Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ආගමික, ජාතික සංහිඳියාවේ තෝතැන්න
පේරාදෙණිය සරසවිය

මල් ලියකම් සත්ප්‍රාසාද අතුරින් සියලු ජාතීන්ට එකට එකතු වී ශිල්ප කරන්නට හැකි අපූරු තෝතැන්නක් බවට පේරාදෙණිය සරසවිය පත් කිරීමට සර් අයිවෝ ජෙනිංග්ස් ගත් උත්සාහය පුදුම සහගත ය. ශ්‍රී ලංකාවේ ස්ථාපිත දසපන් සරසවි ගොන්න අතරින් සංහිඳියාවට මඟ කියන සරසවියක් වන්නේද, ඒ පේරාදෙණිය සරසවියම ය. එයට නිදසුන් සපයන්නේ එහි ඉදි කර තිබෙන සියලු ආගමික මධ්‍යස්ථානයි. 

10.11.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය

ප්‍රේමය සිහිනයක් කරගත් පෙම්වතුන්ට පමණක් සීමා නොවුණු පේරාදෙණිය සරසවිය නම් මෙම අපූරු සිප්හල තුළ සියලු ජාතීන්, ආගම්  නියෝජනය කරනු ලබන සිසුන් අතර ද ආගමික සංහිඳියාව ජාතීන් අතර සංහිඳියාව ද වැඩීමේ අපූරු තෝතැන්නක් වී ඇත්තේ වෙනත් විශ්වවිද්‍යාල තුළ නොදකින ආකාරයේ සියලු ජාතීන් ආගම් නියෝජනය කරනු ලබන සිසු සිසුවියන් එකට ගැටුමකින් තොරව ජීවත්වීමේ බහු ආගමික පරිසරයක් ගොඩනඟා තිබීම තුළ ය.
මුස්ලිම් පල්ලියක්, ක්‍රිස්තියානි පල්ලි දෙකක්, බෞද්ධ විහාරයක් හා හින්දු කෝවිලකින් ද සමන්විත මෙම විශ්වවිද්‍යාලය තුළ ආගමික උත්සව පවත්වන අවස්ථාවන්හි ඒ සඳහා සහභාගි වන්නේ ඒ ඒ ආගම් පමණක් අදහන සිසු පිරිස් පමණක් නොවේ. අනෙක් ආගමික ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් කෝවිලේ වැඩකටයුතුවලට පන්සලේ ශ්‍රමදානයකට මැදිහත්වෙමින් කටයුතු කිරීම මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආගමික සුහදතාව රැඳී තිබෙන්නට බලපා තිබෙන සුවිශේෂී කරුණක් බව මොනවට කියාපාන්නේ ය.
‘’අපි දැකලා නැහැ ආගමික හෝ වාර්ගික ප්‍රශ්නයක් මෙම විශ්වවිද්‍යාලය තුළ’’ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක නිලධාරි මහේෂ් අබේවික්‍රම මහතා  පවසයි.
”ශිෂ්‍යයන් අතර ඇති ගනුදෙනුවලදිත් ශිෂ්‍ය සංගම්වලින් දැනුවත් කිරීම් කළාම දෙමළ සහ ඉංග්‍රීසි බසිනුත් දැනුවත් කිරීම කරනවා.” බහු ජාතීන් ආගම් නියෝජනය කරනු ලබන විද්‍යාර්ථීන් මෙහි අධ්‍යයන කටයුතු සිදුකරනු ලැබුවත්  විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට  ආගමික හෝ වාර්ගික ප්‍රශ්නයක් මෙම විශ්වවිද්‍යාලය තුළ ඇති නොවීම කෙරෙහි මෙම බහු ආගමික පරිසරය බෙහෙවින් බලපා තිබේ.  ”අපි ඉගෙනගන්නා කාලයේ අපි ඇසුරු කළ වෙනත් ආගමික යහළුවන් තවමත් අපිත් එක්ක මිත්‍රත්වයෙන් සිටිනවා. කෝවිලේ උත්සවයක් තිබුණොත් අපිටත් ආරාධනා කරනවා. අපිත් යනවා. බිම වාඩිවෙලා කෙසෙල් කොළයේ ඒ ගොල්ලන්ගේ කෑම කනවා. එවැනි සුහදතාවක් දැනටමත් ඒ අයුරින්ම තිබෙනවා” ඒ  මහේෂ් අබේවික්‍රම මහතාගේ අත්දැකීම වේ.
ලංකාව තුළ තිබෙන බොහොමයක් අධ්‍යාපන ස්ථාන එක ආගමක් තුළ ලඝු වී තිබීම දක්නට ලැබුණත් අධ්‍යාපනික ස්ථානයක් ඒ අයුරින් එක ආගමකට හෝ ජාතියකට  ලඝු කළ හැකිද යන්න තුළ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස පමණක් සීමා නොකොට අනෙකුත් විදෙස් සිසු සිසුවියන්ට ද මෙහි අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවකාශය හා පරිසරය සකසාදී තිබීම තුළ පේරාදෙණිය සරසවිය තුළ දක්නට ලැබෙන බහුවිදතාව විදහා දක්වයි.

“මෙම විශ්වවිද්‍යාලය තුළ ක්‍රිස්තියානි සිසුන්ට නමස්කාර කිරීම සඳහා තමයි මෙම දේවස්ථානය තිබෙන්නෙ. මෙම විශ්වවිද්‍යාලය තුළ ආගමික සමතුලිතතාවයක් තියෙනවා. මෙහි ඉතිහාසයේ සිටම ආගමික සමතුලිතතාවකින් තමයි වැඩ කරගෙන ගිහින් තියෙන්නේ. වර්තමානයේත් ඒ සමබරතාවය රැකගන්නට අපි හැම විටම උත්සාහ කරනවා.
උදාහරණයක් ලෙස අපේ දේවස්ථානයේ වැඩ කටයුතු සිදු කරන විට ක්‍රිස්තියානි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොවෙයි අපි වැඩසටහන් දියත් කරන්නේ.  අනෙකුත් ආගමික ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසාත් අපේ වැඩසටහන් කරගෙන යනවා. ඒ නිසා අපි බොහෝ විට උත්සාහ කරන්නේ ආගමික බෙදීම් ඇති කරන්නට නොව ආගමික සහජීවනය ඇති කිරීම පිණිස කටයුතු කරනවා” යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි චැප්ලන්සියේ කුලාචාර්ය ලලිත් ගුණතිලක පියතුමා කියා සිටි.

කුලාචාර්ය ලලිත් ගුණතිලක පියතුමා සහ දේවස්ථානය

උසස් අධ්‍යාපනය පිණිස දිවයිනේ නන් දෙසින් පැමිණෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ආගමික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන් සැමට විශ්වවිද්‍යාලය තුළ තම ආගම් ඇදහීම පිණිස සම අවස්ථා ලබාදෙමින් සර් අයිවර් ජෙනින්ග්ස්  බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික පූජනීය ස්ථාන එම පරිශ්‍රයේ ස්ථාපිත කරනු ලැබුවේ 1942දී  විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නටත් පෙර ය.
බහු ජාතික හා බහු ආගමික රටක් වන ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජනතාවට සම අවස්ථා ලබා දීම පිණිස විදේශිකයකු වූ සර් අයිවර් ජෙනින්ග්ස් එදා ගත් පියවර  ශ්‍රී ලාංකික ජන සමාජය හොඳින් කියවා බලා ගත් එකක් බව නිදහසින් පසු ගෙවුණු කාල පරිච්ඡේදය තුළ මෙරට සිදු වූ ජාතික හා ආගමික ගැටුම් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙයි.

පසුගිය වසරේ සිය 75 වැනි වසර සැමරූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භක උපකුලපතිතුමා අයිවෝ ජෙනින්ග්ස් මැතිතුමා විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී අප රට තුළ තිබෙන විවිධත්වය පිළිබඳ ජාතික අවශ්‍යතාවන් මැනවින් හඳුනා ගනිමින් කටයුතු කළ බව පෙනී යන්නේ විදේශිකයකු වුවත් සර් අයිවර් ජෙනින්ග්ස්ගේ දුර දක්නා නුවණ තුළ ඕනෑම ආගමික සමාජයක අයෙකුට මෙහි තම ආගමික හා සංස්කෘතිකමය අවශ්‍යතාවන් ඉටුකර දීම සඳහා අවකාශය සලසා තිබීම හේතුවෙනි.

මහචාර්ය මුවඇටගම ඥානානන්ද  නා හිමි සහ වෙහෙර

“මේ  නිසා තමයි මෙම  විශ්වවිද්‍යාලය මේ රටේ ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අපේ රටේ සියලුම ජනවර්ගවලට අයත් දූදරුවන්ට ඉතා උසස් අධ්‍යාපනයක් ලබාදිය හැකි හොඳ සංහිඳියාවකින් යුක්ත අන්‍යෝන්‍ය සහෝදරත්වයෙන් ජීවත්වන ස්ථානයක් බවට අද පත්වී තිබෙන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලය ආරම්භ කළ දා සිටම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආදී සියලු ආගම්වලට අයත් දූදරුවන්ට මේ ආයතනය තුළ තමන්ගේ ආගම අදහගෙන, ආගමික ප්‍රතිපත්ති අනුගමනය කරමින් අධ්‍යාපනය ලබාගන්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීම ඉතා දුරදක්නා නුවණකින් කළ ක්‍රියාවක් බව අපට පේන්නේ පසුගිය දශක කීපය තුළ අපේ රටේ ඇති වෙච්ච සිද්ධි සමාලෝචනය කර බැලුවමයි” යැයි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහචාර්ය මුවඇටගම ඥානානන්ද  නා හිමියෝ වදාළහ.
කොහොමත් තරුණ සිසුන් කැමතියි සාමූහිකත්වයෙන් කටයුතු කරන්න. එවැනි සිසුන් ජීවත් වන මේ ආයතනය තුළ එකිනෙකාගේ  ආගමික තත්ත්වයන් ආගමික පෞද්ගලිකත්වය පදනම් කරගන්නේ නැතිව පොදුවේ මේ කටයුතුවලට සහසම්බන්ධ වීමේ ප්‍රවණතාවක් මේ දරුවන් තුළ තියෙනවා. ඒක ඉතා වැදගත් කාරණයක්.”

කුරින්ජි කුමාරන් කෝවිලේ කනපති සරුජන්  පූජකතුමන්

”පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටලා තිබෙන කෝවිලේ සියලු උත්සවවලට හින්දු අය විතරක් නොවෙයි. සියලු ජාතීන්වල සිසුන් මෙහි එනවා. නවරාත්‍රි පූජාව දවසට මෙහි සිසුන් පිරී සිටිනවා” යැයි කුරින්ජි කුමාරන් කෝවිලේ පූජකතුමන් වන කනපති සරුජන්  පූජකතුමන් පවසා සිටී.
“ඇත්තෙන්ම කිසිදු ජාති භේදයක් මෙහි මම දකින්නේ නෑ. මේක මුස්ලිම් පල්ලියක් වුනාට ලංකාවේ සියලු ආගමික සිසුන් වගේම විදෙස් රටවල සිසුන්ද මෙහාට එනවා. ඔවුන් ඇවිල්ලා මෙහි පිරිසිදු කිරීම් ආදිය සිදු කරනවා. මේ වගේ ආගමික සහජීවනයෙන් යුත් පරිසරයක් ලංකාවේ සෑම පොදු ස්ථානවලම ගොඩනඟනවා නම් මිනිසුන් බෙදී  වෙන් වීම සිදු වෙන්නේ නැහැ” යැයි පේරාදෙණියට විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති මුස්ලිම් පල්ලියේ මෞලවි මොහොමඩ් හිස්බුල්ලා පූජකතුමන් අදහස් පළ කරයි.
‘’සෑම ආගමික නායකයකුම දේශනා කරලා තිබෙන්නේ හොඳින් ජීවත් වීම සඳහා වන මාර්ගයයි. දහම දේශනා කළ ශාස්තෲන් වහන්සේ බෙදා නොගෙන උන්වහන්සේලා දේශනා කළ දහම බෙදා ගන්නවා නම් අර්බුද අඩු වේවි’’ යන්න මොහොමඩ් හිස්බුල්ලා පූජකතුමන්ගේ අදහසයි.

මුස්ලිම් පල්ලියේ මෞලවි මොහොමඩ් හිස්බුල්ලා පූජකතුමන්

සංහිඳියාව සඳහාත් බහුවිදතාව සඳහාත් කදිම නිදසුන් සපයන තෝතැන්නක් වන පේරාදෙණිය සරසවිය 1942 විශ්වවිද්‍යාල සංකල්පය ඇති කරන විට  අයිවර් ජෙනීන්ස් මැතිතුමා, අද අප  මුහුණ දෙන සමාජයේ හැඩතල දකිමින් මෙම සරසවිය ඉදිකරන්න ඇති බවට මෙහි ඇති බහු ආගමික  සංස්කෘතිකමය පරිසරය අනුව විශ්වාස කළ හැකි වේ. එදා එතුමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සැලසුම් කරන විට පන්සල, මුස්ලිම් පල්ලිය, කෝවිල, කතෝලික පල්ලිය සහ ක්‍රිස්තියානි පල්ලිය එකතු කරලා තිබීම තුළින් එය මනාව ගම්‍යමාන වේ.
”විශ්වවිද්‍යාලයේ විවිධ ආගම්, විවිධ ජාතීන්වල පිරිස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට මෙතන ජීවත් වෙනවා. පසුගිය කාලෙ උතුරෙ යුද්ධ, අරගල මොන දේ තිබුණත් ඔවුන් ගැටුමක් නැතිව මේක ඇතුළේ හිටියා. මෙතන දොළොස්දාහක් තරුණ තරුණියො ඉන්නවා නමුත් කිසිදු ගැටුමකින් තොරව සංහිඳියාව ගැන ‍ලෝකෙට හොඳම උදාහරණයක් සපයමින් ඔවුන් කටයුතු කරනවා” යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා කියා සිටී.
”ඒ විදියට තමයි ඉමිටියාස් බකීර් මාකර්ලා, සිංහල මරික්කාර්ලා මේ රටට බිහි වුණේ. පාසල තුළ ඔවුන් සියලු දෙනාගේ සංස්කෘතීන් වැලඳගෙන එක මිනිස්සු විදියට සිටි නිසා. එහෙම නැතිව දෙමළ පාසල්, මුස්ලිම් පාසල් වෙනම තියෙන්න ගියොත් ඒවා තුළ අපි නොදැනුවත්වම අන්තවාදය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා අපිට එකතුවෙලා ඔය පාසල් ක්‍රමය අහෝසි කරලා අපිට පොදුවේ ඉගෙනගන්න පාසලක් තියෙනකොට අපිට දැනෙන්නෙ නෑ වෙනසක්. බහුතරය හැසිරෙන විදියට සියලු දෙනා හැසිරෙනවා. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ ආගම් පෞද්ගලිකව අදහාගන්න පුළුවන්. පොදු ආකෘතියකට අපි ඔක්කොම හුරු වෙලා යනවා.”  යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක පෙන්වා දෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක

ලංකාව තුළ විශ්වවිද්‍යාලයක් නොමැති වකවානුව තුළ මෙහි විශ්වවිද්‍යාලයක් ඇති කිරීම සඳහා නිදහස් සටන මෙහෙය වූ ටී.බී ජයා, ඩී.ආර්. විජේවර්ධන, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් ආරුණාචලම්, ජේම්ස් පීරිස්, අක්බර්, ඩී.බී ජයතිලක ඇතුළු කණ්ඩායම ජාති ආගම් භේදයන් ගැන නොසලකමින් එකට කටයුතු කිරීම නිසාම ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භය සඳහා අඩිතාලම දැමුණි. එංගලන්තයේ විශ්වවිද්‍යාල නියෝජිතයෙකු ලෙස රැජිනගේ උපදෙස් මත සර් අයිවර් ජෙනින්ග්ස් මෙරටට එන්නේ ද ඔවුන්ගේ සාමූහික කැප කිරීම නිසාවෙනි. එමෙන්ම ජාති ආගම් භේදයකින් තොරව ඔවුන් කළ කැප කිරීමට කෘත ගුණ දක්වනු වස් ඔවුන්ගේ නම්වලින් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර නම් කර තිබීමත් විශේෂ කාරණයක් වේ. විශ්වවිද්‍යාල  සමාජ  පරිසරයක් තුළ ආගම් භේදය, ජාතිවාදය උත්තේජනය වෙන්නෙ නැත. දෙමළ අයට දෙමළ ලෙස නොදැනෙන තරමටත් මුස්ලිම් අයට මුස්ලිම් ලෙස නොදැනෙන තරමටත් ඔවුන්ගේ සමාජ පරිසර ගොඩනැඟී තිබේ. එවැනි පරිසරයක් අප රටේ ද හැදිය යුතුය.