Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අපේ පුවත්පත්වල ප්‍රතිපත්ති තීරණය කරන්නෙ
කතුවරයා නොවෙයි, හිමිකරුවා

‘ඉරුදින’ සතිඅන්ත පුවත්පතේ කතුවරයා ඇතුළු කර්තෘමණ්ඩල සාමාජිකයන් 7දෙනකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමේ සිදුවීම, ලංකාවේ පුවත්පත් හිමිකරුවන්ගේ ආධිපත්‍යය සහ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය පිළිබඳ සංවාදය අලූත් වටයකින් කරළියට ගෙන ඒමට හේතු වී තිබේ.

09.03.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය

පසුගිය සතිය වන තුරු ඔබ ඉරුදින පුවත්පතේ කතුවරයා. දැන් ඔබ කව්ද?

ඉරුදින කර්තෘ කියන එක එක්තරා නාමකරණයක් විතරයි. ඊට කලින් රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ කියන එකත් ඒ වගේ. මං කැමතියි ඒ ප්‍රශ්නෙට, ‘මම ජනමාධ්‍යවේදියෙක්’ කියල උත්තර දෙන්න. එදාටත්, අදටත් හෙටටත් ඒ හැදින්වීම වලංගුයි.

ජනමාධ්‍යවේදියා කියන භූමිකාව ඔබ විස්තර කරන්නෙ කොහොමද?

ප්‍රධානම කාරණය තමයි, ඔහු පොදුජනතාවට වගකියන්න බැදී සිටින කෙනෙක්. ‘පොදුජන යහපත’ තමයි අන් සියලූ කාරණාවලට ඉහළින් ඔහු සම්බන්ධයෙන් බල පවත්වන නියමය. ඒ වගේම ඔහු, වෘත්තීය ආචාරධර්ම පද්ධතියකින් බැඳී සිටිනවා.

ඉරුදින පුවත්පතේ කර්තෘ ලෙස ඔබ ඉටු කළ භූමිකාව, ඔය කියන ප්‍රතිපත්තිමය රාමුව තුළ සිදු වුණා කියල ඔබට කියන්න පුළුවන්ද?

ඔව්. මාත් මගේ කර්තෘ මණ්ඩලයත් ඒ ප්‍රතිපත්තිමය රාමුව තුළ කටයුතු කිරීමට උපරිම ලෙස උත්සාහ කළා. පුවත්පතක් යැයි කියන්න බැරි මට්ටමක තිබුණු ප්‍රකාශනයක්, කෙටි කාලයක් ඇතුළත පාඨක විශ්වාසය දිනාගත් පුවත්පතක මට්ටමට ගෙන ඒමට අපට හැකි වුණේ ඒ නිසයි.

නමුත් අපි දන්නවා ලංකාවේ පුවත්පත්වල ප්‍රතිපත්ති සම්බන්ධ තීරකයා වෙන්නෙ කතුවරයා හෝ කර්තෘ මණ්ඩලය නොවෙයි, හිමිකරුවා. මෙය සියලූ ජනමාධ්‍යවලට පොදු තත්ත්වයක්. ඔබට මේ කාරණය අදාළ වෙන්නෙ කොහොමද?

පැහැදිලිවම ඔය කාරණය තමයි මාව සේවයෙන් ඉවත් කිරීමට හේතු වෙන්නේ. ඒක පුවත්පතේ කර්තෘ හැටියට මා සහ කර්තෘ මණ්ඩලය දරන ස්ථාවරයත්, හිමිකරුවන්ගේ අභිලාෂයනුත් අතර ක‍්‍රමානුකූලව වර්ධනය වුණු පරස්පරතාවල ප‍්‍රතිපලයක්. ලංකාවේ පුවත්පත්වල ප්‍රතිපත්ති සම්බන්ධ තීරකයා වෙන්නෙ කතුවරයා හෝ කර්තෘ මණ්ඩලය නොවෙයි, හිමිකරුවා යන ඔබ ගෙනා අදහස එහිදීත් තහවුරු වුණා.

/wimalanath-weerarathna3

කව්ද මේ පුවත්පතේ හිමිකරු?

ඇත්තටම මේ ආයතනයේ අයිතිය සම්බන්ධයෙන් තිබෙන්නෙ සංකීර්ණ තත්ත්වයක්. ඉරුදින කියන්නෙ සන්ඬේ ලීඩර් පුවත්පතේ සහෝදර සිංහල පුවත්පත. ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වීමෙන් පසුව මේ ආයතනය ඔහුගේ සහෝදරයා විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ ව්‍යාපාරිකයකුට විකුණනවා. ඔවුන්ගේ වුවමනාව වෙන්නෙ හොද පත්තරයක් කිරීම නෙවෙයි. පුවත්පත කරගෙන යන්න රජය පැත්තෙන් සල්ලි මල්ලක් ලැබෙන නිසා කරගෙන යනවා. රාජපක්ෂ රෙජීමය පරාජය වීමෙන් පසුව අර අනුග්‍රහය නැති නිසා පුවත්පත අර්බුදයට යනවා.

මේ පසුබිම තුළ නැවතත් හිමිකාරත්වයේ වෙනසක් සිදු වන නමුත් එය සිද්ධවෙන්නෙ අද්‍රෘෂ්‍යමානවයි. පැරණි හිමිකරුගේ ප්‍රධාන විධායක නිලධාරී වරයා තමයි, නිල අයිතිකරු හැටියට නාමිකව පෙනී සිටින්නෙ. නමුත් මෙහි නොනිල හිමිකරු වෙන්නෙ මුදල් ඇමති රවි කරුණානායක. ඔහුගේ සම්බන්ධය හරහා තමයි ආයතනය පවත්වාගෙන යෑමට මුදල් ලැබෙන්නෙ. ආයතනයේ ප‍්‍රධානියා ලෙස ලංකා පුත‍්‍ර සංවර්ධන බැංකුවේ සභාපති රුවන් ගාල්ලගේ පත් කර තිබෙන්නේ ඔහුගේ නියෝජිතයා හැටියටයි.

/

ඔබ කිව්වා ප‍්‍රතිපත්තිමය රාමුවක් තුළ පුවත්පත මෙහෙයවන්න උත්සාහ කළ බව. හිමිකාරත්වය පිළිබද මේ වගේ තත්ත්වයක් තිබියදී එය කළ හැකි වුණේ කොහොමද?

ආණ්ඩු බලය මාරු වීමෙන් පසුව, මා ඇතුළු පිරිසට මේ පුවත්පතට එක්වෙන්න ආරාධනා කරනකොට ඔවුන් බලාපොරොත්තු වුණේ, අන්තිම දුර්වල තත්ත්වයට වැටී තිබුණු පුවත්පත කෙරෙහි යළි පාඨක ආකර්ෂණය දිනාගැනීම වෙන්න පුළුවන්. රාජපක්ෂ රෙජීමය තදින් විවේචනය කළ පිරිසක් හැටියට, අපි මේ ආණ්ඩුව කොන්දේසි විරහිතව ආරක්ෂා කරාවි කියලත් ඔවුන් කල්පනා කරන්න ඇති. ඇත්තෙන්ම මුලදි ගැටෙන්න තරම් හේතු තිබුණෙ නැහැ. ආණ්ඩුව ටික ටික මෝරද්දි තමයි පරස්පරතා වර්ධනය වුණේ.

‘යහපාලනය’ නමින් ආණ්ඩුවක් හදුන්වාගන්න බොහෝ කලකට කලින් තමයි, අපි යහපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටියේ. ආණ්ඩුව ඒ සැබෑ යහපාලන මූලධර්මවලින් බැහැරව යන බව පෙනෙන අවස්ථාවල එය නිසි මගට හැරවීම මාධ්‍යකරුවන් ලෙස අපේ කාර්යභාරයක්. ඒ අනුවයි අපි කටයුතු කළේ. නමුත් පාලනාධිකාරියේ අපේක්ෂාව වුණේ ආණ්ඩුව කරන කියන හැම දෙයක්ම අනුමත කරන පත්තරයක්.

එවැනි පරස්පරතා මත ගැටලූකාරී තත්වයන් පැන නැගුණු අවස්ථා නිශ්චිතව සදහන් කළ හැකිද?

අවස්ථා ගණනාවක් තිබුණා. ස්ථාවරය පිළිබද, පුද්ගලයන් පිළිබද හා ආචාරධාර්මික ආදී වශයෙන් එම ගැටලූ හදුනාගන්න පුළුවන්. ස්ථාවරය පිළිබද බොහෝ ගැටලූ මතු කළ කාරණයක් වුණේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබදව පුවත්පත දැඩි ලෙස සිටීමයි. නමුත් ආණ්ඩුවේ විවිධ අය ඒ ගැන විවිධ මත දැරුවා. අපේ ස්ථාවරය වුණේ, එය ආණ්ඩුව බලයට පත් කළ ජනතාවගේ බලවත් අපේක්ෂාවක් බැවින් එය ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් විය යුතු බවයි. අනිත් පැත්තෙන් ආණ්ඩුවේම එක් පාර්ශ්වයක්, ‘එවැන්නකට ජන වරමක් නැතැයි’ කියන විට, අපට ඒ මතය තදින් විවේචනය කිරීමට සිදු වුණා. ඒ වගේම පසුගිය රජය සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වීමේ දුර්වලතා සහ දේශපාලන ඇඟිලිගැසීම් නිරන්තරයෙන් අපේ විවේචනයට ලක් වුණා. මේවාට හිමිකරුවන් එකඟ වුණේ නැහැ.

ජනාධිපතිවරයා, රවි කරුණානායක ඇමතිවරයා, අඛිල විරාජ් ඇමතිවරයා ආදී ‘පුද්ගලයන්ට’ අදාළව පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධ ගැටලූ මතු වුණා.

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඩුවම නියම වි සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධ ප්‍රවෘත්තියක් පළ නොකරන්නේ නම් ඒ වෙනුවෙන් විශාල මූල්‍ය ප්‍රතිලාභයක් ලබා ගත හැකි බව වරක් ආයතනයේ ප්‍රධානියෙක් මට කිව්වා. එය තරයේ ප්‍රතික්ෂේප කරන අතරම, වෘත්තියක් ලෙස අප බැඳී සිටින ආචාරධර්ම ගැන ඔහුට මතක් කර දෙන්නත් මට එහිදී සිද්ධ වුණා.

මේ ආයතනයේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ගැටලූ තිබුණු බව ප්‍රකට කාරණයක්?

ඔව්. වැටුප් ප්‍රමාදවීම, වැටුප කොටස් වශයෙන් ගෙවීම සිරිතක් හැටියට සිද්ධ වුණා. උදාහරණයක් හැටියට ජනවාරි වැටුප ගෙව්වෙ පෙබරවාරි විසි ගණන්වල. මාස දෙකක් පමණ වැටුප් ප්‍රමාද වුණු අවස්ථා තිබුණා. මට මේ ප්‍රශ්නයට නිතර නිතර මැදිහත්වෙන්න සිදු වුණා. ඒකත් පාලනාධිකාරය සහ මා අතර හොඳහිත පළුදු වෙන්න හේතුවක්. නමුත් නිසි වෙලාවට වැටුප් නොලබන කාර්ය මණ්ඩලයකින් ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ඔබ සේවයෙන් ඉවත් කිරීම සිද්ධවෙන්නෙ කොයි ආකාරයටද?

පෙබරවාරි 27 වැනි සදුදා මා  කාර්යාලයට ගිහින් සුපුරුදු විදියට කර්තෘ මණ්ඩලය සමග ඊළඟ කලාපයේ වැඩ සැලසුම් කළා. 28 වැනිදා කාර්යාලයට ගියාම, පාලනාධිකාරිය මා කැදවලා මට කිව්වා, ‘ඔයා ජනමාධ්‍ය ගැන උසස් විදියට හිතන කෙනෙක්. ඔයාගෙ ලිපි ලේඛනත් ගොඩක් ඉහළයි. ඒත් ඔයාගෙ මතයත් එක්ක අපට ඕන වැඬේ වෙන්නෙ නෑ’ කියල. ඔවුන් අපේක්ෂා කළේ ඉල්ලා අස්වීමක්. ඒත් මං ඒකට එකඟ වුණේ නෑ. ඉන් පසුව මගේ සේවය අවසන් කළ බවට ලිපියක් දුන්නා. ඒකෙ කිසිදු හේතු දැක්වීමක් නෑ.

ඔබ කර්තෘ ධුරයේ කටයුතු කළේ කවර වෘත්තීය පදනමක් මතද?

කිසිම පත්වීමේ ලිපියක් හෝ සේවා ගිවිසුමක් තිබුණෙ නෑ. පත්වීමේ ලිපියක් නිකුත් කරන බව පැවසුවත්, අවුරුදු එකහමාරක් තිස්සේම එය ඉටු වුණේ නෑ. විවිධ බැංකු කටයුතු සදහා අවශ්‍ය වුණාම මේ ආයතනයේ සේවය කරන බවට ලිපි නිකුත් කර තිබෙනවා. වැටුප් වාර්තා ලබා දී තිබෙනවා. ඒත් විධිමත් පත්වීමක් නැහැ.

ඒ කියන්නෙ, ඔබට කිසිම වෘත්තීය සුරක්ෂිතභාවයක් තිබුණෙ නෑ. තනතුර සම්බන්ධයෙන් වුවත් ස්ථාවර බවක් තිබුණෙ නෑ? ඔබේ කර්තෘ මණ්ඩලයේ අනෙක් අයගේ තත්ත්වය කොහොමද?

ඔව්. කිසිම සුරක්ෂිත බවක් තිබුණෙ නෑ. අනෙක් අයගෙනුත් සමහරුන්ගෙ තත්ත්වය එමමයි. සමහර අයට කොන්ත‍්‍රාත් පදනම මත පත්වීම් ලිපි දී තිබුණා.ඒ, ‘ලීඩර් හෝල්ඩින්ස්’ සමාගමේ නමින්. ආයතනයේ ඉස්සර ඉදල හිටපු කිහිප දෙනෙකුට ස්ථිර පත්වීම් තිබුණා. ඔවුන් ‘ලීඩර් පබ්ලිකේෂන් ’ සමාගමේ සේවකයෝ.

ඔබ ඉවත් කිරීමෙන් පසුව, ඊට විරෝධය පළ කළ කර්තෘ මණ්ඩල සාමාජිකයන් 6 දෙනෙකුට ආයතනයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ඔවුන්ගෙ ඉරණම කුමක් වේවිද?

කිසිදු චෝදනාවක් හෝ පූර්ව දැනුම්දීමක් හෝ විමර්ශනයකින් තොරව ප්‍රධාන කර්තෘවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් පාලනාධිකාරියන් ලිඛිතව කරුණු විමසුවා. ඔවුන් ඒ ගැන සාධාරණ කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වුණා. ඒ වෙනුවට ඔවුන් ආයතන පරිශ්‍රයට නොගන්නා ලෙස ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. එයින් දෙදෙනෙකුගේ සේවය අවසන් කිරීමේ ලිපි තැපෑලෙන් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔබ ඇතුළු පිරිස ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

අප මේ ගැන කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කළා. සිදු වූ අසාධාරණය ගැන මහජනතාවට කරුණු කීමට ප්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වුවා. ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධාන සියල්ලක්ම අපට සහාය පළ කරමින් එය නියෝජනය කළා. ඒක ඉතා වැදගත් මැදිහත්වීමක්. මේ සිදුවීම ආශ්‍රිතව ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙනවා.

ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ආයතනවල තත්ත්වය මීට වඩා ශිෂ්ටසම්පන්න නැහැ. එවැනි පසුබිමක, ඔබේ අනාගත භූමිකාව කුමක් වෙයිද?

සිදු වූ අසාධාරණයට විරුද්ධව අරගල කරන අතර, ජනමාධ්‍යවේදියකු ලෙස වෘත්තීය ජීවිතය පවත්වාගෙන යෑමටත් මාවතක් සෙවිය යුතුයි. කෙසේ නමුත් තනතුර හෝ පැවැත්ම වෙනුවෙන් වෘත්තියේ ප්‍රමිතීන් පාවාදෙන්න මා සූදානම් නැහැ.

ඡායාරූප : අජිත් සෙනෙවිරත්න