Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දොස්තර ලතාහරන්:
දෙවියන් වෙත යන මිනිසුන්ගේ ජීවකයා

එය දෙවියන් සොයා යන ගමනකි. එය අර්ථවත් වන්නේ ඒ අතරමගදී තවත් මිනිසුන්ද, තම තමන් තුළම සිටින මිනිසුන්ද මුණගැසිය හැකි නිසාය. මේ කතාව ඒ අතරමගදී හමු වූ ‘මිනිසෙකු’ ගැනය. මිනිස් පුළුටක් ඇස ගැසෙන මානයක නැති- වන සතුන්ගේ රජදහනක් වූ වන මැද, රෝහලක් තනාගෙන රෝගීන් එන තුරු බලා සිටින වෛද්‍යවරයෙකි. හේ නමින් ‘ලතාහරන්’ය. මේ වන ගත රෝහල […]

15.08.2016  |  
අම්පාර දිස්ත්‍රික්කය
ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි ඇදී එන්නේ කතරගම ඇසල මංගල්‍යය ලෙස නම් කෙරෙන උත්සව සමයේ ය.

එය දෙවියන් සොයා යන ගමනකි. එය අර්ථවත් වන්නේ ඒ අතරමගදී තවත් මිනිසුන්ද, තම තමන් තුළම සිටින මිනිසුන්ද මුණගැසිය හැකි නිසාය. මේ කතාව ඒ අතරමගදී හමු වූ ‘මිනිසෙකු’ ගැනය.

මිනිස් පුළුටක් ඇස ගැසෙන මානයක නැති- වන සතුන්ගේ රජදහනක් වූ වන මැද, රෝහලක් තනාගෙන රෝගීන් එන තුරු බලා සිටින වෛද්‍යවරයෙකි. හේ නමින් ‘ලතාහරන්’ය.

මේ වන ගත රෝහල ඉදි කර ගනුලැබුවේද, එහි දුෂ්කර සේවයට ඔහුව පත් කර එවන ලද්දේද ඔහු විසින්මය. මිනිසුන්ට පමණක් ප්‍රතිකාර කිරීමෙහි නිල සුදුසුකම්ද, ඒ සදහා දීර්ඝ කාලීන පළපුරුද්දක්ද සහිත මේ වෙදැදුරු හුදෙකලා වන මැද කුමක් කරන්නේද? ඔහුගේ සේවය පතා එන රෝගීන් කොහිද?

තව දිනකින්-දෙකකින් ඔවුන් සිය ගණනින්, කුඩා කුඩා කණ්ඩායම් ලෙස රෝහල පිහිටි පෙදෙස කරා එනු ඇත. එවිට දොස්තර මහත්තයාටත් ඔහුගේ කාර්ය මණ්ඩලයටත් මොහොතකදු ඉසිඹුවක් නොලබා මෙහෙවරෙහි යෙදෙන්නට සිදුවේ.

yala-jungle
වනෝද්‍යාන පිවිසුම පා ගමනින් කතරගම යන බැතිමතුන්ට විවෘත වේ
දෙවියන් සොයා-මහ වන මැදින්

කතරගම ඇසල මංගල්‍යය ආරම්භ වීමත් සමගම විවිධ ප්‍රදේශ වල සිට පැමිණෙන බැතිමතුන් පානමින් ගමන් අරඹන පාද චාරිකාවට එක්වන්නේ කදසුරිදු වැද පුදාගැනීමටය. පාගමනින් යාම දෙවියන්ට කරන මහත් ගෞරවයක් ලෙස සිතන බැතිමතුන් කුමන හා යාල වන මැදින් වැටී ඇති දුෂ්කර මාවත ඔස්සේ කතරගම බලා යාමට පළමුව පැමිණෙන්නේ ඔකද දේවාලයටය.

රජයේ නිසි අවසරය ලැබීමෙන් අනතුරුව වනෝද්‍යාන පිවිසුම පා ගමනින් කතරගම යන බැතිමතුන්ට විවෘත වේ. මාර්ගය විවෘත කළ සැනින් වෛද්‍ය ලතාහරන් ඇතුළු ඔහුගේ සහයක පිරිස සෑම නඩයකටම පළමුව ගමන් කරන්නේ කතරගම යාමට නොව-අතරමග නවතින්නටය. බැතිමතුන් ගමන් ගන්නා මගෙහි මැද ලෙස සැලකෙන ‘නාවල් අඩි’ හෙවත් ළිංතුන කදවුරු භූමිය ඔවුන්ගේ ගමනාන්තයයි.

වෛද්‍ය ලතාහරන් කුඩාරම් ගසා එහි නවාතැන් ගනී. මහ වන මැද දින දෙකක් පමණ ඔහු ඇතුළු කණ්ඩායම රැදී සිටින්නේ හුදෙකලාවය. ඔකද සිට ඔහු සමගම ගමන් ආරම්භ කළ බැතිමතුන් දින දෙකක් තුනක් ගිමන් හරිමින් තමන් සිටින කදවුරට එනතුරු වෛද්‍ය ලතාහරන් සුදානම් වන්නේ ඔහුගේ පුංචි රෝහල සකස් කර ගන්නටය. වෙනම කුඩාරමක් සකස් කර ගන්නා ඔහු, කැලේ රෝහලට අවශ්‍ය ඖෂධ, ගිලන් ඇද ආදිය පිළිවෙළකට සකස් කර ගනියි.

treating
මේ කදවුරේ පහසුකමකට ඇතතේ ස්ථීර ළිං තුනක් පමණි
කැලේ රෝහල

මඩකලපුවේ ඉපිද හැදී වැඩුණු වෛද්‍ය ලතාහරන් ‘රාජකාරිය’ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේය. වසර තුනක සිට වන්දනා සමයේදී තම පෞද්ගලික නිවාඩු ලබා ගෙන, පෞද්ගලික මුදල් යොදවා බෙහෙත් ද්‍රව්‍ය මිලට ගෙන, ඔහු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ ‘දේව කාරියක්’ මෙනි. මේ සදහා ඔහුට උදව් කරන සෙසු වෛද්‍යවරුද නිවාඩු දමා කැලේ රෝහලේ සේවයට පැමිණෙති. දින කිහිපයක් සේවය කරති. ඒ අතර වෛද්‍යවරියෝද වෙති. ඔවුන්ට ලැබෙන පහසුකම්ද බැතිමතුන්ට ඇති පහසුකම්වලට වැඩි නොවේ. මේ කදවුරේ පහසුකමකට ඇතතේ ස්ථීර ළිං තුනක් පමණි. බීමට ජලය බවුසර් මගින් සීමාසහිත ලෙස සැපයේ.
කැ‍ලේ රෝහ‍ලේ විදුලිය නැත. එහෙත් සූර්ය කෝෂ පද්ධතියක්ද  සවිකර ඒ මගින් විදුලිය ගෙන ස්වසන රෝගවලින්  පීඩා විදින රෝගීන්ට දුම් ඇල්ලීම වැනි ප්‍රතිකාරද එහිදී සිදු කෙරේ. හතිය වැනි රෝග ඇති බැතිමතුන්ට එය දිව්‍යමය රෝහලක් වන්නේ ඒ නිසාය.

නාවල් අඩි කදවුරට මා ඇතුළු නඩය පැමිණෙද්දී මුලින්ම ලැබුණේ හුළං ඉස්කෝතු සමගින් ඉගුරු, සීනි දැමු තේ කෝප්පයකි. දැඩි වෙහෙසින් සහ පිපාසාවෙන් සිටි අපට එය දිව ඔසුවකි. එම සංග්‍රහය සුදානම් කර තිබුණේද වෛද්‍ය ලතාහරන් විසිනි.

අපේ ගිමන් නිවෙද්දී වෛද්‍ය ලතාහරන් ‍මේ අපූරු රෝහලේ ඉතිහාස කතාව පැවසුවේය.

දොස්තර ලතාහරන්
දොස්තර ලතාහරන්
බිහිසුනු සමය

”මම 2006 වර්ෂයේ ඉදන් අවුරුදු 6ක් නොකඩවාම පාද චාරිකාවේ ගියා. යුද්ධය තියෙන කාලෙත් මම ගියා. 2007 කුමන කැලේ මැදින් එද්දී එල්.ටී.ටී.ඊ. එකයි යුධ හමුදාවයි අතර සටනක් ඇතිවුණා. අපි ඒකට කොටු වුණා. පස්සේ යුධ හමුදාව අපිට ආරක්ෂා ඇතුව ගමන යන්න පහසුනම් සැලසුවා. ඊට පසු අවස්ථාවකදී යාල කලාප අංක දෙකේදී කොටි අපිව අත්අඩංගුවට ගත්තා. පැය කිහිපයක් අපව රදවාගෙන ප්‍රශ්න කළා. පසුව නිදහස් කරලා පා ගමනින් යාමට අවසර දුන්නා.”

ඔහුගේ මෙහෙවර නිසා ආරක්ෂා වූ ජීවිත බොහෝ ගණනකි.
ඔහුගේ මෙහෙවර නිසා ආරක්ෂා වූ ජීවිත බොහෝ ගණනකි

කෙතරම් දරුණු යුද ගැටුම් පැවතියද පාද යාත්‍රාවට තහංචි පැනවුණේ නැත. එහෙත් පා ගමනේ යෙදුණේ ඉතා සුළු පිරිසකි. හමුදා හෝ වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාවක් නොලැබුණු නිසා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතු විය.

”ඒ දවස්වල ගමන හරිම දුෂ්කරයි. බැතිමතුන්ට අසනීප වුණාම වෛද්‍ය ප්‍රතිකාර කරන්න කිසිවෙකු හිටියේ නැහැ. මේ නිසා තමයි මම හිතුවේ, මේ වගේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම හොදයි කියලා.”

ඔහුගේ මෙහෙවර නිසා ආරක්ෂා වූ ජීවිත බොහෝ ගණනකි.

”ඔකදින් ඇතුල් වුණාම වරහන කදවුරට යනකම් හදිසි ප්‍රතිකාරයක් ලබා දෙන්න කිසිවෙක් නැහැ. මඩකලපුවේ ඉදන් පාගමනින් පැමිණි තරුණ කාන්තාවක් හුස්ම ගන්න අපහසු වෙලා මගේ ළගට අරන් ආවා. එයා ගොඩක් බරපතළ තත්ත්වයක හිටියේ. රෑ එළිවෙනකල් ප්‍රතිකාර ලබා දීලා සුව කළා. පසුදා නැවත පාගමනින්ම එයා කතරගම ගියා. මෙවර මම එලෙස ජීවිත හතරක් බේරා ගත්තා. දහස් ගණනක් බෙහෙත් ගත්තා.”

”සමහරු මේ තත්ත්වය තේරුම් අරගෙන නැහැ. තාවකාලිකව කරන මේ යහපත් ක්‍රියාවටත් අකුල් හෙළන අය ඉන්නවා. විවිධ බාධා කිරීම් කරනවා. අපි මේ වනයට සතුන්ට හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි මේ සොබාදහමට ආසයි. මේ සියල්ල රකින්නේ මේ අපුරු සොබාදහමයි.” වෛද්‍ය ලතාහරන් පැවසීය.

වෙහෙස නිවා ගැනීමට මග රැදෙන නඩ ගස් සෙවණට වී ගිමන් හරිති.
වෙහෙස නිවා ගැනීමට මග රැදෙන නඩ ගස් සෙවණට වී ගිමන් හරිති
සංහිදියාවේ චාරිකාව

ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කිරීමේදී කතරගම දෙවියන් බොහෝ දෙනෙකුට පිහිට වන බව බැතිමතුන්ගේ විශ්වාසයකි. ඒ නිසාම කතරගම දෙවියන් වන්දනා කිරීමට, පුජා පැවත්වීමට, ප්‍රාර්ථනා කිරීමට, භාරහාර වීමට බැතිමතුන් කතරගම යන්නේ මහත් වූ භක්තියකිනි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි ඇදී එන්නේ කතරගම ඇසල මංගල්‍යය ලෙස නම් කෙරෙන උත්සව සමයේ ය.

ඒ අතර බෞද්ධ හින්දු, ඉස්ලාම් කතෝලික බැතිමත්තු වෙති. පාගමනින් කතරගමට පැමිණෙන වන්දනා නඩ අතරද මේ සියලු ආගම්වලට හා සිංහල, දෙමළ මුස්ලිම් යන සියලු ජාතීන්ට අයත් ජනතාව එක් ව ගමන් කරති. එක්ව නවාතැන් ගනිති. එකම නාන තොටෙහි ස්නානය කරති. උයා පිහාගෙන කති, දුක සැප බෙදාගනිති.

දැඩි හිරු රශ්මියේ ගමන් කරද්දී ඇතිවන පිපාසාව නිවා දමන්නේ ජල ස්වල්පයක් කටට හලා ගැනීමෙනි. පිපාසාවට වතුර බෝතලයත් හුවමාරු කර ගනිති. සිංහල දෙමළ භේදයකින් තොරව ජලය ටිකක් ඉල්ලු සැණින් තම අත රැදි බෝතලය ලබා දෙන්නට නොපැකිලෙති. වෙහෙස නිවා ගැනීමට මග රැදෙන නඩ ගස් සෙවණට වී ගිමන් හරිති. ළිප් මොළවා තේ කහට බොති. තමන් පසු කරන නඩ වලට කහට බොන්නට කතා කරති.

පූසාරිලා පුජාව සිදුකරද්දී භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධ පිරිස වත්පිළිවෙත් ඉටු කිරීමට සහය දක්වති
පූසාරිලා පුජාව සිදුකරද්දී භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධ පිරිස වත්පිළිවෙත් ඉටු කිරීමට සහය දක්වති
පළමු නවාතැන

පාද යාත්‍රාවේ පළමු නවාතැන වූ ඔකද දේවාලයේ පෙරහැර උත්සවය බහු ආගමික හා සංස්කෘතික නියෝජනය පිළිබිඹු කරන තැනකි. දමිළ පූසාරිලා පුජාව සිදුකරද්දී භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධ පිරිස වත්පිළිවෙත් ඉටු කිරීමට සහය දක්වති. පෙරහැරටද හින්දු මෙන්ම බෞද්ධ සංස්කෘතිකාංගද එකතු වී තිබීම සුවීශේෂ වෙයි.

මේ ආගමික හා සංස්කෘතික සහජීවනය, පාද යාත්‍රාවේ යෙදන දින ගණනාව මුළුල්ලේම හමුවන විවිධ සංධිස්ථාන වලදී ද තව දු‍රටත් පෝෂණය වෙයි. වෛද්‍ය ලතාහරන් කදවුරු බැද සිටින භූමියෙහි වන්දනාකරුවන් නවාතැන් ගන්නා රාත්‍රිවලදී නැගෙන සිංහල-දෙමළ ගී හඩ ඒ බවට එක් නිදසුනකි.

pirith-chanting
පෙරහැරටද හින්දු මෙන්ම බෞද්ධ සංස්කෘතිකාංගද එකතු වී තිබීම සුවීශේෂ වෙයි

ක්‍රමයෙන් ගොඩනැගෙන සහජීවනයෙහි අපූර්වත්වය විදිමින් ගෙවූ ඉතා දුෂ්කර ගමනක් අවසානයේ ඔවුන් කතරගම දෙවියන්ගේ දෙවොළ වෙත පිවිසෙන්නේ, ගමනේ ආරම්භයෙහි සිටියාට වඩා බොහෝ දියුණු හැගුම් සහිත මිනිසුන් හා ගැහැනුන් සමූහයක් පරිද්දෙනි.

වෛද්‍ය ලතාහරන්ගේ වන මැද මෙහෙවර වඩාත් අරුත්බර වන්නේ ඒ නිසාය.