Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අතුරුදහන් කිරීම ඝාතනයටත් වඩා කුරිරුයි
‘‘පුතාට ගත්ත චොක්ලට්, අවුරුදු 18ක් තිස්සෙ මගේ ෆ්‍රීසර් එකේ තියෙනවා.’’

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා යාන්ත්‍රණ හතරක් පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මේ දිනවල දේශපාලන තලයේ සංවාදයට හේතු වී ඇති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයද ඉන් එකකි. විසාකා ධර්මදාස ඒ මගින් යුක්තිය ඉටු කරවාගැනීමට අපේක්ෂා කරන, ‘අතුරුදන් වූ හමුදා නිලධාරියකුගේ’ මවකි. ඇය අතුරුදහන් වූ රණවිරුවන්ගේ මාපිය සංවිධානයේ සභාපතිනිය ද වන්නී ය. ඔබ දිගු කලක් […]

27.07.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
අතුරුදහන් වූ රණවිරුවන්ගේ මාපිය සංවිධානයේ සභාපති විසාකා ධර්මදාස

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා යාන්ත්‍රණ හතරක් පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මේ දිනවල දේශපාලන තලයේ සංවාදයට හේතු වී ඇති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයද ඉන් එකකි. විසාකා ධර්මදාස ඒ මගින් යුක්තිය ඉටු කරවාගැනීමට අපේක්ෂා කරන, ‘අතුරුදන් වූ හමුදා නිලධාරියකුගේ’ මවකි. ඇය අතුරුදහන් වූ රණවිරුවන්ගේ මාපිය සංවිධානයේ සභාපතිනිය ද වන්නී ය.

ඔබ දිගු කලක් තිස්සේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන් වීම් පිළිබඳ ක්‍රියාකාරී වන කෙනෙක්. ඊට පසුබිම් වූ හේතුව වේදනාකාරී වුණත්, අන් අයගේ දැනගැනීම පිණිස ඒ ගැන යමක් කිව හැකිද?

1998 සැප්තැම්බර් 28 වැනිදා, ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ලූතිනන්වරයකු ලෙස සේවය කළ මගේ පුතා ක්‍රියාන්විත රාජකාරියේදී අතුරුදහන් වුණා. එදා මට දැනුණේ යුද්ධය මගේ ගෙදර දොරකඩට රැගෙන ආ දවස හැටියටයි. ඇත්තටම එදා ඉඳල මට ජීවිතයක් තිබුණෙ නැහැ. හැම මොහොතක්ම කැප කළේ මගේ පුතාට වුණේ මොකක්ද කියල සොයන්නයි. ‘මගේ පුතා කෝ, එයාට මොකද වුණේ?’ කියල මං පළමුවෙන්ම ඇහුවෙ රජයෙන්. මොකද ඔහු හිටියෙ රජය භාරයේ නිසා, ඔහුට සිදුවුණේ මොකක්ද කියල මට කියන එක රජයේ වගකීමක්. අවුරුදු 18ක් තිස්සෙ තවමත් රජය ඒ වගකීම ඉටු කරල නෑ. මම තවමත් අරගල කරන්නෙ ඒ වෙනුවෙන්.
මගේ පුතා ඉන්නවා කියල මම අදටත් හිතනවා. එයා නිවාඩු ආවාම දෙන්න එකතු කරල තිබ්බ චොකලට් ටික, අවුරුදු 18ක් තිස්සෙ අදටත් මගේ ෆීසර් එකේ තියෙනවා. දංතුරේ ගෙදර තාමත් ලොකු පුතාට නොලියා ඉන්නවා, කවදහරි ‘අචී’ ආපහු ඇවිත් ‘ඇයි අම්මෙ, මං නෑ කියල හිතලද එහෙම කළේ?’ කියල අහවි කියල හිතෙන නිසා.

අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය වර්ග කරන්න බැහැ

යුක්තිය ඉටු කරවාගැනීම වෙනුවෙන් මේ දක්වා ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද?

කොටින්ම ඒ වෙනුවෙන් ‘නොකළ දෙයක් නෑ. නොගිය තැනක් නෑ, නොකී කෙනෙක් නෑ’. අනිත් හැම අම්මලම කරන විදියට පන්සල්, පල්ලි දේවාල ඔය හැම තැනකමත් ගියා. දරුණු විදියට යුද්දෙ තියෙන්දි, ආණ්ඩුවත් හමුදාවත් එපා කියද්දි, අපි අම්මල හත් දෙනෙක් කොටි සංවිධානෙ හම්බවෙන්න පවා ගියා. ඇත්තෙන්ම දරුවෙක් අතුරුදහන් වුණාට පස්සෙ මේ ලෝකෙ අම්ම කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ. කිසිම බලවේගෙකට ඒ අම්මව නතර කරන්න බෑ.
ඒ වේදනාව දන්නා අම්මාවරුන් සහ පියවරුන් එකතුකරල තමයි අපි ‘ක‍්‍රියාන්විතයේදී අතුරුදහන් වූ රණවිරුවන්ගේ දෙමාපිය සංවිධානය’ බිහි කරන්නේ. මගේ පුතා වගේම අතුරුදහන් වූවායැයි සැලකෙන රණ විරුවන් හාරදාහකගේ (4000) මාපියන්ගේ සාධාරණ ඉල්ලීම වෙනුවෙන් සංවිධානාත්මකව කටයුතු කරන්න අපට පුළුවන් වුණා. ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් මේ ප‍්‍රශ්නය කිසිවකුට මගහැර යන්න බැරි තැනකට ගේන්න අපට පුළුවන් වුණේ ඒ ශක්තිය නිසා.

අතුරුදහන්වීම ආරක්ෂක හමුදාවල සාමාජිකයන්ට පමණක් අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. දිගු කාලයක් මුළුල්ලේ විවිධ කාලපරිච්ඡේදවල දකුණේත් උතුරේත් විශාල පිරිසක් අතුරුදහන්වීමට ලක් වුණා. ඒ අයගේත් මව් පියන්- සමීපතමයින් දිගු කලක් තිස්සේ අරගල කළා. ඒ හඬට ඔබ සංවේදී වෙන්නෙ කොහොමද?

කිසි සේත්ම, අතුරුදහන් වූවන්ගේ ප‍්‍රශ්නය වර්ග කරන්න බැහැ. ලංකාවෙ උතුරේ-දකුණේ විතරක් නෙවෙයි, ආජන්ටිනාවේ, චිලියේ, උගන්ඩාවේ, මේ ලෝකෙ කොතැන වුණත්, දරුවන් අතුරුදහන් වුණ මව්වරුන්ගේ පියවරුන්ගේ වේදනාව එකයි. අතුරුදහන් කිරීම කියන්නේ, ඝාතනයටත් වඩා කුරිරු අපරාධයක්. ජීවත් වන සමීපතමයින්ට ඒක කිසිදා සුව නොවන තුවාලයක්. ඔවුන්ගේ ජීවිතත් ඒකෙන් විනාශ වෙනවා.
අපි දකුණෙ වගේම උතුරෙත් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එක්ක වැඩ කරල තියෙනවා. ඒ අත්දැකීම් මත තමයි ‘යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංවිධානය’ බිහිවෙන්නේ. අතුරුදහන්වීම මේ රටේ මින් මතුවට කිසිදා-කිසිම තැනක සිදු නොවිය යුතුය කියන පුළුල් අරමුණ වෙනුවෙනුයි අපි වැඩ කරන්නේ.

අතුරුදහන්වීම මේ රටේ මින් මතුවට සිදු නොවිය යුතුයි

අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය, මේ රටේ දෙවතාවක්ම ආණ්ඩු පෙරළීමට තරම් ප්‍රබල බලපෑමක් ඇති කළ සාධකයක්. ඒත් හුදු සටන් පාඨයක් ලෙස විනා බලයට පත් වූ කිසිදු රජයක් ඒ වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් ලබා දී නැහැ. ඒ පසුබිම තුළ ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක්’‘ ස්ථාපිත කිරීමට වත්මන් රජය දරන වෑයම ඔබ තක්සේරු කරන්නෙ කොහොමද?

ඒ ගැන අපි ඉතාම සතුටු වෙනවා. මේක තමයි ශ්‍රීලංකා රාජ්‍යය අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් බැරෑරුම් විදියට මැදිහත් වෙන පළමුවැනි වතාව. ඒක ඕපපාතිකව සිද්ධවුණු දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ දකුණෙ වගේම උතුරෙත් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කළ අරගලවල ප්‍රතිපලයක්. රිචඞ් ද සොයිසාගේ මව ඇතුළු දකුණේ අතුරුදහන් වූවන්ගේ මව්වරුත්, අතුරුදහන් වූ රණවිරුවන්ගේ මව්වරුත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන්වූවන්ගේ මව්වරුත් නගපු හඬට රාජ්‍යය පළමු වරට කන්දීමක් හැටියටයි අපි මේක දකින්නෙ. එදා සිට අද දක්වාම මේ සියලූ මව්වරු ඇහුව එකම ප්‍රශ්නය තමයි, ‘‘මගේ දරුවට මොකක්ද වුණේ?’’ කියන එක. ඒ ප්‍රශ්නයට උත්තර සෙවීම තමයි මේ කාර්යාලයේ ප්‍රධාන වගකීම වෙන්නේ.

මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ආණ්ඩුව ඇති කරගත් එකඟතා අනුව සිදු කෙරෙන්නක් බව රහසක් නොවෙයි. එය ජාත්‍යන්තරයේ බලපෑමට යටත් වීමක් හැටියටත් අර්ථකථනය කෙරෙනවා?

කව්ද එහෙම කියන්නෙ? ඒ කියන අයගෙ දරුවන් ක්‍රියාන්විත රාජකාරියේදි හරි වෙනත් යම් අවස්ථාවකදි හරි අතුරුදහන් වෙලා තියෙනවාද? ඒ කියන අය මේ රටේ අතුරුදහන්වීම් කියල ප්‍රශ්නයක් තියන බව පිළිගන්නවාද?

සාධාරණය ඉටු කරන්න මහින්දට උවමනාවක් තිබුණෙ නෑ

මේ ගැන කතා කරනකොට අපි අමතක නොකළයුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉරාකයෙන් පස්සෙ, වැඩිම අතුරුදහන් වීම් වාර්තා වුණ රටේ ඉඳගෙනයි අපි මේ කතාකරන්නෙ. දීර්ඝ කාලයක් තිස්සේ අතුරුදහන්වීම් කියන ගැටලූවට ශ්‍රී ලංකා රාජ්‍යයෙන් සාධාරණ විසඳුමක් නොලැබුණු නිසා තමයි ඒක ජාත්‍යන්තර තලයේ සාකච්ඡා කෙරෙන ප්‍රශ්නයක් බවට පත් වුණේ. මහින්ද රාජපක්ෂ මහත්තය තමයි ඒ ප්‍රශ්නය මුලින්ම ජිනීවා වලට අරගෙන ගිය පුද්ගලයා. ඒ ප්‍රශ්නය දඩමීමා කරගෙන බලයට එන්න මිස ඒ වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ඔහුට උවමනාවක් තිබුණෙ නෑ. ඒ වගේම යුද්ධෙ අවසන් වුණාට පස්සෙ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉදිරියේ මේ ගැන පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නෙත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඔහු අවුරුදු පහක් තිස්සෙ ඒ පොරොන්දුව ඉටු නොකරපු නිසා තමයි ප්‍රශ්නය මේ තරම් දුරදිග ගියේ. ඔහු ම පත් කරපු එල්.එල්.ආර්.සී. කොමිසමේ නිර්දේශ පවා ඔහු නොසලකා හැරියා.

ජාත්‍යන්තර බලවේගවල හෝ වෙන කාගෙවත් ඉල්ලීමක් නෙවෙයි, දස දහස් ගණනක් මව්වරුන්ගේ පියවරුන්ගේ ඉල්ලීම තමයි මේ රජය ඉටු කිරීමට භාරගෙන තියෙන්නේ. කල් පහුවෙලා හෝ ශ්‍රීලංකා රාජ්‍යය මේ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වීම ගැන ඒ වෙනුවෙන් අරගල කරපු අපි ඉතාමත් සතුටු වෙනවා.

/

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති, ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය’ සම්බන්ධ කෙටුම්පතට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතළ විරෝධයක් පළ කර තිබෙනවා. එය රණවිරුවන් පාවාදීමක් බවයි ඔහු කියන්නේ.

ඔහුගේ ප්‍රකාශය, රට වෙනුවෙන් සටන් කළ මගේ පුතා ඇතුළු සියලූ රණවිරුවන්ට කළ බරපතළ අපහාසයක්. අතුරුදහන් කිරීම් සිදු කළේ ‘රණ විරුවන්’ කියලද ඔහු මේ කියන්නෙ? කිසිම ‘රණ විරුවෙක්’ පුද්ගලයන් අතුරුදහන් කිරීමට සම්බන්ධ නෑ. අතුරුදහන් කරවීම කියන්නෙ අපරාධයක්. රණ විරුවන් කියන්නෙ අපරාධකරුවන් නෙවෙයි. තමන්ගේ බල ලෝභී අරමුණු වෙනුවෙන් සිද්ධ කරපු අපරාධ වහගන්න රණවිරුවන්ගේ කීර්ති නාමය පාවිච්චි කිරීම දැන්වත් නතර කරන්න කියල මං ඔහුට කියනවා.
දකුණේ දරුවන් අතුරුදහන් වූ, ඝාතනය වූ මව්වරුන්ගේ කරපිටින් බලයට ආව ඔහු, අවුරුදු දහයක් තිස්සෙ ඒ ගැන මොනවද කළේ? අතුරුදහන් වූ රණවිරුවන්ගෙ  මාපියන්ගෙ දුග්ගැනවිල්ල වෙනුවෙන් මොනවද කළේ? කිසිම දෙයක් කළේ නෑ. දැන් වත්මන් ආණ්ඩුව ඒකට විසඳුමක් දෙන්න හදනකොට විරුද්ධ වෙන්න එයාට තියන හේතුව මොකක්ද?
පැහැදිලිවම එකක් කියන්න ඕනෑ. කිසියම් දේශපාලකයෙක් තමන්ගෙ පටු උවමනාවන් වෙනුවෙන් කරන අපරාධවලට ආරක්ෂක අංශවල අය යොදාගත්තා නම්, ඒ අපරාධවල වගකීම ඔහු බාර ගත යුතුයි. රණවිරුවන්ගේ කීර්තිනාමයට මුවාවෙලා ඒ වැරදිවලින් ගැළවෙන්න බෑ. අනිත් අතට, අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීමටත්, අතුරුදහන් කිරීම කියන අපරාධය දේශපාලන අවියක් හැටියට පාවිච්චි කිරීම සහමුලින්ම අවසන් කිරීමටත් ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව මේ අවලංගු වූ දේශපාලකයන්ගේ පටු අරමුණුවලට බිලිවෙන්න අපි ඉඩ තියන්නෙ නෑ.

වින්දිතයන් සඳහා සහන ලබා දීමත් අත්‍යවශ්‍යයි

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, රජය විසින් පිහිටුවීමට යෝජිත සංහිඳියා යාන්ත‍්‍රණ හතර අතුරින් එකක්. මෙම යාන්ත්‍රණ පිළිබඳව මහජනතාවගේ අදහස් විමසා බලා වාර්තා කිරීම සම්බන්ධයෙන් පත් කර ඇති කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙසත් ඔබ කටයුතු කරනවා. සමස්තයක් ලෙස මෙම ක්‍රියාදාමය ගැන ඔබේ අදහස කුමක්ද?

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙස රජය විසින් මා පත් කිරීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. මගේ ජීවිත කාලයේදී ලැබූ ඉහළම ගෞරවයත් එයයි. අවුරුදු 18ක් තිස්සේ අතුරුදහන් වූ රණවිරුවන් වෙනුවෙන් ගෙනගිය අරගලයට ලැබුණු ඉහළම ප්‍රතිචාරයත් ඒකයි. මේක පෞද්ගලිකව මට නෙවෙයි, සියලූ අතුරුදහන්වූවන්ගේ මා පියන් වෙනුවෙන් ලැබුණු අවස්ථාවක්. ජනතාවගේ පැත්තෙන් බැලූවත්, මේ අවස්ථාව තමයි මේ කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ අදහස්වලට වටිනාකමක් ලැබෙන පළමු අවස්ථාව. මින් මතු කිසි දිනෙක, දරුවකු අතුරුදහන් වීමේ වේදනාව කිසිම මවකට පියෙකුට අත් විඳින්නට සිදු නොවන රටක් බවට අපේ රට පත් කරගැනීමට මේ අවස්ථාව යොදාගත යුතුයි.
සියලූ ජාතීන්ට තම තමන්ගේ අනන්‍යතා රැකගෙන, ආත්ම ගෞරවයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි රටක් බවටත් මේ රට පත් කර ගත යුතුයි. මේ දක්වා සිදුවූ වැරදි මොනවාදැයි හඳුනාගැනීමත්, වැරදි කළ අය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව දඬුවම් කිරීම හෝ සමාව දීමත්, අනාගතයේ එම වැරදි සිදු නොවන බව සහතික කිරීමත්, වින්දිතයන් සඳහා සහන ලබා දීමත් ඒ සඳහා අත්‍යවශ්‍යයි. එවැනි තත්ත්වයක් තමයි සංහිඳියාව ඇති කිරීම කියල අදහස් කරන්නේ.