සිප්පිකටු අළු කරන
අරුලම්මා
සිප්පිකටු පුළුස්සා අළු නිපදවීම, මඩකලපුව ප්‍රදේශයේ පාරම්පරික කර්මාන්තයකි. මඩකලපුවේ ආරියම්පති ගම්මානයේ, තම්බිරාසා අරුලම්මාගේ දිවි පෙවෙත ඒ කර්මාන්තය හා බැදී පවතී.
මුහුදු වෙරළට යන කුඩා දරුවන් සේම වැඩිහිටියන්ද වැල්ලේ ඇති සිප්පි කටු ඇහිදින්නේ තරගයට මෙනි. එය වචිත්‍ර ලෝකයක අතරමං වීමක් වැනිය. විවිධ හැඩයේ සිප්පි කටු සොයමින් වැල්ලේ දුවපනින, තමන් ඇහිදගත් සිප්පි කටු එකිනෙකාට පෙන්වමින් ඔද වඩවන ඒ අපූරු මොහොත සියලු උස් මිටිකම් තුනී කරන මොහොතකි.
මඩකලපුවේ ආරියම්පති ගම්මානයේ ජීවත්වෙන තම්බිරාසා අරුලම්මාද සිප්පි කටු එකතු කරන්නියකි. එහෙත් ඒ විනෝදයට නම් නොවේ. මඩකලපුව කල්මුණ ප්‍රධාන බස් මාර්යට යාබදව ජීවත් වන අරුලම්මා සිප්පි කටු එකතු කරගෙන ගොස් තම ගෙවත්තේ තබා ඇත්තේ තම දියණිය සහ දියණියගේ එකම දරුවා ජීවත් කරවීමටය.
සිප්පි කටු හා බැදුණු ඇගේ ජීවන වෘත්තිය වෙහෙසකර එකකි.
මුහුදු දිය මත කිමිදි සිප්පි කටු ගොඩ ගන්නා මිනිසුන්ගෙන් කිලෝ එකක් රුපියල් දෙසීයක මුදලකට මිලදී ගන්නා අරුලම්මා තමන් ගෙවත්තේ තනා ගෙන ඇති දර පෝරණුවට දමා ඒවා පුළුස්සා ගනී. ඒ අළු පැකට් කරන ඇය, මඩකලපුව ආරියම්පති 4 කණුව ප්‍රධාන මාර්ගය අයිනේ තබාගෙන අලෙවි කරයි. ජීවත්වීමට වෙනත් පහසු මගක් නොමැති ඇයට තම වයස ගැනද නොසිතා මෙතරම් වෙහෙසකර ජීවන අරගලයක නිරත වීමට සිදුව ඇත්තේ පවුල් දෙකකම බර දැරීමට සිටි පුද්ගලයන් ඔවුන්ගෙන් වෙන්ව යෑමෙනි.
මාර්ගය අයිනේ පුටුවක් තබා වාඩි වී තම මුණුබුරාද තුරුළු කර සිටි අරුලම්මා, මා එහි යන විට පුටුවෙන් නැගිට්ටේ හුණු ගන්න එන කෙනෙකු යැයි සිතාය. හුණු ගන්න නොපැමිණි බවත් හුණු හදන ආකාරය දැන ගැනීමට පැමිණි බවත් කී විට, සිනහමුසු මුහුණින් යුතුව මා හුණු පොරණුව අසලට කැදවාගෙන ගිය ඇය කතාව අරම්භ කළාය.
”අපි මේක කරන්නේ පරම්පරාවෙන්. මගේ මහත්තයා මේ රස්සාව කළා. එයා නැති වුණාට පස්සේ තමයි මම මේ රස්සාව කරන්න පටන් ගත්තේ.”
මඳ විරාමයකින් පසුව ඇය මෙසේද කීවාය.
”මගේ වයස අවුරුදු හැත්තෑ හතක් වෙනවා. මම මේ රස්සාව කරන්නේ පුළුවන් කමකට නොවෙයි. ජීවත් වෙන්න වෙනත් මගක් නැති නිසා. පිරිමියෙකුටත් මේ රස්සාව කරන්න අමාරුයි. ඒත් මේ පුංචි දරුවා හින්ද තමයි මේ දුක් විදින්නේ. මේ ඉන්නේ මගේ දුවගේ පුතා. මේ දරුවගේ තාත්තා මගේ දුව දාලා ගියා. දැන් මගේ දුවටයි මේ අහිසංක පොඩි දරුවටයි සලකන්න ඉන්නේ මම විතරයි.”
ඇය හුණු බෑග් එකක් විකුණන්නේ රුපියල් තුන්සියයකටය. ඇය නිපදවන හුණුවලට හොද ඉල්ලුමක් තිබේ. එහෙත් ඒ ඉල්ලුම සපුරාලීමට තරම් නිෂ්පාදනය කිරීමට ඇයට හැකියාවක් නැත.
”මේක පුදුම දුකක් විදින්න ඕන රස්සාවක්. සිප්පි කටු හොයා ගන්න අමාරුයි. මුහුදේ කිමිදිලා තමයි සප්පි කටු ගොඩට ගන්නේ. ඒ වගේ කිමිදෙන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයත් සෑහෙන මහන්සියක් වෙනවා. දැන් ඉස්සර තරම් සිප්පි කටු වැල්ලට එන්නෙත් නැහැ.” අරුලම්මා පැවසුවාය.
ඇය නිරත කර්මාන්තය ක්‍රමයෙන් අභාවයට යමින් තිබේ. එහෙත් මුණුබුරා ලොකුමහත් වන තුරු ඇය එහි නිරත විය යුතුය. කොපමණ අපහසුතා තිබුණත් ඇය කිසිවෙකුගෙන් ආධාර උපකාර නොඉල්ලයි. තවමත් ඇය සිය කායික ශක්තිය පිළිබද ඇත්තේ දැඩි විශ්වාසයකි.