Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අසල්වැසියා මට පෙනෙන හැටි:
මං මුත්තයියා මුරලිදරන්ට කැමතියි

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

11.08.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

නිරෝෂ් මධුසංක                                                                                                                                                                      11 ශ්‍රේණිය                                                                                                                                                                               බණ් / ඇල්ල ආදර්ශ පාසල – ඇල්ල

පුතාට දෙමළ කතා කරන්න පුළුවන්ද ?

මට සමහර වචන කියන්න පුළුවන්. සමහර වචන තේරේනවා. හැබැයි සිංහල කතා කරනවා වගේ කතා කරන්න බැහැ. ඒ ගැන මට දුකයි. මොකද මගේ යාළුවෝ ඉන්නවා සිංහල දෙමළ භාෂා දෙකම කතා කරනවා.

ඇයි පුතාට බැරි වුණේ දෙමළ ඉගෙන ගන්න ?

එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන්නම් ස්කෝලේ උගන්වනවා. මමත් උත්සහ ගන්නවා. දෙමළ ඉගෙන ගන්න.

ඔයාට දෙමළ යාළුවෝ ඉන්නවාද ?

යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයට සිංහල කතා කරන්න පුළුවන් නිසා අපි එකට ඉන්නවා. සෙල්ලම් කරනවා. ස්කෝලේ පාඩම් ගැන කතා කරනවා. රටේ තොරතුරු ගැන කතා කරනවා. හැබැයි මට දෙමළ හොදට කතා කරන්න බැරි නිසා කනගාටුවක් හිතෙනවා සමහර වොලාවට. මටත් දෙමළ හොදට පුළුවන් වුණානම් හොදයි කියලා හිතෙනවා.

කොහොමද යාළුකම ඇති වුණේ ?

අපි ස්කෝලේ ඇරිලා යන්නේ එකට. නිතර මුණ ගැහෙනවා. එතකොට කතා බහ කරලා යාළුවෝ බවට පත් වුණා.

ඔයාට නාදුනන කෙනෙක් පාරෙදි මුණ ගැහුණම එයා සිංහල කෙනෙක්ද දෙමළ කෙනෙක්ද කියා හදුනගන්න පුළුවන්ද ?

අපෝ පුළුවන්.

කොහොමද ඒ ?

ඇයි, දැක්කම කියන්න පුළුවන්නේ සිංහල ගැහැනු අය නහයට කරාබු දාන්නේ නැහැ. පොට්ටු තියන්නේ නැහැ. කොණ්ඩෙට මල් ගහන්නේ නැහැ. සමහර අය සාරිය අදින විදිහ වෙනස්.

ඔය කියන්නේ ඔසරිය අදිනවා කියලද ?

ඔව්. අපේ අම්මා අදින්නේ ඔසරිය. දෙමළ අය එහෙම අදින්නේ නැහැනේ. දෙමළ පිරිමි අයත් නළලේ සුදු තිලකයක් තියාගෙන ඉන්නවා. සරම වෙනුවට වේට්ටිය අදිනවා.

ඔයා විවාහ වෙන්නේ දෙමළ කොනෙක් සමගද ?

තවම මම ඒ ගැන හිතලා නැහැ. මම තවම ඉගෙන ගන්නවනේ. ඉගෙන ගෙන ඉවර වුණාම රස්සාවක් හොයා ගෙන විවාහයක් ගැන හිතනවා. හැබැයි විවාහ වෙන කෙනා සිංහලද දෙමළද කියලා හිතන්නේ නැහැ මට ගැලපෙනවා කියලා හිතෙනව නම් විවාහ වෙනවා. විශේෂත්වයක් නැහැ. අපි දැනුත් දෙමළ යාළුවෝ ඇසුරු කරනවා. වෙනසක් නැහැ.

ඔයා කැමති දෙමළ කෙනෙක් ඉන්නවද ?

ඔව්, මම මුත්තයියා මුරලිදරන්ට කැමතියි. එයා අපේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහලා ජයග්‍රහණ ලබාදී තිබෙනවා. මුරලිදරන් නිසා අපි සමහර මැචි දිනලා තියෙනවා. ලෝක වාර්තා තියලා තියෙනවා. එයා බෝල් කරනවා බලන්න ආසයි. එයා හිනාවෙලා ඉන්නේ.