Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

බෝ මළුවට පෑයූ
රාමසාන් සඳ

බෞද්ධ යන්නෙහි වි‍රුද්ධ පදය මුස්ලිම් යැයි තහවුරු වන තරමේ වෛරී ප්‍රචාර මාධ්‍ය අවකාශය ආක්‍රමණය කරමින් තිබේ. එහෙත් මේ කතාවෙන් කියැවෙන්නේ, මහපොළොව තවමත් එතරම් දූෂිත නොවන බවයි.

28.06.2017  |  
හම්බන්තොට දිස්ත්‍රික්කය

අල්ලාහු අක්බර්… අල්ලාහු අක්බර්.. බෝපත් සිරි සිරිය සමග මුසු වූ වාංගු හඬ බෝ මළුව හරහා ගලා ගොස් පංසල් වත්ත වැළඳ ගන්නේ, බෝලාන ගමේ සිංහල – මුස්ලිම් සංහිදියාවේ අපූර්වත්වය මොනවට කියා පාමිනි.

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අතහැරීමේ උතුම් ආගමික අවස්ථාව බෝ මළුව කරා පැමිණෙන්නේ, සියවස් ගණනාවක් පුරා බෝලාන ගම්මුන් අතර ගොඩනැගුණු සහෝදරත්වයේ බැම්ම තව තවත් සවිමත් කරවමිනි. ලැව්ගින්නක් සේ රට පුරා පැතිරෙන ජාතිවාදී හා ආගම්වාදී වියරුවට බෝලාන ගමේ වැසියන් කිසිවිටකත් හසු නොවීය. ඒ පංසලත් පල්ලියත් අතර පැවති අපූරු ලේ නෑදෑකම නිසාවෙනි.

සෑම ආගමික දර්ශනයකම මූලික වටිනාකමක් වූ මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේදී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයින්ය.

හුදු එය වචන මාත්‍රයකට පමණක් සිමා නොකර මුස්ලිම් ජාතිකයින්ට ඉතා වැදගත් ආගමික අවස්ථාවක් වන රාමසාන් උත්සවයේ, ‘ඉෆ්තාර්’ හෙවත් උපවාසය අත් හැරීමේ අවස්ථාව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයකදී සිදු කිරීමට භික්ෂුන් වහන්සේලා පහසුකම් සැලසීම, සංහිදියාවේ සැබෑ අරුත් මතු කරන අපූර්ව නිදසුනකි.

අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජමහා විහාරයේදී මෙලෙස මෙම උත්සවය ජුනි 24 වැනිදා සවස සැමරුණේ එම විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය මැද්දේය.

සිංහල බෞද්ධ දායක දායිකාවන්ගේ පුර්ණ දායකත්වය මැද්දේ සැමරුණු මෙම ‘ඉෆ්තාර්’ උත්සවය සදහා අම්බලන්තොට මැලේ කොලනිය ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

”අපි බලාපොරොත්තුවන්නේ අපේ රටේ සහජීවනයයි. ආගම් අතර සහජීවනය ඉතා වැදගත් ලෙස බුදුන් වහන්සේත් සැලකුවා. බෞද්ධ භික්ෂූන් ලෙස අප ගත යුත්තේ ඒ ආදර්ශයයි” බැරගම නන්දසිරි හිමියෝ පවසති.

”අපේ ගමේ මුස්ලිම්, සිංහල, දෙමළ යන ජනවර්ග තුනම ජීවත් වෙනවා. ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට දානය දෙනවා. අපිත් හිතුවා ඒ ආගමික සහජීවනය වැඩි වෙන්න ඔවුන්ගේ ආගමික උත්සව පන්සලේ සමරන්න. ඒ සම්බන්ධයෙන් මම අල් මස්දුල් අරුශියා ජුම්මා පල්ලියේ මවුලවිතුමන් වන ඒ.කේ.ටී. තවුෆික් පූජකතුමන් සමග සාකච්ඡා කළා ඒ අනුව මේ ආකාරයෙන් පන්සලේ මෙම උත්සවය සමරන්න කටයුතු කළා” යැයි බැරගම නන්දසිරි හිමියෝ මේ අපූරු චාරිත්‍රයේ පසුබිම ගැන පැවසූහ.

නෝම්බි හෙවත් උපවාස සමය යනු කුමක්දැයි පැහැදිලි කරමින් ශ්‍රී ලංකා තබ්ලික් ජමාත් හම්බන්තොට දිස්ත්‍රික් නායක ටී. ආර්. වන්සාර් මහතා පැවසුවේ, අල්ලා දෙවියන් වසරේ එක් මාසයක් පුරාම සෑම මුස්ලිම් ජාතිකයෙකු හටම නෝම්බි ඇල්ලීම හෙවත් උපවාසයේ යෙදීම අනිවාර්ය කර තිබෙන බවයි. එය පාන්දර හතරේ සිට සවස 6.30 පමණ තෙක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැහැදිලි කළේය.

‘මගේ ජීවිතයේ ප්‍රථම වතාවට තමයි මෙවන් වැඩසටහනකට සහභාගි වුණේ. මේක ඉතා සතුටු වැදගත් අවස්ථාවක්. මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ජනතාව එක්වෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්‍රශ්න නෑ. සෑම ආගමකම නරක අය ඉන්නවා. නමුත් අපේ ආගමේ කියලා තියෙනවා මිනිස්සු පුද්ගලයන් වශයෙන් ගොඩක් හොඳයි, එයාගේ නරක ක්‍රියා හෙළා දකින්න කියලා. අද අපි හැමෝම එකතුවෙලා හොඳින් ජීවත් වෙනවා. ජාතිවාදයක්, ආගම් වාදයක් නෑ. මෙතන තියෙන්නේ එක්සත්කම, සංහිඳියාව.

ඒ තත්ත්වය ඇති කරන්න මුල් වුණු මේ පන්සලේ ලොකු හාමුදුරුවන් ඇතුළු හැමෝටම ඉස්ලාම් ආගමිකයන්ගේ ස්තුතිය පුදකරනවා” ටී.ආර්. වන්සාර් මහතා පවසයි.

ආගමික අන්තවාදයේ වර්ධනය ලෝකයේ මෙන්ම ශ්‍රීලංකාව තුළද වර්තමානයේ දක්නට ඇති ප්‍රධානතම ප්‍රවණතාවකි. ශ්‍රීලංකාව තුළ මෙය උච්ඡ ලෙස ප්‍රකාශ වන යුගයක් ලෙස මෙම කාල වකවානුව පෙන්වා දිය හැකිය. ඒ නිසාම රජයේ දැඩි අවධානය මෙන්ම ඒ වෙනුවෙන් දැඩි නීති රීති සම්පාදනය කිරීමටද සිදුව තිබේ.

බොහෝ සමාජ ජාල ක්‍රියාකාරීන් ආගම් හා ජාතීන් අතර සංහිඳියාවට බාධා වන අයුරින් ක්‍රියා කරද්දී තවත් පිරිසක් සංහිදියාව වෙනුවෙන් සිදුකරන උත්සාහය වැදගත්ය. එක් ජාතියක්, එක් ආගමක් පමණක් උත්කර්ෂයට නැංවීම වෙනුවට සියලුම ජාතීන් හා ආගමිකයින් එකතු විය යුතුය යන අදහසද ප්‍රවර්ධනය වෙමින් පවතී.

බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම භෞතික සම්පත් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදුන් අතර ආර්ථිකය ගොඩනැගීම ප්‍රමුඛ අරමුණ ලෙස ප්‍රකාශ විය. එහෙත් ජාතීන් අතර එකමුතුව, සංහිඳියාව,සහෝදරත්වය, මිත්‍රශීලීභාවය ඇති කිරීම සඳහා කළ යුතු කාර්යයන් සිදු නොකිරීම නිසා 30 වසරක් තිස්සේ කුරිරු යුද්ධයට මුහුණ දීමට සිදු විය.

බෝලාන ගමේ සිංහල හා මුස්ලිම් ජනතාවගේ සහෝදර බැඳීම අනාගතය පිළිබද සුබවාදී බලාපොරොත්තු දල්වන්නකි.

/