Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මයිලඩියෙන් දකුණට පණිවිඩයක් :
‘පාලකයන්ට එපා ; මිනිසුන්ට කියන්න’

ජනමාධ්‍යවේදීන් යනු පණිවිඩකරුවෝය. මේ ලිපිය, ඒ වගකීම ඉටු කිරීමකි. ‘පණිවිඩකරුවාට වෙඩි නොතබන්නැයි’ කියා ඇති බවද ඒ සමඟම ලියා තබනු වටී. ‘‘එන්න එන්න, මගේ ඉඩම පෙන්නන්න’’ ඇය ඉස්සර වෙමින් කීවාය. ඇගේ උස හීන්දෑරි සිරුරත්, දැඩි නමුදු කාරුණික ස්වරයත්, කඩිසර ගමන් විලාසය මෙන්ම තද පැහැ සාරියත් ගුරුවරියකගේ රූපකාය සිහිගැන්වීය. අපි කැමරා ආම්පන්න යනාදිය ඔසොවාගෙන, කීකරු සිසු කැළක […]

04.07.2016  |  
යාපනය දිස්ත්‍රික්කය
Dharmalingam Kasthuri: We felt like she was our teacher.

ජනමාධ්‍යවේදීන් යනු පණිවිඩකරුවෝය. මේ ලිපිය, ඒ වගකීම ඉටු කිරීමකි. ‘පණිවිඩකරුවාට වෙඩි නොතබන්නැයි’ කියා ඇති බවද ඒ සමඟම ලියා තබනු වටී.

‘‘එන්න එන්න, මගේ ඉඩම පෙන්නන්න’’ ඇය ඉස්සර වෙමින් කීවාය.
ඇගේ උස හීන්දෑරි සිරුරත්, දැඩි නමුදු කාරුණික ස්වරයත්, කඩිසර ගමන් විලාසය මෙන්ම තද පැහැ සාරියත් ගුරුවරියකගේ රූපකාය සිහිගැන්වීය. අපි කැමරා ආම්පන්න යනාදිය ඔසොවාගෙන, කීකරු සිසු කැළක සේ, මයිලඩි ගම හරහා අලූතින් කැපූ ග්‍රෙවෙල් පාරේ දූවිලි නංවමින් ඇය පසුපසින් ඇවිද ගියෙමු. ඇගේ වේගයට අපේ දෙපා සුසර කර ගත්තේ අසීරුවෙනි.

‘සුවඳ ගහන පස්’

බැලූ බැලූ අත අලූතින් ඉදිවන ශිෂ්ටාචාරයක ලකුණුය. මග දෙපස අලූතින් මායිම් පෑදූ ඉඩම්වල, දශමයක හෝ ඇද කුදයක් නැතිව සිටවූ කම්බි කණුය. තැනෙක මහ මූකලානක් වූ ඉඩමක් හෙළි පෙහෙළි කරන එස්කැවේටරයකි. තව තැනෙක, නැවුම් පොළොවේ ලූනු පාත්ති සකස් කරන ගොවියෝය, පැළ සිටුවන ගෙවිලියෝය. ඇතැම් ගොවි බිමක, නිල් පැහැයෙන් දිදුළන ලූනු වගාව පෙනුණේ මහ පොළොව සිනාසෙන්නාක් මෙනි. සුළඟ තැන තැන රැගෙන යන්නේ, පෙරළූ නැවුම් පසෙහි සුවඳය.
‘‘මයිලඩි! මයිලඩි!! මයිලඩි!!! අයියෝ සුවඳ ගහන පස්! අපිව එක දවසක්වත් බඩගින්නෙ නොතියපු පොළොව!‘
යාපනය නීදවාන් කඳවුරේදී හැත්තෑ හැවිරිදි ‘මරියාස්ලිංගම්’ ළෙහි අත් ගසා ගනිමින්, පොළොවේ දූවිලි රැගෙන නළලත තවරාගනිමින් උන්මාදයෙන් මෙන් කීවේ මේ පොළොව ගැනය. ඔහු ඉල්ලූවේ, මේ පොළොවේ, සිය උරුමය නැවත දෙන ලෙසය. 1990දී කුරිරු යුද්ධය විසින් තම ගම්බිම්වලින් පිටමං කෙරුණු ඔවුන් 26 වසරක කටුක අවතැන් දිවිය මුළුල්ලේම සිහිනයෙන් දුටුවේ මේ පොළොවයි. මෑතක් වන තුරු ඔවුන්ගේ උරුමය හමුදා අධිආරක්ෂක කලාපයට කොටු කරගෙන සිටි හිත් පිත් නැති කටු කම්බි වැට, පසුගියදා මීටර් 150කින් පසුපසට ගැනිණි. සිහින දුටුවන්ගෙන් ඉතා සුළු පිරිසකට යළිත් තම පොළොවේ උරුමය හිමි විය. අප ඇවිද යමින් සිටියේ, ලහි ලහියේ නව ශිෂ්ටාචාරයක් ගොඩනැගෙමින් තිබෙන ඒ නිදහස් බිම් කඩෙහිය.

ඇය ධර්මලිංගම් කස්තුරිය. 68 හැවිරිදිය.
ඇය ධර්මලිංගම් කස්තුරිය. 68 හැවිරිදිය.
උදුරාගත් ජීවිතය

‘‘මොනවද ඉස්සර මේවයේ තිබුණෙ?’’
‘ගුරුතුමියගේ’ ගමන් වේගයට මඳක් බාධා කරමින් මම ඇසුවෙමි.
‘‘අයියෝ, එහෙම අහන්න එපා. ‘මොනවද නොතිබුණේ’ කියල අහන්න’’ යැයි කී ඇය, දිගු දෑත්වලින්ද, මුහුණේ හැඟුම්වලින්ද, වචනවලින්ද අහිමි වූ ලොවෙහි තතු මවා පෙන්වූවාය.
‘‘ලස්සන ලොකු ගෙවල්, අපේ ළිං, අපි වවපු ගහකොළ, වගාවල්, අපි ඇති කරපු සත්තු, මිදුලෙ සෙල්ලම් කරපු අපේ දරුවෝ…’’
ඇගේ කටහඬ එක් වනම ගොළු වූ සෙයකි. නළලේ තියුණු රේඛා ඇඳිණි. දිගටම ඇවිද ගිය ඇය, මීටර් එකසිය පනහක් පසුපසින් යළි ඉදි වූ මයිලඩි හමුදා කඳවුරේ මායිම් වැට ළඟ නතර වූවාය. වැටට අඩි කිහිපයක් ඈතින් ඉදි වූ මුර කුටියක හමුදා සෙබළෙක් අපට පිටුපා සිටී. ඉන් අඩි කිහිපයක් ඔබ්බෙහි, අලූතින් කැපූ ග්‍රෙවෙල් පාරේ දූලි නංවාගෙන ඉදිරියට එන හමුදා ට‍්‍රක් රථයකි. ඇය කම්බි වැටට ඔබ්බෙන්, ට‍්‍රක් රථය එන දෙසට අත් දිගු කරමින් උස් හඬින් කතා කළාය.
‘‘අර තියෙන්නෙ මගේ ඉඩම. අතන තමයි මගේ ගේ තිබුණෙ. මගේ ඉඩම පෙනි පෙනී ආයෙමත් වැට ගැහුවා.’’
ඇය ධර්මලිංගම් කස්තුරිය. 68 හැවිරිදිය. 1990දී ගම් බිම් හැරදමා යන විට ඇගේ වයස අවුරුදු 42කි. යුද්ධය ඇයට අහිමි කළේ ගේ දොර, ඉඩකඩම් පමණක් නොවේ. අවතැන් වීමෙන් පසුව චාවාකච්චේරි, චුන්නාකම්, මල්ලාකම් ඔස්සේ වන්නි දක්වා ඇදී ගිය 26වසරක සරණාගත දිවියේදී තවත් බොහෝ දේ අහිමි විය. පුතුන් තිදෙනකුගේ සාඩම්බර මවක වී සිටි ඇයට, එයින් දෙදෙනකුගේම ජීවිත ෂෙල් ප‍්‍රහාරයකින් අහිමි වීමේ කටුක වේදනාව විඳින්නට සිදු විය. 1992 දී මල්ලාකම්වලදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ඇයට එක් වකුගඩුවක් අහිමි විය. බොහෝ කටුක දුක් ගිනි මැද ඇගේ සැමියා දස වසරකට පෙර මිය ගියේය. ඉතිරි වූයේ ඇයත්, එක් පුතෙකුත් පමණි. ඇයට අහිමි කළ සියල්ලෙන්, ආපසු දිය හැකි එකම එක දෙය වන ඇයට උරුම අක්කර බාගයේ බිම් කැබැල්ල හමුදාව තවමත් අත්පත් කරගෙන සිටී.

ඇවිද ගිය ඇය, මීටර් එකසිය පනහක් පසුපසින් යළි ඉදි වූ හමුදා මායිම් වැට ළඟ නතර වූවාය.
ඇවිද ගිය ඇය, මීටර් එකසිය පනහක් පසුපසින් යළි ඉදි වූ හමුදා මායිම් වැට ළඟ නතර වූවාය.
ජනපතිගේ (කඩවුණු) පොරොන්දුව

‘‘මාස හයක් ඇතුළත අපේ ඉඩම් ආපහු දෙනව කියල, ජනාධිපති තුමා ජනවාරි 14වැනිදා යාපනේට ඇවිත් පොරොන්දු වුණා. දැන් මාස හය ගතවෙලා ඉවරයි. අපි තාම වැට ළඟ බලා ඉන්නව. මට මේ දක්වා සිද්ධවෙච්ච කිසි දේකට සත පහක වන්දියක් ලැබිල නෑ. මට කිසි වන්දියක් එපා. එක දෙයයි ඉල්ලන්නෙ. මට මගේ අක්කර බාගෙ දෙන්න. එතැන ඉඳල මට පුළුවන් දෑතෙ වීරියෙන් ආයෙමත් ජීවිතේ පටන්ගන්න. මට අවුරුදු 100ක් වෙනකල් ජීවත් වෙන්න තියෙනවා.’’ ඇය උස් හඬින් පැවසුවාය.
අපි මොහොතක් නිරුත්තර වූයෙමු. අප වටා අඩ කවයක් සේ තරුණ, වැඩිහිටි, මහළු සෙනඟක් රැස් වී උන්හ. එය කුඩා ජන හමුවක සිරි ගත්තේය. ඔවුන් කතා කළේ අඩුවෙනි. එහෙත් ධර්මලිංගම් කස්තුරි මාතාව ඒ සියල්ලන්ම වෙනුවෙන් කතා කළාය. කතාව ක‍්‍රමයෙන් දේශපාලන සංවාදයකට පෙරැළිණි.
‘‘ආණ්ඩුව වෙනස් කළා කියල කිසිම හොඳක් වුණේ නැද්ද?’’
‘‘නෑ කියන්න බෑ. ඉස්සර මෙතන මේ විදියට කතා කළා නම්, තව ටිකකින් අපි නෑ. සමහරවිට ඔයගොල්ලත් නෑ. මොනව නැතත් අද අපට කටක් ඇරල කතා කරන්න පුළුවන්.’’ ඇය එසේ කියද්දී පිටුපසින් තරුණ කටහඬක් මෙසේ කියනු ඇසිණි.
‘‘එහෙමම කියන්න බෑ. දැන් වුණත් වෙන්න පුළුවන්’’

තහනම් වැට ළඟ දේශපාලන කතිකාව

‘‘දැන් ඔයගොල්ලන්ට තමන්ගෙම නියෝජිතයො ඉන්න පළාත් සභාවක් තියෙනවා. මහ ඇමති කෙනෙක් ඉන්නවා. රටේ විපක්ෂ නායකතුමාත් ඔයගොල්ලන්ගෙ කෙනෙක්. ඉතින් මේ ප‍්‍රශ්න විසඳගන්න බැරි ඇයි?’’ අපි කෙළින්ම දේශපාලනයට බැස්සෙමු. පිළිතුරු නැඟුණේ තැන් තැන්වලින්-සාමූහිකවය.
‘‘ඒ කව්රු හිටියත් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට තමයි අපේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන්. සාලාවෙ අවි ගබඩාව පුපුරල මිනිස්සුන්ගෙ ගෙවල් කැඩුණාම ජනාධිපතිතුමා කිව්ව, තුන් මාසයක් යන්න කලින් ගෙවල් හදල දෙනවා, එතකල් මාසෙකට 50,000 ගාණෙ දෙනවා කියල. ඒක හොඳයි. ඒත් අවුරුදු 19ක් යුද්දෙන් අපා දුක් විඳපු, යුද්දෙ ඉවරවෙලත් තව අවුරුදු හතක් බලා හිටපු අපිට වන්දි තියා, අපෙන් උදුරගත්තු ඉඩම් කෑල්ලවත් ආපහු දුන්නෙ නෑ. අපි මේ රටේ මිනිස්සු නෙවෙයිද? ඇයි අපිට මෙහෙම කරන්නෙ?’’
‘‘ඒ කියන්නෙ, දැන් ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් නැද්ද?’’ අප අතරින් කිසිවෙක් ප‍්‍රශ්න කළේ, විරාමයකට ඉඩ නොතබමිනි.
‘‘අපි එහෙම හිතන්නෙ නෑ. කිව්ව වෙලාවට කරන්න බැරි වුණා තමයි, ඒත් අපි එතුමාව විශ්වාස කරනවා. අපි බලා ඉන්නවා එතුමා අපේ ඉඩම් නිදහස් කරල දේවි කියලා’’ ධර්මලිංගම් කස්තුරි මාතාව සන්සුන්ව පැවසුවාය. පසුව ඇය මෙසේද කීවාය:
‘‘හමුදාවෙ අය එක්ක අපේ තරහක් නෑ. ඒ ළමයි කරන්නෙ රස්සාව. නියෝගයක් ලැබුණොත් ඒගොල්ල අපේ ඉඩම් අත්හරීවි.’’

නිල් පැහැයෙන් දිදුළන ලූනු වගාව පෙනුණේ මහ පොළොව සිනාසෙන්නාක් මෙනි.
නිල් පැහැයෙන් දිදුළන ලූනු වගාව පෙනුණේ මහ පොළොව සිනාසෙන්නාක් මෙනි.

‘‘අපිට මොනවද ඔයගොල්ලො වෙනුවෙන් කරන්න පුළුවන්?’’ කවර සංවාදයකදී වුවත් අන්තිමට අසන ප‍්‍රශ්නය මම ඇයගෙන්ද ඇසුවෙමි.
‘‘ඔයගොල්ල අපි ගැන බලන්න ආවට ගොඩක් සතුටුයි. දේශපාලකයන්ට කියන්න එපා, ඔයගොල්ල දකුණෙ මිනිස්සුන්ට කියන්න අපි විඳින දුක. දකුණෙ මිනිස්සු කිව්වොත්, ආණ්ඩුව අපිට සාධාරණය ඉෂ්ට කරාවි’’ යුද්ධයෙන් තමන් සතු සියල්ල අහිමි වූ ඇය දැඩි විශ්වාසයෙන් යුතුව පැවසුවාය.
‘‘ඔව්, අපි ඒක කරනවා’’ මට කියැවුණේ නිරායාසයෙනි. එය කෙතරම් බරපතළ පොරොන්දුවක් දැයි, ග්‍රෙවෙල් පාර දිගේ ආපසු පියවර මනින ඊළඟ නිමේෂයේදී මට කල්පනා විය.

සේයා රූ : සරත් මනුලවික්‍රම | මෙත්ලාල් වීරසූරිය