Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දරු රැස රොද බඳින
මවු බසක මහිමය

පාසල නිමා කිරීමේ සීනු නාදය මුළු පරිසරය වෙලා ගනිද්දී හින්දු, කතෝලික, මුස්ලිම්, බෞද්ධ සියලු ළමයින් එක පෙළට සිට ගෙන ඡත්ත මානවක ගාථා ගැයූහ. ඒ හඬ එක ම ලතාවකට පාසල් බිම පුරාවට ම එක සේ විහිද ගියේ ය. එ තුළ කිසිදු ආගමික හෝ වාර්ගික ස්වරයක් ඇතුළත් ව තිබුණේ නැත.

19.11.2018  |  
නුවරඑළිය දිස්ත්‍රික්කය

“මේ ඉස්කෝලෙට මුලින්ම ආපු දවසේ මං ළමයි එක්ක කතා කළේ සංඥා භාෂාවෙන්. මගේ පන්තියේ හිටපු ළමයි කිහිප දෙනෙක්ම සිංහල දැනගෙන හිටියේ නැහැ. වැඩි හරියක් කතා කළේ දෙමළ භාෂාවෙන්. මට හිතුණා මට වැරදිලා මේ ඉස්කෝලේ දීලා ද කියලා. මං මගේ පත්වීම් ලිපිය අරගෙන ආයෙමත් බැලුවා. ඒකේ තිබුණේ මධ්‍යම පළාත, හැටන් කලාපය, ගවරවිල සිංහල විද්‍යාලය කියලා”

කොළඹ, කඩුවෙල සිට මස්කෙළිය සාමිමලේ, නිශ්ශංක උයන ගවරවිල සිංහල විද්‍යාලයට පැමිණි මිනුෂා ශ්‍රී යුගානි ගුරු මෙනවිය ගේ පළමු ගුරු පත්වීම එයයි. ඇය මේ වන විට මේ විදුහලේ පළමු වසරේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි. ඇය ගවරවිල සිංහල විදුහලට පැමිණ දැන් වසරක කාලයක් ගෙවී ගොසිනි.

හැටන් අධ්‍යාපන කලාපයේ පිහිටි ගවරවිල විදුහල සිංහල මාධ්‍ය පාසලක් වුවත් පාසලේ ළමයින්ගෙන් බහුතරයක් හෙවත් එකසිය පනස් තුනක් වැනි ගණනකින් එකසිය තුනක් ම ද්‍රවිඩ ළමයින්ය. බගවන්තලාව ධර්මකීර්ති සිංහල විද්‍යාලය ද මේ තත්ත්වයට කදිම නිදසුනකි. මෙහි සංයුතිය ගත් විට සිංහල ළමයින් හැත්තෑ හයකි, ද්‍රවිඩ ළමයින් හැත්තෑ එකකි, මුස්ලිම් ආගම අදහන ළමයින් ගණන විසි හතකි, මිශ්‍ර ළමයින් හතළිස් දෙකකි.

මිනුෂා, විජිත හා රේණුකා දේවී

පළමු ගුරු පත්වීම ලබා ගවරවිල විදුහලට පැමිණි යුගානි වැනි ගුරු භවතුන්ට මෙය අලුත් අත්දැකීමක් වුවද පසුගිය වසර ගණනාවක සිට වතුකරයේ මෙම නව ප්‍රවණතාවේ වර්ධනයක් දක්නට ලැබිණි. යුගානි ගුරු මෙනවිය ද මේ වන විට ක්‍රමයෙන් තම වගකීම ඉටුකිරීමෙහිලා මනා පරිචයක් අත්කර ගෙන ඇති බවට ඇය වටා දැවටෙන දරු දැරියන් දෙස බැලූ කල පැහැදිලි වෙයි.
“මං ඉගෙන ගත්තේ කොළඹ. ඒත් සිංහලෙන්. මෙහෙට එද්දී මට පුළුවන් දෙමළ වචන දෙක තුනක් විතරයි. නමුත් මට දැන් දෙමළ වචන සැලකිය යුතු ප්‍රමාණයක් පුළුවන්. මම ඒ වචන ඉගෙන ගත්තේ මේ ළමයින්ගෙන් ම තමයි. ‘‘ ඇය කියයි.

හැටන් අධ්‍යාපන කලාපයේ සමස්ත පාසල් ගණන එකසිය පනහකි. ඉන් ද්‍රවිඩ මාධ්‍යයේ පාසල් ගණන එකසිය දොළහකි. සිංහල මාධ්‍යය පාසල් ගණන තිස් හයකි. බහු මාධ්‍ය පාසල් ගණන දෙකකි. ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල ළමයින් හතළිස් දෙදහස් අනූ එකක් ඉගෙනුම ලබන අතර, සිංහල මාධ්‍ය පාසල්වල ඉගෙනුම ලබන ළමයින් ගණන දසදහස් හත්සිය අසූ අටකි. සිංහල මාධ්‍ය පාසල්වල ඉගෙනුම ලබන සමස්ත ද්‍රවිඩ ළමයින් ගණන මෙතෙක් සමීක්ෂණයක් කර නොමැති වුවත් ඒ ගණන පන්සියයකට ආසන්න බව වාර්තාවන අතර මිශ්‍ර ළමයින් ගණන ඊටත් වැඩිවිය හැකි බව හැටන් අධ්‍යාපන කලාපයේ දත්ත පෙන්වා දෙයි.

තොරතුරු දැනගැනීමේ පනත අනුව විද්‍යුත් තැපෑල මඟින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හැටන් අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නාමල් චන්දන කුමාර මහතා ඉහත තොරතුරු ලබා දීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“ද්‍රවිඩ ළමයින් සිංහල විද්‍යාලවලට ඇතුළත් වීමට වැඩි රුචිකත්වයක් දක්වන්නේ ඇයිද යන්න පිළිබඳ සමාජ පර්යේෂණයක් සිදු කළ යුතු බවයි මගේ අදහස. කෙසේ නමුත් මේ ළමයිට ඕනෑම පාසලක ඉගෙන ගන්නට අයිතිය තියනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සියලුම පාසල්වල එක සමාන පහසුකම් තියෙනවා.”

ආර්. හරන්යා

ගවරවිල සිංහල විද්‍යාලයේදී හමු වූ විජිත ඉලංගන්තිලක ගුරු පියා ගේ සේවා කාලය මේ වන විට වසර හතරකි. වතුකරයේ හැදී භාෂා කීපයක නිපුණත්වයක් ඇති විජිත ගුරු පියා ප්‍රකාශ කළේ මේ තත්ත්වය මුළු රට පුරා වර්ධනය වුවහොත් රටේ ගැටලු රැසකට පිළියම් නිසැකවම ලැබෙන බවයි.

“මේ ළමයින්ගේ හිතේ හැඟීමක් තියෙනවා ඉගෙන ගත්තේ නැත්නම් මේ වතු සංස්කෘතියෙන් මිදෙන්න බැහැ කියලා. හරියට මුල් කාලයේ මේ කාරණාව තේරුම් ගත්තොත් හතර පහ වෙද්දී ඒ ළමයින් සිංහල ළමයින්ට වඩා දස්කම් පෙන්වනවා. ඒ අයට ඕනෑ සිංහල දරුවන් එක්ක හරි හරියට ඉන්න. මේ ළමයි ගෙදර වැඩ දුන්නම හරියට කරනවා. ඉතා වුවමනාවෙන් ඇහුම්කන් දෙනවා. ඒ වගේම මේ අය දන්නවා තමනුත් අනෙක් ළමයින්ගේ මට්ටමට යා යුතු බව. මේ තත්ත්වය ඇත්තෙන්ම ඉතා හොඳ තත්ත්වයක්. කල් යද්දී මේ ළමයින්ට භාෂා තුනේහ ප්‍රවීණත්වයක් ඇති වෙනවා.” යි ඔහු අනාවැකි පළ කරයි

විජිත ගුරු පියාගේ කතාව සියයට සියයක් සත්‍ය බව වැටහී ගියේ ගවරවිල විද්‍යාලයේ පන්තිකාමරයකට ඇතුළු වූ අවස්ථාවේදීයි. “ආයුබෝවන්.!!” ඉතා විනීතව පැහැදිලි සිංහලෙන් මා පිළිගත් ළමයින් ඉතා ඉක්මනින් නැවතත් තම ගුරු පියා දුන් රාජකාරියට වැටිණි. රටේ පාසල් රැසක පන්ති කාමරවලට ගොස් ඇති මට මේ පන්ති කාමරයේ ඇති වෙනස අවබෝධ කර ගැනීමට ගත වූයේ සුළු කාලයකි. “දුවගේ නම මොකද්ද ?… ඇයි දුව සිංහල ඉගෙන ගන්න කැමති”යි එක් දියණියකගෙන් විමසූවිට ඇය දෙවරක් නොසිතා ම මෙසේ පිළිතුරු දුන්නා ය.

“මගේ නම ආර්. හරන්යා. මගේ අම්මා ලක්ෂ්මි, තාත්තා රාමන්. මගේ ආගම හින්දු. මං කැමති සිංහල භාෂාවට. අපි දැන් ගෙදරදිත් සිංහල කතා කරන්න උත්සාහා කරනවා.”යි ඇය චතුර ව සිය අදහස ගෙනහැර පෑවා ය. ඈ අත තිබූ පොත ගෙන පරික්ෂා කිරීමේදී පෙනී ගියේ ඇගේ ඉදිරිපත් කිරීම මෙන්ම ඇය පාසලේ සිංහලෙන් සිදු කරන ඉගෙනුම් කටයුතු ද ඉතා උසස් අයුරින් සිද වන බව ය.

“අපේ පන්තියේ බෞද්ධ, හින්දු, කතෝලික මේ ඔක්කොම ආගම් අදහන ළමයින් ඉන්නවා. අපි හින්දු ආගම අදහන්නේ ගෙදරදි. පාසලේදී අපි හැමෝම අදහන්නේ බෞද්ධ ධර්මය. මං ඉගෙන ගන්නේ බෞද්ධ ධර්මය, මං ද්‍රවිඩ වුණාට ඉස්කෝලෙදි මගේ මව්බස වෙන්නේ සිංහල” හරන්යා ඇයට යොමු වූ අතුරු ප්‍රශ්නවලටද එක එල්ලේ පිළිතුරු සැපයුවා ය.

තම ළමයින් වෙනත් භාෂාවක්, ආගමක් ඉගෙනගන්නවාට මේ දරුවන් ගේ මාපියෝ කිසිදු අකමැත්තක් නොදක්වති. ඔවුන්ට අවශ්‍ය වන්නේ රටේ සියලු ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් වීමයි.

මාසිලා විල්සන්

මාසිලා විල්සන්, දරුවන් සිවු දෙනකුගේ පියෙකි. ඔහු ද්‍රවිඩ ජාතික කතෝලික බැතිමතෙකි. සිංහල කතෝලික කාන්තාවක් විවාහ කරගෙන ඇති විල්සන් තම දරුවන් සිවු දෙනාම ගවරවිල සිංහල විද්‍යාලයට එවා ඇත්තේ දැඩි බලාපොරොත්තුවකිනි. විල්සන්ගේ දරුවන් දෙදෙනකු මේ වන විටත් ගවරවිල විදුහලේ ඉගෙනුම ලබයි.

“දැන් මගේ ළමයි සිංහල වගේම බෞද්ධ ධර්මයත් ඉගෙන ගන්නවා. කවදා හරි දවසක මගේ ළමයින්ට රටේ කොහේට හරි යන්න වුණොත් ඒ අයට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. ඒ අය භාෂාව දන්නවා, සංස්කෘතිය දන්නවා. ඒ අය ඉස්කෝලෙදි එහෙම ඉගෙන ගත්තට අපි ගෙදරදී අපේ ආගම අදහනවා. ඉරිදට පල්ලි යනවා. ඒ කියන්නේ අපේ සංස්කෘතියත් රැකිලා තියෙනවා. මේ වෙනකොට මගේ ලොකු දරුවෝ දෙන්නම ඉගෙනගෙන ඉවරයි. ලොකු පුතා පෞද්ගලික ගුවන්විදුලියක මාධ්‍ය තුනෙන්ම වැඩ කරනවා.” මාසිලා විල්සන් හැඟුම්බරව කියයි.

නඩරාජා නඩේෂන්

මේ පාසලේදී හමුවූ සුවිශේෂී චරිතයක් ලෙස නඩරාජා නඩේෂන් හැඳින්විය හැකි ය. ඔහුගේ බිරිය නඩරාජා නදියා ද උපතින් ද්‍රවිඩ කාන්තාවකි. වතු සේවකයන් වන ඔවුන් තම දරු දෙදෙනාට දමා ඇත්තේ සිංහල නම් දෙකකි. වැඩිමලා ඉසුරු දිලිප් සංජීව වන අතර දෙවැනියා දිල්රුක්ෂි සංජීවනී ය. ඉසුරු දිලිප්, ගවරවිල සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සංජීවනී දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබයි. නඩේෂන් ගේ පවුලේ මේ සංකලනයේ ඇති සුවිශේෂතාව වන්නේ නිවසේදී ඉසුරු සිය නැගණිය සමඟ සිංහලෙන් කතා කිරීම හා සංජීවනී සිය සහෝදරයා වන ඉසුරු සමඟ ද්‍රවිඩ භාෂාවෙන් කතා කිරීමයි.

තම මවු භාෂාවත් සමඟ තම රටේ භාෂාවේ ද සහායෙන් ඉදිරියට ගොස් ජීවිතය දිනූ තැනැත්තියක වන රේණුකා දේවී මේ පාසලේම ගුරුවරියක ලෙස කටයුතු කරයි.

“මගේ තාත්තා ත්‍රිකුණාමලයේ. අම්මා බදුල්ලේ. මං ඉපදුණේ මොණරාගල. තාත්තා පොලිසියේ වැඩ කළේ. ඒ නිසා තැනින් තැනට යන්න සිද්ධ වුණා. මං මුලින්ම ඉස්කෝලේ ගියේ කුරුණෑගල. එහෙ අවුරුද්දක් ඉගෙන ගනිද්දී තාත්තට පාණදුරේට මාරුවක් ලැබුණා. පාණදුරේ කුරුප්පුමුල්ලේ බෞද්ධ පාසලකට තමයි මට යන්න වුණේ. එහේ හින්දු ආගම අදහන කෙනකුට හිටියේ මං විතරයි. මං එහේදී බෞද්ධ ධර්මය ඉගෙන ගත්තා. ඒ වගේම ඉගෙන ගත්තේ සිංහල භාෂාවෙන්. මං සාමාන්‍ය පෙළ විභාගයටත් බෞද්ධ ධර්මයට පිළිතුරු ලියලා සමත් වුණා. සිංහල භාෂාවට බී සාමාර්ථයක් තියනවා. අද මං ඉංග්‍රීසි ගුරුවරියක් වෙලා මේ සිංහල පාසලේ උගන්වනවා. භාෂා තුනම හොඳට දන්නා නිසා මා ඉතා හොඳින් මගේ රාජකාරිය කරනවා. ඒ වගේම මං දැන් පදිංචිය හැටන්වල .මට භාෂා ත්‍රිත්වය ම පුළුවන් නිසා මට හොද ඉල්ලුමකුත් තියෙනවා. මං හිතන්නේ මේ තත්ත්වය අවබෝධ කරගෙන තමයි මේ පාසලට ද්‍රවිඩ දරුවන් ඇතුල්වීම වැඩි වෙලා තියෙන්නේ. මෙහෙ ජාති භේද, ආගම භේද, රැකියා භේද මුකුත් නැහැ ගුරුවරුන්ට සියලුම ළමයි එකයි.”

පාසල නිමා කිරීමේ සීනු නාදය මුළු පරිසරය වෙලා ගනිද්දී හින්දු, කතෝලික, මුස්ලිම්, බෞද්ධ මේ සියලු ළමයින් එක පෙළට සිට ගෙන ඡත්ත මානවක ගාථා ගැයූහ. ඒ හඬ එක ම ලතාවකට පාසල් බිම පුරාවට ම එක සේ විහිද ගියේ ය.