Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වෙනස් කොට නොසැලකීම ම
සමානයන් සේ පිළිගැනීමක්

ලිංග භේදය පදනම් ව කවරනම් හෝ පිරිසක ගේ මානව අයිතීන් පිළිබඳ තවත් පිරිසක් මැදිහත් ව තීරණ ගැනීම දියුණු යැයි සම්මත සමාජයක සිරිතක් නොවේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල මේ කියමන කෙතරම් දුරට වලංගු වේ දැයි යන පැනයට විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත පුද්ගලයන්ගේ ම වදන්වලින් පිළිතුරු බඳිමු.

23.07.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය
සේයාරුව: Michael Morgenstern | www.economist.com

”  මට දැනෙන විදියටත්, මා හිතන්නෙත් මගේ ලිංගිකත්වය පෞද්ගලිකව එකක් විදියටයි. ඒක එක විධියක වාසනාවක්. ලිංගිකත්වය අපිට අයිති දෙයක්. අනෙක් සියලු දෙනා එකතු වෙලා මේක ගැළපෙන්නෙ නෑ, මේක හොඳ නෑ කියලා කියන්න ගත්තට පස්සෙ එක්කො ඒ ගොල්ලො කියන එක අහලා සමාජය ඒකට එකඟ වෙනවා. නැත්නම් ඒකට විරුද්ධව සටන් කරනවා. මමත් බොහෝ විට ඒ වෙනුවෙන් සටන් කරනවා. ඒ දේවල්වලින් සන්තෝස වන විදියේ තීරණයක මං ඉන්නවා.”

තමාට ආවේණික වූ ලිංගිකත්වය වාසනාවක් ලෙස දකිමින් අනෙකුත් විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත (LGBTIQ) පුද්ගලයින්ගේ ද අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන ඔහු ”ජේක්” නමින් හඳුන්වමු. පවුලෙන් වෙන්ව ජීවත්වීම තුළ  වෙනස් විදියට හිතන්නට දකින්නට පුරුදු වීම ඔස්සේ තම  ජීවිතයට බොහෝ අත්දැකීම් එක්කර ගන්නට අද වන විට ඔහු සමත් ව සිටියි.

වයස අවුරුදු 17 දී සාමාන්‍ය තරුණයකු වූ ජේක් වයස අවුරුදු 19 දී රැකියාවක් සදහා ගෙදරින් පිටව යයි. ආර්ථික අතින් ශක්තිමත් වීමත් සමඟ ජේක්ට තම නිවෙසින් විවාහ වීම සදහා යෝජනා ගලා ආවේ ය. ජේක් ඒ වන විට විවාහ වීම පසෙකදා තිබුණ ද ඔහු ගේ වැඩිමහල් සොයුරන් දෙදෙනා එයට එකඟ නොවිණි. මෙය තමන් තම ජීවිතය වෙනුවෙන්  ගත් තීරණයක් බව ඔවුනට ඒත්තු ගැන්වීමෙන් පසු එම මතය ඔවුන්ගේ පිලි ගැනීමට ද ලක්විය.

අපි කාගෙවත් විනිශ්චයකට ලක් වෙන්නෙ නෑ

‘‘ අවුරුදු 23 විතර වෙනකොට මං දන්නවා මෙහෙම දැනෙන තවත් පුද්ගලයොත් ඉන්නවා. එක යාළුවෙකුට කතාකළාම එයා කියනවා ‘මෙහෙම යාළුවො දෙන්නෙක් ඉන්නවා.‘ ඊට පස්සෙ කොහාට හරි එකතු වෙනවා. සෙක්ස්වලට නෙවෙයි, කථා බහ කරන්න. අපි එතනදි කතා කරන්නෙ මං මෙහෙමයි ඔයා කොහොමද කියලා නෙවෙයි. අපි දන්නවා එතන ඉඳගත්තට පස්සෙ අපි කාගෙවත් විනිශ්චයකට ලක් වෙන්නෙ නෑ කියලා. ඒ වගේම මං වෙනස් කොට සලකන්නෙ නෑ කියලා. ඒක ගැන මට සතුටු හැඟීමක්. එහෙමයි අපි එකම අනන්‍යතාවක් ඇති  පිරිසක් විදියට එකතුවෙන්නෙ.”

” මං දන්නෙ, අත්විඳින්නෙ මේ ජීවිතය විතරයි. මේ ජීවිතය මට හොඳයි කියලා දැනෙනවා. විවිධ සමාජ කාරණා හා මතවාද සම්බන්ධයෙන් කථාකරන කොට මං මේ ගොඩට එකතුවෙන්න ඕන නැහැයි කියලා මට හිතෙනවා. මං පිටස්තරව ඉඳන් කතාකරන්න ඕන කියන තැන් ගැනත් අවබෝධයකින් මං ඉන්නවා. මම කලාවත් එක්ක වැඩ කරන කෙනෙක්. එතකොට එවැනි ගොඩක් තැන්වල දී මං පිටස්තරයෙක් වෙනවා. මේ දෘෂ්ටිකෝණයෙන් බලන කොට මට අනෙක් අයට අහුවෙන්නෙ නැති කොටස් අහුවෙනවා. මට මේක හොඳයි කියලා හිතෙනවා.”

ආගමික නිදහස කතාකිරීමේ නිදහස, ආදී විවිධ අයුරින් අර්ථ ගැන්වෙන මිනිසුන්ගේ මානව අයිතීන් මෙන්ම මානව හිමිකම්  ගැන ද ශ්‍රී ලාංකීය සමාජයේ නිරන්තරයෙන් කතා බහ මතු වෙයි. එපමණක් නොව ඒ වෙනුවෙන්  විවිධ සමාජ ගැටුම් පවා පැන නැඟී තිබෙන ශ්‍රී ලාංකීය   ජන සමාජයේ ලිංගිකත්වය  ගත් විට එය පොදු සමාජයෙන් හා සංස්කෘතියෙන් ඔබ්බෙහි වූ කරුණක් ලෙස තවමත් බොහෝ අවස්ථාවල සැලකෙයි. සම ලිංගිකත්වය, සංක්‍රාන්තික ලිංගිකත්වය හෝ විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත (LGBTIQ) ප්‍රජාව සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ නෙත් යොමු වන්නේ වැරදි කෝණයකිනි. ඔවුන් බොහෝවිට සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදෙන අපරාධ කරුවන් පිරිසක් ලෙස හෝ විවිධ උසුළූ විසුළුවලට ලක් කළ හැකි පිරිසක් ලෙස බහුතර පොදු සමාජය දකියි.

රැකියාවෙන් ඉවත් කරන්නෙ ලිංගික නැඹුරුව වෙනස් නිසා

” මූලික අයිතිවාසිකම්වල තියෙනවා ජාතිය මත, ලිංග භේදය මත, විවාහ අවිවාහක බව මත පුද්ගලයෙකු වෙනස් කොට හිතන්න බැහැ කියලා. අපි ඒකට ඇතුළත් කරන්න කියනවා ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව (Sexology imprison gender identify) කියන වගන්තියත්. කාන්තාවක් වෙනස් කොට සලකනව නම් යම්කිසි ආයතනයක දී එයාට නීතිය හමුවට යන්න පුළුවන්, මා කාන්තාවක් වීම නිසා මට අසාධාරණයක් වුණා කියලා. දැන් අපිටත් පුළුවන් වෙන්න ඕන මගේ රැකියාවෙන් මාව ඉවත් කරන්නෙ මගේ ලිංගික නැඹුරුව වෙනස් නිසා කියලා නීතිය හමුවට යන්න. අපි නීතියේ ආරක්ෂාව පතන්නෙ ඒ වගේ දේවල්වලට. විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත පුද්ගලයකු කිවු විට රක්ෂණයක් ගන්න බෑ, ලේ දෙන්න බෑ. මගේ සහකරුවා අසාධ්‍ය රෝගියෙක් හැටියට ජාතික රෝහලක මැරෙනව නම් මට යන්න බැහැ එයාව බලන්න. ඒ මේ අර්ථ දැක්වීම හමුවේ මං පවුලේ කෙනෙක් නොවන හින්දා. ඒත් අපේ ව්‍යවස්ථාව හා අපේ රට පිළි අරගෙන තියෙන විවිධ ප්‍රඥප්තිවලට අනුව ඒ වගේ දේවල් අපේ සමාජයේ ක්‍රියාත්මක වෙන්න කිසිම නෛතික අයිතියක් නැහැ. එහෙත් ඒවා තවදුරටත් ශ්‍රී ලාංකීය සමාජයේ දිගින් දිගට ම ක්‍රියාත්මක වෙනවා.”

පොදු එකඟතා හා සම්මතයන් ගෙන් සමන්විත සමාජය සැදුම් ලත් මූලික ඒකකය වන, එහි සාමාජිකයන් වන මිනිසා ගේ පෞද්ගලිකත්වය දියුණු සමාජයක ප්‍රශ්න නොකෙරෙන තරම් ය. එවන් සමාජයක් අපේක්ෂා කරන්නේ තම ඉදිරි ගමන උදෙසා එහි සාමාජිකයන් ගෙන් සැපයෙන දායකත්වය පිළිබඳ පමණෙකි. එම දායකත්වය උපරිමයෙන් ලබා ගැනෙන ක්‍රමවේද පිළිබඳ පමණෙකි. එනමුදු ශ්‍රී ලාංකේය සමාජයේ ස්වභාවය තවමත් එවන් දැනුම්වත් බවක් අත්පත් කර ගෙන නොමැති බව විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත (LGBTIQ) ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ චෝදනාව ය.


”සමාජයේ අනෙක් මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයන් සාකච්ඡාවට ලක් වෙන්නෙ නෑ. අපේ පෞද්ගලිකත්වය ඒ සමාජයේ ම මිනිස්සු අතර සාකච්ඡා වෙනවා”

”සමාජයේ අනෙක් මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයන් සාකච්ඡාවට ලක් වෙන්නෙ නෑ. අපේ පෞද්ගලිකත්වය ඒ සමාජයේ ම මිනිස්සු අතර සාකච්ඡා වෙනවා. සමාජයේ අපේ ජීවිත ගැන කථා වෙනවා. ඒවා මාධ්‍යවලට හා සමාජ ජාලාවලට රසවත් වෙනවා. අපේ ඇතුළාන්තයේ තියෙන දේවල් එළියට එනවා. හැබැයි ඒකෙන් අපිට වෙන සෙතක් නෑ‘‘

‘‘ න්‍යෂ්ටික පවුල කියන සංකල්පය තුළ සිටින මව පියා දරුවන් කියන පවුලත් සමග සමලිංගික පවුල්වල මිනිස්සුන්ට ඉන්න තියෙන ඉඩ නැතිවෙලා හෝ නැති කර දමා තිබෙනවා. පවුල සම්බන්ධයෙන් පවතින සමාජ සම්මතය ඇතුළේ පවුලේ වැරදිකාරයා ලෙස දකින්නේ විවිධ ලිංගික අනන්‍යතාවක් සහිත පුද්ගලයායි. එහිදී අපිට තියෙන සැබෑ ප්‍රශ්න සාකච්ඡා කරනවා වෙනුවට ඒවා  යටගහලා, පාගලා දමනවා. අපේ ලිංගිකත්වයන් සාකච්ඡාවට ලක් වන්නේත් එහෙම යට ගහලා, පාගලා දාන්නට වුවමනා ස්වරයකින් මිස සැබෑ වුවමනා හා ගැටලුවලට විසඳුම් ලබා දීමේ වුවමනාවකින් නෙවෙයි.”

විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත (LGBTIQ) ශ්‍රී ලාංකේය ප්‍රජාව සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් යම් තරමක අවබෝධයකින් පසුවෙතත්, යල් පැන ගිය ව්‍යාජ සාරධර්ම හා සංස්කෘතියක් වටා ව්‍යාජව ගෙතෙමින් අනෙකාගේ වැරදි සොයන බේල හින සාමාජයක පිළිගැනීම තවමත් ඔවුනට ලැබී නොමැත. යම් ජීව විද්‍යාත්මක හේතුවක් නිසා මානසික මෙන්ම ශාරීරික වෙනස් වීම්වලටද ලක්වී සිටින විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත (LGBTIQ)  ශ්‍රී ලාංකේය ප්‍රජාවකෙරෙහි වෙනස් ආකාරයෙන් බැලීමට සමාජයේ බහුතරයකට තවමත් නොහැකිව තිබේ.

”1997 දී මාධ්‍යයක මේ විවිධ ලිංගික අනන්‍යතාවන් සහිත (LGBTIQ) ප්‍රජාව පිළිබඳව වැඩසටහනක් විකාශය වුණා. ඒක මං බැලුවෙ අම්ම තාත්තත් එක්ක. ඒ වගේ වැඩසටහන් මගේ මේ නිදහස් තත්වයට ළං වෙන්න උදව් වුණා. තාත්තා පවුලේ වෛද්‍යවරයාගෙන් මේ ගැන විමසුවට පස්සෙ වෛද්‍යවරයා කියලා තියෙනවා මේක සාමාන්‍ය දෙයක් කියලා.‘

ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කර ඇත්තේ සමාන ලිංගිකත්වයන් සහිත  පුද්ගලයන් දෙදෙනෙකු ගේ ලිංගික හැසිරීම් පමණි. සාද පැවැත්වීම, එකට දිවි ගෙවීම හෝ විනෝද වීම නීතියෙන් තහනම් නැත. පිරිමින්ට ගැහැනු ඇඳුම් ඇඳීම හෝ ගැහැනුන්ට පිරිමි ඇඳුම් ඇඳීම හෝ තහනම් නැත. උපතින් හිමි වන ලිංගිකත්වය වෙනස්  කර ගැනීමටද මෙරට නීතියෙන් අවකාශ ඇත. එවැනි පුද්ගලයෝ ඕනෑතරම් අප අතර සිටිති.

 විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් සම්බන්ධ අඩු තක්සේරුව

සමාජයේ නොයෙක් අංශවලදී විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් (LGBTIQ )  සම්බන්ධයෙන් ලැබී තිබෙන අඩු තක්සේරුව හුදු ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම පමණකට සිමා නොවී ශ්‍රී ලාංකික සමාජයේ මනුෂ්‍යයන් ලෙස ඔවුනට දිවි ගෙවීමට ඇති හිමිකම ද අහිමි ව පවතියි. මේ නිසා ඔවුන් පත්ව ඇති ඛේදනීය තත්වය දුරු කරලීම සම්බන්ධයෙන් වත්මන් සමාජ කාර්යභාරය කවරාකාර විය යුතුද යන්න ගැන බොහෝ දෙනකුට තවමත් නිසි අවබෝධයක් නොමැත.

” හැම කාර්යකදීම වගේම රටේ මානව හිමිකම් වර්ධනය කිරීමේ කාර්යයේදී  මේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් (LGBTIQ ) සමඟ ද මානව හිමිකම් කොමිසන් සභාවේ එක්ව කටයුතු කරනවා. වත්මන් සමාජ, ආර්ථික, දේශපාලන ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණයවීම් රාශියක් සිදුවෙනවා. ‘ යි මානව හිමිකම් කොමිසන් සභාවේ අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා මේනකා හේරත් මහත්මිය  පෙන්වා දෙයි.

මානව හිමිකම් කොමිසන් සභාවේ අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා මේනකා හේරත්

”මානව හිමිකම් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණවල මුලික අයිතිවාසිකම් කොටස සංශෝධනය කිරීමේදී, ‘නොසලකා හැරීම‘ යන  කොටසේදී  සඳහන් කෙරුණේ ජාතිය, ආගම, ස්ත්‍රී – පුරුෂ බේදය කියන කාරණා මත වෙනස් කොට සැලකීමකට ලක් නොවිය යුතුය යන වගන්තියයි. ලිංගික අනන්‍යතාව මත වෙනස් කොට සැලකීමකට ලක් නොවිය යුතුය යන වගන්තිය ද එයට ඇතුළත් කළ යුතු බවට යෝජනාවක් වසයෙන් ඉදිරිපත් කර තිබෙනවා.”

පවත්නා නීති රාමුව යටතේ සංක්‍රාන්තික ලිංගිකයිනට ඔවුන්ගේ උප්පැන්න සහතික වෙනස් කරගැනීමේ ගැටලුවක් පවතින බව ද, එවන් කෙනකු පවතින සමාජ වැඩ කටයුතු කරගෙන යද්දී ඇය හෝ ඔහු විවිධ ගැටලුවලට මුහුණ  දෙන බව ද  මානව හිමිකම් කොමිසන් සභාවේ අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා මේනකා හේරත් මහත්මිය පෙන්වා දෙයි.

සමාජ විද්‍යාත්මකව ගත්විට මෙය සාමාන්‍ය පොදු තත්වයක් ලෙස හැඳින්වෙන බව රුහුණ විශ්වවිද්‍යාලයේ සාමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය  සරත් අමරසිංහ මහතා කියයි.

විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් ගේ අවශ්‍යතා වටහා ගැනීම

‘‘මේ ලිංගිකත්වය කියන එක ඕනෑම සමාජයක සංස්කෘතියත් සමඟ බැඳී පවතිනවා. එහි දී  අදහස් කරන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගික සබඳතා. අපේ ශ්‍රී ලංකා සමාජයෙත් ඒක තියෙනවා. සමලිංගික හෝ  විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජා කියන තත්වය අපේ සමාජය තවමත් ප්‍රතික්ෂේප කරනවා.”

‘‘ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට තියෙන ආකර්ශනය හැමදාම පවතිනවා යන්න විශ්වාස කරන්න බැහැ. කෙනෙක් දෙස බලා ඔහු විරුද්ධ ලිංගික ආකර්ශනයක් තියෙන කෙනෙක්ද කියා හඳුනා ගන්නට බැහැ. සෑම කෙනෙක් තුළම යම් දුරකට සමලිංගිකයන් කෙරෙහිත් ආකර්ශනයක් තියෙන්න පුළුවන්. ඒක සමහරුන් තුළ අඩුවෙනුත් සමහරුන් තුළ වැඩියෙනුත් තියෙන්න පුළුවන්. වැඩිපුර ඇතිවෙන අය සමලිංගිකයන් හෝ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජා ලෙස ගණන් ගැනෙනවා. තවත් කොටසක් ඉන්නවා කිසිදු ලිංගික ආකර්ශනයක් නැති අය. ඒක ජීව විද්‍යාත්මක ඌනතා මත ඇතිවෙන දෙයක්‘‘ බව ද මහාචාර්ය  සරත් අමරසිංහ කියයි.

මහාචාර්ය සරත් අමරසිංහ

”මානව අයිතිවාසිකම් පිළිබඳ සමාජය දැනුම්වත්වීමත් සමඟ සමලිංගිකත්වය හෝ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් ගේ අවශ්‍යතා වටහා ගැනීමත්, ඒ සඳහා ඉඩකඩ සපයා දිය යුතුයි කියලා හිතන නිසා සමහර රටවල් අද සමලිංගික හෝ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජා විවාහ සහ සබඳතාවලට නීතිමය ඉඩකඩකුත් ලබාදීලා තියෙනවා. ශ්‍රී ලංකා සමාජය තුළ සාම්ප්‍රදායික සාරධර්ම තවමත් තියෙන නිසා මේක අපයෝජන ක්‍රියාවක් ලෙස තමයි සලකන්නෙ. එහි දී සමාජය එම පිරිස කොන් කිරීමක් සිදු කරනවා.”

විවිධ ලිංගික අනන්‍යතා සහිත (LGBTI)  ප්‍රජාව ද මෙම සාමජයේ කොටසක් ලෙස සලකමින්  ඔවුන් ගේ සුරක්ෂිතතාව තහවුරු කෙරෙන නීතිමය ප්‍රතිපාදන සැලසීම පිණිස රටේ නීති සම්පාදකයන් ගේ දෙනෙත් විවර විය යුත් කාලය දැන් එළැඹ ඇතැයි විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව පෙන්වා දෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධීකරණය 365, 365(A) සහ 399 යන වගන්ති ඉවත් කිරීම හෝ හෝ සංශෝධනය මඟින් ඔවුන්ගේ අයිතීන් හා නිදහස සුරැකෙන බව එම ප්‍රජාව පෙන්වා දෙයි.