Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජයලත් හා කෙනඩි කියන
කළු ජූලියේ අතුරු කතාවක්

සාමයේ පණිවිඩය රැගෙන ගමින් ගමට ගොස්, තම අත්දැකිම් හරහා සංහිඳියාවේ පණිවිඩය ” අහන්න ” සමඟ කියාපාන ජයලත් බණ්ඩාර, සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ “ජන පවුර” සංවිධානයේ සභාපති වරයා ය. ඔහු, කියා පාන්නේ සංහිඳියාව පවතින්නේ විශ්වාසය මත මිස නීති නියාම ධර්ම සමඟ නොවන බව ය.

17.09.2018  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

පාපැදිය පැදගෙන යමින් සිටි ජයලත් බණ්ඩාර  අනුරාධපුර නගරයේ ගිනි ගෙන දැවෙන නිවාස හා කඩ සාප්පු අතරින් දකින්නේ එක පන්තියේ ඉගෙන ගත් තම දෙමළ ජාතික මිත්‍රයා  කෙනඩි තමාට ඉදිරියෙන් දිව යන දසුනකි. තම දෙමළ මිත්‍රයාගේ  පියාට අයත්ව අනුරධපුර නගරයේ තිබු ප්‍රනාන්ඩෝ ස්ටෝස් වෙළඳසල ද ගිනිගෙන දැවෙමින් තිබෙන බව එම අවස්ථාව නිරීක්ෂණය කරන ජයලත් බණ්ඩාර දකියි. මිත්‍රයාට උදවු කිරීමේ අරමුණින්  පාපැදිය ඔහු දෙසට පැදවුවත් කෙනඩි නතර නොවී දිවයන්නට වුයේ තමා කෙරෙහිද සැකයෙන් බව ජයලත් බණ්ඩාරට අවබෝධ විය .

ජයලත් බණ්ඩාර හා කෙනඩි යනු අනුරාධපුරයේ සාන්ත ජෝසප් විද්‍යාලයේ එකම පන්තියක එකට ඉගෙන ගත් සිංහල සහ දෙමළ යහළුවන් දෙදෙනෙකි. වසර ගණනාවක් ඔවුන් අතර තිබු ඒ මිතු දම 1983 ජුලි 24 වනදායින් පසුව දුරස් වන්නේ  ජාතිවාදී කළු ජුලිය නිසාවෙනි.

ජාතිවාදී ගින්න

සිංහල, දෙමළ ,මුස්ලිම් බේදයකින් තොරව එකට පන්සලට එකට කෝවිලට  ගිය, මිතුරන්  වෙනුවෙන් ඔවුන් සමඟ තෛපොංගල් සැමරූ, සියලුදෙනා එක්ව එකට සිට  සින්න මොනම් බැලූ, සිකුරාදාට එක්ව ගොස් කන්ජි බිවු, සිංහල දෙමළ සියලු මිතුරන්ට 83 කළු ජූලියෙන් පසුව සී සී කඩ විසිරී යන්ට සිදුවූයේ මිනිස්කම් පරයා ඇවිළුණු ජාතිවාදී ගින්න නිසාවෙනි.

”1983 දි මං අනුරාධපුරයේ සෙන් ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගත්තේ.  ඒ පාසලේ දෙමළ අංශයක් වෙනම තිබුණා. මගේ පන්තියේ සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම ළමයි හිටියා. 83 කළු ජූලිය වෙලාවේ දී කඩවල්වලට ගහල කඩනවා. මගේ යාළුවාගේ කඩේ ගිනි අරගෙන, මගේ යාළුවගේ නම කෙනඩි, එයා දුවනවා, මං එයාගේ පස්සේ බයිසිකලය පැදගෙන යනවා. නමුත් කෙනඩි නවතින්නේ නැතිව දුවන්න ගත්තා. මං දන්නවා එයාගේ තාත්තගෙ කඩේ ප්‍රනාන්ඩෝ ස්ටෝස් එකට ගිනි තියල මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මට ඕන මගේ යාළුවට උදවුවක් කරන්න. ඒත් යාළුවා මගේ දිහා බලබලා දුවනවා, මොකද එයාට මාව සැකයි. ”

එකට කා බී එකට ජීවත් වූ  සිංහල දෙමළ මිනිස්සුන් බෙදා වෙන් කර ගනිමින් ඔවුන් තුළ වෛරයේ ගිනිසිළු ඇති කරමින්  1983 ජූලි 24 වෙනිදා කොළඹින් ආරම්භ වුණු දෙමළ විරෝධී කැ‍රැල්ලෙන් ගිනි ගෙන දැවුණේ මිනිසුන් පමණක් නොවේ. එම මිනිසුන් තුළ වූ මිතුදම් හා මනුස්සකම් ද  ඒ අතර විය. එහෙත් හැමදාම එකට කා බී සිටි ජයලත් බණ්ඩාරට කෙනඩිගේ මතකය අමතක නොවන්නේ ඔවුන් තුළ තිබු මිතුදම එම ජාතිවාදී ගින්නට හසු නොවී  අදටත් නොබිඳී පවතින බැවිනි.

කළු ජුලිය නිසා 83 දී  දෙමළ වැසියන්ට අයත් 23,000ට අධික ප්‍රමාණයක් නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කොට විනාශ කෙරුණු බව වාර්තා සඳහන් කරයි. මෙම සිදුවීම් නිසා තවත් 150,000ක් පමණ දෙමළ වැසියන් අවතැන් වූ අතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් කැනඩාව හා ඕස්ට්‍රේලියාව ආදී රටවල සරණාගතයන් ලෙස සංක්‍රමණය වීමද සිදුවී තිබෙයි. ඒ අතර තම පාසල් සමයේ මිත්‍රයා වූ කෙනඩි ද සිටින බව ජයලත් බණ්ඩාර මහතා සිතා සිටියි.

කළු ජූලියේ අමිහිරි මතක (ඡායාරුප අන්තර් ජාලයෙනි.)

71 කැරැල්ලෙන් 16000ක් පමණ පිරිසක් මිය ගිය අතර  83 කළු ජූලියෙන් පසුව එකට ජීවත්වූ සිංහල මුස්ලිම් දෙමළ ජනතාව සී සී කඩ යන්නට විය. සමාජයෙන්, සමාජයේ සියලු මිනිසුන්ට විය යුතු යුතුකම් කොටසක් තිබේ. එම යුතුකම් ඉටු කිරීමේදී ජාති ආගම් බේදයක් නොතිබිය යුතුය. සියලු දෙනාම එකා සේ සැලකීමට තරම් හැකියාවක් සෑම මිනිසකුගේම හදවත් තුළ තිබිය යුතු ය. සමාජය මේ අයුරින් වෙන් වී යන්නට හේතුව වුයේ එසේ ඉටු විය යුතුකම් නිසි අයුරින් ඉටු වී නොමැති නිසා බව ජයලත් බණ්ඩාර කියයි.

‘ජාතිකත්වය මත ඇති වූ බිය නිසා අවිශ්වාසය සැකය ඉස්මතු වෙලා. ඔවුන් කොච්චර කෑගැහුවත්  අද මේ රටේ සියලුම මිනිස්සුන්ගේ ඔළුවලට  සුළුතර මානසිකත්වය ඇතුළු වීමෙන් මෙම ජාති වාදී අදහස් ඉස්මතු  වීම වේගවත් වෙලා‘ යැයි ඔහු කියයි.

‘ සෑම පුරවැසියකුටම සමානව සලකන්න ඕන. ඒ බව පුරවැසියාට දැනෙන්න ඕන. කතාකරන භාෂාව, අදහන ආගම, තමන්ගේ සංස්කෘතිය අනුව සැලකිල්ලේ වෙනසක් සිදු වෙන්න බැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය රටක දියුණුව මනින ප්‍රධාන මිම්ම තමයි ඒ රටේ ජනතාව කොතරම් සතුටින් ඉන්නවද කියලා බලන එක. බුදුන් වහන්සේ ඒක බොහොම ඉස්සර කිවුවා සන්තුට්ඨි පරමං ධනං කියලා. මොන දේ කළත් සතුට නැත්නම් දියුණුවක් නෑ. සතුට නිකං එන්නෙ නෑ. එය ගොඩනැගිය යුතු දෙයක්‘ බවයි ජයලත් බණ්ඩාර මහතා කියා සිටින්නේ.

ශිෂ්ටත්වයෙන් ම්ලේච්ඡත්වයට

”83 කළු ජූලියෙන් පස්සෙ අවුරුදු 30ක් ම්ලේච්ඡ යුද්ධයකට රට මුහුණ දුන්නා. ම්ලේච්ඡත්වයෙන් අශිෂ්ටත්වයටත්, අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වයටත් ආපු මිනිස්සු එකපාරටම ශිෂ්ටත්වයෙන් ම්ලේච්ඡත්වයට ගියා. නැත්නම් කොහොමද මිනිස්සු මරන්නෙ. මේක බරපතල ප්‍රශ්නයක්. පුද්ගල අනාථවීම්, ස්ත්‍රී දූෂණ, ළමයින් නැතිවීම්, දේපල නැතිවීම්, අධ්‍යාපනය, ජීවනෝපාය, පරිසරය මානසිකව ආබාධවීම්, අවතැන්වීම් මේ සියල්ල සිද්ධ වුණා. එක බිම්බෝමබයක් වළලන්න යන්නෙ ඩොලර් ශත 50යි. ඒ බිම් බෝම්බය අරන්දාන්න ඩොලර් 1000කටවත් බෑ. ඒ බිම් බෝම්බයෙන් සමාජයට වන හානිය කොපමණද කියන්නවත් බෑ. යුද්ධය හරි ලේසියි. සාමය ඉතාම අමාරු දෙයක්.”

සියලු ආගම් විදහා දක්වන්නේ මිනිසා අතර සහජීවනය ඇතිවිය යුතු බවය. එය ත්‍රිපිටකය පරිහරණය  කර බැලුවත් හොඳින් පෙනෙන කරුණකි. එහි කිසිදු තැනක මිනිසුන් මරන්නට අනුබල නොදෙයි. බුදුන් වහන්සේ සියලු සත්වයෝ නිදුක්වේවා  කියා දේශනා කර ඇත්තේ බෞද්ධයන්ට විතරක් නොවේ. කුරානය තුළ වුවත් කිසිවෙකු හට අපරාධයක් කිරීමට හිරිහැර කිරීමට අල්ලා දෙවිඳුන් ,නබි නායකතුමන් ලෝකයට ලබා දී ඇති පණිවිඩවල සඳහන් වන්නේ ද නැත.

බයිබලයේ පරණ ගිවිසුම අලුත් ගිවිසුම පරිහරණය කර බැලුවත් ඉන් ප්‍රධාන කොටම අපට කියා පාන්නේ අසල්වැසියා හට ප්‍රේම කරන්න යන්නයි. නමුත් අද වන විට මිනිසුන් එම ආගමික දර්ශන කනපිට පෙරළාගනිමින් මිනිස්කම් නැතිකරගනිමින් සිටින යුගයක් බවට පත්කර ගෙන තිබේ.

මේ ආකාර අදහස් මිනිස් සන්තානය තුළ ඇතිවී තිබෙන අනෙකා කෙරෙහි සැකයෙන් බැලීමේ ක්‍රමය වැඩි වර්ධනය වන්නට පටන්ගනී. ඉන් නොදැනුවත්වම මිනිසුන්ගේ හදවත් තුළ ආරෝපණය වන්නේ සැකය,  වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ය. එහි අන්තය වන්නේ මිනිසුන් මිනිසුන් මරන්නට, දේපල විනාශ කරන්න පටන් ගැනීම වේ. 83 කළු ජුලියේදීත් සිදුවුයේ මෙයම ය.

හානි පූරණ කාර්යාලයක්

‘යුද්ධයෙන් හානියට පත් වෙලා සියල්ල අහිමි වෙච්ච මිනිස්සුන්ට මොනව දුන්නත් වැදගත් නෑ. ඔළුව අවුල් වෙලා. යුද්ධයකදී කාන්තාවො දැඩි පීඩාවකට පත් වෙනවා. තුන් හතර පැත්තෙන්ම දූෂණයට ලක් වෙනවා. දරුවො විනාශ වෙලා යනවා. මේ අයට ඉස්සර වෙලාම අවශ්‍ය මානසික ප්‍රතිකාරයි. මනෝ සමාජීය මැදිහත්වීමක්. ඒ වගේම මේ නැති වෙච්ච දේපලවලට උදවු කරන්න ඕන. ඉඩම් නැති වුණා නම් ආපහු දෙන්න ඕන. ජීවනෝපාය නැතිවුණා නම් ආපහු දෙන්න ඕන. ආබාධිත තත්වෙට පත්වෙලා ඉන්නව නම් ඒවට උපකරණ දෙන්න ඕන. මේකට කියනවා හානි පූරණය කරනවා කියලා. ඉස්සර කිවුවේ පුනරුත්ථාපනය කියලා. හානි පූරණය කරන්න කාර්යාලයක් තියෙන්න ඕන. පනතකින් පිහිටුවන ඒ කාර්යාලය ආණ්ඩු වෙනස් වුණාට වෙනස් වෙන්නෙ නෑ. ඒකට පත් කරන නියෝජිතයො පත් කරන්නෙ ව්‍යවස්ථා සභාවෙන්. මේ වැඩේ ඉතාම හොද මට්ටමින් මේවන විට සිදුකරගෙන යනවා.

අහන්න වැඩ සටහන අතරතුර ජයලත් බණ්ඩාර මහතා අදහස් පළ කරමින්

මිනිස්සු කතාකරන තවත් දෙයක් තමයි  මොනව කළත් වැඩක් නෑ යළි මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕන කියලා. පුරවැසියට දැනෙන්න ඕන අනිත් අය වගේම මමත් මේ රටේ පුරවැසියෙක් කියලා. කතාකරන භාෂාව ප්‍රදේශය අනුව බෙදන්නෙ නැතිව පාලන තන්ත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙන්න ඕන. කලින් මේ රටේ තිබ්බේ බහු මතය ජයග්‍රහණය කිරීම. 1930ගණන්වල මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක තුනේම බුද්ධිමත් දේශපාලඥයො කිවුවා මේ රටේ භාෂා දෙකක් තියෙනවා. සිංහල දෙමළ දෙකම රාජ්‍ය භාෂාව කරන්න, එහෙම වුණොත් තනි රටක් ලෙස ඉන්න පුළුවන්. එහෙම නැත්නම් රටවල් දෙකක් වෙනවා කියලා. ඒක එදා සුළුතර මතය. බහුතර මතයෙන් ඒක පරාජය කළා. නමුත් බහු මතවාදයට ඇහුම්කන් දෙනව නම් තනි පුද්ගලයෙක් හෝ සුළු කණ්ඩායමක් කියන දේ තුළ ඇත්තක් තියෙනවා කියලා පිළිගන්න අවස්ථාවක් ද තිබිය යුතුවේ.

මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ”අහන්න” වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.