Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අසල්වැසියා මට පෙනෙන හැටි:
ජාති භේද නෑ, අපි කවුරුත් එකට ඉන්නේ!

අපේ රටේ අනාගත පරපුර, තම රටේ ජීවත් වන අන්‍ය ජාතීන් ගැන හිතන්නේ කොහොමද? මෙතැන් සිට පළ වන කෙටි සම්මුඛ සාකච්ඡා මාලාව, ඒ ගැන තේරුම්ගැනීමට දැරූ වෑයමක ප්‍රතිපලයකි. සිංහල පාසල් දරුවන් දෙමළ ජාතිකයන් ගැන හිතන හැටිත්, දෙමළ පාසල් දරුවන් සිංහල ජාතිකයන් ගැන හිතන හැටිත්, ඔවුන් අතර ඇති සබැඳියාවෙහි ස්වරූපයත් මෙයින් පිළිබිඹු වෙයි.

03.08.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

ආර්.ප්‍රර්මිලා                                                                                                                                                                              බ/ඇල්ල මහාවිද්‍යාලය                                                                                                                                                                 13 වසර කලා අංශය

ප්‍රර්මිලා උසස් පෙළට සිංහලත් ඉගෙනගන්නවද?

සිංහල විතරක් නෙවෙයි, මම බෞද්ධ ශිෂ්ටාචාරයත් ඉගෙනගන්නවා.

සිංහල යහළු- යෙහෙළියොත් ගොඩක් ඇති?

මට වැඩිපුරම ඉන්නේ සිංහල යාළුවො. මොකද මම පළමු වසරේ සිටම ඉගනගත්තේ මේ සිංහල පාසලේ. මගේ හොඳම මිතුරිය, මගේ පන්තියේ ඉන්න දිලිනි හෙසාරා.

ඇයි ඔයා සිංහල පාසලක ඉගෙනගන්නේ?

මේ පාසැල තියෙන්නේ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් දෙකක් විතර දුරින්. දෙමළ පාසල තියෙන්නේ කිලෝමීටර් හතරක් විතර දුරින්. ඒ වගේම අපේ තාත්තත් ගිහින් තියෙන්නේ සිංහල පාසලකට. අක්කලා දෙන්නත් මේ විද්‍යාලයෙන්ම තමයි ඉගෙන ගෙන තියෙන්නේ. ඒ නිසා අම්මලා මමත් මේ සිංහල පාසලටම ඇතුළු කළා .

මහ මගදී ඔබට හමුවන අය සිංහලද දෙමළද කියල හඳුනා ගන්නෙ කොහොමද?

කතාකරන විදියෙන් සිංහලද දෙමළද කියලා හඳුනා ගන්න පුළුවන්, බොහෝවිට ඒ අය අඳින ඇඳුම්වලිනුත් හඳුන ගන්න පුළුවන්. ඒ වගේම දෙමළ කාන්තාවන් නම් නළලේ මොට්ටුව තියෙනවා. නමුත් මේ ප්‍රදේශවල එකිනෙකා හඳුන ගන්න බැරි අවස්ථාත් තියෙනවා .

ඔයාට සිංහල වගේම දෙමළත් පුළුවන්ද?

මම දෙමළ නිසා මට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන්, හැබැයි වැඩිය ලියන්න බෑ. දෙමළට වඩා හොඳට සිංහල ලියන්න කතා කරන්න දෙකම පුළුවන් .

ඔයා අගය කරන, නැත්නම් කැමති, සිංහල කෙනෙක් ඉන්නවද?

මම ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි අපේ පාසලේ සංගීත ගුරුතුමිය ශ්‍යාමා කුමාරි. ඇය මට මේ පාසලට ආව දවසෙ ඉදල ගොඩක් ආදරය කළා. උදව් කළා ඒ නිසා මම එදා සිට ඇයට ගොඩක් කැමතියි, ආදරෙයි.

ප්‍රර්මිලා විවාහ වෙන කාලෙක, සිංහල කෙනෙක් එක්ක විවාහ වේවිද ?

”මම කැමති දමිළ කෙනක් සමගම විවාහ වෙන්න. මොකද සිංහල සංස්කෘතිය හා දෙමළ සංස්කෘතිය අතර වෙනස්කම් තියෙනවා. අපේ අක්කත් විවාහ වුනේ දෙමළ කෙනෙක් එක්ක. සිංහල කෙනෙක් එක්ක විවාහවෙන්න බයක් තියෙනවා. ගොඩක් දුරට ඒක තීරණය කරන්නේ අපේ අම්මලා.

ඔයා සිංහල දෙමළ සංස්කෘතීන් ගැන මොකද හිතන්නේ?

මම කෝවිලට යන්නේ කලාතුරකින්. වැඩිපුරම පන්සල් තමයි යන්නේ. පන්සලේ ආගමික වතාවත් කරනවා. මට කෝවිලට වඩා පන්සල ළඟ නිසා පන්සලට යනවා. ගෙදරදී හින්දු ආගමික කටයුතු කරනවා. පන්සලේදී ඒ ආගමික කටයුතු කරනවා.

මේ පාසලේදී ඔයා දෙමළ කියල ප්‍රශ්නයක් වුණේ නැද්ද ?

සිංහලද දෙමළද කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. අපි කවුරුත් යාළුවො වගේ ඉන්නවා. කවදාවත් සිංහල යාළුවො වචනයකින්වත් කරදර කරලා නෑ. ජාති භේද නෑ අපි කවුරුත් එකට ඉන්නේ.