Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පොදු බව හා පොදු හැඟීම වියැකීම
සමාජ නොසන්සුන්තාවට හේතු ‍වෙලා

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ බොහොමයක් දේශපාලනික විපර්යාසයන්ට මෙන්ම සමාජ ගැටුම් කෙරෙහි බල පෑ මූලික කරුණක් ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ පොදු බව හා පොදු හැඟීම වියැකී යාම පෙන්වා දිය හැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් අමරසිංහ කියයි.

23.04.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

වෛරය වර්තමාන  සාමජයේ නොයෙක් පිරිස් අතර  හිස එසැවීම අපට නිකම්ම පසෙක දැමිය හැකි කාරණයක් නොවේ. වෛරය සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින අතර, එය පෙර කවර යුගයකටත් වඩා දරුණු මෙන්ම තැතිගන්වනසුලු ආකාරවලින් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හරහා ප්‍රකාශ වෙමින් තිබේ. වර්තමාන සමාජයේ පුද්ගලයන් හිතක් පපුවක් නැතිව සිදු කරන අපරාධ නිසා සුරක්ෂිතභාවයේ හැඟීම් මිනිසා වෙතින් සම්පූර්ණයෙන්ම පාහේ ගිලිහීයාමත් සමඟ එය ආගමික මෙන්ම ජාතින් අතර ගැටුම් බවට පත්වීම තෙක් වර්ධනය ව ඇත.

වර්තමානයේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් කතා කිරීමේදී එම  සෑම අපරාධයක්ම කලින් සිදු වූ ඒවාට වඩා දරුණු ආකාරයකින් සිදු වන බවක් ද පෙනී යයි. අපේ නිවසේ හෝ අප ජීවත් වන රටේ වෛරය දක්නට නැතත්, කොයි යම් ආකාරයකින් හෝ අප එහි ග්‍රහණයට හසු වේ. අප දිනපතාම නරඹන රූපවාහිනියේ ප්‍රවෘත්ති වැඩසටහන්වලින් හා අන්තර්ජාලයෙන් පවා මෙය මනාව පිළිබිඹු වන කාරණයක් වේ.

මහනුවර හා අම්පාර යන ප්‍රදේශවල පසුගියදා ඇති වූ සිංහල හා මුස්‌ලිම් ගැටුම් මඟින් ද පිළිබිඹු කරන්නේ මිනිසුන් අතර ඇති එවැනි ගැටුම්කාරී මානසික ස්වාභාවයන් ය. හුදු එය ශ්‍රී ලාංකීය  ජන සමාජය තුළ පමණක් දක්නට ලැබෙන දෙයක් නොවේ .

ඇතැම්විට වෛරය කාටත් නොදැනෙන ලෙස ජාති, ආගම් භේදයකින් හිස  ඔසවයි. සමහරවිට එය එකම රටේ මිනිසුන් අතර හෝ එකම ගමේ මිනිසුන් අතර පවතිනවා විය හැක. කැනඩාවේ අන්තවාදී අදහස් තිබෙන කණ්ඩායමකට අයත් තරුණයන් පස්දෙනෙක් මහලු ෂික් ජාතික මනුෂ්‍යයෙකු ඝාතනය කළහ. සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ලබා දෙනවායයි ප්‍රශංසාවට ලක් වී ඇති රටක පවා වෛරය මුල් කරගෙන සිදු කරන අපරාධ වැඩි වී තිබෙන බව මෙයින් පැහැදිලි විය. කලක් ජාතිවාදී හැඟීමෙන් සිදු කළ අපරාධ අඩු වී තිබූ ජර්මනියේ පවා, 1997දී එවැනි අපරාධ සියයට 27ක් දක්වා ඉහළ ගොස් තිබිණ. රටේ අභ්‍යන්තර කටයුතු භාර ඇමති මැන්ෆ්‍රඩ් කාන්ටර් පැවසූ ආකාරයට, “මෙය ඇත්තෙන්ම කනගාටුදායක දෙයක්.” අමෙරිකානු අපරාධ විමර්ශන අංශයට (FBI) අනුව, 1998දී අමෙරිකා එක්සත් ජනපදයේ වෛරය හේතුවෙන් සිදු වූ අපරාධ 7,755න් අඩක්ම සිදු වූයේ ජාති භේද නිසා බව එම සංවිධානයට ලැබී තිබූ තොරතුරුවලින් හෙළි වී තිබේ .

සමාජ මාධ්‍යයේ බලපෑම

පසුගිය කාලයේ ශ්‍රීලංකාවේ ඇතිවූ බොහොමයක් දේශපාලනික විපර්යාසයන්ට මෙන්ම සමාජ ගැටුම් කෙරෙහි සමාජ මාධ්‍යය බෙහෙවින් බලපෑ  දෙයක් විය. යම් යම් කරුණුවල ඇති  සත්‍යතාවට වඩා අසත්‍ය තොරතුරු වෛරී සහගතව ප්‍රචාරණය වීම නිසා බොහෝ දෙනා එයට ගිල්වා ගනිමින් සමාජ ප්‍රශ්න වැඩි කිරීමට හේතු විය.

ආණ්‌ඩු විරෝධී සමහරු විශේෂයෙන් කටකතා පැතිරවීමෙහි දක්‍ෂ අවස්‌ථාවාදී දේශපාලනඥයෝ මෙම සිද්ධිය ආණ්‌ඩුවට පහර ගැසීමට යොදා ගත්හ. තවත් සමහරු රටේ අනෙකුත් ප්‍රදේශවල සාමයෙන් ජීවත් වන සිංහල හා මුස්‌ලිම් අය අතර ගැටුම් ඇති කරවීමට මෙම සිද්ධිය පදනම් කරගෙන බොරු ප්‍රචාරය කළහ, උපක්‍රම යෙදූහ. මෙහිදී ආණ්ඩුව දැමු වාරණය ද පසෙක ලා සාමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනත් ක්‍රම මගින් ඒ සදහා යොමු වීම දක්නට ලැබුණි.

 සාමාජය තුළ අපරාධ සිද්ධවිමට බලපාන කාරණා පිළිබඳ විවිධ සමාජ විද්‍යාත්මක මත රාශියක් ප්‍රකාශ ව පවතියි. අපරාධයක් යනු සමාජයේ නීති රීති උල්ලංඝණය වෙන ආකාරයෙන් ක්‍රියා කිරීම සහ සමාජයේ ඇති විධිමත් නීති රීති උල්ලංඝණය වන ආකාරයෙන් එයට අවනත  නොවී ඊට විරෝධිව ක්‍රියා කිරීම ය. විවිධ හේතු  නිසා සාමාජයේ මිනිසුන් අපගාමිව මෙන්ම ප්‍රතිගාමිව ක්‍රියා කරන ආකාරය අපට පෙනෙන දෙයකි.

මේ සඳහා බලපාන විවිධ සාධක පවතියි. එහි දී ජීව විද්‍යාත්මක සාධක මෙන්ම, සමාජ විද්‍යාත්මක සාධක ගැන, මනෝවිද්‍යාත්මක හේතුන් ගැන  විවිධ විද්වතුන් සිය අදහස් පළ කොට ඇත.  ඉතාමත් පුළුල් සංකීර්ණ සංසිද්ධියක් ලෙස  මේ තත්ත්වය ඔවුන් පෙන්වා දී තිබේ.

මේ ප්‍රශ්න කෙරෙහි බලපා ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ප්‍රතිමාන විරහිත තත්වයයි. සාමාජයක මිනිසුන්ගේ චර්යාධර්ම පද්ධතීන් හැසිරීම් හා තමන්ගේ අරමුණු ඉටුකරගනිමින් හැසිරෙන්නේ කෙලෙසද යන කාරණය, මේ ප්‍රතිමාන විරහිතතාවයට ප්‍රබල ලෙස බලපාන සාධකයකි. සීඝ්‍රයෙන්  ඇතිවන සමාජ වෙනස් වීම ඕනෑම සමාජයක  පවතියි. නාගරීකරණය මේ සඳහා කදිම නිදසුනකි. නගරයක් තුළට විවිධ ජාතින් විවිධ ජන කොටස් පැමිණීමත් සමඟ ඔවුන් විවිධ මතිමතාන්තර සමඟ බද්ධ වීම ස්වභාවික තත්ත්වයකි. ඒ තුළ පොදු බව හා පොදු හැඟීම වියැකී යයි.  එය ප්‍රතිමාන විරහිතතාව ලෙස හදුන්වයි.

මේ තත්වය හට ගන්නට, විධිමත් නීතිරීති පද්ධතියක්  ශක්තිමත්ව නොපැවතීම දැඩිව බලපාන දෙයකි.  දියුණු රටවල් ගත්විට සමාජය වෙනස් වී සංවර්ධිත තත්වයට එනවිට සම්ප්‍රදායික ගතානුගතික හර පද්ධතීන් දියාරුව යයි. ඒ සමඟම ඒ තැන අත්පත් කර ගන්නේ විධිමත් නීතිරීති පද්ධතියකි. සමාජයේ නීතිය හා සමාජය ආරක්ෂා කරන්නට ඉන් සැපයෙන්නේ මහඟු දායකත්වයකි.  එනමුදු ශ්‍රී ලංකාව වැනි රටක් ගත්විට එහි පවත්නා ඇතැම් නීතිරීති පද්ධති කාලීනව ගැළපෙන්නේ නැති, සමාජයකට දරා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව පැහැදිලිව දිස් වෙයි. ඒ හේතුවෙන්ම ඒවා නොසලකා හැරීමක් ද අද අප සාමාජය තුළ දක්නට ලැබෙයි.

 ප්‍රමාණවත් අදායමක් නොමැතිකම

අපරාද සිද්ධවීම සම්බන්ධව ඉදිරිපත් වූ එක් න්‍යායක් ස්ක්‍රේන් යනුවෙන් හඳුන්වන අතර එය අවහිරතා සම්බන්ධ න්‍යායක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන. ඒ සමාජයක මිනිස්සුන්ට තමන්ගේ වුවමනාවන් විධිමත්ව පිළිගත් ආකාරයකට සම්පූර්ණ කරගන්න තිබෙන ඉඩකඩ යි. තමන්ගේ පිළිගත් ආකාරයකට සම්පූර්ණ කරගන්නට විධිමත් ක්‍රමවේද නොමැති වන විට මිනිසුන් ඒ උදෙසා අවිධිමත් ක්‍රමවේදවලට යොමුවීමට උත්සාහ ගනියි. උදාහරණයක් ලෙස ගත්විට අධ්‍යාපනය ලබා හොඳ රැකියාවක යෙදී හොඳ ආදායමක් උපයමින්  පුද්ගලයෙකුට සමාජයේ ඉහළට සංචලනය විය හැකියි. ශ්‍රී ලංකාවේ තත්වය වන්නේ අධ්‍යාපනයක් ලබා ගත් පමණින් පුද්ගලයෙකුට හොඳ රැකියාවක් ලබාගන්න පුළුවන් කමක් නොමැති වීම ය. රැකියාවක් ලබාගත්තත් එම පුද්ගලයාට ප්‍රමාණවත් ආදායමක් ඉන් නොලැබෙන්නට ද  පුළුවන. එවැනි අවස්ථාවල පුද්ගලයා සැරසෙන්නේ තමන්ට ඇති විධිමත් අවස්ථාවට වඩා අවිධිමත් අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් මුදල් උපයාගෙන විධිමත් ක්‍රමයෙන් තමාට ලබාගත නොහැකි වූ දේවල් ලබාගන්නට කටයුතු කරන්නට ය. දූෂණ, අක්‍රමිකතා වැනි දේවල්වලට පුද්ගලයා යොමුවන්නේ එම විධිමත් මාධ්‍යයේ පවත්නා අඩුලුහුඬුකම් හේතුවෙනි. බටහිර රටවල උසස් අධ්‍යාපනය ලබන අයට ප්‍රමාණවත් ආදායමක් ලබාගන්නට අවස්ථා හා රැකියා අවස්ථා ළඟා කර ගත හැකියි. එනමුදු ශ්‍රී ලංකාව වැනි රටවල මෙවැනි ත්ත්වයකට ළඟා වීම පිණිස සමාජ අවහිරතා මතුවීම හේතුවෙන් පුද්ගලයන් අපරාධ සදහා යොමු  වීමේ ප්‍රවණතාවය වැඩි බව  අපට පෙනෙන සත්‍යයයි.

සාධාරණය ඉටු නොවීම

නීතිමය වශයෙන් ගත් විට කිසියම් නඩු හබයකට පැටළුණු පුද්ගලයෙකු නීතියෙන් තමන්ට සාධාරණත්වයක් ඉටුවේ යයි බලාපොරොත්තු වෙයි. නඩු කල්යෑම එසේම ඒ වෙනුවෙන් වියදම් කිරීමට තමන්ට මුදල් නොමැතිවීම වැනි දේ නිසා පුද්ගලයාට නීතිය ඔස්සේ තමන්ගේ ගැටළුවලට සාධාරණත්වය ලබා ගැනීමට දිගු ගමනක නිරත වීමට සිදුවීම ස්වභාවයයි.

අපරාධ විද්‍යාවේ තියෙන පිළිගැනීම නම් කිසියම් පුද්ගලයෙක් වැරදිකාරයෙක් බවට පත් වන්නේ එම අවස්ථානුකූලව ඇති වූ යම් යම් ගැටලුකාරී තත්වයන්ට මුහුණපෑමට ඔහු අසමත්වීම නිසයි. එවිට එම පුද්ගලයා අතින් වැරදි, අපරාධ සිදු විය හැකියි. අනෙක් අතට පුද්ගලයා සමාජමය වශයෙන් කිසියම් වගකීමක් දරන්නෙකි. අවම වශයෙන් ඔහු පවුලක පියෙකු ‍විය හැකිය. එසේ නැත්නම් කිසියම් ආයතනයක රැකියාවක් කරන පුද්ගලයෙකු විය  හැකිය. එහිදී ඔහුගෙන් සමාජයට යම් වගකීමක්, කාර්යභාරයක් ඉටු වේ. එවැනි පුද්ගලයෙකු සිරගතවනවා යනු පියෙකුට තම දරුවන්ට දිය හැකි රැකවරණය අහිමි වී යාමකි. එසේම සමාජයට සිදුවන යම් කාර්යභාරයක් අහිමි වී යාමකි. ඒ නිසා එම පුද්ගලයන් මරණ දඬුවමට යටත් කිරීම හෝ සදාකාලික සමාජයෙන් කොන් කර සිරගත කර තැබීමට වඩා එම පුද්ගලයා පුනරුත්ථාපනය කොට එම පුද්ගලයාගේ දෝෂ නිවැරදි කර ශෝධනය කර එම පුද්ගලයා නැවත සමාජයට යහපත් පුද්ගලයෙකු ලෙස යොමු කළ යුතුයි.

ගැටළුව වී ඇත්තේ සුළු වැරදිවලට පවා, ඇතැම්විට දඩයක් ගෙවා ගැනීම හෝ නීතිමය උපදෙස් පැතීමට මුදල් නොමැතිකම නිසා හෝ පුද්ගලයෙකු සිරගත වීමට ඉඩකඩ තිබීම ය. පුද්ගලයෙකු සිරගත වූ විට ඔහුට ආශ්‍රය කරන්නට ලැබෙන්නේ ද ඊට වඩා ඉහළ මට්ටමේ අපරාධ කරුවන් විය හැකිය. එහි දී සමාජ ආශ්‍රයත් විශාල වශයෙන් බලපෑම් කරයි. මේ තත්වය ඔහුගේ අපරාධකාරී බව තව තවත් වැඩි කිරීමට හේතුවෙන්නට පුළුවන. විශේෂයෙන්ම මත් ද්‍රව්‍ය වැනි අපරාධවලට සිරගත වන අය නැවත නැවතත් එම ක්‍රියාවම සිදු කරන බැවින් නැවත නැවතත් සිරගතවීම සිදුවෙන්නට පුළුවන.

 නීතිවලට ගරුකිරීමක් සිදු විය යුතු යි

අප රට ද සංවර්ධනය සඳහා ගමන් කරන අවස්ථාවක පසු වේ. විවෘත ආර්ථිකය මෙන්ම ගෝලීයකරණය මගින් සමස්ත ලෝකයටම විවෘතවීමක් දක්නට පුළුවන. අන්තර්ජාලය, ජනමාධ්‍යය හරහා එය සිදුවන බැවින් අප සමාජය අනෙක් සමාජවලින් වෙන් කළ නොහැකි ය. ඒ සමගම අපට උරුම වූ ගතානුගතික හර පද්ධතීන් දියාරු වී යාමක් ද දක්නට පුළුවන. ඒ ඈත්වීම නිසා ඇති වන රික්තය පිරවීමට විධිමත් නීතිරීති පද්ධතියක් සමාජය තුළ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය. එම නීතිරීති තිබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවාට සමාජ ගරුත්වයක් ද හිමි වීම වුවමනා ය. අද එම නීතිවලට ගරුකිරීම තුළින් සමාජයට ආදර්ශයක් දිය යුතු පුද්ගලයන් පවා නීතිය නොතකා හැරීම දකින්නට පුළුවන. ඒ නිසා අපි නීතියට ගරුකිරීමටත් නීතියට අනුකූලව ක්‍රියාකිරීමටත් පාසල් මට්ටමේ සිට වැඩිහිටියා දක්වා යොමු කිරීම ඉතාමත්ම වැදගත් කරුණකි.