Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අසල්වැසියා මට පෙනෙන හැටි:
‘කාටත් තියෙන්නෙ රතුපාට ලේ’

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡුා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප‍්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

30.07.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

වී.ජේ. නිශානි සඳමාලි
8 වසර,
බ/ ඇල්ල මහා විද්‍යාලය.

 

ඔයාට දෙමළ යහළුවකු හෝ යෙහෙළියක ඉන්නවද?

එක්කෙනෙක් ඉන්නවා. එයාගෙ නම, පුවනේද්‍රම් භාත්‍යා. එයා එක වසරෙ ඉඳල මේ ඉස්කෝලෙ මාත් එක්ක ඉගෙනගන්නවා. ඒ ඇරුණාම අපේ දෙමළ ටීචර්ටත් මම ගොඩක් කැමතියි.

මහමගදී කොතෙකුත් අය හමුවෙනවනේ. ඒ අය දෙමළද නැද්ද කියල හඳුනාගන්නෙ කොහොමද?

පිරිමි අයගෙ නම් වෙනසක් පේන්නෙ නෑ. ඒත් ගෑනු අය අඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ අය නළලෙ පොට්ටු තියනවා. ගොඩක් වෙලාවට අඳින්නෙ දිග ගවුම්. නැත්නම් ෂල්වාර්. වැඩිහිටි අය සාරි අඳිනවා. සිංහල අයට වඩා තද පාට අඳිනවා. ඒ ගොල්ල කතා කළොත් නම් කොහොමත් අඳුනගන්න පුළුවන්. මොකද සිංහල කතා කළත් උච්ඡුාරණය ටිකක් වෙනස්.

ඔයාට දෙමළ තේරෙනවද? මොනවහරි දෙමළෙන් කියන්න හරි, අහන්න හරි පුළුවන්ද?

ගොඩක් බෑ. ඒත් ඒත් කෙනෙකුගෙ නම ගම වගේ දේවල් අහන්න, මම ගැන ඒ වගේ විස්තර කියන්න පුළුවන්. අපිට 6 පන්තියෙ ඉඳල දෙමළ උගන්නනවා. අකුරු ලියන්නත් පුළුවන්.

ඔයා අගය කරන, නැත්නම් කැමති, දෙමළ කෙනෙක් ඉන්නවද? රටේ හරි, ලෝකෙ හරි?

ශාරුක් ඛාන්. ංආ, එයා ඉන්දියාවෙ වුණාට දෙමළ නෙවෙයි නේද? නෑ. මට එහෙම කෙනෙක් මතක් වෙන්නෙ නෑ.

ඔයා ඉගෙනගෙන ඉවරවෙලා, කවදහරි විවාහ වේවි නේ? එතකොට දෙමළ කෙනෙක් එක්ක විහාහ වේවිද?

බොහෝ විට සිංහල කෙනෙක් එක්ක විවාහ වේවි. ඒත් ඒක දැන්ම කියන්න බෑ.

මම ඒක වෙන විදියකට අහන්නම්. හිතන්න, ඔයා කැමති, ඔයාටත් කැමති දෙමළ කෙනෙක් හම්බවුණා කියල. ගොඩාක් යාළු වුණාට පස්සෙ විවාහ යෝජනාවකුත් ආව කියල. එතකොට එයා දෙමළ වීම නිසා ඒ යෝජනාව ප‍්‍රතික්ෂේප කරනවද ඔයා?

නෑ. ඒ වගේ තත්වෙකදි ජාතිය කියන එක මූලික වෙන්නෙ නෑ. ආදරය කියන්නෙ ඊට වඩා ගොඩක් ඉහළින් තියෙන දෙයක් නේද?

දෙමළ අය ගැන ඔයාගෙ තියෙන හැඟීම මොන වගේද? ඒ කිව්වෙ විශේෂ කැමැත්තක් හරි අකමැත්තක් හරි තියෙනවද?

මම හරිම ආසයි ඒගොල්ලන්ගෙ පූජාවලට. ඒ අය හැම දේටම උත්සව ගන්නවා. හැමෝම එකතුවෙනවා. ඒ අවස්ථාවලින් ඒගොල්ල විඳින්න පුළුවන් උපරිම සතුට විඳිනවා.

සිංහල දෙමළ දෙගොල්ල අතර ඉතිහාසයේ පටන් විවිධ ගැටුම් ඇතිවෙලා තියෙනවා. දීර්ඝ කාලීන යුද්ධයක් දක්වාම ඒව වර්ධනය වුණා. ඒ ගැන මොකක්ද හිතෙන්නෙ?

ඇත්තටම යුද්ධ කරගන්න දෙයක් නැහැ. අපි කව්රුත් එකයි කියල තමයි හිතන්න ඕන. කාටත් තියෙන්නෙ රතු පාට ලේ.