යෝජනාව පල දරමින් පොලිස් පරීක්ෂණ නිම වීමෙන් අනතුරුවම ගිනි ගෙන විනාශ වූ සුන්බුන් ඉවත් කැරිණි.
වැඩෙහි යෙදෙන්නවුන් ගේ කුසගින්න නිවන්නට සැපැයුණු බිස්කට්,තේ, බත්, සවසට මඤ්ඤොක්කා ආදී කෑමෙන් බිමෙන් අඩුවක් නොවිණි. දෙසිය පනහකට ආසන්න පිරිසක් සෑම විටම මේ බිමේ සිටි අතර වහලයේ වැඩ සඳහා පමණක් විසි පහකට ආසන්න පිරිසක් එක්වූහ. සවස් වෙද්දී ඉවර කරන්නට බැරි වේ යැයි කිවු ප්‍රතිසංස්කරණ කටයුතු සවස හතර පමණ වන නිම කරන්නට මිනිසත් බවවේ නාමයෙන් එක් වූ පිරිසට හැකි විය.

මිනිසත් බවවේ නාමයෙන්
ආණමඩුව නව එක්සත් වෙළඳ සංගමයේ සභාපති දයාන් අබේරත්න

සවස හත පමණ වන විට හෝටලය විවෘත කිරීමට අවශ්‍ය මුලික කටයුතු නිම විණි. මෙය ගිනි තබා පැය විසි හතරක් ගතවීමට මත්තෙන් සාදා යළි විවෘත කිරීමට හැකිවීමත්, වගකිවයුතු පුද්ගලයන් අල්ලා ගැනීමට හැකිවීමත් ශ්‍රී ලාංකිකයන් ලෙස ආණමඩුවේ ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හෝටලය නැවත විවෘත කිරීම සඳහා පැමිණි මහා සංඝරත්නය මෙන්ම ඉස්ලාම් ආගමික නායකයන්යෝ ද ප්‍රකාශ කළහ. ආණමඩුවේ සියලු දේශපාලන පක්ෂ නායකයෝ ද මේ මතය එකහෙළා පිළි ගත්හ.
“මේකට ජාතිවාදය කියල කියන්න මං කැමති නැහැ. මේක කළේ කීප දෙනෙක්. අද බහුතරය මනුෂත්වය වෙනුවෙන් පෙනී සිටියා. මේ කඩේ මගේ බාප්පාගේ. මේක ගිනි තියල තිබුණ විදිහ දක්කම් අපිට ලොකු දුකක් දැනුණා. බාප්පා කිව්වා මේක ආයේ කරන්නත් බැහැ කියල. නමුත් ඒ සියලු දේ දැන් ඉවරයි. මට ලොකු සතුටක් තමයි දැන් දැනෙන්නේ” මොහොමඩ් අනුෂ්, මදීනා මුදලාලිගේඥාතියා ගේ අදහස එය විණි.
සමන්ත කුමාර ජයරත්න මේ වෑයමට උර දුන් සිය ගණනක් පිරිසෙන් එකෙකි. උදේ සිටම වැඩෙහි නිරත ව සිටීම හේතුවෙන් ඔහුගේ වත පුරා දැලි කුණු ය.
” මේ බලන්න මගේ අත් දෙක. මං උදේ ඉඳන්ම වැඩ. ආණමඩුවේ මිනිස්සු ළඟ ජාති භේදයක් නැහැ. එදා ඉඳන්ම මුදලාලිත් එක්ක අපි හොඳයි. අපේ සමගිය,ආණමඩුවේ සමගිය මේ වැඩෙන් මුළු ලංකාවටම, ලෝකයටම පෙන්නුවා. මුස්ලිම් ,දෙමළ ,සිංහල අපි සියලු දෙනා මේ මාතෘ භුමියේ ජිවත් වෙන්න ඕනෑ. මේ ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවක් .මනුස්සයන් විදිහට කරන්න සුදුසු දේවල් නෙමෙයි. මේ දේවල් කරපු අයට හා කරන්න ඉන්න අයට කියන්න තියෙන්නේ ආයේ මේ වගේ දේවල් කරන්න එපා ලැජ්ජයි, සිංහල අපිට ලැජ්ජයි කියලයි.‘‘

සිංහලයන්ගේ දෑතින්

ජයරත්නට ඇතිවූ ලැජ්ජාව අනිවාර්යෙන්ම මේ වන විට මෙවැනි ක්‍රියා රට පුරා සිදුකළ පුද්ගලයනට හා ක්‍රියාවලට උල්පන්දම් දුන් අයටද ඇතිවී ඇතුවා නොඅනුමානය. ඒ සිංහලයන්ගේ දෑතින් මදීනා හෝටලය තිබු අයුරින්ම නැවත ඉදිවූවා මෙන්ම, සියලු කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් විනාශ වූ දේපොළ සදහා රජය මගින් වන්දි ලබා දීමට තීරණය කර ඇති බැවිනි.

රාත්‍රී හතයි තිහට පමණ මදිනා හෝටලය නැවත විවෘත විණි. ඒ ආගමික නායකයන්ගේ, ප්‍රදේශයේ දේශපාලකයන්ගේ, පොලිස් නිලධාරීන්ගේ හා තුන්සියයකට ආසන්න ජනතාවකගේ සහභාගිත්වයෙනි. සියලු දෙනා එකම මේසයක ඉඳ තේ පැන් සංග්‍රහය භුක්ති විදි අතර එය සතුටු සිනා මැද සිදු විණි.

මේ සිදු වීමට සම්බන්ධ බවට සැකපිට ආණමඩුව ප්‍රදේශයේම තරුණයන් පිරිසක් ආණමඩුව පොලිස් ස්ථානාධිපති උපාලි රත්නමල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබිණි.මේ සඳහා පුත්තලම කොට්ටාශ භාර පොලිස් අධිකරිවරයාගෙන්ද නොමද සහයක් ලැබී තිබිණි.