Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උමා ඔයේ සාපයට
ගොදුරු වූ මිනිස්සු

පැලී ඉරිතැළී ගිය මහ පොළොවටත් වඩා තම ජීවිත පුපුරා ගොස් තිබෙන බව උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා තම සශ්‍රීක භුමි අහිමිව, නැවත පදිංචි කළ ගම්මානවල වැසියෝ පවසති.

10.07.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
කිලෝමීටරයක් විතර ගිහිල්ලා නල ළදකින් වතුර ටිකක් ගන්නවා.

රටටම බතට සරිලන එළවළු ටික සැපයුයේ ඔවුන්ය. කඳු හෙල් තුළ ගැටෙමින් ගොවිබිම් සරු කරමින් තම ජීවිතය වින්ද ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත පමණක් නොව ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ ජීවිතද මේ වන විට පත්ව ඇති අසරණ තත්වය හිතාගන්නටත් අසීරු තරම් ශෝචනීය එකකි .

පසුගිය රජය මගින් 2008 අප්‍රේල් මස 29 වනදා මුල් ගල තබා උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. එයින් වසර කීපයක් යන්නට මත්තෙන් යෝජිත ව තිබූ ජලාශ වලට යටවෙන භූමි ප්‍රදේශ කිහිපයක සිටි ජනතාව ඉන් ඉවත් කෙරිණි. මේ වන විට එම ජනතාවට වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබා දී නැවත පදිංචි කළත් එම ප්‍රදේශවල ඔවුන්ට අවශ්‍ය පසුකම් හා කිසිදු ජීවනෝපායක් නොමැති බව ඔවුහු පවසති.

වසර ගණනාවක් තමන් ජීවත් වූ සශ්‍රික ගොවි බිම් අත හැරීමට සිදුවන්නේ ඔවුන්ගේ කැමැත්ත පරිදි නොවේ. සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රතිපලයක් වශයෙනි.

ඌව පරණගම පදිංචි වූවෝ

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ප්‍රදේශයක් ලෙස ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උමා නදී නව ගම්මානය පෙන්වා දිය හැකිය. එම ගම්මානයේ ජීවත් වන්නේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිසා මුල් කාලීනව තම නිජබිම් අහිමි වූ පවුල් 89කි.

”මම උමා ඔය ව්‍යාපෘතිය නිසා අවතැන් වෙලා මේ ගමට ආපු කෙනෙක්. මම ඉඩකඩම් තුනක හතරක වගා කළ කෙනෙක්. මගේ ළග හතර පස් දෙනෙක් එදා සේවය කළා. නමුත් ඒ ගොවිබිම් අපට අහිමි වුණා. අද මට අනුන්ගෙ ඉඩම්වල කුලී වැඩ කරන්න සිද්ධවෙලා.” උමා නදී නැවත පදිංචි කිරීමේ ගම්මානයේ වෙසෙන ආර්. එම්. සුනිල් පැවසුවේය.

” මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය ජීවත් කරන්න ඕන. අපිට මේ ගම්මානයේ කිසිම අදායමක් නෑ. අපි ගමේ ඉද්දි බිලකට කියල ගෙවුවේ ලයිට් බිල විතරයි. වතුර බිවුවේ ස්වාභාවික උල්පත්වලින්. අපි එළවළු ටික පලතුරු ටික කෑවේ කඩෙන් ගෙනැල්ල නෙවෙයි. අපි හදා ගත්තු ඒවා තමයි කෑවේ. දැන් අපිට සතියකට දෙසැරයක් තමයි වතුර හම්බවෙන්නේ. ඒවත් ක්ලෝරීන් වතුර. ඒවා මේ මිනිසුන්ට බොන්න බෑ. කිලෝමීටරයක් විතර ගිහිල්ලා නල ළදකින් වතුර ටිකක් ගන්නවා. අපි දැන් මේ කන්දක් උඩට ගෙනල්ලා දාලා අසරණ කරලා” ඔහු පවසන්නේ දැඩි වේදනාවෙනි.

දැන් අපිට සතියකට දෙසැරයක් තමයි වතුර හම්බවෙන්නේ. ඒවත් ක්ලෝරීන් වතුර.

සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී එම ප්‍රදේශයේ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වුවත් උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඉන් හානි සිදුවනතෙක් ප්‍රදේශයේ ජනතාවට ඒ සම්බන්ධයෙන් නිශ්චිත දැනුවත් කිරීමක් සිදු නොකෙරිණි. එයින් පෙනී යන්නේ රටේ දේශපාලනඥයින් හා බලධාරීන් විසින් ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද බිඳ දමා ඇති බවයි.

පර්චස් 40කට කොටු වූ ජීවිත

වසර ගණනාවක් අක්කර ගණන් ගොවි බිම් සරු කරමින් ජිවත් වූ ජනතාව අද පර්චස් 40ක තරම් කුඩා බිම් කොටසකට කොටු කර තිබේ. ඒ නිසාම මෙතෙක් කළ ගොවිතැන ඔවුන්ට අහිමි වී හමාරය.අවාසනාවට එම පර්චස් 40ටවත් හිමිකම් කියන්නට තරම් ඔවුන්ට ඒ සඳහා කිසිදු ඔප්පුවක් ලැබී නැත.

” අපිට පර්චස් 180ක් විතර තිබ්බා. ගෙදර කාමර 05ක් තිබ්බා. ඒවා පරම්පරාවෙන් ආපු ඉඩම්. අපි අවුරුදු 35ක් පදිංචි වෙලා හිටියා. නමුත් ඒ ඉඩමට ඔප්පුවක් තිබුණෙ නෑ. බලපත්‍රක් විතරයි තිබුණේ.ඒ නිසා අපිට දුන්නේ ‘සංවර්ධන වටිනාකම’ කියලා රුපියල් දෙලක්ෂ අසූදාහක් විතරයි. මම ඒ ඉඩම්වල තක්කාලි හැදුවා. අපි මාසයකට ලක්ෂ ගාණක් ඒ ඉඩම්වලින් උපයා ගත්තා. ළමයින්ට ඉගැන්නුවෙත් ඒ සල්ලිවලින්. දැන් කිසිම ආදායමක් නැති නිසා මගේ මහත්තයා ලොරියක වැඩට යනවා.”   රූපවතී ජයසේකර පැවසුවාය.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය

” අපි ජීවත්වුණේ ඇස්වැද්දුම ගමේ. උමා ඔයෙන් අවතැන්වෙලා මොරගොල්ල ප්‍රදේශයට පදිංචියට ආවා. අපි ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ ව්‍යාපෘතිය නිසා මෙච්චර අසාධාරණයක් මිනිස්සුන්ට වෙයි කියලා. අපිට ලැබුණ වන්දි මුදලත් ප්‍රමාණවත් වුණේ නෑ, මෙහෙ ඇවිල්ල ගෙවල් හදා ගන්න. අපි ණය වෙලා තමයි ගෙවල් හැදුවේ. මේ ගමේ කුලියකටවත් වැඩට යන්න තැනක් නැහැ.” ජේ .එච් එම් පුෂ්පකාන්ති පවසයි.

බී.එම් නයනාගේ අත්දැකීමද ඊට නොවෙනස්ය.

” අපි හිටියෙ පුහුල්පොල. ජීවත්වුණේ ගොවිතැන් කරලා. අපේ ඉඩම් උමා ඔයට යට වුණා. පස්සේ අපි මෙහාට ආවා. ඊටපස්සේ මහත්තයා දැන් කොළඹ ගිහින් කුලී වැඩ කරනවා” ඇය පැවසුවාය.

මූලික අයිතීන් උල්ලංගනය වෙලා

මෙම සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ‘උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ’ කැදවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

උමා නදී නව ගම්මානය උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ප්‍රදේශයකි.

” දැන් මේ ප්‍රදේශවල මිනිසුන්ට බොන්න වතුර ටික නෑ. බොහෝ අයට ඉන්න ගෙවල් දොරවල් නෑ, වගා බිම් අහිමිවෙලා ජීවත්වෙන්න විදියක් නෑ, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කතිර ගහන එක විතරක් නොවේ. ව්‍යාපෘතියක් කරනකොට ජනතාවගෙන් අහන්න ඕන මේකට කැමතිද නැද්ද කියලා. මේකෙදි එහෙම කළේ නෑ. ව්‍යාපෘතිය තෝරන්නේ පාලකයෝ. පාලකයෝ තෝරන්නේ තමන්ට වැඩිපුර කොමිස් ලැබෙන දේ. ඒ විෂය සම්බන්ධ ප්‍රවීනයන්ට එක තෝරන්න ඉඩක් නෑ. එහෙම පාලකයෝ තෝරපු ව්‍යාපෘතියක් තමයි උමා ඔය කියන්නේ .”

පාර්ලිමේන්තුවේදී, පළාත් සභාවේදී , පළාත්පාලන ආයතන තුළදී මෙන්ම 2016 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සදහා ජනතා අදහස් ලබා ගන්නා විටදීද මෙහි හානිය කොතෙකුත් පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් ආණ්ඩුව විසින් නොකළ බවද මන්ත්‍රීවරයා පවසයි.

යෝජිත ව්‍යවස්ථාව හා මානව අයිතීන්

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා නීතිඥ ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව විසින් සම්පාදනය කර රජය වෙත භාර දී ඇති වාර්තාවේද ඉඩම්, පරිසර අයිතිවාසිකම් මෙන්ම එහි 17 වන පරිච්ඡේදය මගින් පිරිසිදු ජලය, පිරිසිදු වාතය හා ජිවිත අයිතියට අවශ්‍ය අනෙකුත් දේ ඇතුළු පරිසර ආරක්ෂාව සපයමින් ජනතාවට මානව ආරක්ෂාව තහවුරු කළ යුතු බවද පෙන්වා තිබේ .

කෙසේ නමුත් අද වන විට බණ්ඩාරවෙල, ඇල්ල , හාලි ඇළ , ඌවපරණගම, වැලිමඩ, වැල්ලවාය, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවක් අවතැන් වී හමාරය. ඒ සමග ජනතාගේ දැඩි විරෝධයක්ද මෙම ව්‍යාපෘතියට එරෙහිව පවතී. ඒ හේතුවෙන් මේ ගැන සොයා බැලීම සඳහා රජය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, අමාත්‍ය මහින්ද අමරවීර එහි සාමාජිකයෙකි.

” උමාඔය ඇති වී තිබෙන තත්වය පිළිබඳව සොයා බැලීම සදහා මා ඇතුළු අමාත්‍යවරු තුන් දෙනෙකුගෙන් යුක්ත අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා. අපි දැනටමත් ඒ ගැන තොරතුරු ලබා ගැනීමක් සිදුවෙනවා. එහිදී පසුගිය කාලයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විට නිසි ඇගයීමකට ලක් වුයේ නැති බව අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ විරෝධයක් තිබුණ බවද හෙළිවී තිබෙනවා” අමාත්‍යවරයා පවසයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශීය විශේෂඥයින් ගෙන්වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.