Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සිංහල වුණත්, දෙමළ වුණත්
කාගෙ දරුවත් එකයි

”සිංහල ලේත් එකයි, දෙමළ ලේත් එකයි. දරුවො නම් සිංහල වුණත්, දෙමළ වුණත් එකයි. ජාති බේදවලින් වැඩක් නෑ. මේ දෙන්නා අවුරුදු හයක් තිස්සේ කාලයක ඉඳල ජීවත්වුණේ එක බඩ වැල කඩා ගෙන ආ දරුවෝ දෙන්නෙක් වගේ. මේ දෙන්නගෙ අවසාන කටයුතුත් එක තැනක ම කරන්න මං කටයුතු කරනවා‘ යි විශ්ව ජාතියට අයත් ඒ පියා සිය තීරණය තහවුරු කළේ ය.

29.08.2018  |  
හම්බන්තොට දිස්ත්‍රික්කය

මේ තීරණය සඳහා බලපෑවේ ඇඹිලිපිටිය රෝහලේ මෝචරියේ උඩුකුරුව තබා ඇති මෘත ශරීර දෙකකි. එක මෘත ශරිරරයක් සිංහල තරුණයකුගේ ය. අනෙක් මෘත ශරීරය දෙමළ තරුණයකුගේ ය. එම මෘත ශරීර දෙක අසල සිටගෙන සිටියේ සිංහල තරුණයාගේ පියාය. පෙර කී ජීවිතයේ බැරෑරුම් තීරණයට එළැඹියේ ඔහු ය.

මේ තරුණයන් දෙදෙනාම මිය ගියේ යතුරුපැදි අනතුරකිනි. ඔවුන් එක පවුලක සහෝදරයන් සේ උනුනුන් සමඟ බැඳී සිටි හොඳම මිතුරන් ය. සිංහල තරුණයාගේ පියා පත්ව සිටියේ මිතුරාගේ සිරුර තනි කොට, තම පුතුගේ සිරුර අවසන් කටයුතු සඳහා රැගෙන යෑමේ දුෂ්කර මොහොතටය. එවැනි දෙගිඩියාවකට  ඔහුට පත්වීමට හේතුව වූයේ දෙමළ තරුණයාගේ මාපියන් සිය වැඩිමහල් පුත්‍රයා ගේ  දේහය නිවසට රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති නිසා රෝහලේ වියදමින් අවසන් කටයුතු සිදුකරන මෙන් ඉල්ලා තිබීම ය.

පියකුගේ හදවත

අවසානයේ සිංහල තරුණයාගේ පියා වූ නන්දසිරි පෙර කී තීරණය ගත්තේ ය. ඒ එක සිරුරක් නොව සිරුරු දෙකම අඟුණුකොළ පැලැස්සේ පිහිටි සිය නිවසට රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීමට ය.

අඟුණුකොළපැලැස්සේ නාලක ඉරේෂාන් (32) සහ දෙණියාය නෙළුව කඩින්ගල වත්තේ ශිවකුමාර් (19) වෙනුවෙන් එකම මළගෙයක් සංවිධානය වන්නේ එපරිද්දෙනි.

නාලක ගේ මව සහ පියා නන්දසිරි

නාලකට  ශිවකුමාර් හමු වන්නේ මීට වසර 06 කට පමණ පෙර අඟුණුකොළපැලැස්සේ හෝටලයකදී ය. එකල නාලක පෙදරේරුවෙකි, ශිව කුමාර් හෝටලයේ සේවකයෙකි. ඔවුන් කුලුපග මිත්‍රයන් බවට පත්වෙන්නේ ජාතිබේද පදනමින් ඇන කොටා ගනිමින් සිටි සමාජ වටපිටාවක ය. ජාතීන් දෙකකට, ආගම් දෙකකට අයත් ඔවුහු, මිත්‍රත්වය ඒ වෙනස්කම්වලට වඩා බොහෝ ගැඹුරු බැඳීමක් බව පසක් කළෝ ය.

දෙණියාය නෙළුව කඩින්ගල වත්තේ ජීවත්වූ 19 හැවිරිදි  ශිවකුමාර් දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ය. ශිවකුමාර්ගේ මව තෙරේස්වාමි සරස්වතී වතුවල දළු කඩමින්ද, පියා පෙරුමා ශිවකුමාර් කුලී වැඩෙහි නරත වෙමින්ද දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ  දිවි ගෙවූහ. ඔවුන්ට තිබුණේ පහසුකම් රහිත කුලී නිවසකි. මීට වසර කීපයකට පෙර ශිව කුමාර් රස්සාවක් සොයා අඟුණුකොළපැලැස්සට පැමිණෙන්නේ, මාපියන්ගේ බර මඳක් හෝ සැහැල්ලු කිරීමේ අරමුණිනි. ශිව කුමාර්ට නාලක හමුවන්නේ ඒ ගමන නිසා ය.

මගේම දරුවෙක් වගේ

”මේ දෙන්නා අදුනගත්තට පස්සේ ශිව කුමාර් පුතා වැඩිපුර හිටියේ අපේ ගෙදර.  මගේම දරුවෙක් වගේ තමයි ශිවකුමාර් හිටියේ. මීට අවුරුදු තුනක විතර ඉඳලා දෙන්න එකට වැඩ කරන්න ගත්තේ. අපේ පුතා මේසන් බාස් කෙනෙක්. ශිවකුමාර් එයාගේ උදව්වට ගියා. එහෙම ඉන්න ගමන් තමයි දෙන්න කොළඹට බිල්ඩිමක් හදන තැනක වැඩට ගියේ.

ශිවකුමාර්ගේ මව තෙරේස්වාමි සරස්වතී හා පියා පෙරුමා ශිවකුමාර්

ඔවුහු එක බත් පත බෙදාගෙන කෑවෝය. එකට ගමන් ගියෝය. දෙමළ වූ පමණින්ම සැකයට ලක් වන නන්නාඳුනන නගරයක තම පුත්‍රයා ආරක්ෂා කරන සිංහල මිතුරකු සිටීම ශිවකුමාර්ගේ මාපියන්ටද සහනයක් විය.

‘’අපේ පුතයි නාලක පුතයි දෙන්න එකටම තමයි හිටියේ. ගිය මාසෙත් මගේ පුතා නාලක පුතත් එක්ක අපේ ගෙදර ඇවිල්ල ගියා. අපි දුප්පත් කියලවත් දෙමළ කියලවත් අපිට මේ දරුව හරි එයාගෙ අම්මලා තාත්තලා හරි කිසිම වෙනසක් කළේ නෑ.’’ ශිවකුමාර්ගේ මව වූ තෙරෙසාමි සරස්වතී පැවසුවාය.

අවසන් ගමන

මේ මිතුරන් දෙදෙනා   පසුගිය 25 වැනිදා  අඟුණුකොළපැලැස්ස නාලකගේ නිවසට පැමිණෙන්නට තීරණය කළේ පෝය දිනය නිසා  මාපියන් බලා යන්නට ය. ශිවකුමාර්ද පිටුපස නංවා ගෙන නාලක ධාවනය කළ  යතුරු පැදිය ඇඹිලිපිටිය ගොඩකවෙල ප්‍රදේශයේදී අනතුරකට ලක්වන්නේ ඒ අතර ය. කිසිවකු නොසිතු අයුරකින් මේ අපූරු මිතුදමේ අවසානයද එතැන ලියැවී තිබිණි.

‘’ මගේ පුතා මැරුණට පස්සේ එයාගේ මරණය අපේ ගෙදරට ගෙනියන්න විදිටක් තිබුණෙ නෑ. මොකද අපි ජීවත්වෙන්නේ පොඩි කුලී ගේක. අපිට මරණය ගෙදර ගෙනියගන්නවත්, ගෙනහින් තියන්නවත්, ඒවට වියදම් කරන්නවත් පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒ නිසා තමයි අපි පුතාගෙ අවසන් කටයුතු ස්පිරිතාලෙදි කරන්න කියල ඉල්ලුවේ. ඒත් නාලක පුතාගේ තාත්තා එකට ඉඩ දුන්නේ නෑ මරණ දෙකම අඟුණුකොළපැලැස්සෙ එයාලගේ ගෙදර ගෙනිහින් සියලු කටයුතු කටයුතු කළා. අපිට කිසි දෙයක් කරන්න ඉතිරි කළේ නැහැ. ’’

ශිවකුමාර්ගේ පියා වූ පෙරුමා ශිවකුමාර් කියා සිටියේය.

සිරුරු දෙකම අඟුණුකොළ පැලැස්සේ පිහිටි නිවෙසේ

සිංහල – දෙමළ හදවත් යාකරමින් ජීවත්වූ ශිවකුමාර් හා නාලක, දහසකුත් දෙනාගේ හදවත් කම්පා කරමින් පසුගිය 29 වැනි දා අඟුණුකොළපැලැස්ස පොදු සුසාන භූමියේදී  එකම වළක මිහිදන් කෙරුණේ ජාතිවාදය ආගම්වාදය මුල් කර ගනිමින් ගැටුම් ඇති කරගෙන ජීවත් වන සියලු දෙනාට සංහිඳියාවේ අරුත පැහැදිලි කරමිනි.