Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දැන උගත් බුදු බණ දෙමළෙන් දෙසන
රාහුල සමිඳු මන නඳ

හින්දු කෝවිලකට පිරිසක් එක් රැස් වීම පුදුමයට කරුණක් නොවුණ ද, ඒ මොහොතේ එහි සිදු වෙමින් තිබුණේ සුවිශේෂී දෙයකි. වෙනදා ඉන් ඇසෙන වේද මන්ත්‍ර ගායනා වෙනුවට කෝවිලෙන් ගලා ආයේ බුදු ගුණ වර්ණනාවකි. එම දෙසුම පවත්වමින් සිටියේ බෞද්ධ භික්ෂුවකි. එය ද දෙමළ බසිනි.

18.08.2018  |  
රත්නපුර දිස්ත්‍රික්කය

ඒ 2017 දෙසැම්බර් මාසයේ එක්තරා දිනයකි. මහනුවර ගලහ හින්දු කෝවිල් බිම අතුරු සිදුරු නැති ව පිරී ගොසිනි. හින්දු කෝවිලකට පිරිසක් එක් රැස් වීම පුදුමයට කරුණක් නොවුණ ද, ඒ මොහොතේ එහි සිදු වෙමින් තිබුණේ සුවිශේෂී දෙයකි. වෙනදා ඉන් ඇසෙන වේද මන්ත්‍ර ගායනා වෙනුවට කෝවිලෙන් ගලා ආයේ බුදු ගුණ වර්ණනාවකි. එම දෙසුම පවත්වමින් සිටියේ බෞද්ධ භික්ෂුවකි. එය ද දෙමළ බසිනි. එහි අනෙක් විශේෂත්වය වූයේ මෙම දම් දෙසුම සංවිධානය කළේ  ඒ ගලහ හින්දු කෝවිලේ පූජකකාරකකාදීන් වීම ය.

දේශකයාණන් වහන්සේ නමින් බගවන්තලාවේ රාහුල හිමියන් ය.මීට වසර කීපයකට පෙර මහේෂ් ශර්මා නැමති නාමයෙන් කටයුතු කළ හින්දු ආගමික පූජකයෙකි.

එදා බලංගොඩ පින්නවල ශ්‍රී කාරුමාර් අම්මාන් කෝවිලේ සිට හින්දු බැතිමතුන් වෙනුවෙන් ආගමික සේවාවේ නිරතව සිටි උන්වහන්සේ අද නමින් බගවන්තලාවේ රාහුල නමින් බුදු දහමේ අනුසස් වදාරමින් වැඩ වෙසෙති.

බගවන්තලාව සෙල්වකන්ද වත්ත ප්‍රදේශයේ ජීවත් වූ  කන්ද ස්වාමී සුභ්‍රමනියම් සහ සරෝජා දේවිගේ බාලපුත්‍රයා ලෙසින් මහේෂ් ශර්මා 1988 වසරේදී උපත ලබන්නේ පවුලේ තෙවැනි දරුවා ලෙසිනි. ඒ වන විට මහේෂ් ශර්මාට වැඩිමහල්ව  සිටියේ අයියා සහ අක්කා යන දෙදෙනා ය. මහේෂ් ශර්මාට වයස අවුරුදු 08 දී පමණ තම පියා (අප්පා) වූ කන්ද ස්වාමී සුභ්‍රමනියම්ගේ සෙනෙහස අහිමි වූයේ  ඔහුගේ වියෝවත් සමඟ ය.

පියාගේ වියෝවත් සමඟින් පවුලේ බර තනියම කරට ගැනීමට සිදුවුයේ මහේෂ් ශර්මාගේ අම්මා වූ  සරෝජා දේවිට ය. වත්තේ තේ දළු  කඩමින්  දරුවන්ගේ ජිවිත සුරක්ෂිත කිරීමට කටයුතු කළ ඇය, දරුවන් අධ්‍යාපනය කරා යොමු කිරීමට ද වග බලා ගත්තා ය. දරුවන්ට ගුණ දහම් කියා දෙනු අටියෙන් හින්දු දහම්පාසල වෙත ද ඇය ඔවුන් යොමු කළා ය.

රාහුල හිමියන් ගේ බණ දෙසුමක් පිළිබඳ දැන්වීමක්

තම පියා ගේ (අප්පා ගේ) තුන් මාසයේ දානය නිම කිරීමෙන් පසු පූජකයකු වීමේ අධිෂ්ඨානයෙන් සිටි මහේෂ් ශර්මා වයස අවුරුදු අටේදීම හින්දු ආගමික චාරිත්‍රවලට අනුව හින්දු පූජකත්වය ලැබී ය. මහේෂ් ශර්මා වයස අවුරුදු 16 ක් පමණ වන තෙක් ප්‍රදේශයේ හින්දු කෝවිලේ ආභාසය  ලබමින්  හා  වත් පිළිවෙත් ඉටුකරමින් හින්දු සාමිවරයකු ලෙස කටයුතු කරමින් සිටියේ ය. හින්දු  ආගමික චාරිත්‍ර මෙන්ම වත් පිළිවෙත් සම්බන්ධයෙන් වැඩි  දුර අධ්‍යාපනය සඳහා චෙන්නායි හි හින්දු ආගමික මධ්‍යස්ථානය ලෙස හඳුන්වන කුරුගුලම් හි  අධ්‍යාපනය ලැබීමට ඉනික්බිති ඔහු පිටත් යයි. මහේෂ් ශර්මා එහිදී හින්දු ධර්මය ඉගෙනගෙන  ලංකාවට පැමිණ හැටන් දික්ඔය ගණදෙවි කෝවිලේ ප්‍රධාන පූජකවරයෙකු ලෙස 2014 වසර තෙක් ම කටයුතු කළේ ය.

2014 වර්ෂයේ බලන්ගොඩ පින්නවල ශ්‍රී කාරුමාර් අම්මන්  කෝවිලට පැමිණ අවුරුදු කීපයක් ප්‍රධාන පූජකවරයා ලෙස ආගමික මෙන්ම ජාති භේදයකින් තොරව මිනිසුනට සේවය කිරීමට  කටයුතු කළ ශර්මා පුජකවරයා, ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානවල වැඩ විසූ ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් පවත්වමින් බෞද්ධ වත් පිළිවෙත් සම්බන්ධයෙන් ද ඉගෙනීමට අවස්ථාව උදා කර ගත්තේ ය.

“හින්දු ආගමේ පූජකයකු වශයෙන් මා ඉන්න කාලේ ඉහළ මණ්ඩාවල සුදර්ශනාරාම විහාරයේ සියලුම දායකයෝ විහාරස්ථානයට දානේ අරන් එනවා. ඒ දානේ අරන් එන වෙලාවේ මටත් දානේ පූජා කරලා තියෙනවා. මටත් වැන්දා.” බගවන්තලාවේ රාහුල හිමියෝ අතීතිය මෙනෙහි කරති.

හින්දු කෝවිලෙත් මා බණක් දේශනා කළා.

තමන් දැන උගත් බුදු බණ දේශනා කිරීම හින්දු පූජකත්වයේ සිටිය දීම ශර්මා පුජකවරයා සිදු කළේ ය. ඒ ඇතැම්විට පන්සලක ය. තවත් විටෙක කෝවිලක ය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා සිදු කිරීම ඕනෑ තරම් දැක දැක තිබුණද හින්දු ආගමික පූජකයකු පන්සලේ මෙන් ම වෙනත් ස්ථානවල ද බුදු බණ දේශනා කිරීම එම පෙදෙස්වල බෞද්ධයන්ට අලුත් අත්දැකීමක් විය.  දෙමළ –  සිංහල බොහෝ දෙනා මහේෂ් ශර්මා පූජකතුමන්ගේ බුදු බණ ඇසීමට ප්‍රිය කළහ. දෙමළ අයට දෙමළ බසින්ද, සිංහල අයට සිංහල බසින්ද, හින්දු ආගමික පූජකයකු ලෙස සිටිමින් මහේෂ් ශර්මා පූජකතුමන් බුදු බණ දේශනා කරන්නට විය.

” මම  හින්දු පුජකයෙක් වෙලා ඉන්න අතරතුරත්  පන්සල්වල බණ කිවුවා. පස්සේ බොහෝ පන්සල්වල බණ කියන්න මට ආරාධනා ලැබුණා. මං කුරුණෑගල දක්වා පන්සල්වල බුදු දහම දේශනා කරන්න කටයුතු කළා.”

”ධම්ම පදය, බෞද්ධ ජනතාව ස්වාමින් වහන්සේලාට දැක්වූ ගෞරවය, පන්සල්වලදී ස්වාමින් වහන්සේලා මා ඇසුරු කළ හා පිළි ගත් ආකාරය අනුව මට බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය කෙරෙහි පැහැදීමක් ඇති වුණා. මා පැවිදි වූවා නම් හොඳ නොවේදැයි යන අදහස මා තුළ හට ගත්තා. මේ ගැන ගෙදරට කිවුවම අම්මත් සහෝදරයනුත් විරෝධය පෑවා.”


බුදු සසුනට ඇතුළුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහේ ෂර්මා පූජකතුමන්ට ද විවිධ බලපෑම් මෙන් ම මරණිය තර්ජන ද එල්ල විය.

හින්දුන්ගේ උසස්ම කුලය වන බ්‍රාහ්මණ කුලය අනුගමනය කරන උසස් සංස්කෘතික පසුබිමක් හමුවේ තමන් පැවිදි බවට පත්වුවහොත් පවුලේ අය තමන් පවුලෙන් නෙරපා දමනු ඇති බවට ශර්මා පූජකවරයාගේ මව ඇතුළු සොයුරන් තුළ  හටගත් කුකුස එයට හේතු විය. හින්දු පූජකයකු ලෙස සිටි කාලයේ දී ද  බෞද්ධ ජනතාව දානය ගෙන එන විට ශර්මා පුජකවරයාටත් ඉන් කොටසක් පිරිනැමිණි. තමන් හින්දු පූජකයකු යැයි වෙනස්කොට සැලකීමක් බෞද්ධ මිනිසුන් අතර නොතිබිණි. උන්වහන්සේ තම අදිටනෙහි තිරව පිහිටා සිටියහ.

කාලයක් තිස්සේ  ඉහළ මණ්ඩාවල සුධර්මාරාමයේ සිටිමින් බෞද්ධ හිමිවරුන් සමීපව ඇසුරු කළ මහේෂ් ශර්මා  පූජකතුමන්ට පැවිදි වීමට තිබු කැමැත්ත නිසා ඒ සම්බන්ධයෙන් සුධර්මාරාම විහාරාධිපති උඩකරවිල සුගුණනන්ද  නා හිමියන්හට දන්වා සිටියත් උන් වහන්සේ කියා සිටියේ ඒ පිළිබඳ තවත් වරක් සිතා බලන ලෙස ය.

ඉන් දෙමසකට පසු නිවෙසේ අවසරය ද සහිත ව අමරපුර නිකායේ  එක්නැලිගොඩ විහාර පාර්ශවයේ  මහානායක  හිමියන් වන ඕපනායක කන්දේ පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති කුරුවිට සරණංකර මහ නාහිමියන් හමු ව අනුමැතිය ද ගෙන අරගෙන මහණ පිංකම සුදානම් කෙරිණි.

බුදු සසුනට ඇතුළුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහේ ෂර්මා පූජකතුමන්ට ද විවිධ බලපෑම් මෙන් ම මරණිය තර්ජන ද එල්ල විය. උන්වහන්සේ ඒ කිසිවකිනුදු පසුබට වූයේ නැත. 2016 දෙසැම්බර් 16 වැනි දා බගවන්තලාවේ රාහුල නමින් උන්වහන්සේ සසුන් ගත වූහ.

”ගොඩාක් අය මගෙන් ඇහුව ඇයි හින්දු ආගම හොඳ නැතිවද මහණ වුණේ කියලා. ඇත්තෙන්ම හින්දු ආගම කෙරෙහි කල කිරිල මං මහණ වුණේ නෑ. හින්දු ආගමේ හොඳ දේවල් ගොඩාක් තිබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වෙතින් හින්දු ආගමෙන් පුරවා ගත නොහැකි අඩුව පුරවා ගැනීමට අවස්ථාවක් තිබුණ නිසා තමයි මා මහණ වුණේ.”  යි බගවන්තලාවේ රාහුල හිමියෝ කියති.

”මං මහණවුණාට පස්සෙ පළමු ධර්ම දේශනාවට ආරාධනා ලැබුණේ යාපනයෙන්. ඒ අතර තුර මා බොහෝ ප්‍රදේශවල ගිහින් ධර්ම දේශනා කළා. මගේ දෙවන ධර්ම දේශනාව කළේ මහ නුවර ගලහ ප්‍රදේශයේ.  එහි දී බෞද්ධ හින්දු ,ඉස්ලාම් යන සියලු ජනකොටස්වලට දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කළා. ගලහ නගරයේ වගේම, 2017 දෙසැම්බර් මාසයේ  මහනුවර ගලහ හින්දු කෝවිලෙත් මා බණක් දේශනා කළා.  විශේෂත්වය වුණේ ඒක සුදානම් කළේ ඒ කෝවිලේ පුජකතුමන්ලා වීමයි‘  යැයි රාහුල හිමියෝ පවසති.

දෙමළ – සිංහල බොහෝ දෙනා මහේෂ් ශර්මා පූජකතුමන්ගේ බුදු බණ ඇසීමට ප්‍රිය කළහ.

පසුගිය කාලයේ දී  මහනුවර තෙල්දෙණිය, කුණ්ඩසාලේ ඇතුළු ප්‍රදේශ රැසක ඇති වූ  ජාති වාදී ගැටුම් කෙළවර වූයේ ඒවා ආගමික ගැටුම් බවට පරිවර්තනය වීමෙනි. වැදගත් වන්නේ කුමන ආගමක ජාතියක  සිට හෝ මිනිසුන් අතර සාමය සමගිය සහජීවනය ඇතිකරවිමම පමණි. ඒ සහජීවනයේ පාලම සැකසීමේ බගවන්තලාවේ රාහුල හිමියන් අරඹා තිබේ.

”පසුගිය  සුනාමි සැමරුම වෙනුවෙන් ගලහ නගරයේ පැවැත්වූ ආගමික උත්සවයකට ප්‍රදේශයේ මුස්ලිම් මෞලවිවරුන්, දෙමළ පුජකවරුන් මෙන්ම භික්ෂුන් වහන්සේලාත් විශාල ප්‍රමාණයක්  වැඩම කරලා තිබුණා. මංදෙමළ භාෂාවෙන් බණ කියනවා අහන්න ඒ ප්‍රදේශවල මිනිස්සු එන්නෙ කිසිදු බේදයකින් තොරවයි. මේ වෙද්දි මා දෙමළ පාසල්වලත් දමිල භාෂාවෙන් ධර්මය දේශනා කිරීම් සිදුකරනවා.” යි රාහුල හිමියෝ පවසති.

‘මේ රටේ දෙමළ භාෂාවෙන් බණ කියලා මිනිසුන්ගේ සිත් සතන්වල සංහිදියාව ජනිත කරවීමට මා කටයුතු කරනවා. දෙමළ දරුවන්ට ද පැවිදි වෙන්නට අවස්ථාවක් ලබා දීම වැදගත්. ඒ අය වෙනුවෙන් දෙමළ පිරිවෙනක් ඇති කරවීම ද වැදගත් බව බවද බගවන්තලාවේ රාහුල හිමියෝ අවධාරණය කරති.