Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

එකිනෙකා අතර අවබෝධය ඇති කර ගැනීම
බහුවිධතාවේ මූලික අරමුණක්

බහුත්වවාදය යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. සමාජ බෙදුම් රේඛා අතර ක්‍රියාකාරී අයුරින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවයේ වැදගත් ලක්ෂණයකැයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් කියයි.

24.02.2019  |  
යාපනය දිස්ත්‍රික්කය
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්

වර්තමාන සමාජ සන්දර්භය තුළ ආගමික හා වාර්ගික විවිධත්වය නිරායාසයෙන් ම පවතින්නකි. නමුත් බහුවිධතාව අප විසින් ප්‍රයත්නයක යෙදීමෙන් යථාර්ථයක් බවට පත්කර ගන්නකි. සමාජ බෙදුම් රේඛා අතර ක්‍රියාකාරී අයුරින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවයේ වැදගත් ලක්ෂණයකි.

යාපනය ගැන අසන බොහෝ දෙනකුට ඊට සමගාමීව සිහි වන පර්යාය පදයක් වන්නේ දෙමළ යන්න ය. යාපනය යනු මිනිස් ඉතිහාසය තුළ ම විවිධාංගීකරණය ව තිබුණු තැනක් බව යාපනය ගැන දන්නා කෙනෙකුට අලුත් දෙයක් නොවේ. ඒ තිබු විවිධත්වය මිනිස් හදවත් තුළින් ගිලිහී යාමට තුඩු දුන්නේ වසර ගණනාවක් රට වෙලාගෙන තිබු යුද්ධයයි. දැන් සියල්ල සිදුවී හමාර ය. නැවතත් ඒ පෙර පැවැති විවිධත්වයෙන් අනූන වූ සමාජය ගොඩ නැගීමට කාලය එළඹ තිබේ.

බහුවිධත්වය ගොඩ නැඟීම උදෙසා බාධාවක් වී ඇති ප්‍රබල කාරණයක් ලෙස එකිනෙකා උනුන්ගේ භාෂාව නොදැනීම පෙන්වා දිය හැකිය. තමන් පිළිබඳ අනෙකා කුමක් සිතනවාද යන්න පිළිබඳ මේ හේතුවෙන් ඔවුනොවුන් අතර බියක් පවතී. තමන් දෙස සතුරකු ලෙස බලනවාද යන්න පිළිබඳ දෙපිරිස අතර ම  බියක් පවතී.තම අදහස අනෙකාට ප්‍රකාශ කිරීමට නොහැකිකම ද මේ හේතුවෙන් මතු වන තවත් ගැටලුවකි. මේ  සන්නිවේදන ගැටලුව ප්‍රධානම දෙයයි. භාෂාව ඉගෙනීම අධ්‍යාපනයෙන් පමණක් නොව අනෙක් අය සමග එකට කටයුතු කිරීමෙන් ද සිදු කළ හැක්කකි.  එම වෑයම් හරහා මෙම සන්නිවේදන ගැටලුවට විසඳුම් සෙවිය හැකි ය.

බහුවිධ සමාජයක් පැවැති ප්‍රදේශයක්

අග්නිදිග ආසියාව සමඟ නැව් ගමනාගමනයේ දී යාපනයට වැදගත් ස්ථානයක් හිමි ව තිබෙයි. පේදුරු තුඩුව යන්නෙහිම මේ විවිධත්වය පවතී. සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පේදුරු තුඩුව යන්න අදහස් කළත් දෙමළෙන් එය හඳුන්වන්නේ කපු වරාය ලෙසයි. ඉන් පෙන්නුම් කරන්නේ කපු යන අපනයන භෝගයේ නිෂ්පාදනයත් සමඟ පේදුරු තුඩුවට  වරායක් වශයෙන් තිබූ වැදගත්කමයි.  චාවකච්චෙරි යනු යාපනයේ තිබෙන තවත් එක් ප්‍රදේශයකි. චාව යනු ජාවා යන්නයි. කච්චේරිය යනු සමූහයක් ලෙස සිටින බවයි. ජාවා, පිලිපීනය, සුමාත්‍රා ආදී දූපත් ආශ්‍රිතව ජාවා මිනිසුන් පැමිණ පදිංචි වූ ප්‍රදේශය යන්න චාවකච්චේරි යන්නෙන් අදහස් කෙරේ. එමගින් අග්නිදිග ආසියවේ පිලිපීනය මලයාසියාව වැනි රටවල් සමඟ යාපනයේ තිබූ සම්බන්ධතා පෙන්නුම් කරයි. උතුරු ඉන්දියාවත් සමග තිබූ සබඳතා ද ඉන් පෙන්නුම් කරයි. යාපනය යනු විවිධ භාෂා කතාකරන, විවිධ ආගමික ඇදහීම්වලට අයත් විවිධ ජාතිකත්වයනට, සංස්කෘතිකත්වයනට අයත් මිනිසුන් සිටි  බහුවිධ සමාජයක් පැවැති ප්‍රදේශයක් ලෙස පෙන්වා දිය හැකිය.

යාපනය නගරය ගත් විට ඉතාම පැරණි ක්‍රිස්තියානි දේවස්ථානයක්, ඉතාම පැරණි හින්දු සිද්ධස්ථාන, ඉතාම පැරණි මුස්ලිම් පල්ලි මෙන් ම බෞද්ධ විහාර ද පවතින   නගරයකි. යාපනයේ දූපත් ප්‍රදේශවල පවා මුස්ලිම් පල්ලි දක්නට ඇත. වර්තමාන නල්ලූර් කෝවිල පෘතුගීසි සමයේ විනාශවීමෙන් පසුව අලුතින් ගොඩනගන ලද කෝවිල ද මුස්ලිම්වරුනට අයත් ඉඩමක සාදා ඇත. තවමත් එම කෝවිල  සම්බන්ධව  අතීත මුස්ලිම්වරුන්ගේ මතකපවතී. නල්ලූර් කෝවිල පිළිබඳ එන පුරාකතකාවල සඳහන් වන්නේ මුස්ලිම්වරුනට එම බිමෙහි වෙළඳාම් කිරීමට විශේෂ පහසුකම් සහ විශේෂ අවසරයක් තවමත් පවතින බවයි. යාපනය දියුණු සංස්කෘතික නගරයක් ලෙස විවිධ ජාතීන් මෙරට පාලනය කළ සමයේ සිට පැවතී ඇති බවට මේ සාධක කිහිපයකි.

/

යාපනයේ මෑතකාලීන දියුණුවේ ඉතා වැදගත් දායකත්වයක් අමෙරිකානු මිෂනාරීන් දක්වා තිබේ. අධ්‍යාපනය අතින් යාපනයේ ඇති වූ ප්‍රබෝධය ගත් විට වට්ටුකෝටිටේ (වඩුක්කෝඩෙයි) ඇමරිකන් මිෂනාරි පාසල හෙවත් වර්තමාන ජැෆ්නා කොලේජ්,  උඩුප්පිඩිහි තිබෙන ඇමරිකන් මිෂනාරි පාසල ආදී ආයතන ඒ සඳහා උදාහරණ වේ.

ඉස්ලාම්, බෞද්ධ, හින්දු ආදී මේ සෑම ආගමකම   බහුවිධත්වය යාපනයේ අතීත සමාජ රටාව තුළ දක්නට හැකි වේ. මේ බහුවිධත්වයත් නිදහසින් පසුව ඇතිවූ දෙයක් නොවන බව ඉන් වටහා ගත හැකි ය.

බහුවිධත්වය  යාපනයේ නගරවල වීදිවල නම්වලින් හා ගොඩනැගිලිවලින් වුවද දැකගත හැකිය. යාපනයේ පවතින මේ බහුවිධත්වයට  ප්‍රධානම හේතුව එය මුහුදුකරය ආසන්නයේ නගරයක් ව පැවතීමය. කන්කසන්තුරේ සහ පේදුරු තුඩුවේ පවතිනමුහුදු ගමනාගමනයේ දී වැදගත් වරායන් නිසා ද සංස්කෘතික විවිධත්වය පවතින ස්ථානයක් ලෙස ද යාපනය හඳුනාගත හැකි වේ.


මෙකී විවිධත්වය  යාපනය මත බලහත්කාරයෙන් ඇති කළ දෙයක් නොවේ. එය ස්වාභාවිකව ඇති වූ දෙයකි.

මේ විවිධත්වය නුරුස්නා ලෙසින් කිසිදු ආගමක් ක්‍රියාත්මක වූ බවට අපට සාධක නොලැබේ. ලංකා ඉතිහාසයේ දක්නට ලැබෙන ඉතාමත් ඛේදජනක වාර්ගික ගැටුම් වැනි දේ මෑතකාලීනව ඇති වූ යුද ගැටුම්වලට පෙර ඇති වී නොමැති බව පැහැදිලි ය. තිස් වසක් දිග්ගැස්සුණු යුද්ධය ඇතිවීමත් සමඟ මේ සියල්ල වෙනස් විය.

දකුණේ සිංහල හා දෙමළ ගැටුමක් ඇතිවන විට එය සිංහල – බෞද්ධ ස්වරූපයක් ගත්ත ද එවන් අවස්ථාවල උතුරේ බෞද්ධ සිද්ධස්ථානවලට කිසිදු  බලපෑමක් වී නොමැති බව අපට පැහැදිලි ය. යාපනයේ වෙසෙන විවිධ ආගම් හා දර්ශන අදහන පිරිස් අධ්‍යාපනය අතින් ද හොඳ ශික්ෂණයක් ලබා තිබීම ඊට හේතුව වන්නට ඇත. දැනට වුවත් මෙහි ආගමික සංස්ථා අතර එතරම් ලොකු ගැටුමක් දක්නට නොමැත. මන්නාරමේ ක්‍රිස්තියානින් හා හින්දුන් අතර ගැටුම් තොරතුරු පුවත්පත්වලින් මතු කර තිබුණ ද ඒවා ප්‍රචණ්ඩත්වය දක්වා ඇවිළ නොගිය බව පැහැදිලි ය. මෙවැනි තත්ත්ව යටතේ වුව ද ගැටුම් ඇති නොවීමට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් අධ්‍යාපනයෙන් ලද ශික්ෂණය බව පැහැදිලි ය. මෙම තත්වය බිඳ වැටීම ආගමික බහුවිධත්වය හෝ ආගමික සංහිඳියාව හෝ සංස්කෘතික සංහිඳියාව පවත්වා ගැනීම අසීරු විය හැකි ය.

මිනිසා ශිෂ්ටත්වයට පත්කිරීම

බහුවිධත්වය හා සංහිඳියාව පවත්වාගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය හරහා මිනිසා ශිෂ්ටත්වයට පත්කිරීමෙන් පමණි. ආගමිකත්වයෙන් පමණක් මිනිසුන් බහුවිධත්වය කරා ගෙන යා නොහැක. මානව අයිතීන්ට ගරු කිරීමටත්, අනෙකාගේ මානව අයිතියට ගරුකරන්නට පුහුණුව පැබෙන්නේත් ආගමෙන් පමණක් නොවේ.  අධ්‍යාපනයෙන් ද සුවිශාල මෙහෙයයක් ඉටු වනු ඇත.

වර්තමාන තරුණ පරපුර අතර වන ප්‍රචණ්ඩශිලීත්වය දකුණේ විශ්වවිද්‍යාල අතරත් උතුරේ විශ්වවිද්‍යාල අතරත් පොදුවේ දැකිය හැකි වෙයි.. දකුණේ විශ්වවිද්‍යාලවල ගැටුම් වාර්තාකරණයේදීත් උතුරේ විශ්වවිද්‍යාලවල ගැටුම් වාර්තාකරණයේදීත් විශාල වෙනසක් පවතී. උතුරේ සිද්ධිය සැලසුම්සහගත දේශපාලනික ක්‍රියාවක් ලෙසත්, දකුණේ සිද්ධිය සදාචාරය පිරිහීමක් ලෙසත් ගෙන හැර දැක්වීම මෙහිදී සිදු වන බව පෙනේ.

යාපනය දෙමළ අයගේ විශ්වවිද්‍යාලයක්ය යන අදහස මේ වනවිට පහව ගොස් ඇති අතර විශ්වවිද්‍යාලයේ පීඨවලින් කලා පීඨයේ පමණක් දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දේ. අනෙක් සියලුම පීඨවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වයි.

පත පොතින් අධ්‍යාපනය ලැබුවත් සමාජ අත්දැකීම් නොමැති බැවින් ඇතැමුනට සමාජයට මුහුණ දීමේ චකිතයක් පවතී. අධ්‍යාපන ක්‍රියාවලියට සමාජ අත්දැකීම් එක්රැස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිතීම වඩාත් වැදගත් වේ. දේශනවලින් පමණක් ඉගැන්වීම සිදු කිරීමෙන් සංහිඳියාව, සංස්කෘතික විවිධත්වය වැනි දේ ගැන සිසුනට ප්‍රායෝගික අවබෝධය ලබා දීම දේශනවලින් කළ නොහැකි බව වටහා ගැනීම වැදගත් ය. උසස් අධ්‍යාපනයට බහුවිධත්වය සම්බන්ධ වන ආකාරයෙන් අධ්‍යාපනය සැකසීම ඉතාම වැදගත් වන්නේ මේ නිසා ය.

 

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් සමඟ කළ සාකච්ඡාවකින් මෙම ලිපිය සැකැසිණි.