තල්කොළයෙන් දිවිය වියන
වැටුප් නොලබන ගුරුවරිය
මුත්තම්මා තම සේවය වෙනුවෙන් වැටුප් නොලබන එකම ගුරුවරිය විය හැකිය. එය කිසිවකු නොදත් නමුදු ඇයගේ වියමන් රටාව නොදත් එකියක මේ තල් වනය යටින් සොයා ගැනීම පහසු නොවනු ඇත. තල් කොළයේ ඇති රටාව ඊට ලැබුණේ සොබාදහමෙනි. මුත්තම්මා ඒ රටාව යළිත් ප‍්‍රතිනිර්මාණය කරන්නීය. ළා තල් ගොබ කීතු කීතු කරන ඇය ඒවා මඳ පවනේ වියළෙන්නට ඉඩ හරියි. හිතේ […]
මුත්තම්මා තම සේවය වෙනුවෙන් වැටුප් නොලබන එකම ගුරුවරිය විය හැකිය. එය කිසිවකු නොදත් නමුදු ඇයගේ වියමන් රටාව නොදත් එකියක මේ තල් වනය යටින් සොයා ගැනීම පහසු නොවනු ඇත.
තල් කොළයේ ඇති රටාව ඊට ලැබුණේ සොබාදහමෙනි. මුත්තම්මා ඒ රටාව යළිත් ප‍්‍රතිනිර්මාණය කරන්නීය. ළා තල් ගොබ කීතු කීතු කරන ඇය ඒවා මඳ පවනේ වියළෙන්නට ඉඩ හරියි. හිතේ ඇති මෝස්තරයට අනුව තල්පත් ඉරු මුත්තම්මාගේ දෑතෙහි පණ ගසන්නට පටන් ගන්නේ ඉන් පසුවය. ඒවා වර්ග වශයෙන් කිවහොත් වට්ටිය; පෙට්ටිය; කිරිගොටුය; ගමන් මලුය; පැදුරුය; පසුම්බි ය; කුල්ල ය; හැඳි රැඳවුම්ය. මේ සියල්ලම ඈ දෑතින් නිපයන්නීය.
”මං හැමෝටම කියලා දුන්නා. කියලා දෙනවා. ඒක මට පාඩුවක් නෙවෙයි. කෙල්ලන්ට කියා දෙනකොටත් මගේ අතින් තල් පෙට්ටි ගෙතෙනවා. අතට මිටට කීයක් හරි හොයාගත්තම උන්ට හරි සතුටුයි. උන්ට වඩා මට සතුටුයි” තමන් නිර්ලෝභීව කියා දී ඇති ශිල්පය පලදරනු දැක ඇයගේ වුවනෙහි මන්දහාසයක් පැතිරේ. මේ වනවිට ඇගෙන් සිප් ලද පිරිස සිය ගණනකි. පරම්පරානම් කිහිපයකි.
වැරැදුණු රටාවකේ. මුත්තම්මා පනස් හය හැවිරිදි කාන්තාවකි. ඇය පදිංචිව සිටින්නේ තලෙයිමන්නාරම ඌරුමුනෙයි ප්‍රදේශයේය. යොවුන් වියේ පසුවන දියණියන් තිදෙනකු තවමත් ඇගේ සෙවණේය. තල් රා මදිමින් ජීවත් වූ සැමියාට දැන් ඒ රැකියාව ද කරන්නට බැරිය. කළ හැක්කේ මුත්තම්මාගේ ජීවන අරගලයට සහාය වීමක් පමණි. ”තල් රා මදින අයට කියලා තල් ගොබ කපලා ගෙනල්ලා දෙන්නේ එයා” මුත්තම්මා එසේ කීවේ සිය සැමියා වන ‘පෙරියදොරේ’ ගැනය.
”අපි කලින් පදිංචි වෙලා හිටියේ වඩුක්කුඩෙයිවල. යුද්දේ ඇවිළෙද්දී අපි තලෙයිමන්නාරමට ආවා. එහේ ඉන්දැද්දි මහත්තයා මුහුදු රස්සාව කළා. මං තල් පෙට්ටි ගෙනාවා. ගෙවල් දොරවල් මුළු සේසතම දාලා ඇඳගත්තු ඇඳුම පිටින් අපි මෙහාට ආවේ. මාස තුනක් විතර හිටියේ තල්ගස් හෙවණේ. මේ ගේ පොඞ්ඩ හදාගත්තේ පස්සේ” දිගු අන්දරයක සංක්ෂිප්තය ඇය අප ඉදිරියේ තබයි.
ජීවන යුද්ධයමුත්තම්මාගේ සැමියාට මුදල් ඉපයිය හැකි රැකියාවක යෙදෙන්නට නොහැකි වූයේ මීට වසර පහකට පමණ පෙර සිටය. පස් දෙනකුගෙන් යුතු පවුලේ නඩත්තුව මුත්තම්මාගේ දෑතට භාර විය. එදා සිට ඇය ජීවිතය ගෙත්තම් කරන්නට අසීමිත වෑයමක යෙදුණාය.
”මං නැගිටින්නේ පාන්දර තුනට. කුප්පි ලාම්පු එළියෙන් තල් පෙට්ටි මලූ ගොතන්න පටන් ගන්නේ ඒ වෙලාවට. සමහර දවස්වලට උදේ දහය එකොළහ වෙද්දි පෙට්ටි දෙකක් විතර ගොතනවා. රුපියල් හයසියයක් හොයා ගන්නේ එහෙමයි. එහෙම කරලා තමයි බේත්හේත්වලටයි කන්න බොන්නයි සල්ලි හොයා ගන්නේ. සමහර දවස්වලට උදේ ඉඳලා පාන්දර තුන හතර වෙනකං අවදියෙන්.’ මුත්තම්මා ජීවිත කාලසටහන විස්තර කළාය.
”අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හඳපානේ තල් පෙට්ටි ගෙතුවා. දැන් පෙනීම අඩු නිසා ඒක කරන්න අමාරුයි. ඒත් ඒ දවස්වල භූමිතෙල් බෝතල් දෙක තුනක් වියදම් කරලා හොයන මුදල හඳපානෙන් හෙව්වා.”
මුත්තම්මා ගොතන තල්පත් භාණ්ඩවලට කොතෙක් ඉල්ලූම ඇතත් ඒවා වෙළෙන්දන් රැගෙන යන්නේ සොච්චම් මුදලකටය. මුත්තම්මා ගොතන වර්ගයේ තල් පෙට්ටියක් අගනුවර වෙළෙඳසලක දී අලෙවි වන්නේ රුපියල් හත්සිය පනහට ය. මුත්තම්මාගෙන් ඒවා වෙළෙඳුන් මිලදී ගන්නේ රුපියල් තුන්සියයකට හෝ තුන්සිය පනහකටය.
පාරම්පරික උරුමය”කොහොමද මේ තල්කොළ ගෙතුම් ඉගෙන ගත්තේ?”
”පත්‍රකාලී කියන්නේ අපේ අම්මාට. මම ඉගෙන ගත්තේ අපේ අම්මාගෙන්. අපේ අම්මා ඉගෙන ගත්තේ අපේ අත්තම්මාගෙන්” තල් ගස සමඟ බැඳුණු පාරම්පරික උරුමය ඇය අප හමුවේ තබයි.
තල්පත් ඉරීම, කැපීම, විදීම සඳහා ඇය අදත් භාවිත කරන්නේ සිය පරම්පරාවෙන් ලැබුණු උපකරණ ය. වසර සියයකටත් වඩා පැරණි ඒවා වුවත් පරම්පරාවේ අත්වලින් ඒවා ඔපමට්ටම් වී තිබේ. තල් කීරකින් සැදි මැහුම් උපකාරක කටුවට මේ තරම් මෘදු බවක් ලැබී ඇත්තේ සිය ගණනකගේ අත්වලින් පිරිමැදී තිබීම නිසා විය හැකිය. මාසෙකට රුපියල් පහළොස් දහසක පමණ ආදායමක් මුත්තම්මා උපයා ගන්නේ දිවා රෑ නොබලා දෑසත්, දෑතත් වෙහෙස කරවා ලබන මේ මහා වෑයමෙනි.
සහයෝගීතාවයේ රටාව”වඩුක්කුඩෙයිවල ඉන්දැද්දි මං එක්ක පනහක් විතර හිටියා. මේ රස්සාව කරන සමහරු ගෙතුවේ පැදුරු විතරයි. සමහරු ලූණු මල්ල විතරයි. එහෙම කළේ අනිත් ගෙතුම් ගැන නොදැන නෙවෙයි. අනිත් අයටත් කීයක් හරි හොයාගන්න අවස්ථාව දෙන්න ඕන නිසා” මුත්තම්මා කීවේ සහයෝගීතාවයේ රටාව ගැනය.
/
යාපනයේ යන බොහෝ දෙනා තල්හකුරු රස බලති. ඒවා පුරවා ඇත්තේ තල් කොළයෙන් ගොතන ලද කුඩා පැසකය. ඇඟිල්ලක තරම් වන ඒ පැස්වල සිට දෙදෙනකුට සැඟව සිටීමට හැකි තරම් දැවැන්ත කරවල ගබඩා කරන තල් මලූ මුත්තම්මාගේ දෑතෙන් ගෙතෙයි. ඇය සහ ඇගේ පිරිවර කතුන් විසින් සපයනු ලබන සේවය නිසාම තලෙයිමන්නාරම තවමත් පොලිතීන්වලින් දූෂණය වී නැත. ගමේ බොහෝ කතුන්ගේ ගමන් මල්ල හැඩ වී ඇත්තේ මුත්තම්මාගේ සහ පිරිවරගේ අත්වලිනි. ජීවිතයේ කතන්දරය කොතෙක් දුෂ්කර වුව ද වේදනාකාරී වුව ද තල්පතින් ලබා ගත් ඉවසීම සංයමය විසින් කල්පනා වෙනස් කර ඇත. මේ දැනුත් මුත්තම්මා ඉරූ තල්පත් උකුල මත හොවා තල්පතින් ලබා ගත් ඉවසීම සංයමය හරහා ජීවිතය ගොතන්නීය. තවත් එකියකට ඒ රටාව කියා දෙන්නීය.
ඡායාරූප: අජිත් සෙනෙවිරත්න