කල්ලඩි පාලම යට
‘ගී කියන අත්’
‘සම්බාහන’ සේවාව සපයන්නේ යැයි සදහන් මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ. එහෙත් මේ සම්බාහන සේවාව ඊට වඩා වෙනස්ය. එහි මනා ශාස්ත්‍රානුකූල බව එක් වෙනසකි. එය සිදු කෙරෙන්නේ ‘ගී කියන අත්’වලින් වීම අනෙක් සුවිශේෂම වෙනසයි.
මඩකලපු වාසියකුට පිටස්තරයකු මුණගැසුණු විට, නොවරදවාම මුහුණ දෙන්නට සිදුවන පැනයක් ඇත. ඒ ‘සිංදු කියන මාලුන්’ ගැනය. පුරවරයේ ඉපැරණි සංකේතයක් වූ කල්ලඩි පාලම යට සුන්දර කලපු දියේ පිහිනායමින් ගී නාද නැංවූ මත්ස්‍යයින් ගැන පුරාවෘත්තය එතරම්ම ජන හද බැදගත් එකකි. ගී ගයන මාළුන් ගැන හරියටම කියන්නට දන්නා කෙනෙකු නැතත්, කලකදී උන් සිටි බව පිළිගන්නට අකමැති කෙනෙකු නොමැති තරම්ය.
ඒත් මේ කතාව ගී කියන මාලුන් ගැන නොවේ. කල්ලඩි පාලම යටදී හමු වූ වෙනත් රංචුවක් ගැනය. “ගී කියන අත්” ඔවුන් හැදින්වෙන නමයි.
‘ගී කියන අත්’ කණ්ඩායම මට මුණ ගැසෙන්නේ කල්ලඩි පාලම අසල බ්‍රිජ් මාර්කට් ක්‍රීඩාපිටියේදීය. මඩකලපුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල තෝරා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අලෙවි ප්‍රදර්ශන භූමියේ ‘ගී කියන අත්’ කණ්ඩායමද සත්කාරක කුටියක් පවත්වනු ලැබීය. කල්ලඩි කලපුව ආසන්නයේම නිර්මාණය කර තිබු සත්කාරක කුටියට කලපු සුළගද ගතට සත්කාරයක් නොඅඩුව ලබා දුන්නේය. දින තුනක් පුරා පැවති මෙම වෙළද ප්‍රදර්ශනය හා අලෙවි පොළ දැක බලා ගැනීමට පැමිණී බොහෝ පිරිසක් රැදී සිටියේ ගී කියන අත් සත්කාරක කුටිය ඉදිරිපිට වීම කාගෙත් අවධානයට යොමු විය.
සත්කාරක කුටියසත්කාරක කුටියේ තිබුණේ හාන්සි පුටුවකට සමාන ඇදන් දෙකකි. කුඩා ස්ටුල් කිහිපයක් හා පුටු කිහිපයක්ද එහි විය. එක් මේසයක් මත ඖෂධීය තෙල් බෝතල් කිහිපයකි. පිළිගැනීමේ නිලධාරිනිය එම මේසය අසල පුටුවක අසුන් ගෙන සිටියාය. තිස් පස් හැවිරිදි උපාධිධාරිනියක වන ඇය කනකසබේ පවානි ය. පැමිණෙන අමුත්තන් දෑසින් දකින්නට වරම් නැතත්, ඇය ඔවුන් ඉතා හෘදයාංගම ලෙසින් පිළිගෙන, සිය කණ්ඩායමේ අරමුණු හා සේවාවන් පිළිබදව මැනවින් පහදා දුන්නාය. ඇය සේවාලාභීන්ට කරුණු පැහැදිළි කළේ දෙමළ බසිනි. ගී කියන අත් කවුරුන්ද, බිහිවුණේ කෙලෙසද, දැන් කුමක් කරන්නේද යන වග මනාව පැහැදිලි කර දීම ඇයට පැවරී ඇති වගකීමය.
මාලුන් ගී ගැයුවේ හඩක් නිකුත් කරමිනි. ගී කියන අත් කණ්ඩායම ගී ගයන්නේ තම දෑත් මගිනි. හඩක් නොනැගුණද සත්කාරය ලබන සේවා ලාභීන්ගේ කයට දැනෙන්නේ කනට ඇසෙන ගීයක මිහිරියාවක් බදු ප්‍රීතිමත්, සුවදායී හැගීමකි.
ආසනයෙන් නැගිටින විට සේවාලාභින්ගේ මුහුණුවල ඇත්තේද ගීයක රස විදි ස්වභාවමය. තමන් වෙතට පැමිණෙන සේවාලාභීන්ගේ හිස, අත් පාවල නිල නාඩි සම්බාහනය කිරීම ගී කියන අත් කණ්ඩායමේ සාමාජිකයන් අතින් සිදු වේ.
විජය කුමාර්මඩකලපුවේ කිරාන්කුලම් හි ජීවත් වන විජයකුමාර් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකි. ඔහුගේ දෑස් නිසි පරිදි නොපෙනුණද ඔහු කෙරන් විශේෂ අවශ්‍යතා සහිත වූවකුගේ ලකුණු නොදිස් වෙයි. විජය කුමාර් ගේ නායකත්වයෙන් යුතු ගී කියන අත් කණ්ඩායම බිහි වන්නේ ඔහු වැනි විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ හිත සුව පිණිසය. ගී කියන අත් කණ්ඩායමේ සාමාජිකයන් පහළොවක් පමණ වේ. මේ අය අතර දෑස් නොපෙනෙන, අත්පා වල ආබාධ සහිත අයද වේ. එහෙත් ඔවුන් කඩිසරව වැඩෙහි යෙදෙන්නේ, හැකියාවන්ගෙන් සමාජයේ සෙසු පුද්ගලයන් තරමටම පොහොසත් බවට ජීවමාන සාක්ෂි සපයමිනි. ඔවුනට මග පෙන්වන්නෝ කිහිප දෙනෙක්ද වෙති. මොවුන්ගෙන් සමහර දෙනෙකුගේ ජිවිතය ගෙවෙන්නේ උදයම් මධ්‍යස්ථානය නමින් හැදින්වෙන මඩකලපුව නගරයේ ඇති ආරක්ෂිත මධ්‍යස්ථානයේය. කණ්ඩායමේ සිටින සමහර දෙනෙක් තමන්ගේ නිවෙස්වලම පදිංචිව සිටිති. ඇවිදීමේ අපහසුතා ඇති සාමාජිකයන් උදයම් මධ්‍යස්ථානයේ නවතින බව විජය කුමාර් පැවසුවේය.
2011 වසරේ සීදුවට යන විජය කුමාර් නිල නාඩි සම්බාහනය පිළිබද පාඨමාලාවක් හදාරා මාස කිහිපයක් කොළඹ හතේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය කිරීමෙන් පසුව නැවත මඩකලපුවට එන්නේ තම මහලු දෙමාපියන් රැක බලා ගැනීම සදහා ය. ඒ අතර වාරයේ ඔහු මඩකලපුව උදයම් මධ්‍යස්ථානයේ සිටි තමන්සේම විශේෂ අවශ්‍යතා ඇති සහෝදර සහෝදරියන් පිරිසක් සමග ගී කියන අත් සම්බාහන කණ්ඩායම බිහිකර ගෙන ඇත්තේ රාජ්‍ය නොවන ආයතනයක ව්‍යාපෘතිකට අනුවය. මඩකලපුව අර්සඩි ආයුර්වේද රෝහල අසල පුස්තකාල ගොඩනැගිල්ලක විජය කුමාර් ඇතුළු ‘ගී කියන අත්’ කණ්ඩායමේ සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යයි.
‘සමාජවාදීයෝ’වෙළද ප්‍රදර්ශනය නැරඹිම සදහා පැමිණි දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව විජේ කුමාර්ලගේ නාඩි සම්බාහන කුටිය වෙත පිය නැගුවේ වෙහෙසකර ජීවිතයට ගී කියන අත් වල පහස ලැබීමටය. සත්කාරය ලබන්නන්ගේ අභිමතය පරිදි සම්බාහනය සිදුකරති. ඔළුව, අත්පා ප්‍රධාන වේ. විද්‍යානුකුලව සිදුකෙරෙන නාඩි සම්බාහනය මගින් ගතට දැනෙන සුවය සිතටද සුවයක් බව සේවාලාභීන් පවසන්නේ ගී කියන මාළුන්ට සවන් දුන්නාක් මෙනි. සම්බාහනය අවසානයේ ඔවුන් ප්‍රාර්ථනා කරන්නේද ‘සැනසීමක් ලැබේවා සැනසීමක් ලැබේවා’ යනුවෙනි.
වෘත්තීය මට්ටමේ සම්බාහනය මිල අධික සේවාවකි. එහෙත් විජය කුමාර් ඇතුළු කණ්ඩායමේ පිළිවෙත වෙනස්ය. ඔවුන් සිය සේවාවට සෘජු ලෙස මිලක් නියම කරන්නේ නැත. සේවාලාභීහු තම මනාපය පරිදි ඔවුන්ට ගෙවීම් කරති. සේවාලාභීන් විසින් ස්ව කැමැත්තෙන් ලබා දෙන මුදල ස්තුතිපූර්වකව භාරගන්නා ඔවුහු, එය මධ්‍යස්ථානයේ ඇති කුඩා මංජුසාවකට දමති. එම මුදල්වලට කුමක් කරන්නේදැයි විජය කුමාර් ගෙන් විමසුවෙමි.
නිල නාඩි සත්කාරය මදකට නවතා මා දෙසට හැරුණු ඔහු මෙසේ පැවසුවේය. ”මේ මුදල් දවස අවසානයේදී ගණන් කරලා වැඩ කරපු සියලු දෙනා අතරේ බෙදනවා. ඒ හම්බවෙන මුදලින් තමයි අපි ජීවත් වෙන්නේ. අම්මට තාත්තට සලකන්න ඕන. ඉගෙන ගන්න නංගිලාට මල්ලිලාට දෙන්න ඕන. අපි ආබාධිත වුණාට අපිටත් වගකිම් පැවරිලා තියෙනවා. ”
ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික ‘සමාජවාදී’ ජනරජයකි. එහෙත් ඒ දෙවැනි විශේෂණයේ ලකුණු දුලබය. විජය කුමාර්ලාගේ සංවිධානය ‘ගී කියන සමාජවාදී අත්’ යැයි නම් කර නැතුවාට ඔවුන්ගේ ආර්ථික පිළිවෙත පූර්ණ ලෙසම ‘සමාජවාදී’ වෙයි. කෙතරම් අපූරු ආදර්ශයක්ද?
කල්ලඩි පාලම යට සුන්දර කලපු දියේ පිහිනායමින් ගී නාද නැංවූ මත්ස්‍යයින් ගැන පුරාවෘත්තය ජන හද බැදගත් එකකි. ගැන ගුණදාස කපුගේ ගයන ගීයකි.