Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

බඳගිරියෙන් ආණ්ඩුවට පණිවිඩයක්:
උද්ඝෝෂණවලට ගහන වතුරවත් අපට දෙන්න

සංවර්ධනයේ නාමයෙන්, තමන්ගේ ගම් බිම් මැදින් ජලය ගෙන යන අයුරු ඔවුහු බලා සිටියහ. එහෙත් ඔවුන්ට බීමට වතුර පොදක් වත් ලැබුණේ නැත. නියගය ඔවුන්ගේ ජීවිත තවත් අගාධයට ඇද දමා තිබේ.

06.08.2017  |  
හම්බන්තොට දිස්ත්‍රික්කය

“වතුර නැතිව අපේ ළමයින් පාසලට යවන්න විදියක් නැතිව ඉන්නේ. ඒ අයට විවිධ රෝගාබාධ ඇතිවෙනවා. සමහර දවස්වලට රෙදි හෝදන්න විදියක් නැතිව කිලිටි ඇදුම් ඇඳගෙන යනවා. ඡන්දේ කාලෙට ආයුබෝවන් කියලා ඡන්දය ගන්න නම් එන්න අය ඉන්නවා. ඒත් දැන් අපට වතුර පොදක් දෙන්න කෙනෙක් නෑ!” හම්බන්තොට බඳගිරියේ රූපා කාන්ති පැවසුවාය.

මේ දිනවල පවතින නියං තත්ත්වය හේතුවෙන් හම්බන්තොට ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව ජල හිගයෙන් පීඩා විදිති. එහෙත් බඳගිරියේ ජනතාව මුහුණ පාන ජල ගැටලුවට ඊට වඩා බෙහෙවින් දිගු ඉතිහාසයක් තිබේ. බලධාරීන්ගේ නොසැලකීම හා අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ඔවුන් වසර 70ක කාලයක සිට පානීය ජලය නොමැතිව දුක් විඳින බව විශ්වාස කළ ‍නොහැකි තරම් පුදුම සහගත වුවද සත්‍යයකි.

කඩවුණු පොරාන්දු

පසුගිය පාලන සමයෙහි සංවර්ධනයේ නාමයෙන් දියත් වූ මහා පරිමාණ ව්‍යාපෘති සිදු කෙරුණේ ඔවුන්ගේ දෑසට පෙනෙන මානයේය. ප්‍රදේශයේ ඇති වැව් අමුණු තුළ විශාල ජල ව්‍යාපෘති ආරම්භ කර, එම ජලය වරාය හා ගුවන්තොටුපොළ වෙත තම ගම්මාන සිදුරු කරමින් ජල නළ එලා රැගෙන යන අයුරු බලා සිටින්නට ඔවුන්ට සිදු විය. එහෙත් ගියත් මේ අහිංසක මිනිසුන්ගේ ජල අවශ්‍යතාව සපුරා දීම එම සංවර්ධන න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබුණේ නැත.

ඒ වෙනුවට ඔවුන්ට හැමදාම ලැබුණේ ජලය ලබා දීම පිළිබඳ දේශපාලන පොරොන්දු පමණි.

වතුර ටිකක් බවුසරයෙන් ගෙනල්ලා දෙන්නේ ලුණුගම්වෙහෙර දේවස්ථානයේ රන්ජිත් ආනන්ද පියතුමා

හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ තම්මැන්නාව, බඳගිරිය, ජූල්ගමුව, යහන්ගල බටහිර, යහන්ගල නැගෙනහිර යන     ග්‍රාම නිලධාරී වසම් පහක, පවුල් 1650ක පුද්ගලයින් 6500කට අධික පිරිසක් මෙම පානිය ජල ගැටලුව හේතුවෙන් අසරණ තත්ත්වයට පත් ව සිටිති.

ඔවුන්ගේ ගැටලුවට විසදුමක් ලබා දීමට 2002 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ආධාර හා 20% ක ප්‍රජා දායකත්වය මත ඉදිකෙරුණු ප්‍රජා ජල ව්‍යාපෘතියක්, ‘බඳගිරිය ප්‍රජා සංවර්ධන කේන්ද්‍රය’ මගින් ක්‍රියාත්මක කෙරිණි. ඒ තුළින් යම් පිරිසකට මෙතෙක් කල් ජලය සැපයුවත් මීට වසර 03කට අධික කාලයක සිට එම ජලයද පානය කිරීමට නුසුදුසු තත්වයේ පවතින බව බඳගිරිය ප්‍රජා සංවර්ධන කේන්ද්‍රයේ සභාපති ටී.එච්. ප්‍රියන්ත පෙන්වා දෙයි.

“ මෙම ජල ව්‍යාපෘතිය වසර 15 ක් පමණ කාලයක් ක්‍රියාත්මක වෙලා මේ වන විට පවතින්නේ අක්‍රිය මට්ටමේ. බඳගිරිය වැවේ ජල මට්ටම ඒ සඳහා ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යන්න බෑ. මොකද ප්‍රදේශයේ සිදුකරන කෘෂිකාර්මාන්ත කටයුතු නිසා. මේ වැව ස්ථිර ජලාශයක් නොවේ. දෙසැම්බර් පිරිලා අගෝස්තු හි‍ඳෙනවා.”

ඔහු පෙන්වා දෙන්නේ, ‘අන්දරගස්යාය ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීම මේ ප්‍රශ්නයට විසදුම බවයි.

/

“ මේ පද්ධතියෙන් වතුර ෆිල්ටර් කරන්න බැරි නිසා දැන් මඩ වතුර එන්නේ. ඒ නිසා විවිධ රෝගාබාධත් ඇති වෙලා තියෙන්නේ. මේක පෙරනය අලුත් වැඩියා කරන්න රුපියල් කෝටියකට වඩා යනවා. මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයින් සහ බලධාරීන් සමග කතා කළා. එයට විසඳුමක් විදියට ලුනුගම්වෙහෙරින් පවුල් 500කට වතුර දෙන්නත් ඉතිරි පවුල් 1000ට වලව ව්‍යාපෘතියෙන් වතුර දෙන්නත් තීරණය කළා. ඒ අනුව වලව ව්‍යාපෘතියේ ජල නළ එලීම අපි ඉවර කළා. නමුත් මොන යම් හේතුවක් මත හෝ අපිට වතුර ලැබුණෙ නැහැ.” ප්‍රියන්ත පවසයි.

වකුගඩු රෝගය

අපිරිසිදු ජලය භාවිත කිරීම නිසා ප්‍රදේශයේ ජනතාවට වකුගඩු රෝගය වැලදීමේ අවදානමක් ඇතැයි වෛද්‍ය වාර්තාවලින් හෙළි වූ බව බඳගිරිය ගොවි සමතියේ ලේකම්වරයෙකු වන මුණසිංහ පවසයි. විශේෂයෙන්ම ප්‍රජා ජල ව්‍යාපෘතියට ජලය ලබා ගන්නා බඳගිරිය වැව පෝෂණය වෙන්නේ තවත් වැව් 17 කින් පැමිණෙන අපවහන ජලය එකතු වීමෙනි. එම නිසා බඳගිරිය වැව් ජලය තුළ කෘමි නාෂක මෙන්ම බැර ලෝහද අඩංගු බව රුහුණ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය මංගල ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගින්   සිදු කළ පරික්ෂණවලින් තහවුරු වූ බවත්, පුද්ගලයින් 150 ක් තෝරා සිදු කරන ලද පරීක්ෂණවලදී ඔවුන් අතරින් 19 දෙනෙකුට කෘෂිකාර්මික වකුගඩු රෝගි ලක්ෂණ තිබෙන බවත් වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

අශෝකා රංජනී

අපි මේ සම්බන්ධයෙන් මහාචාර්ය මංගල ද සිල්වා මහතාගෙන්ද කරුණු විමසුවෙමු. මහාචාර්ය‍වරයා මෙසේ පැවසිය.

“ වසර දෙක තුනක පමණ කාලයක සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල නිධන්ගත වකුගඩු රෝගය සීග්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස තමයි බඳගිරිය ප්‍රදේශයේත් අඟුණකොලපලැස්ස ප්‍රදේශයේත් වකුගඩු රෝගීන් වර්තා වෙන්න පටන්ගත්තේ. ඉන් පසුව අපි හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ජල මුලාශ්‍ර පරික්ෂාවට ලක් කළා. ඒ පර්යේෂණයට අනුව එම ජලමුලාශ්‍ර භාවිතයට සුදුසු නැති මට්ටමක පවතින බව තහවුරු වුණා. අපි පසුව 100දෙනෙක් තෝරාගෙන වකුගඩු රෝගය පිළිබඳ පරික්ෂාවකට ලක් කළා. එහි දී අපට තහවුරු වී ගියේ එයින් 15ත් 20ත් අතර ප්‍රමාණයකට වකුගඩු රෝගී ලක්ෂණ තිබෙන බවයි.”

පානිය ජල ගැටලුවට ස්ථිර විසඳුම් ඉල්ලා ප්‍රදේශයේ ජනතාව එක්ව අවස්ථා රැසකදී බලධාරීන්ට ඉල්ලීම් කර ඇති අතර විරෝධතාවයන් කීපයක්ද පවත්වන ලදි. 2015.11.12 දින හම්බන්තොට පල්ලේ මළල ප්‍රදේශයේ පැවති විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුට හා විරෝධතාකරුවන් කීපදෙනෙකුට තුවාල සිදු විය. විරෝධතාකරුවන් 12 දෙනෙකුට බන්ධනාගාරගත වීමටද සිදු විය.

බඳගිරිය වැව
පියතුමාගේ පිහිට

තමන් ඇතුළු ගම්වාසින් පත් වී ඇති පීඩාව ගැන අදහස් දැක්වූ අශෝකා රංජනී පැවසුවේ උද්‍‍ඝෝෂණ විසුරුවාහරින්නට ගහන වතුර ටික හෝ තමන්ගේ ගමට ගෙනැවිත් දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

“ අධික නියඟය නිසා මාස තුනක් තිස්සෙ අපිට කොහොමටවත් බොන්න වතුර නෑ. මීට කලින් අපිට බොන්න වතුර නැති වුණාම උද්ඝෝෂණ කළා. ඒ වෙලාවේ ලුණුගම්වෙහෙර කලාපයෙන් පොදු ක්‍රම කීපයක් දාලා ගමට වතුර දුන්නා. නමුත් ඒකත් එන්නේ දවස කීපයකට පැය දෙකක් විතරයි. මම ඉන්නේ බඳගිරිය ජන උදාන ගම්මානයේ ජූල්ගමුව වසමේ. මේ වසමේ ඉන්න කාටවත් බොන්න වතුර නෑ. අපි සිංහල බෞද්ධ වුණත් අපිට මේ දවස්වල වතුර ටිකක් හරි බවුසරයෙන් ගෙනල්ලා දෙන්නේ ලුණුගම්වෙහෙර දේවස්ථානයේ රන්ජිත් ආනන්ද පියතුමා විතරයි. වෙන කව්රුවත් අපේ දුක බැලුවේ නෑ.”

“මේ ගමේ මේ ජල ප්‍රශ්නය බොහෝ කාලයක සිට තියෙන එකක්. නමුත් කවුරුවත් මේකට ස්ථිර විසඳුමක් දීලා නෑ. ඒ නිසා විශාල පිරිසක් පිඩාවට පත්වෙලා ඉන්නවා. මේ ගමේ මිනිසුන්ට මට හැකි පමණින් ජල බවුසර් කීපයක් ලබා දෙනවා. නමුත් මේක හැම දාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලැබිය යුතුයි.” රන්ජිත් ආනන්ද පියතුමා පැවසුවේය.

ජලය යනු මිනිසා ඇතුළු සියලු සත්වයන්ගේ ජීවය රඳා පැවතීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. ජලයෙහි අවශ්‍යතාව කිසි විට කල් දැමිය හැක්කක් නොවේ. ලෝක ඉතිහාසය පුරාම ජලය නිසා ඇති වූ ගැටුම් ගැන අසන්නට ලැබෙන්නේ මේ නිසාය. පිපාසිත ජනතාවට ජල ප්‍රහාර එල්ල කරන බලධාරීන් ඒ යථාර්ථය නොදැන සිටීම ඛේද ජනකය.