Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

හෙළ බොදු මුණුබුරුට ඔරසං කියන
රොස්ලින් මේරි ගෝමස්

කෙනකුට විවිධ ජාතීන් ගෙන් සුසැදි ඥාති පරපුරකට උරුමකම් කියන්නට ලැබීම දුලබ වාසනාවකි. ඒ පරපුරේ හැමෙකකු සමඟ ම සහජීවනයෙන් හා සංහිඳියාවෙන් දිවි ගෙවන්නට ලැබීම ඒ වාසනාවේ අගය තවත් වැඩි කරන්නකි. සිය දිවි මගේ 105 වන කඩ ඉම පසු කරන රොස්ලින් මේරි ගෝමස් ඒ වාසනාව, සහජීවනයෙන් හා සංහිඳියාවෙන් අත් විඳින්නට දුලබ උරුමයක් ලද තැනැත්තියකි.

14.08.2018  |  
ගම්පහ දිස්ත්‍රික්කය

“අදු එනික්කි පරයන් වයියා… දෙයිවත්තුඩන් තාන් කෙක්කනම්”

රොස්ලින් මේරි ගෝමස් මහත්මිය මා ඇසූ පැනයට නොදන්නා බසකින් පිළිතුරු දුන්නාය. මෙතරම් සතුටින් හා නිරෝගීව ජීවත් වන්නේ කෙසේද යන්න මා ඇගෙන් ඇසූ ප්‍රශ්නයයි. මා ඒ පැනය ඇසුවේ සිංහලෙනි. සිය දිවි මගේ 105 වන සැතපුම් කණුව අභියස සිටින ඇය දකින ඕනෑම කෙනෙකුට මුලින්ම සිහියට නැගෙනු ඇත්තේ එම ප්‍රශ්නයයි.

“ඒක මට කියන්න බැහැ. දෙයියන්ගෙන් තමයි අහන්න ඕනෑ” කියල තමයි අම්ම ඒ කිව්වෙ යැයි රොස්ලින් නෝනාගේ වැඩිමහල් දියණිය  පහදයි.

“මොකද්ද මේ භාෂාව? ”

දෙවන පැනය යොමු වූයේ රොස්ලින් නෝනාගේ මිණිබිරිය වන ලියෝනි පැට්ට්‍රිෂියා තවරාජාටය. “ඒක මලයාලම් භාෂාව.” ලියෝනි මට ලබා දුන්නේ කෙටි පිළිතුරකි.

දකුණු ඉන්දියානු සම්භවයකින් යුත් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අතර මලයාලි ප‍්‍රජාවට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට මලයාලි ප‍්‍රජාවගේ සංක‍්‍රමණය ඉතා ඈත අතීතයේ සිට අවස්ථා ගණනාවක සිදු වී තිබිණ. පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජධානිවලින් 14වන සියවසේදී පමණ මෙරටට කුලී හේවායන් පැමිණි බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ඉන් සියවස් ගණනකට පසුද විවිධ හේතු සාධක පදනම් කරගනිමින් මෙරටට මලයාලි ප‍්‍රජාවගේ සංක‍්‍රමණය සිදුවිය. කේරළය සමඟ තිබූ වෙළඳ සබඳතා ද ඊට හේතු වී තිබුණි.

බි‍්‍රතාන්‍ය පාලන සමයේද කේරළයේ සිට මලයාලි ප‍්‍රජාව මෙරටට පැමිණෙන්නේ කෝපි, තේ, රබර් වැනි වගාවන් හා බැඳුණු රැකියා සඳහා ය. ඊට අමතරව යුරෝපීය පාලනය යටතේ මලයාලි ජාතිකයින් මෙරට ආයුර්වේද, අධ්‍යාපන, දුම්රිය, පොලිස් ආදී විවිධ ක්ෂේත‍්‍රවල රැකියාවල නිරතව තිබේ.

කේරළයේ පොල් වගාව ප‍්‍රචලිත බැවින් මෙරටට රා මදින්නන් ලෙසද ඔවුන් ගෙන් වූ බව කියැවේ. ඒ අනුව මෙරට රා මදින්නන්, කුරුදු තලන්නන්, ධීවර ප‍්‍රජාවේද බොහෝ දෙනා එලෙස කේරළයේ සිට පැමිණි පිරිසගේ සම්භවයෙන් පැවත එන්නන් බවද ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි.

රොස්ලින් මේරි ගෝමස්z – ලාසරස් ජෝර්ජ් ගෝමස් සමඟ අතිනත ගත්තේ 1944 වසරේදී ය.

හින්දු මලයාලම්, ක‍්‍රිස්තියානි මලයාලම්, ඉස්ලාම් මලයාලම් ලෙස ප්‍රභේද කීපයක් කේරළයේ වාසය කරයි. මෙරටද විවිධ ආගම්වලට අයත් මලයාලි ජාතිකයින් සිටියත් අද වන විට ඉන් බොහෝ දෙනා දෙමළ, මුස්ලිම් හෝ සිංහල ජාතීන් ලෙස රූපාන්තරණය වී ඇති බව පෙනෙන්නට තිබේ. තවමත් රටේ විවිධ ප‍්‍රදේශවල ශ‍්‍රී ලාංකික මලයාලි වැසියෝ 25,000ක් පමණ පමණ තම අනන්‍යතාව රඳවා ගනිමින් හෝ නොගනිමින් දිවි ගෙවති.

“අපි මලයාලම්. ඉන්දියාවේ කේරළයේ ඉදලා ලංකාවට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ මගේ සීයා. ඒ කියන්නේ මගේ තාත්තා ඉපදිලා තියෙන්නේ ලංකාවේ. මගේ සීයා ඒ වගේම් තාත්තා තේ වතු වල වැඩ කළේ. අපි මේ රටේ හොඳට ජීවත් වුණ, ජීවත් වෙන පුරවැසියෝ. දැන් අපිත් ශ්‍රී ලාංකික තමයි.” රොස්ලින් නෝනාගේ ඒ වදන් පැහැදිලි ය, තියුණු ය.

රොස්ලින් මේරි ගෝමස්z උපත ලැබුවේ 1914 .09.20 වැනි දින මහනුවර හීරැස්සගලදී එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක පස්වෙනියා ලෙස ය. රොස්ලින් නෝනා අකුරු කර ඇත්තේ මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම මලයාලම් භෂාවද කතා කිරීමට මෙන්ම ලිවීමට කියවීමටද හැකියාවක් ඇති රොස්ලින් නෝනා උසස් අධ්‍යාපනයක් ලැබුවත් රැකියාවක් තෝරා නොගන්නේ එකල කාන්තාවන් රැකියා සඳහා යාමේ අඩු ප්‍රවණතාවයක් දැක්වූ හෙයිනි.

”මට රස්සාවක් කරන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. අපිට හොඳට සල්ලි පනම් තිබුණා. අපේ සියලු දෙනා තේ වතු රස්සා තමයි කළේ. ඉතින් මං මොකටද රස්සාවකට යන්නේ? ගුරුපත්වීමක් වගේ ගන්න වුණත් අධ්‍යාපන සුදුසුකම් මට තිබුණා.” රොස්ලින් නෝනා කියයි.


 වයස අවුරුදු 105 යි

 භාෂා හතරකින් ලියන කියන හැකියාව

 සිංහල, දෙමළ, මුස්ලිම්, පෝලන්ත නෑයෝ

රොස්ලින් මේරි ගෝමස්z මාතාව, ලාසරස් ජෝර්ජ් ගෝමස් මහතා සමඟ අතිනත ගත්තේ 1944 මැයි මස විසිපස්වෙනි දින මහනුවර කතෝලික දේවස්ථානයේ පැවති දිව්‍ය පූජා යාගයකින් අනතුරුව ය. ලාසරස් ජෝර්ජ් ගෝමස්z මහතාද තේ වතු නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර පසු කාලීනව තේ වතු හිමිකරුවෙකුද වී ඇත.

“මට අද වගේ මතකයි. ඒ දවස්වල දෙවන ලෝක යුද්දේ. හැම දේම හිඟයි. රෙදි ගන්න හරි අමාරුයි. රෙදි දෙන්නේ කුපන්වලට විතරයි. මම වෙඩින් එකට රෙදි ගත්තේ පෝලිමේ ගිහින් කුපන් එක දීලයි.” රොස්ලින් නෝනා සිය අතීත මතක ආවර්ජනයක යෙදෙයි.

රොස්ලින් නෝනාට දරුවන් පස් දෙනෙකි. ඉන් පළමුවැන්නිය මේරි ස්ටෙලා බ්ලොසම් තවරාජා මේ වන විට හැත්තෑ තුන් වන විය සපුරයි. ඇය විවාහ වී ඇත්තේ පොලිස් නිලධාරියෙකු වූ යාපනයේ උපත ලැබූ ද්‍රවිඩ ජාතිකයෙකු වන ටෙරන්ස් තවරාජා මහතා සමඟ ය. ඇයට දරුවන් තිදෙනෙකු සිටින අතර බාල දියණිය ලියෝනි විවාහ වී ඇත්තේ මාතර සිංහල බෞද්ධ තරුණයෙකු වන චමින්ද සම්පත් මහතා සමඟ ය. ලියෝනිගේ එකම සහෝදරයා පෝලන්ත ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිටි.

රොස්ලින් නෝනාගේ දෙවැන්නා ස්ටැන්ලි ජෝර්ජ් ඩග්ලස් මුස්ලිම් ජාතික කාන්තාවක් විවාහ කර ගත් අතර ඔහු තේ වතු ආශ්‍රිත රැකියාවක නිරත වී තිබිණි. තුන් වැන්නා ජෝන් ලාසරස් නොයෙල් මේ වන විට මියගොස් ඇති අතර සිව් වැන්නිය ලෝන මරියා ඇසෙන්ටාය. බඩපිස්සිය වූ මරියා ලුඩ්ස් විදේශ ගතව ජීවත් වෙයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, පෝලන්ත නෑයන් ගෙන් සපිරි පවුල

පටු දේශපාලන මතවාද දරන්නවුන් නිසා 1970 දී ඔවුනට තිබුණු තේ අක්කර පනහ ද, තේ තම්හල ද, දෙකම අහිමි විය. රොස්ලින් නෝනලාට වූ අසාධාරණයට කිසිදා සාධාරණයක් නොවූවත් ඔවුන් කිසි දිනක එසේ කළ වුවන් කෙරෙහි තරහක් නොමැත. ශ්‍රී ලංකික සියලු ජන වර්ගවලට මෙන්ම ලෝකයේ රටවල් රැසකට නෑකම් කියන රොස්ලින් අම්මා අදටත් තැවෙන එකම කාරණය වන්නේ තම සිංහල බෞද්ධ මුණුබුරාගේ ජීවිතය රැක ගන්නේ කෙසේද යන්න ගැන ය. ඇය පසුගිය වසර කීපයේ ඇගේ ඥාතීන් ගෙන් ඉල්ලා ඇති එකම ඉල්ලීම වී ඇත්තේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින සිය මුණුබුරා ගේ ජීවිතය බේරා ගැනීම පිණිස හැකි අයුරින් උපකාර කරන ලෙස ය.

“මගේ මුණුබුරා ඒ කියන්නේ මගේ දුවගේ, දුවගේ මහත්තයා, එයාට දෙවෙනි වතාවට තමයි වකුගඩුවක් බද්ධ කරන්න වෙලා තියෙන්නේ. මීට අවුරුදු පහළොවකට ඉස්සරලා බද්ධ කළ වකුගඩුව දැන් නරක් වෙලා. සතියකට දෙවතාවක් ලේ මාරු කරනවා. වියදම බෝහෝම සැරයි. දැන් මං ජීවත් වෙන්නේ එයාව ජීවත් කරවන්නයි. මට වයස අවුරුදු 105 ලබන්නේ එන මාසේ. මං තව කල් ඉන්නවා. ඒ මගේ සිංහල බෞද්ධ මුණුබුරා වෙනුවෙන්. මං අදහන්නේ කතෝලික ආගම. මගේ ආගමේ හැටියට මං හැමදාම එයා වෙනුවෙන් ඔරසං කියනවා.”