මාළුන් ගෙන් සාස්තර අහන
අලිගම්බේ වල්ලි අම්මලා
‘සාත්තරේ…’ යි ලතාවකට හඬ නගමින් ගම් බිම් සිසාරා ඇවිද ගිය, සුවිශේෂ අනන්‍යතාවකින් හෙබි ජන කොට්ඨාසයක් පිළිබද මතකය තවමත් ජන මනසින් මැකී ගොස් නැත. එහෙත් ඔවුන්ගේ ‘සාත්තරය’ තව දුරටත් ජීවත් වීමට ප්‍රමාණවත් ශාස්ත්‍රයක් නොවේ.
මද්දහනේ අලිගම්බේ ගම හරහා ගලා යන ඇළ ඉවුරේ ඉදගෙන බිලී පිති අල්ලාගෙන ඇළ දෙස බලා සිටින කාන්තාවන් දෙදෙනෙකි. මද වෙලාවකට එකකු අත රැදි කෝටුව එක් වරම උඩට එසවෙයි. එහෙත් ඇත්තේ බිලී කොක්ක පමණි. දැඩි හිරු රශ්මියත් දාහයත් නිසා මලානිකව ඇති ඇගේ මුහුණ වේදනාවෙන් බර වෙයි.
ඇය නැවතත් ඇමක් අමුණා, බිලී කොක්ක ඇළට විසි කරයි. මොහොතකට පසුව යොත වේගයෙන් දිය මත ඇදී යනු දකින ඇය බිලී පිත්ත ඉහළට ඔසොවයි. එහි කෙළවර රිදී පැහැ මත්ස්‍යයා ඇගේ මුවග මද සිනහ නංවයි. එක් දිනකට ජීවිතය ගැටගසා ගැනීමට ඇයට මෙවැනි ජයග්‍රහණ බොහෝ ගණනක් වුවමනාය.
අම්පාරේ ‘අලිගම්බේ ගම’ නයි නටවන මිනිසුන්ගේ ගමක් ලෙස කවුරුත් දනිති. ඉන්දියානු මදුරාසි සම්භවයක් ඇති තෙළිගු ජන පරම්පරාවෙන් පැවත එන මෙම ගම්වැසියන් පාරම්පරික රස්සාව ලෙස පැවති නයි නැටවිල්ල, රිලා නැටවිල්ල සාත්තර කීම දැන් කරන්නේම නැති තරම්ය. දැන් ගමේ ඇත්තේ ඒ රස්සා කරන, අතේ ඇඟිලි ගණනටත් අඩු පවුල් ගණනකි.
ගිලිහුණු සාත්තරය”අද අපෙන් සාත්තර අහන්නේ නැහැ මහත්තයෝ. අපි කොච්චර ඇවිද්දත් හිස් අතින් ගෙදර එන වාර අනන්තයි.” සාත්තර කියන රස්සාව අතහැර ඇළ ඉවුරේ වාඩිගෙන බිලි බාමින් සිටි වල්ලි අම්මා අප සමග කතා බහ ආරම්භ කළාය.
”අපේ රස්සාවට යන දෙතුන් දෙනා හාල් ටිකක් පොල් ගෙඩියක් ඇඳුමක් දෙකක් ඉල්ලගෙන එනවා. අමාරුවෙන් ජිවත් වෙන්නේ. දැන් පිරිමි කුඹුරුවල වැඩට යනවා. කුලියක් හොයා ගෙන දවස ජීවත්වෙන්නේ. මේ ගම වටේම තියෙන කුඹුරු අපේ කිසි කෙනෙකුට අයිති නැහැ. කල්මුණ, සම්මන්තුර, අක්කරපත්තුව පැත්තේ කුඹුරු මුස්ලිම් දෙමළ මිනිස්සුන්ට අයිති ඒවා. අපි ඒවගේ දවසේ කුලියට වැඩ කරනවා.
පවුල් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් පදිංචිවී සිටින අලිගම්බේ ජනතාව අද යාචකයින් මෙනි. යමක් කරගන්නට හැකියාව ඇති පිරිමින් කුලියක් මලියක් ගන්නට ඈත ප්‍රදේශවලට යන්නේ දවස් කිහිපයක් වැඩ කර මුදලක් හොයාගෙන එන්නටය. අනුරාධපුර තඹුත්තේගම මුල් පදිංචි කරුවන්ගෙන් බිදී ආ පිරිසක් වන අලිගම්බේ ගම්වාසීන් අද වන විට අවට ගම්මානවල දෙමළ ජනයා සමග විවහා වීමෙන් අහිගුණ්ඨික ජන සමාජය දිය වී යමින් පවති.
ඉඩම් සිහිනය”අපිට ඉඩම් නැහැ මහත්තයෝ. මේ කුඹුරු වලින් වට වෙලා තියෙන ගොඩ ඉඩමේ තමයි මේ පවුල් තුන්සියකට වැඩි මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ. දැන් අලුත් ළමයින්ට ගෙවල් හදා ගන්න ඉඩම් නැහැ.”
රැහේ නායකයා සමඟ තැනින් තැනට ගොස් සත්තර කියා, නයි නටවා, රිලව් නටවා ජීවත් වූ වල්ලි අම්මලාගේ පරපුරේ අයට රස්සාව මග ඇරෙන්නේ යුද සමයේදීය. දෙමළ බස කතා කරන නිසා ගමින් ගමට යන ගමනට බාධක වැටිණි. ආරක්ෂක අංශ මෙන්ම සිංහල ජන සමාජයද ඔවුන් දෙස බලා ඇත්තේ වපර ඇසිනි. ‘ඔය එන්නේ කොටින්ගේ ඔත්තු කරුවන් යැයි’ සැකයට ලක්වූ අවස්ථා මෙන්ම ආරක්ෂක අංශ විසින් පැය ගණන් රදවා ගෙන ප්‍රශ්න කිරීමට ලක් කළ අවස්ථාද හිඟ නොවීය. අනිත් අතට, රූප පෙට්ටියේ පෙන්වන ජේත්තුකාර සාස්තරකාරයන් විශ්වාස කිරීමට නොපැකිළෙන නමුත් අනාදිමත් කාලයක සිට පැවත එන තෙළිගු සාස්තර ඇසීම මදි පුංචිකමක් ලෙස සිතන තරමට සමාජ ආකල්ප ‘දියුණු වී’ තිබේ. මේ ආදී හේතු නිසා පරම්පරා රස්සාවෙන් ඔවුන් ක්‍රමයෙන් ඈත් වූහ.
ඡන්ද පොරොන්දු”මෙහෙම හිටියට අපිටත් ඡන්ද අයිතිය තියෙනවා.” ඇය කතාව තවත් තැනකින් ආරම්භ කළාය.
”ඡන්දෙ තියෙන කාලෙට මහත්තුරු අපිට හරි ආදරෙයි. නිතරම එනවා අරක දෙන්නම් මේක දෙන්නම් කියාගෙන. ගෙවල් හදල දෙනව කිව්වා. දිනුවට පස්සේ තාම දැක්කේ නැහැ. ඒගොල්ල නැති වුණාට අලි නම් හැමදාම හවසට එනවා. එළවගන්න බැරි වුණොත් ගෙවල් දෙකක් තුනක් වත් කඩලා තමයි යන්නේ. කියන්න ඕන අයට කිව්වා. වැඩක් නැහැ. රෑ වෙන කොට හදිස්සියකටවත් ගම ඇතුළෙවත් ඇවිදින්න බැහැ. ගමට එන හැම පාරකටම අලි බහිනවා. අපි බොරු කියනව නම් දැන් ගිහින් බලන්න, අක්කරපත්තුවේ ඉදලා එන පාරේ අලි තුන්දෙනෙක් ඉන්නවා. දවල්ටත් අලි ගමට කිට්ටු කරලා ඉන්නේ.”
බිලී කොක්කට පණුවෙක් අමුණන ගමන් වල්ලි අම්මාට තවත් දෙයක් මතක් විය. “අපිට බොන්න වතුර නැහැ. ළිං වතුර තමයි තියෙන්නේ. ඒත් ලුණු මිශ්‍ර කිවුල් වතුර තමයි ඒ ළිංවල තියෙන්නේ. ආලයාඩිවෙම්බු ප්‍රාදේශීය සභාවෙන් වතුර ගෙනත් දෙනවා. දවසකට එක වතාවක්.”
වල්ලි අම්මාගේ පුංචි ගෙදර පවුල් දෙකකි. වල්ලි අම්මයි. වල්ලි අම්මගෙ දුවයි. දුවට පුංචි අත දරුවෙක් ඉන්නා නිසා වල්ලි අම්මාට රැකියාවකට යන්න ඉඩක් නැත. ඇය පුංචි දරුවා නිදිකරවා ඇය ඇළට ඇවිත් තියෙන්නේ කන්නට මාළුවෙක් අල්ලා ගන්නටය. වල්ලි අම්මාගේ ස්වාමියා ජීවතුන් අතර නැත. දුවගේ සැමියා කුඹුරු වැඩට දුර ගොස්ය. ඔහු එනතුරු කෑමට යහමින් දෙයක් නොමැත. ඒ නිසාම වල්ලි අම්මාටත් තුන්වේලෙන් එක වේලකටවත් මොනව හරි සොයා ගැනීමට සිදුවේ.
‘අපි දෙන්න තුන්දෙනාට මේ මාළු ටික ඇති මහත්තයෝ’ කියා ඇළ ඉවුරෙන් නැගිට්ට වල්ලි අම්මා බිලිපිත්තයි මාළු මල්ලයි අතට ගත්තේ ‘දැන් පොඩි එකා නැගිටලා ඇති’ කියමිනි. ඇය වේගයෙන් අලිගම්බේ ගමට යන පාර දෙසට හැරී බොද වී ගියාය.