Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අවසන් ගමන සුපසන් කරන
රුවන්වැල්ලේ කුමාරිකාව

ඇය කෙතරම් නිර්භීතද යත්, එය අන්‍යයන් බියට පත් කරනසුලූය. තවමත් විසි දෙහැවිරිදි තරුණියක වන ඇය ස්ත්රීරත්වය පිළිබඳ සාම්ප්රැදායික මිනුම් දඬු අභියෝගයට ලක් කරන්නීය.

24.12.2016  |  
රත්නපුර දිස්ත්‍රික්කය
ඇය, මෙරට සිටින ළාබාලතම අවමංගල්‍ය අධ්‍යක්ෂවරියයි

ඇය සියුම් ලෙස සැත්කම්හි යෙදෙන්නී, සිය වෘත්තීය ගෞරවයද ඊට අදාළ ඉහළම ප‍්‍රමිතීන්ද රකිමිනි. විරූපි වී ගිය වේදනාබර මුහුණුවලට ඈ යළි ජීවය කවන්නී, ඒ මුහුණුවල උපශාන්තම ඉරියව් යළි ඉස්මතු වන පරිද්දෙනි. එහෙත් ඇය ශල්‍ය වෛද්‍යවරියක හෝ රූපලාවණ්‍ය ශිල්පිනියක නොවූවාය. සමාජයේ මිනුම් දඬු කෙබඳු වුවද ඒ කවර හෝ වෘත්තියකට නොදෙවෙනි තරම් වැදගත් සේවාවක නිරත ඇය, මෙරට සිටින ළාබාලතම අවමංගල්‍ය අධ්‍යක්ෂවරියයි.

එන්.ඒ.කේ. දිනුෂා කුමාරි තවමත් විසි දෙහැවිරිදි තරුණියකි. එහෙත් ඇගේ වෘත්තීය පළපුරුද්ද වසර කීයක් දැයි ඇයටවත් හරි හැටි කිව නොහැකිය. එතරම් ළා බාල තරුණියක මෙවැනි අභියෝගාත්මක වෘත්තියකට යොමු වූයේ කෙසේද?

ඉංජිනේරු සිහිනය

දිනූෂා, රුවන්වැල්ල රාජසිංහ ක‍්‍රීඩාංගණය අසල පදිංචි මංජුල ජයශාන්තගේත් විනීතා සිල්වාගේත් එකම දියණියයි. ලොකු වුණාම ඉංජිනේරුවරියක වීමේ හීනයක් දිනූෂා සතුව තිබිණි. ඒ නිසාම ඈ පාසල් යන වයසේදීම තාත්තාගේ ගරාජයේ වැඩට උදව් කරමින් කාර්මික වැඩ ඉගෙන ගත්තාය. ඒ අතරම රියැදුරු පුහුණුවද ලැබුවාය. පාසලේ 11 වන වසරට යද්දී සැහැල්ලූ වාහන මෙන්ම බර වාහන, බැකෝ යන්ත‍්‍ර ඇතුළු ඉදිකිරීම් යන්ත‍්‍ර සූත‍්‍ර හසුරවන ආකාරයත් නඩත්තු කරන ආකාරයත් ඉගෙන ගත්තාය. ගරාජය පවත්වාගෙන යෑමට අමතරව දිනූෂාගේ පියා රුවන්වැල්ල සමුපකාර මල්ශාලාවේද සේවය කළේය. එහිදී සිය පියා සිරුරු එම්බාම් කරන ආකාරයත් ඒවා සකස් කරන ආකාරයත් දිනූෂා දැකගත්තාය. එම කටයුතුවලට ඇයද උදව් කළාය. ඉංජිනේරුවරියක වීමේ සිහිනය දිනූෂාට මඟහැරුණි. එනමුදු ඉංජිනේරුවරයකු ලබන වැටුපටත් වඩා ඉහළ ආදායමක් ඇය මාසිකව උපයන්නීය.

 මල් ශාලාවකට අයත් සියලූ කුදු-මහත් කටයුතුවලට අමතරව අවමංගල රථයේ රියැදුරුවරිය ලෙස කටයුතු කරන්නීද ඇයයි.
මල් ශාලාවකට අයත් සියලූ කුදු-මහත් කටයුතුවලට අමතරව අවමංගල රථයේ රියැදුරුවරිය ලෙස කටයුතු කරන්නීද ඇයයි.
වෘත්තීය ජීවිතය

2009 වසරේදී රුවන්වැල්ල මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කළ ඇය, එතැන් සිට ‘රුවන්වැල්ල කුමාරි මල් ශාලාවේ’ හිමිකාරිය ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. සිරුරු  එම්බාම් කිරීමේ සිට මල් ශාලාවකට අයත් සියලූ කුදු-මහත් කටයුතුවලට අමතරව අවමංගල රථයේ රියැදුරුවරිය ලෙස කටයුතු කරන්නීද ඇයයි. අපේ රටේ සාමාන්‍ය කාන්තාවන් ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, රූපලාවණ්‍ය කටයුතු මංගල කේක් නිර්මාණ යනාදී කටයුතුවල නියැලූණත් ‘පිරිමි කරන රැකියා’ ලෙස වර්ග කර ඇති රැකියාවල නිරත වීමේ අභියෝග භාරගන්නේ අල්ප වශයෙනි. ඒ අතරිනුත් මළ සිරුරු එම්බාම් කිරීමේ කටයුත්ත සමාජ පිළිගැනීම් අනුව අතිශය අභියෝගාත්මක එකකි. නමුදු මේ විසි දෙහැවිරිදි කෙල්ල එකී අභියෝගයෙන්ම ජීවිතය හැඩගස්වාගෙන ඇත.

”මම උපදිනකොටත් අපේ තාත්තා වැඩ කළේ රුවන්වැල්ල සමුපකාර මල්ශාලාවේ. මම පුංචි කාලේම තාත්තාගේ වැඩවලට උදව් කළා. සිරුරු එම්බාම් කරන හැටි මම ඒ දවස්වලම දැක්කා. ඒ නිසා මේ රැුකියාව තෝරගන්න මට චකිතයක්, බයක්, සැකයක් ඇති වුණේ නෑ. ඉස්කෝලේ යන කාලේම මම තාත්තගෙන් එම්බාම් කරන වැඩ ඉගෙන ගත්තා. ඉස්කෝලෙන් අවුට් වෙද්දි මට මේ රැකියාව කරන්න හොඳ පුහුණුවක් තිබුණා. මගේ වයස අවුරුදු විසිදෙකට මම මෘත ශරීර හැටපහක් විතර එම්බාම් කරලා තියෙනවා. හැමෝම කැමැතියි තමන්ගේ මිය ගිය ඥාතියාගේ අවසන් කටයුතු ලස්සනට කරන්න. මෘත ශරීරය වුණත් ජීවත් වෙලා හිටි කාලේ තිබුණු රූප සොබාවෙන්ම පෙට්ටියේ තියෙනවා  දකින්නත් කැමැතියි. ඉතින් මං ඒ කටයුත්ත ලස්සනට ඉටු කරන නිසා හැමෝම මට කැමැතියි. මළ ගෙයක් වෙච්ච ගමන් ඒ අය මාව හොයාගෙන ගෙදරට එනවා.”

ගෘහාශ‍්‍රිත මල් ශාලාව

සිය පියා සමඟ දිනූෂා කුමාරි අවමංගල්‍ය සේවාව  පවත්වාගෙන ගියේ රුවන්වැල්ල නගරයේ සමුපකාර මල්ශාලාවේ වුණත් අධික බදු කුලී ගෙවීමට සිදු වීම නිසා එහි තිබූ ආම්පන්න සියල්ලම දැන් තිබෙන්නේ දිනූෂා කුමාරිගේ නිවසේය. ගරාජය පවත්වාගෙන යන්නේද ඊට යාබදවය. ඇතැම් විට එය ලංකාවේ ඇති එකම ගෘහාශ‍්‍රිත මල් ශාලාව වන්නට පුළුවන.

”මීට අවුරුදු කිහිපයකට කලින් තාත්තාගේ වැඩවලට මම උදව් කළා. අද මගේ වැඩවලට තාත්තා උදව් කරනවා. අම්මත් උදව් කරනවා. මල්ශාලාවක තියෙන්න  ඕන බඩු ගෙදර තියෙනවා දැක්කම සමහරු බය වෙනවා. වාහනයක් හදාගන්න ආවත් ගෙදරට ටිකක් දුරින් ඉඳලා තමයි කතා කරන්නේ. සමහරු ඒ තරමට මිනී පෙට්ටියටත් බයයි.” දිනූෂා කියන්නේ සිනාසෙමිනි.

එය ලංකාවේ ඇති එකම ගෘහාශ‍්‍රිත මල් ශාලාව වන්නට පුළුවන
එය ලංකාවේ ඇති එකම ගෘහාශ‍්‍රිත මල් ශාලාව වන්නට පුළුවන

සිය දියණිය මේ රැකියාවට යොමු වීම පිළිබඳව ඇගේ මවගේ ප‍්‍රතිචාරය කුමක් වනු ඇත්ද? විනීතා සිල්වා මහත්මියගෙන් අප ඒ ගැන ඇසුවේ, පිළිතුර කුමක් වේදැයි කුතුහලයෙනි.

”කිසිම ප‍්‍රශ්නයක් නැහැ. අපිට පුතෙක් හිටියා නම් මේක කරන්නේ එයා. ඒත් අපිට ඉන්නෙ දුවෙක්. ඉතින් ඒක එයා තෝර ගත්තා. තාත්තාගේ අත්දැකීම් එක්ක එයාට ලොකු හයියක් තිබුණා. දැන් තාත්තා ගැරේජ් වැඩ කරනවා, දුව මල්ශාලාව පවත්වාගෙන යනවා. දුවට ගැරේජ් වැඩ පුළුවන් නිසා අවමංගල කටයුතු නැති දවස්වලට වාහනවල වැඩ තියෙනවා. අපි කාටවත් ණය නැහැ. අපිට ජීවත් වෙන්න පුළුවන් ආදායමක් කොහොමටත් ලැබෙනවා. ඇත්තෙන්ම මේක රැකියාවකට වැඩිය සේවාවක්. ඒකට හොඳ කැපවීමක් අවශ්‍යයි. දුවට ඒ සියල්ලම තියෙනවා”

බය නැත්නම් බලන්න

දිනූෂා කුමාරිගේ පියා මංජුල ජයශාන්ත සිය දියණියගේ හපන්කම් ගැන කීවේ මෙවැන්නකි. ‘‘ඉස්කෝලේ දෙකේ තුනේ වගේ වයසෙදි, මම මිනී එම්බාම් කරනවා එයා දැක්කා. බය නැත්නම් බලාගන්න කියලත් මම කියලා තියෙනවා. එයා ඔක්කොම තේරුම් ගත්තා. හොල්මන්, අවතාර, සද්ද බද්ද ගැනත් මැරුණු මිනිස්සු ගැන තියෙන මිථ්‍යා මතත් බොරු කියලා එයා තේරුම් ගත්තා. අපි හැමෝම මැරෙන බව දන්නවා නම් අපි මොකටද බය වෙන්න  ඕන? දැන් අපේ දුව මිනිය එම්බාම් කරලා ඒක සරසලා හර්ස් එකෙන් මහරෑ ඒක ඥාතීන්ට භාරදෙන්නත් තනියම යනවා. ගෙවල්වල මිනිස්සු පුදුම වෙනවා. අඬ අඬ ඉන්න අය මෙයා දැක්කම ඇඬීමත් නතර වෙනවා! මේ තරම් ළාබාල කෙල්ලෙක් කොහොමද මෙහෙම වැඩ කරන්නේ කියලා සමහරු පුදුම වෙනවා. ඉතින් මට ආඩම්බරයි මෙයා මේක රස්සාව කරගත්තට.

ජීවිතයේම කොටසක්

‘ඔබට අමතක නොවන සිදුවීම් මොනවාදැයි’ සිනමා තාරකා සමග සම්මුඛ සාකච්ඡා කරන මාධ්‍යවේදියෝ  නොවරදවාම ප‍්‍රශ්න කරති. ඒ ප‍්‍රශ්නය අපට ඇයගෙන්ද අසන්නට සිතිණි.

‘‘මම කොහොමටවත් කුඩා දරුවන් එම්බාම් කරන්නේ නැහැ. ඒක හරි සංවේදියි. වතාවක් මගේ යාළුවෙකුගෙ ඉල්ලීම නිසා අවුරුදු 15ක දැරියකගේ සිරුරක් එම්බාම් කරන්න මට සිද්ධවුණා. ඒත් එදයින් පස්සේ කුඩා දරුවන් හෝ ළමයි එම්බාම් කරන්නේ නෑ කියලා මම හිතා ගත්තා. ඒ හැඟීම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ.” ඇය දුක්මුසුව පැවසුවාය.

”හැම එකක්ම අමතක කරන්න බැහැ. නමුත් ජීවත් වෙලා ඉඳිද්දී වස්තරයක්වත් නොදීපු අය ඒ මනුස්සයා මැරුණට පස්සේ ලස්සනට සරසන්න  ඕන කියලා කිව්වම ඒක විහිළුවක්. මළමිනී එක්ක හැප්පුණාම බය නැද්ද කියලා මගේ යාළුවෝ මගෙන් නිතරම වගේ අහලා තියෙනවා. ඒත් මම එම්බාම් කරපු එක මනුස්සයෙක්වත් මට හීනෙන්වත් පෙනිලා නෑ. මැරුණු මිනිස්සුන්ගෙන් කරදර සිදු වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න අයට විතරයි. මිය ගිය සෑම මිනිහෙකුටම ගෞරවයක් තියෙන්න  ඕනෑ. මම වැඩ කරන්නේ ඒක සිහියේ තියාගෙන.”

දිනූෂා මව සහ පියා සමඟ
දිනූෂා මව සහ පියා සමඟ

දිනූෂාගේ මාසික ආදායම කීයක් විතරද? රැකියාව ගැන ඇය කෙතරම් තෘප්තිමත්ද?

මම ලක්ෂ දෙකහමාරකට වැඩිය උපයනවා. සාමාන්‍යයෙන් මාසෙකට සිරුරු 10-15 විතර එම්බාම් කරනවා. මමයි, අම්මයි, තාත්තයි විනෝද ගමන් යනවා, වන්දනා ගමන් යනවා. මම සමාජ සේවා කටයුතුවලටත් උදව් කරනවා. අවමංගල කටයුතු කරගන්න තරම් වත්කමක් නැති අයට මම උදව් කරලා තියෙනවා. වාහනයක් ගන්න අදහසක් තියෙනවා. ඒ වගේම මල්ශාලාවක් අලූතින් ඉදිකරන්න ඉඩමක් මිලදී ගන්නත් හිතාගෙන ඉන්නවා. මම තේරුම් ගත් කෙනෙක් එක්ක විවාහ ජීවිතයක් ගත කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අම්මටයි, තාත්තටයි ඉන්න එකම පුතාත් දුවත් මම. ඒ දෙන්නා රැුක බලා ගැනීමේ වගකීමක් මට තියෙනවා.”

ජීවිතය දැකීම

ව්‍යාපාරික ඥානයෙන් මෙන්ම ජීවිතාවබෝධයෙන්ද ඇය පොහොසත්ය. ඈ සිය දැක්ම අප හමුවේ අපූරු ලෙස පිඬු කර කීවාය. ‘‘කොයිතරම් ධනවතෙක් වුණත් අන්තිමේදි අරන් යන්නේ සම්පූර්ණ නැති ඇඳුමකුයි, බෙලෙක් තහඩු කීපයකුයි, සිල්ක් රෙදි කෑලි, ඉටිරෙදි, මේස්, පරවුණු මල් සහ පාට කරන ලද ලී කැබලි ගොඩකුයි විතරයි. මේ රස්සාව කරන නිසා මං ඒක හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. ජීවත් වෙන්න ප‍්‍රමාණවත් මුදලක් තිබුණම ඇති. නමුත් හැමෝම ජීවිතේ තමන්ට ලැබෙන අන්තිම තත්පරය දක්වාම ජීවත් විය යුතුයි! සතුටින් සිටිය යුතුයි. මං මේ රස්සාව කළාට මිනිස්සු මැරෙන්න කියලා උදේට පහන තියන කෙනෙක් නෙවෙයි.”

ඡායාරූප‍ : අජිත් සෙනෙවිරත්න