Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උක් මෝල් පැණි උණු කර
විස ම බෙදා දේ

‘උක් මෝල් පැණි උණු කර සුවඳ බෙදා දේ‘ යැයි රත්න ශ්‍රී විජේසිංහ කවියා වරක් පැවසු වැකිය ‘උක් මෝල් පැණි උණු කර විස ම බෙදා දේ‘ යනුවෙන් වෙනස් කරන්නට සිදු ව ඇත්තේ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ දිවි ගෙවන බොහෝ අයට උක් ඇඹරුම් වාරය ආරම්භවීමත් සමඟ දිවා රාත්‍රිය පුරාවට අහසට නැඟෙන කළු දුමාරය‍ සමඟ වාතලයට මුසුවන කළු අළු, විපත් ම කැන්දන හෙයිනි.

02.07.2017  |  
අම්පාර දිස්ත්‍රික්කය
හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව

එක පිට එක පතිත වන කරදරවලින් ගැලවෙන්නේ කෙලෙසදැයි හිඟුරාන මාර්කට් පෙදෙසේ පදංචි ඩන්කන් අල්විස්ට තවමත් තේරුම් බේරුම් කර ගත නොහැකි පැනයකි. යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියෙන් විශ්‍රාම ලැබ සිටින ඩන්කන් අල්විස්ට අද මුහුණ දෙන්නට ඇත්තේ ජීවිතය පිළිබඳ සංකීර්ණ යුද්ධයකට ය. හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ දිවි ගෙවන බොහෝ අයට මෙන් ම උක් ඇඹරුම් වාරය ආරම්භවීමත් සමඟ දිවා රාත්‍රිය පුරාවට අහසට නැඟෙන කළු දුමාරය‍ සමඟ වාතලයට මුසුවන කළු අළු ඩන්කන් අල්විස්ට ගේ පවුලටත් බොහෝ විපත් ගෙන දී ඇත. තවත් විපත් ගෙන දෙමින් සිටියි.

‘මේ කුඩු ගිහින් මගේ අම්මගේ ඇහැට කාච දාන්න වුණා. දැන් බිරිඳටත් ඇස් රෝග හැදිලා තියෙන්නේ.‘

යුද්ධයේ බිහිසුණු අත්දැකීම් විඳි අල්විස් මහතා විශ්‍රාම ලබා සිටිය ද විශ්‍රාම දිවිය හිතේ සතුටින් ගෙවන්නට නොලැබීම පිළිබදව ඇත්තේ සිත් වේදනාවකි. වසර පුරාවට තමනට වද දෙන මේ ගැටලුව විසඳන්නට මැදිහත් වන වගකිව යුත්තෙක් නැති තරම් යැයි ඔවුහු කියති.

විශාලතම සීනි කර්මාන්තය

හිඟුරාන සීනි කම්හල එදා අග්නිදිග ආසියාවේ වූ විශාලතම සීනි කර්මාන්තය වේ. මෙය සීනි, හකුරු, මත්පැන්, සුවඳ විලවුන් නිෂ්පාදන මූලික කොටගෙන 1960 ජූලි මාසයේ දී එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් ආරම්භ කරන ලද්දකි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ ප්‍රදේශයේ තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ලබාදීම ය. එදා ස්ථිර සේවකයින් 1500 ක් පමණ ද අනියම් සේවකයින් 600 ක් පමණ ද උක් ඉඩම් කට්ටිකරුවන් 4500 ක් ද ඊට අමතරව වක්‍ර ආදායම් මාර්ග සකසා දෙමින් පවුල් 1500 ක් පමණ ද ජීවත්කරවන්නට හිඟුරාන කම්හලට හැකි විය. අද වන විට මෙයින් සෘජුව යැපෙන පිරිස 1000කට ආසන්න ය.

උක් ඇඹරුම් වාරය ආරම්භවීමත් සමඟ දිවා රාත්‍රිය පුරාවට අහසට නැඟෙන කළු දුමාරය‍ සමඟ වාතලයට මුසුවන කළු අළු මුළු පළාතම ගිල ගනියි. පවතින තත්ත්වය හමුවේ හිඟුරාන මහ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන්නේ ද මහත් ගැටලු සහගත තත්ත්වයක් යටතේ ය. සීනී කර්මාන්ත ශාලවෙන් පිටවන කළු දුමාරයත් සමගම දැවී අළු වෙන උක්රොඩුවල කළු පැහැති අළු මුළු පාසලම වසා ගෙන තිබිණි. පංති කාමර වල ඩෙස් පුටු වල මෙන්ම පංති කාමරයේ බිමත් කළු වී තිබුණි.

සිය ඇඳුමට වැටී ඇති කළු අළු පෙන්වමින් හිඟුරාන මහ විද්‍යාලයේ විදුහල්පති අශෝක පතිරණ මහතා පැවසුවේ සීනි කම්හලේ ඇඹරුම් වාරය නිමාවනතුරු මේ දුෂ්කරතාව විඳීමට සිදුවන බවකි.

‘මේ අළු ළමයින්ගේ ඇගේ ගෑවුණාම ඇගවල් කසනවා. ඇස් වලට රොඩු ගියාම ඇස් දැවිල්ල ගහනවා. මේ තත්ත්වය නිසා ළමයින්ට පංති කාමරයේ විෂය ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේදී ගුරුවරුන්ට දැඩි අපහසු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. කැම එකට කළුපාට අළු කැබලි වැටෙනවා. පාසලේ ළමයින් වැඩි දෙනෙකුට හතිය හැදිලා.‘ යි විදුහල්පති අශෝක පතිරණ කියයි.

තමන් මේ මේ පිළිබඳ සීනි සමාගමේ බලධාරීන්, පෙර ඇඹරුම් වාරවලදී ලිඛිතව දැනුම්වත් කර සිටිය ද ගැටලුව තවමත් පැවති තත්ත්වයේ ම බව ඔහු කියයි. මේ පිළිබඳ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ද දැනුම්වත් කරන්නට පියවර ගත් බව ද විදුහල්පතිවරයා සිහිපත් කළේ ය.

හිඟුරානේ සිරිධම්ම හිමි සහ ඩන්කන් අල්විස්
බ්ලැක් ඈෂ්  විරෝධී සංගමය

සීනී කම්හල පිටුපස පිහිටි හිගුරාන උත්තර ජයමහා විහාරයේ කුඩා භික්ෂුන් වහන්සේලා පන්සල් මිදුලට වතුර දමමින් සිටියේ කම්හලෙන් පිටවන අළු සුළඟට ඒ මේ අත යෑම වැලක්වීමට ය. පන්සල් මිදුල කළු පාට වී ඇත. පන්සලේ ආවාස ගෙහි දොර ජනෙල් වසා දමාලාය. විහාරාධිපති හිඟුරානේ සිරිධම්ම හිමි දායක පිරිසක් සමඟ සාකච්ඡාවකි. කම්හල නිසා ගම්මුන්ට අත්විදින්නට සිදුව ඇති පීඩාවට කුමක් කරමුදැයි එහිදී සාකච්ඡා කෙරිණි. පිරිස එක්වී කමිටුවක් පිහිටුවා ගනු ලැබීණි. බ්ලැක් ඈෂ්  විරෝධී සංගමය නමින් එය නම් කෙරිණ.

‘මේ ප්‍රශ්නේ දැන් අවුරුදු ගණාවක සිට පවතිනවා‘යි සිරිධම්ම හිමියන් කතාව ආරම්භ කළේ ය.

‘ගමේ දායකයින්ට දැන් හතිය ඇදුම වගේ රෝග වැඩිවෙලා. වෛද්‍ය නිර්දේශ තියෙනවා. අපි ආයතනයට කිව්වා. පාලකයෝ කියන්නේ මේ අවුරුද්දේ විතරයි ලබන අවුරුද්දේ විසඳුමක් දෙනවා කියලා. දැන් අවුරුදු පහක් පමණ වුණා. ප්‍රශ්නයට විසදුමක් නැහැ. මිනිස්සු විරෝධය දක්වන විට ඇඹරුම් වාරය අවසන් වෙනවා. ප්‍රශ්නය එතනින් යට යනවා නිලධාරීන්ට ප්‍රශ්නය අමතක වෙනවා. අවුරුදු පහටම වුණේ ඔය දේ තමයි.‘

අවුරුද්දෙන් භාගයක්

හිගුරාන පාසල පෙදෙස පදිංචි ගුරුවරයෙකු වන අනුර ඉන්ද්‍රසිරි කතා බහ ආරම්භ කළේ දැඩි වේදනාවකිනි.

දැන් අවුරුදු කිහිපයක් තිස්සේ මේ ප්‍රශ්නය අපට තිබුණා. අපේ දරුවෝ ලෙඩ වෙනවා. මගේ දරුවන් නිතරම ඇස් කසනවා. ඇස් රතු වෙලා. සතියට දින දෙකක් විතර දොස්තර ළඟට යන්න ඕනි.  ඒ අයට පාඩම් කරන්න අමාරුයි. ඇඳුම් විනාශ වෙනවා.  පොඩි කාලයකුත් නොවෙයිනේ අවුරුද්දෙන් භාගයක් මේ ප්‍රශ්නයෙන් අපි දුක් විදිනවා. ‘

කේ.ඒ.මෛත්‍රිපාල සහ ගාමිණී නවරත්න

පැණි උණු කරන බොයිලේරුව රත් කරන්නට පෙර කාලවල දර යොදා ගෙන තිබුණු බවත්, දර ගින්දරෙන් දුම් සමග පිටවන අළු ප්‍රමාණය අවම වීම නිසා අවට ජනතාවට අපහසුතාවයක් සිදු නොවු බවත් ඒ සඳහා දැන් භාවිත කරන්නේ  උක් රොඩු වීම නිසා මේ අපහසුතාව හට ගෙන ඇති බවත් උපන්දා සිට කම්හල ආසන්නයේම ජීවත් වන ගාමිණී නවරත්න කියයි.

හිගුරාන තැපැල් කාර්යාලයේ තැපැල්කරු ලෙස සේවය කරන කේ.ඒ.මෛත්‍රිපාල මහතා කාර්යාලයේ රාජකාරියට සිදුවන බාධා පිළිබදව විස්තරයක් පවසා සිටියේ ය.

‘මට ලියුම් බෙදන්න තියෙන්නේ මේ කම්හල අවට ගම්මානවලට. ලියුම් බෙදන සෑම මොහොතකම ඇස් දැවිල්ලයි. හුස්ම ගන්න වෙන්නෙත් මේ කළු කුඩුම  තමයි. වැඩ ඇරිලා ගෙදර ගියාම නාස් කුහර දෙක කළුම කළු පාටයි. ‘

නව නිවාස පෙදෙස හිගුරාන ලිපිනයේ පදිංචිව සිටින පී.ඩී.එස්.චාමින්ද මහාතා පිහිටුවාගත් සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකි. පැවති සාකච්ඡාවෙදී මුලිකත්වය ගෙන කටයුතු කළ ඔහු පෙර දිනයේ පාලන අධිකාරියත් සමග පැවති සාකච්ඡාවේ විස්තර පවසා සිටියේ ය.


මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබන පිලිකා රෝගීන් අතර හිගුරාන අවට ගම්වාසීන් වැඩි පිරිසක් සිටින බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

හිඟුරාන ජනතාවගේ ගැටලුව ගල්ඔය වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට  අවස්ථා කිහිපයකදීම ලිඛිතවම දන්වා ඇතත් තවම නිසි පියවරක් ගෙන නැති බව පැවසෙයි.  සමාගම පවසන්නේ ඉන්දියාවෙන් උපදේශකවරයකු පැමිණ පර්යේෂණයක් කරන බවත් එහි වාර්තාව ලැබුණු විගස ගැටලුවට විසඳුමක් ලබා දෙන බවත් ය. ඒ 2016 ජුලි මස 12 දින පැවති කමිටු රැස්වීමේදී ය.

සමාගම කියු පරිදි ජනතාවගේ ගැටලු තවම විසදී නැති නිසා නැවත අවස්ථාවක ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැසවීමේදී ප්‍රශ්න කර ඇත්තේ ගැටලුවට ගෙන ඇති විසදුම කවරේ ද යන්න ය. සමාගම වෙනුවෙනු පෙනී සිටි නිලධාරීයා එම අවස්ථාවේ ප්‍රකාශ ඇත්තේ පර්යේෂණයට අනුව පියවර ගනිමින් සිටින බවත් පිටවන දුම් අඩුවී ඇති බවත් ඊළග වාරයේ වැඩ පටන් ගැනීමට පෙර ස්ථීර විසදුමක් ලබා දීමට කටයුතු කරන බවත් ය. සමාගමේ විසඳුම ක්‍රියාත්මක නොවී වසරක කාලයක් ගෙවී ගොස් ය. නව ඇඹරුම් වාරය ද ඇරඹී තවත් කාලයක් ගතවී ඇත.  ගැටලුව එසේමය.  හිගුරාන සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ දිවි ගෙවන බොහෝ අයට විසඳුම වෙනුවට තවමත් ලැබෙන්නේ අහසට නැඟෙන විස දුම සමඟ වාතලයට මුසුවන කළු අළු ය.

අනුර ඉන්ද්ර්සිරි සහ පී.ඩී.එස්.චාමින්ද