Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජීවිත අයිතිය ඇහිරුණු
ඉරණතිව් ඉරණම

තමන් ගේ ම වහල යට ජිවත් වීමේ අයිතිය ඇහිරුණු කලෙක සිතක පැන නඟින හැඟීම් කවරාකාර ද? ජීවිත අයිතිය ඇහිරුණු ඉරණතිව් වැසියන් ගේ හඬට කන්දීම ඒ හැඟීම් විඳ ගන්නට අපට ඇති හොඳ ම අවස්ථාව ය.

24.04.2018  |  
කිලිනොච්චි දිස්ත්‍රික්කය

‘‘මං තමයි මේ ඉන්න අයගෙන් දූපතේ හිටපු පරණම පදිංචිකාරයා. මං ඉපදුණෙත් එහේ. කොයිතරම් ලස්සන ජීවිතයක්ද අපට තිබුණේ? හොඳ සරුවට රස්සාව තිබුණා. අපේ ඉඩකඩං තිබුණා. හරක්, එළුවො හිටියා. අපි ඔක්කොම එකා වගේ සමාදානෙන් ජීවත් වුණා“ සෙබමාලෙයි ඉසෙකියේල් (86) දිදුළන දෑසින් ද, අංග චලනයෙන් ද සිය ජීවිතයේ සරුසාර යුගක සිතුවම් මා හමුවේ මවා පාන්නට අහිංසක උත්සාහයක යෙදෙයි. ඔහු ඉරණතිව් දූපතේ පැරණි ම සාමාජිකයා ය.

‘අපේ ජීවිත කාලෙ කිසිදාක පොලීසි ගාණෙ, උසාවි ගාණෙ ගියේ නෑ. ප්‍රශ්නයක් වුණාම ගමේ වැඩිහිටියො එකතු වෙලා කතාබස් කරල ඒක විසඳගත්තා. මිනිහෙක් වරදක් කළොත්අවවාද කරල හදාගත්තා. අපි කව්රුත් කතෝලිකයො. කොයි දේටත් අපට අපේ පල්ලිය තිබුණා. දැන්අපට අපේ දූපතට පයගහන්න දෙන්නෙ නෑ. පල්ලියට යාගන්න හැටියක් නෑ. මේ මොන ජීවිතයක්ද? ‘අපේක්ෂා බිඳුණු ඒ හඬ මෙයට පෙර මහත් උද්යෝගයකින් මා හමුවේ සිය අතීතය ගෙනහැර පෑ සෙබමාලෙයි ඉසෙකියේල් (86) ගේ ම දැයි සිතමින් මම මොහොතකට විපිළිසර වීමි.

වර්ග කිලෝමීටර් හයක දූපත

“ඉරණතිව්” යනු දූපතකි. කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉරණතිව් දූපත පිහිටා ඇත්තේ උතුරු පළාතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් මුහුදු තීරයේ ය. වර්ග කිලෝමීටර් හයකින් සමන්විත මේ දූපත සෑදී ඇත්තේ දූපත් දෙකක් එකිනෙක සම්බන්ධ වීමෙනි. මෙම දූපත් පෙරිය ඉරණතිව් හා සින්න ඉරණතිව් ලෙස හඳුන්වයි.

මිනින්දෝරු සිතියමකට අනුව, පෙරිය ඉරණතිව් දූපතේ ඉඩම් කට්ටි 143ක් සලකුණු කර ඇති අතර, සින්න ඉරණතිව් දූපතේ ඉඩම් කට්ටි 35ක් ලකුණු කර ඇත. ඔවුන් පළමු වරට අවතැන් වන විට, මේ දූපත්වල ගලින් තැනූ ගෙවල් 125ක් ද, වතුර බොන ළිං 5ක් ද, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ද, පල්ලි දෙකක් ද තිබුණු බව ‘විකල්ප‘ වෙබ් අඩවිය කියයි.

ඉරණතිව් මාතා නගර් කතෝලික දේවස්ථානය අසලදී දින 359 ක් පුරා එනම් වසරක් සපිරීමට නියමිත උපවාසයක් ක්‍රියාත්මක වූයේ ඉරණතිව් දුපතෙහි පාරම්පරික ධීවර රැකියාවේ යෙදෙමින් ජීවත් වූ ජනයා ඉන් ඉවත් කිරිම නිසා ය. මේ සඳහා ඉරණතිව් දූපත්වාසීන්ට ස්වේච්ඡා සංවිධාන කිහිපයක ද සහාය ලැබී තිබිණි.

මේ වන විට යුද්ධය අවසන් වී වසර නවයක් සපිරීමට ආසන්න වූව ද එම සමස්ත භූමියේ ම පාලනය ශ්‍රී ලංකා නාවික හමුදාව තව දුරටත් සිදු කර ගෙන යයි.

වසර විසි අටකට පසු ඉරණතිව් දේවස්ථානය ජනතාවගෙන් පිරි ඉතිරි ගිය පසු

“ආඩවනේ… අපේ ඉඩම් අපිට දෙන්න දේවි ස්වාමිනේ…‘‘වසර විසි අටකට පසු ඉරණතිව් දේවස්ථානය ජනතාවගෙන් පිරි ඉතිරි ගිය පසු මේ යාදින්න ඉන් මතුව පැතිර ගියේ ය. දේවස්ථානයේ බිම වැටී වැළපුණු ජනතාව තමන් නැවත දූපත අතහැර නො යන බවට ද මෙහිදී ප්‍රතිඥා දුන්හ.

ඉරණතිව් ඉතිහාස කතාව

දීර්ඝ ඉතිහාසයකට උරුම කම් කියන ඉරණතිව් ජනාවාස වී ඇත්තේ මිට ශතවර්ෂ හතරකට පෙර ය.1886 දී මෙහි ඉදි කර තිබෙන, දැනටත් විරාජමානව වැජඹෙන අරුම පුදුම කුළුණ (මෙය ඔරලෝසු කණුවක් යැයිද පැවසේ ) ඉරණතිව් ඉතිහාස කතාව මනාව ගෙනහැර පායි.

ඉරණතිව් හි ජීවත්වුණු ජනතාවට මේ දුපත අහිමි වන්නේ 1992 වර්ෂයේදී ය. ඒ එවකට පැවති යුද්ධය හේතුවෙනි. ශ්‍රී ලංකා නාවික හමුදාව මේ දුපතේ වාසයට පැමිණීමත් සමඟ එවකට මෙහි ජිවත් වූ ජනතාවට දුපත අතහැර යාමට සිදුවන අතර එතැන් සිට පසුගිය අප්‍රේල් විසිතුන් වන දින දක්වා ඔවුනට සිදු වන්නේ තැනින් තැන යමින් ජිවත් වන්නට ය. අවසන් වරට මේ ජනතාව ජිවත් වූයේ ඉරණමාතා ගමෙහි ය.

සිය පැරණි ගම්බිම් වෙත සිදු කෙරෙන ගමන

එවකට පැවති යුදමය වාතාවරණය හේතුවෙන් 1992 වසරේ සිට ඉරණතිව් දූපත අහිමි වූ ඔවුන් 2007 වසරේ සිටම තම නිජ බිම වූ ඉරණතිව් දූපත වෙතට පැමිණීමට අවස්ථා කිහිපයකදීම ගත් උත්සහයන් අසාර්ථක විය. 2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව තම මුල් ඉඩම් හිමි වේවි යන බලාපොරොත්තුවෙන් සිටියද ඔවුන් ගේ ඒ බලාපොරොත්තු තවම ඉටු ව නැත.

ආණ්ඩුවේ පොරොන්දු

මේ හේතුවෙන් සිය බලාපොරොත්තු අකමැත්තෙන් හෝ අතහැර දැමීමට මේ ජනතාවට සිදුවිණි. පසුගිය ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී මේ ජනතාවට ලබා දුන් පොරොන්දුත් සමඟ නව ජවයක් ලැබූ මේ ජනතාව වත්මන් ආණ්ඩුවේ මුණිවත හමුවේ යළිදු අපේක්ෂා භංගත්වයට පත් වූහ.
දුපතේ සිටි බහුතරයකගේ රැකියාව වුයේ ධීවර කර්මාන්තයයි. ඔවුනට නායකත්වය ලබා දීමට ජාතික ධීවර සහයෝගිතාව ඇතුළු ‍සංවිධාන කීපයක් ඉදිරිපත් විණි. මේ ජනතාවට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් නැවත ලබා දෙන ලෙස ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් ද ගඟට කැපූ ඉනි මෙන් විය.

මේ තත්ත්වය හමුවේ සිය ඉල්ලීම් දිනා ගනු පිණිස පසුගිය වසරේ මැයි මස පළමු දින ඔවුහු අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. එය අවසන් කෙරුණේ පසුගිය අප්‍රේල් මස විසිතුන් වැනි දා ය. මේ අතර වාරයේ අවස්ථා කීපයකදී කොළඹ දී මෙන්ම ඉරණමාතා ගම්මානයේදීත් මේ ජනතාව ශ්‍රී ලංකා නාවික හමුදාව තම දුපත අයිති කර ගෙන සිටීම පිළිබඳ විරෝධය පළ කළහ.

අතැර දැමුණ ගොඩනැගිලි

කීනා එළිසබෙත් (54) ඉරණතිව් දූපතේ සිය දිවියෙන් වැඩි කලක් ගත කළ තැනැත්තියකි. දූපත් දිවිය ගැන ඇගේ මතකය උතුරට ආ ඉන්දීය හමුදාව දක්වා දිව යයි.

‘ඉන්දියානු හමුදාව හිටපු කාලෙත් අපිදූපතේ හිටියා. 92 අවුරුද්දෙ මුහුදෙ ගැටුම් වැඩිවෙන කොට නේවි එක අපට කිව්ව ආරක්ෂාවට ගොඩබිමට යන්න කියලා.ඒ මිසක් කව්රුවත් අපට දූපත තහනම් කළේ නෑ. ගෑනු අය, ළමයි මෙහේ ඉඳිද්දී පිරිමි අය රස්සාව කළා. දේපළ බලන්න ආව ගියා. 2008 වෙනකල්ම අපි ඒ විදියට දූපතට ආව ගියා. යුද්දෙ අවසාන කාලෙ අපිට එක එක කඳවුරුවල ඉන්න වුණා. ඒ තැන්වලත් අපේ ගමේ අය එකටමයි හිටියෙ. යුද්දෙ ඉවරවෙලා 2008 එකොළොස්වෙනි මාසෙ අපි ආපහු ආවට පස්සෙ, අපට දූපතට යන්න දුන්නෙ නෑ. අපි අහන්නෙ, කොහොමද එහෙම වුණේ? යුද්ද කාලෙ නැති ප්‍රශ්නයක් දැන් තියෙන්නෙ කොහොමද? ඇයි අපේ දේපළ මේ විදියට උදුරගන්නෙ?‘

ඇයි අපේ දේපළ උදුරගන්නෙ?

එස්. වේදනායගන් (57) 1992 වසරේ දී ඉරණතිව් වෙත පැමිණියෙකි. සිය පැරණි ගම්බිම්වල දිවි ගෙවීම ඔහු ගේ එක ම අපේක්ෂාව ය.

‘1992දි අපි මෙහාට ආවෙ පවුල් 193යි. දැන්පවුල් 400ක් ඉන්නවා. මෙහේ ආවට පස්සෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්වුණා. දූපතේ ඉඳල රස්සාවෙ යන කොට තෙල්වියදම අඩුයි. ඉන් පිට ඉඳල ඉරණමාතා ගමේ ඉඳල රස්සාවෙ යන්න විශාල වියදමක් යනවා. දූපතේ ඉන්නකොට ගෑනු අය, ළමයි, ඔක්කොම ධීවර වැඩවලට සම්බන්ධ වුණා. දැන් පිරිමි අය විතරයි රස්සාවෙ යන්නෙ. අපේ පරම්පරා ගාණක්, ඕලන්ද කාලෙ ඉඳලම දූපතේ ජීවත් වුණා. අපිට ඔප්පු තිරප්පු තියෙනවා. යුද්දෙ ඉවරවුණ ගමන් අපේ පුරුදු ජීවිතේට යන්න අපි බලා ගෙන හිටියා. ජනාධිපතිතුමා ඡන්දෙදි පොරොන්දු වුණා අපට ඉඩම් ආපහු දෙන්න. පොරොන්දු ඉටු කරනකල් අපි තවම බලා ඉන්නවා.‘

ඉරණතිව් දේවස්ථානය

ඉරණමාතා සිට ඉරණතිව් දුපතට ඇති දුර මුහුදු සැතපුම් දොළහකි. සිය පැරණි ගම්බිම් වෙත සිදු කෙරෙන ගමනට හාරසියයකට ආසන්න පිරිසක් සුදානම්ව සිටි අතර එහෙත් ඒ මුළු පිරිසටම‍ මේ ගමනට එක් වීමට නොහැකි විණි. අවසානයේ තුන්සිය පනහකට අසන්න පිරිසක් බෝට්ටු හතළිහකට ආසන්න ප්‍රමාණයක නැග දූපතට ළඟා වූහ. පැයකකට ආසන්න මුහුදු ගමනකින් පසු මේ ජනතාව ආගමික නායකයන් පෙරටු කරගනිමින් දුපතට ඇතුළු වූහ.

දුපතට ඇතුළුවන ස්ථානයෙම භුමියේ සිමෙන්තියෙන් සෑදු පුවරුවකි. මෙහි ඉරණතිව් යන්න ඉංග්‍රීසියෙන් ලියා තිබිණි. දුපතට ඇතුළු වූ ජනතාවගේ පළමු කාර්යය වුයේ දෙවියන්ට ස්තුති කිරීම ය. ඒ අතර ඉරණතිව් ජපමාල මාතා දේවස්ථානයේ ඝාන්ටාරය විනාඩි පහකට ආසන්න කාලයක් නොනවත්වා නාද වූ අතර දේවස්ථානයේ රැස්වුවන්ගේ ස්තුතිය හා දේව කන්නලව්ව මුහුදු සැතපුම් ගණනක් දුරට ඇසෙන්නට ඇතැයි සිතේ. මේ කන්නලව්වේ ගැබ්ව තිබුණේ තමනට අයත් දේ තමනට ලැබිය යුතුය යන්න ය.

දූපතේ යළි ජිවත් වීමේ අයිතිය

ජනතාව දුපතට ඇතුළුව විනාඩි කීපයක් ගත වූ තැන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ද එහි ළඟා විණි. ජනතාව දූපතට පැමිණි කාරණය විමසා සිටි නාවික හමුදා නිලධාරීහු තමන් මෙහි ඇති දේවස්ථානය පිළිසකර කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බැව් පවසා සිටියහ.
කතෝලික පියතුමන්ලා මෙන්ම ජනතාව ද නාවික හමුදා නිලධාරීනට කියා සිටියේ ජනතාවට නැති දේවස්ථානයක් පිළිසකර කිරීම පලක් නොමැති ක්‍රියාවක් බව ය. දූපතේ යළි ජිවත් වීමේ අයිතිය ලැබුණු පසු එක් දේවස්ථානයක් නොව දේවස්ථාන දහයක් වුවද තම වියදමෙන් සදා ගැනීමට හැකි බව ද ඔවුහු පවසා සිටියහ. මේ තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම ද නාවික හමුදා නිලධාරීන් වෙතින් ප්‍රතික්ෂේප විණි.

මෙම දූපතෙහි නාවික හමුදාව ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට අනවසර ධීවර කටයුතු සඳහා පැමිණෙන ඉන්දීය ධීවරයින්ට සහ ඉන්දියාවේ සිට පැමිණෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්‍ට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් පවසයි. මෙහි ස්ථාපනය කර ඇති රේඩාර් යන්ත්‍රය මගින් ඉන්දියානු මෙන්ම අනෙකුත් ධීවර යාත්‍රාවන්ද නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවත් මේ හේතුවෙන් අනවසරයෙන් ශ්‍රී ලංකීය මුහුදු තීරයට ඇතුළු වන යාත්‍රාවන් හඳුනා ගැනීමටත් අනතුරට පත් ධීවරයන් සහ ධීවර යාත්‍රාවන් මුදවා ගැනීමටත් නාවික හමුදාවට හැකියාව පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.
ජාතික සහ ආගමික සහජීවනය වෙනුවෙන් කටයුතු කරන තමන් ඉරණතිව් දූපතෙහි පිහිටි “ජපමාලයේ අප ස්වාමි දුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීම සඳහා සිය උපරිම සහයෝගය ලබා දෙන බව ද නාවික හමුදාව පවසයි.

වල් බිහි වූ ගොඩනැඟිලි

මේ වන විට දූපතට ඇතුළු වූ සියයකට ආසන්න පිරිසක් දූපතේ රැඳී සිටින අතර ඔවුනට අවශ්‍ය අහාර හා අනෙකුත් පහසුකම් සැපයීමට අනෙක් සහෝදර ජනතාව කටයුතු කරමින් සිටියි. දේවස්ථානයේ රැඳී සිටින මේ ජනතාව තුළ ඉදිරි පියවර පිළිබඳ ස්ථිර අදහසක් නොමැත. ඉරණතිව් වෙත ළඟා වූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු පමණක් ජනතාවගේ සැප දුක් විමසා අවශ්‍ය කටයුතු ඉටු කරන බවට පොරොන්දුවක් ලබා දී තිබේ. ඊළඟට කුමක් කළ යුතුද යන්න පිළිබඳ දැනට ඉරණතිව් දූපතේ සිටින ජනයාට ස්ථිර අදහසක් නොමැති වුවත් දුපත අතැර නැවත නොයන බව නම් ඔවුහු එක හඬින් කියති.