සුනාමි අවතැන්වූවන්ට නොදී
අලුත්ම නිවාස 500ක් අලින්ට හරකුන්ට සහ සර්පයන්ට!
සුනාමියෙන් අවතැන්වූවන් වසර 12ක් තිස්සේ අගුපිල්වල දිවි ගෙවද්දී, ඔවුන් වෙනුවෙන් විදේශ රටකින් හදා දුන් නිවාස 500ක ගම්මානයක් වන සතුන්ට ලබා දී ඇතැයි විශ්වාස කළ හැකිද? එහෙත් යහපාලනයෙන් බැබැළෙන ආසියාවේ ආශ්චර්යයෙහි එය යථාර්ථයකි.
2004 දෙසැම්බර් 26 දා උදෑසන ඔවුන්ට හුරුපුරුදු මුහුදු රළ, රකුස් වෙස් ගෙන ගොඩ බිමට කඩා පැන ඔවුන්ගේ සමීපතම ඥාතීන් මෙන්ම ගේදොර යාන වාහන ඇතුළු සියල්ලද සැනෙකින් අහිමි කළේය. ඒ විපතින් දොළොස් වසරක් ගෙවී ගියත් තවමත් අනාථයන් වී සිටින ඔවුන්ගේ සිත්හි රිදුම් දෙන්නේ සුනාමිය දවසේ විදි වේදනාවමය. අක්කරේපත්තුව වෙරළ ආශ්‍රිත ගම්මාන කිහිපයක පවුල් 308ක් මෙසේ අසාධාරණයට ලක්ව සිටිති.
ඔවුන් තම එදිනෙදා ජීවිතය යම් තරමකට ගොඩනගා ගත්තද මුහුදු රකුසා ගිලගත් නිවාස වෙනුවට නව නිවාස නම් තවමත් සිහිනයකි. එයින් පිරිසක් තාවකාලික නිවෙස්වලද, තවත් පිරිසක් කුලී නිවාස වලද දිවි ගෙවති. මිරානගර් ගම්මානයේ ජීවත් වන බහුතරයකගේ ජීවන මාර්ගය කුලී වැඩයි. තවත් පිරිසක් මුහුදු රැකියාවෙහි නිරත වෙති. නැවත නිවාස ඉදි කිරීමේදී පැනවුණු මීටර හැට පහේ සීමාව නිසා ඔවුන්ගෙන් පිරිසකට සිය ඉඩමේ යළි නිවාස ඉදි කර ගැනීමේ අවස්ථාව අහිමි විය. පළමුව ආ සුනාමියද දෙවනුව ආ නීතියද ඔවුන් උපන් පොළොවේ අනාථයින් බවට පත් කළේය. මීරානගර්හි එස්. රිනෝසා ඒ අතරින් කෙනෙකි.
සුනාමියෙන් නිවස අහිමි වූ ඇය පවුලේ අය සමග මාස හතරක්ම අවතැන් කදවුරක ගත කළාය. ඉන් පසුව කුලී නිවසක පදිංචි වූ ඇය තවමත් ජීවත් වන්නේ කුලියටය.
දොළොස් වසරකට පෙර”සුනාමිය එන කොට මගේ ලොකු පුතාට මාස දෙකයි. පුතා නිදි කරලා මම එදා උදේ මුහුද දිහා බලා ගෙන හිටියා. මම දැක්කා එක පාරටම මුහුද ඈතට යනවා. මුහුදෙ වතුර කළු පාටයි. මට බය හිතුණා. මම දරුවත් අරගෙන පාර දිගේ දිව්වා. ටික වෙලාවකින් මහ ශබ්දයක් සමග මුහුද ගොඩට ආවා. මම පාර දිගේ දුවලා අක්කරපත්තුව ටවුමට ගියා. දරුවගෙයි මගෙයි ජීවිත බේරුණා.”
එහෙත් ජීවිත හැර ඔවුන් සතු සියල්ල අහිමි විය. ඉනික්බිතිව ගෙවී ගිය කාලය, ඉතිරි වූ ජීවිතවල වටිනාකම බොහෝ පහත හෙළා ඇත. කෙතරම්ද යත් දිවි ගළවාගැනීමේ සතුට පවා අහෝසි වන තරමටය.
”දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එදා බේරුණු ලොකු පුතාට අවරුදු දොළහයි. මහත්තයා රෙදි කඩයක කුලියට වැඩ කරනවා. ගෙවල් කුලී ගෙවපුවම කන්නේ බොන්නේ අමාරුවෙන්. දැනට ගෙවල් දහයක විතර කුලියට ඉදල තියෙනවා. ජරා වෙලා තියෙන ගෙවල් සුද්ද කරලා පිළිවෙළ කරලා අවුරුදදක් විතර ඉන්නකොට අයිතිකාරයන්ට ගේ ඕන වෙනවා. ඉතිං දීල වෙන තැනකට යනවා. කුලී ගෙවල්වල ඉදලා දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මෙහෙම දුකක් විදින්න වෙයි කියල දන්නවනම් එදා මම දුවන්නේ මුහුද පැත්තට.” ඇය එසේ පැවසුවේ දැඩි කම්පාවෙනි. ඇය ඇතුළු අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු නිවාස වැඩසටහනට අත්ව ඇති ඉරණම ඇය මෙසේ විස්තර කළාය.
අංග සම්පූර්ණ ගමක්
” ගෙවල් නැති වෙච්ච අයට දෙන්න කියලා අරාබි රටෙන් ගෙවල් පන්සියයක් එක්ක පහසුකම් සහිත ගමක් හදලා දුන්නා, නොරොච්චලේ කියන ගමේ. ගෙවල්, පාසල්, ක්‍රීඩාපිටි, දේවස්ථාන, වෙළද සංකීර්ණ, බස් නැවතුම් පළවල්, සංස්කෘතික මධ්‍යස්ථාන සියල්ල ඒ ගමේ තියෙනවා. අපිත් බලාගෙන හිටියා ගෙවල්වල පදිංචියට යන්න. ඒත් ඒක සිහිනයක් විතරයි. දැන් අවුරුදු හයක් තිස්සේ මේ ගෙවල් ටික බෙදා ගන්න බැරුව ළතැවෙනවා. අධිකරණය නියෝගයක් දීලා තියෙන්නේ ඒ නියෝගය වත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ ගෙවල් දැන් නිකන් තිබිලම විනාශ වෙලා.”
‘නොරොච්චලේ’ යනු සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉදි කළ අංග සම්පූර්ණ ගම්මානයකි. අක්කර 67 ක භුමි ප්‍රදේශයක පැතිර පවත්නා එය, දීඝවාපිය පරිවාර චෛත්‍ය ආසන්නයේ හිගුරාන සීනි සමාගමට අයත් ඉඩමක ඉදි කර ඇත. සෞදි අරාබි රාජ්‍යය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1100 ක පමණ මුදලක් වැය කර තිබේ. මුළුමනින්ම වැඩ නිමවා තිබූ එය මේ වන විට කැළෑවෙන් වැසී ඇත. සමහරක් නිවෙස් වල දොර ජනෙල් කඩාබිද දමලාය. වන අලි ඒ භුමිය අරක්ගෙනය. වල් ඌරෝ සහ හරක් නිවාස ඇතුළේය. ඇතැම් ගොඩනැගිලි සර්ප රජදහන්ය. සමහර නිවාස විවිධ විෂමාචාර කටයුතු සිදුවන තිත්පොළවල් වී ඇතැයි අවට ගම්වාසීහු පවසති.
පසුගිය ආණ්ඩු සමයේ වැඩ නිමවා රජයට බාරදෙන මෙම නිවාස සංකීර්ණය හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා විසින් බාර ගනු ලබන්නේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදීය. ආරබි රජය වෙනුවෙන් ආරබි තානාපති වරයා සහභාගිවන මෙම උත්සව අවස්ථාවේ දී නිවසක යතුරක් බාරදීමෙන් නිවාස සංකීර්ණය ලංකා රජයට බාරදීම සංකේතවත් කර ඇත. නොරරොච්චලේ ගම්මානයේ සෑම නිවසකම යතුරු පෙට්ටියක දමා තබා ඇත්තේ අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ය. හිටපු ජනපති වෙනුවට අලුත් ජනාධිපති වරයෙකු පත්ව ඇතත් මිරානගර්හි රිනෝසා ඇතුළු නිවාසලාභීන් තවමත් ජීවත්වන්නේ කුලී නිවෙස්වලමය.
කඩවුණු පොරොන්දුමේ අසාධාරණයට එරෙහිව රිනෝසා ඇතුළු අවතැන් වූවෝ ගෙවුණු දොළොස් වසරක කාලය තුළම අරගල කළෝය. ”පසුගිය ආණ්ඩුව තියෙද්දී අපි ගෙවල් ඉල්ලලා අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුවා. දින තුනක් අපි මහ පාරේ උයාගෙන කාලා ගෙවල් දෙන්න කියලා ඉල්ලීම් කළා. ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අපිට නිවාස ස්ථීරවම ලබාදීමට කටයුතු කරන බව පැවසුවා. අපි පාරෙන් නැගිට්ටා. ඒත් ටික දිනකින් එතුමාට මාරුවක් ලැබිලා අම්පාරෙන් ගියා.”
”අක්කරපත්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි අතාවුල්ලා. එයා පසුගිය රජයේ ප්‍රබල ඇමති තනතුරු දරුවා. එයා ළගට ගියපු හැම වෙලාවකම අපට කිවිවේ සෞදි අරාබි ගෙවල් ගැන කතා නොකර වෙන ඕන දෙයක් ගැන කතා කරන්න කියලා. ඉන්න හිටින්න තැනක් නැති අපි ගෙවල් ගැන කතා නොකර වෙන මොනව ගැන කතා කරන්නද? මහ ඡන්දයට කලින් දයා ගමගේ මහත්තයා ආවා හෙලිකොප්ටරයෙන්. අපෙන් ඇහුවා මොනවද ඕනි කියලා. අපි කිව්වේ අපිට ගෙවල් දෙන්න කියලා. මට ඡන්දෙ දෙන්න මම ගෙවල් දෙනව කිව්වා. ඊට පස්සෙ ආයෙ දැක්කෙ නැහැ. අපි රැවටුණා. කාගේ වුවමනාවකට මේ ගෙවල් ටික නොබෙදා ඉන්නවද දන්නෑ. ගෙවල් නැති මිනිස්සු කොච්චර ඉන්නවද. අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කර ගන්න බැරි රටක් මේක. ගෙවල් ටික දෙනවද නැද්ද කියලා ස්ථීරවම අපිට කියනවනම් ඒකත් අපට හිතට සහනයක්.”
නිවාස අමාත්‍යංශයෙන් ලෝකෙට ණය වෙමින් නිවාස සාදද්දි කිසිදු වියදමක් නොමැතිව සාදා පරිත්‍යාග කළ නිවාස 500ක් බෙදා දීමට නොහැකි වීම තක්සේරු කළ නොහැකි තරමේ අපරාධයකි.
බලධාරීන්ගේ පිළිතුරුමේ නිවාස සංකීර්ණයේ භාරකාරත්වය පැවරී ඇත්තේ අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතාටය. නිවාස බෙදා නොදෙන්නේ මන්දැයි අපි ඔහුගෙන් විමසුවෙමු.
”මේ නිවාස බෙදා දීම සංකීර්ණ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. කාලයක් ඉදලා විවිධ උත්සහයන් අරගෙන තිබෙනවා නිවාස බෙදන්න. නමුත් යම් යම් හේතුන් මත කඩාකප්පල් වෙලා තියෙනවා. මා දැන් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පවතින අපහැදිලිතා මග හරවා ගැනීම සදහා නීතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා. මේ නිවාස බෙදාදීමට නිවැරදි පදනමක් සකස් කර ගත යුතුයි. කුමන හෝ එක් පදනමක් මත මේ නිවාස බෙදා දෙන්නැයි මට උපදෙස් ලබා දෙනවානම් මා පසු දිනම නිවාස බෙදීමට කටයුතු කරනවා ”
අවතැන් ජනතාව පවසන්නේ මේ වර්ෂයේ දෙසැම්බර් 31ට පෙර මෙම නිවාස බෙදා දෙන ලෙස වත්මන් ජනාධිපතිවරයා දැනුම්දී තිබෙන බවකි. එහෙත් ඒ ගැන විමසූ වට දිසාපතිවරයා ස්ථිරවම පැවසුවේ මේ මස 31 වැනිදාට පෙර නම් නිවාස බෙදා දීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.
යුද්ධයෙන් පසුව සංක්‍රාන්තික යුක්තියේ කාලය ගෙවමින් පවතී. යුද්ධය නිසා විවිධ ජන කොටස් අතර ඉරි තැළුණු හදවත් සුවපත් කිරීමට, නොරොච්චලේ ගම්මානය කදිම සංකේතයක් කර ගත හැකිය. ප්‍රදේශයේ සාමය මෙන්ම ජාතික සමගිය, සංහිදියාව ගොඩනැංවීමටත් සුදුසු මේ ගම, ජනතා අයිතියට පත් නොකරන්නේ කවර නම් අහේතුවකටදැයි රිනෝසා ඇතුළු අවතැන් ජනතාව ප්‍රශ්න කරති.