Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

යුගයෙන් යුගයට නොසි‍දෙන කුතුහලය
මඩකළපු පුරවරයේ සිංදු කියන මාළු

‘සිංදු කියන මාළු’ මඩකලපු පුරවරයේ සංකේතයයි. යුගයෙන් යුගයට ජනයා අතර නොසි‍දෙන කුතුහලයට තුඩු දුන් ඒ පුරාවෘත්තය තවමත් ජීවමානය.

04.09.2017  |  
මඩකලපුව දිස්ත්‍රික්කය

කල්ලඩි පාලම ආසන්නයේම ජීවත් වෙන බණ්ඩාර ගෝබාරු, කල්ලඩි පාලම යට මාළුන් ගී කියන බව පවසන්නේ දැඩි විශ්වාසයකිනි. සඳ ඇති දිනට කලපුවේ ඔරුවෙන් යද්දී මාළුන්ගේ ගී හඩ හොඳින් අසන්නට හැකි බව බණ්ඩාර ගොබාරු පවසන්නේ ගීත අහන්නට කලපුවේ යන්න එන්නැයි ආරාධනාවක්ද කරමිනි. බළලෙකුගේ මුවින් නැගෙන හඩට කිට්ටු හඩක් මුවින් නගමින් (ඥාව් ) මෙවැනි හඩක් කලපුවෙන් ඇසෙන බව බණ්ඩාර ගෝබාරු කියයි.

යුද්ධයේ අමිහිරි මතක

කලපු ධීවර රැකියාව අතහැර සිටින බණ්ඩාර ගෝබාරු දැන් හැට හය වන වියේ පසුවන්නේය. කුඩා කල සිට මඩකලපුවේ හැදී වැදී වැඩුණු බණ්ඩාර ගෝබාරුට කල්ලඩි පාලම හා බැදුණු ජීවිතයක් පවතී. දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඔහුගේ ජීවන මග වී ඇත්තේ සින්දු කියන මාළු සිටින කල්ලඩි කලපුවය.

ලෝරියෝ ලියෝඩ් පියතුමා

දශක තුනක් පුරාවට පැවති යුද්ධය නිසා සින්දු කියන මාළුන් පමණක් නොව මුළු මඩකලපුවම හුදෙකලා වූ අමිහිරි මතකය ඔහු සිහිපත් කළේය. ”මාළු සින්දු කියන හඩ අහන්න කාටවත් වෙලාවක් තිබුණේ නැහැ. ධීවරයෝ කලපු රැකියාව කරලා ජීවත් වෙද්දී දැලට අසුවෙන මාළු ගැන විතරයි බලන්නේ. උන් සින්දු කියනවද කතා කරනවද කියලා බල බලා ඉන්නේ නැහැ. යුද්ධය මිනිස්සුන්ට වෙහස ගෙන දුන්නා. ලැබුණ හැම අවස්ථාවකම ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න තමයි බැලුවේ.”
බණ්ඩාර ගෝබාරුගේ නිවසට පෙනෙන්නේද ප්‍රතාපවත් කල්ලඩි පාලමය. ඉංග්‍රීසි පාලකයන්ගේ දැවන්ත ඉදිකිරීම් අතර කල්ලඩි පාලම මඩලපුවට ගෙන එන්නේ ඓතිහාසික වටිනාකමකි. මඩකලපුවට පැමිණෙන බොහොමයක් ආගන්තුකයෝ කල්ලඩි පාලම බලන්නට අමතක නොකරති. පාලම අභියසට එන ආගන්තුකයෝ සින්දු කියන මාළුන් ගැන විමසති. බණ්ඩාර ගෝබාරුට අනුව නම් සින්දු අහන්න පසළොස්වක පෝය දාට පැමිණිය යුතු වේ.
ලංකාවේ දිගම කලපුව යැයි විරුදාවලිය ලත් මඩකලපුවේ මඩද දැකිය නොහැක. නිල වර්ණයෙන් පැහැදී තිබෙන කලපු දියේ ඒ මේ අත ඔරු පදිමින් මසුන් මරන ධීවරයින් හැරුණුකොට විනෝදයට ඔරු පදින සංචාරකයන්ද දැන් මඩකලපුවට ආගන්තුකයන් නොවන්නේය. බණ්ඩාර ගෝබාරුගේ අතීතාවර්ජනයට අනුව නම් කලපුවේ නිසසල බවත් සුන්දරත්වයත් අද කලපුවෙන් හොරකම් කරගෙනය. ”අපි පුංචි කාලේ කලපුවේ තිබුණේ හබල්ගාන ඔරු. ඒකත් රෑට විතරයි. දැන් බලන්නකෝ මහත්තයෝ ඈත මුහුදේ යන ලොකු බෝට්ටු දැන් නවත්වන්නේ කලපුවේ.” දුම දමමින් කලපුවේ යන බහුදින යාත්‍රාවකට අත දිගු කරමින් ඔහු පැවසුවේය.

බණ්ඩාර ගෝබාරු

සුනාමියද කලපුව උඩු යටිකුරු කළ බව ගෝබාරු සුසුමක්ද සමගින් පැවසුවේය. නාවල්අඩි සුන්දර වෙරළ තීරයේ ඩච්බාර් ගම්මානය පිසදාගෙන නැගී ආ සුනාමි රළ එහි සිටි ලන්දේසි සම්භවයක් සහිත ගම්වැසියන් කලපු දියෙහි සගවා දැමූ බවත් කලපුව එකම සොහානක් වූ බවත් ගෝබාරු සිහි කළේය.

කල්ලඩි අවට කලපුව පුරාවටම පැතිර තිබුණු කඩොලාන පරිසරයට එක් කළේ නොයිඳුල් පාරිසරික සුන්දරත්වයකි. මේ සුන්දර කඩොලාන පරිසරය එල්.ටී.ටී.ඊ. සටන්කාමීන්ට මෙන්ම ආරක්ෂක අංශ වලටද මහත් බාධකයක් වී ඇත. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙපිරිසම කඩොලාන කපා දැමූ බව ගෝබාරු පැවසීය.

ගී ගොළු කළ සුනාමිය

යුද්ධය මෙන්ම සුනාමියද සුන්දර කලපුව අසුන්දර කර ඇත්තේ ගී කියන මාළුන් ගොළු කරමිනි. දැන් යුද්ධයේ බියකරු බව පහව ගොසින්ය. සුනාමියේ මතකයද නොදැනෙන්නේය. ගෝබාරු කියන ලෙසට ගී කියන මාළුන් දැන් ගී යන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසාද?
දහ අටවන ශත වර්ෂයේ සිට කලපු දියේ මසුන් ගී ගැයූ බව පාරම්පරික ධීවරයන්ගේ කටින් කට පැවත එන මතයකි. එය ගුප්ත සංගීතයකි. පැරණි ධිවරයෝ මේ ගුප්ත සංගීතය නැගු මත්ෂ්‍ය විශේෂය හදුන්වා ඇත්තේ oorie coolooroo cradoo ( crying shells ) වශයෙනි. හැඩීමෙන් ශබ්දයක් නිකුත් කරනවා යැයි මේ පිළිබද පර්යේෂණ කළ විද්‍යාඥයින් විශ්වාස කර ඇති බව සදහන් වේ. ඒ දිය යට සිටින මත්ස්‍ය පැටවුන්ගේ හැඬීමක් විය හැකි බවද විග්‍රහ කර ඇත.
යුද්ධයත් සමඟ ඇදිරි නීතිය සාමාන්‍ය නීතියක් බවට පත්විය. කලපුව ආරක්ෂක කලාපයක් විය. මඩකලපුවේ කලපු ධිවර සමාජය පුරාණ සංස්කෘතික විශ්වාසයෙන් ඈත් විය. ගී හඬට සවන් දුන් බොහෝ දෙනෙක් එය මිත්‍යාවක් බව හදුන්වමින් මුවගට සිනාවක්ද නගා ගත්හ.

ලෝරියෝ පියතුමාගේ සාක්ෂිය

නැගෙනහිර තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයක් දැරු ඇමරිකන් ජාතික ලෝරියෝ ලියෝඩ් පියතුමා ගී කියන මසුන් පිළිබද සාක්ෂි සෙවීම ආරම්භ කර ඇත්තේ 1950 වර්ෂයේදී පමණය. මඩකලපුවේ ජීවත් වන ලෝරියෝ පියතුමා අද වයස්ගත වුවත් එදා තරුණ කාලයේදී ජනතාව අතර පැතිර පැවති විශ්වාසය පිළිබදව සාක්ෂි රැස්කරන්නට වෙහසුණු අයුරු මා සමඟ පැවසුවේ අතීත මතකය සතුටින් සිහිගන්වමිනි.
“ධිවරයින්ගෙන් මං විස්තර විමසුවා. හැම කෙනෙක්ම කිව්වේ මාළු සින්දු කියනවා කියලා. ඉතිං මට වුවමනා වුණා මාළුන්ගේ හඩ එකතු කරන්න. සඳ ඇති රැයක ඔරුවකට නැගුණු මම ටේප් රෙකෝඩරයකුත් අරගෙන කලපුවට ගියා ගීත අහන්න. මට ඇහුණා ශබ්දයක්. ඒ හඩ මං රෙකෝඩ් කරගත්තා. ඒ හඩට තමයි මිනිස්සු ගීත කියනවා කියලා කියන්නේ” යැයි ලෝරියෝ පියතුමා පැවසීය.
“මගේ ළග තිබුණා ඒ හඬ පට, දැන් හදිස්සියට හොයන්න අමාරුයි. ඒ පාවිච්චි කළ උපකරණත් කොහෙද කියලා නැහැ.” හඬ පටිගත කර වසර හැට හැත්තෑවක කාලයක් ගතව ගියත් ලෝරියෝ පියතුමා මඩකලපුවේ ගී කියන මත්ස්‍යයින් පිළිබද ප්‍රධාන සාක්ෂි කරුවෙක්ද වන්නේය.

පර්යේෂණ- එදා සහ අද

ඉංග්‍රීසි අවධියේදී සින්දු කියන මාළු ගැන පර්යේෂණ කිහිපයක්ම සිදු කර ඇති බව වාර්තා වේ. කලපු පත්ලෙන් නැගෙන හඬ බෙල්ලන් විශේෂයකින් නැගෙන හඩක් බව එක් පර්යේෂකයෙක් ප්‍රකාශ කර ඇත. තවත් පර්යේෂකයෙක් ප්‍රකාශ කර ඇත්තේ එක්තරා මත්ස්‍ය විශේෂයක් කරමල් මතින් නගන හඩක් බවය.
/ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ සංගීත පර්යේෂකයකු වූ සී. ද එස්.කුලතිලක මහතා කලපු පත්ලෙන් නැගෙන හඩ පටිගත කර ජන සංගීත පර්යේෂණයක් සිදු කර තිබෙයි. මේ බව වත්මන් ගීත රචකයෙකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා පිළිගෙන ඇත්තේ ඒ ඇසුරින් නිර්මාණය කළ ගීත ශ්‍රවණය කිරීමෙන් පසුවය.
සමාජ මතභේදයට තුඩු දී ඇති සින්දු කියන මාළු පිළිබද පර්යේෂණ කරන්න මඩකලපුවේ තරුණ පිරිසක්ද දැන් එක්ව සිටිති. සාම්ප්‍රදායික ධිවර ප්‍රජාවගේ සහයෝගය ඇතිව සිදුකරන මෙම පර්යේෂණ කටයුතු මගින් මේ අරුම පුදුම කලපු ගීතය කොතරම් දුරට ඉතිරි වී ඇතිදැයි ඔවුන් විසින් සොයා ගැනීම වත්මන් ජනයාගේ මුවගට නැගෙන උපහාසාත්මක සිනහව නිමා කරනවා ඇත.